දහම්සොඬකව - වැලිවිටියේ සොරත හිමි 1928.pdf
- කතෘ :
- අලගියවන්න මුකවෙටි
- ප්රකාශිත වර්ෂය :
- 1928
- මුද්රිත වර්ෂය :
- 1928
- පිටු ගණන :
- 152
- බාගත කිරීම් ගණන :
- 5
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-18
- ගොනුවේ ප්රමාණය :
- 29 MB
වෙනත් සංස්කරණ
- දහම්සොඬකව - අලගියවන්න මුකවෙටිතුමා
අලගියවන්න මුකවෙටි · 1934
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
දහම්සොඬකව යනු අලගියවන්න මුකවෙටි තුමන් විසින් රචිත සුප්රකට බෞද්ධ උපදේශාත්මක පද්ය කාව්යයකි. අප බෝසතාණන් වහන්සේ පෙර දහම්සොඬ රජුව ඉපිද ධර්ම ශ්රවණය උදෙසා කළ උදාර පරිත්යාගය හා ධර්මගවේෂණ චරිතය මෙහි කථා වස්තුව වේ. පද්ය එකසිය තෙසැටකින් (163) සමන්විත වූ මෙම කාව්ය ග්රන්ථය සඳහා පරිකථාවක් (විස්තරාත්මක සටහන් හා පදගතාර්ථ) සම්පාදනය කොට ඇත්තේ විද්යෝදය පිරිවෙන්හි ආචාර්ය පණ්ඩිත වැලිවිටියේ සොරත ස්වාමිපාදයන් වහන්සේ විසිනි.
පාඨශාලා විභාග ආදියට මුහුණ දෙන සිසුන්ට පහසුවන පරිදි ශුද්ධ පාඨයන්, විස්තාරාර්ථ වර්ණනා, අමාරු පදයන්ගේ ධාතු-ප්රත්ය විවරණ සහ අර්ථ විවරණ සහිතව මෙම කෘතිය සංස්කරණය කර ඇත. විද්යොදය පරිවෙණාධිපති කහවේ ශ්රී සුමඞ්ගල රතනසාරාභිධාන ප්රධාන නායක මාහිමියන්ගේ පිළිගැනීම සහිතව, වී. ඩබ්ලිව්. සමරනායක මහතාගේ ඉල්ලීම පරිදි සකස් කොට මහාජන යන්ත්රාලයෙහි බු.ව. 2472 (ක්රි.ව. 1928) දී මුද්රණය කරවා ඇත.
ග්රන්ථප්රශංසා.
මේ ග්රන්ථය පිළිබඳව අධ්යාපනමණ්ඩලය විසින් ප්රශංසා මුඛයෙන් එවනලද ලිපියෙහි මෙසේ සඳහන් වෙයි:-
“A school edition of Dahamsondakawya of Alagiyawanna Mohottala. It is well edited and contains much useful information. It can be recommended as a suitable edition for advanced students.”
“අලගියවන්න මොහොට්ටාල තුමන් විසින් විරචිත දහම්සොඬ කාව්යය පිළිබඳ ව පාඨශාලා ශිෂ්යයන්ගේ පරිශීලනය පිණිස කරණලද මේ සංස්කරණය වනාහි මනොඥ ආකාරයෙන් සම්පාදනය කරණ ලද්දකි. අතිශය ප්රයෝජනවත් පරිකථාවලින් සමුපශොභිතයි. උසස් ඉගෙනීමක් කරණ ශිෂ්යයන්ගේ ප්රයෝජනයට මේ පොත ඉතා මැනැවැයි මෙයින් ප්රකාශ කරමිහ.”
ප්රස්තාවනා.
ග්රන්ථයක් පිළිබඳ ව පරිකථාකරණාවසරයෙහි සංඥා, නිමිත්ත, කර්තෘ, ප්රමාණ, ප්රයෝජන යන අර්ථ පඤ්චකය ද විභජනය කට යුතු ය යනු පෙරැදුරන්ගේ නියමය හෙයින් මේ ග්රන්ථය පිළිබඳ ව කරණු ලබන පරිකථාවගේ ප්රමුඛයෙහි යථොක්ත අර්ථපඤ්චකය හා තදනුකූල වූ වෙනත් කරුණුත් සැකෙවින් දක්වම්හ. ඔවුන්තුරෙන්—
I. “සංඥා” නම් විශේෂසංඥා සාමාන්යසංඥා යයි දෙවැදෑරුම් වූ නාමයයි. මේ ග්රන්ථයට වනාහි විශේෂ සංඥාවක් ඇති බවෙක් නො පෙනේ. සාමාන්ය සංඥාවශයෙන් ‘දහම්සොඬකව’ යනු වෙන් ද, ‘දහම්සොඬදාකව’ යනු වෙන් ද ප්රසිද්ධ ය. එයින් වැඩිදෙනා අතර ප්රසිද්ධ හෙයින් පළමුවැන්න අප විසින් ද මෙහි යොදනලදී. ‘දහම්සොඬදාකව’ යන්න සාවද්යපාඨයකැයි සවරහු සිතති. දහම්සොඬදාකව බුද්ධභාෂිතයක් නොවන හෙයින් ද ජාතකපාලියෙහි නො ආබැවින් ද ජාතක නාමය නො යෙදේ යයි ඒ පින්වතුන්ගේ මතය බව හැඟේ. එතෙක් බුද්ධභාෂිත නුවූ, මහරහතුන් විසින් දෙසනලද මහාබෝධිසත්ත්වචරිතයන්ට ජාතක නාමය පුරාතනයන් ව්යවහාර කළබව ජාතකමාලාදියෙහි ව්යාඝ්රීජාතකාදියෙන් පෙනේ. මහාවංසයෙහි 97 වන පරිච්ඡේදයෙහි ශ්රීපරාක්රමනරෙන්ද්රසිංහරාජයන් විසින් කළ පින්කම් වැණුමෙහි දහම්සොඬකව ද ජාතකසඞ්ඛ්යාවෙහි ලා ගිණුහ. මෙසේ සම්ප්රභාවිත නුවූවත් බොධිසත්වචරිතයන්ට ‘ජාතක’ නාමය යෙදුනු හෙයින් ‘දහම්සොඬදාකව’ යන්න සාවද්ය නො වේ. ‘දහම්සොඬකව’ යන්න ද “සෙන්කඩගලකාව්ය” යනාදි නාමයන් වැනි හෙයින් නිරවද්ය ය. ‘දහම්සොඬහු නිසා කළ කව’ යනු අර්ථයි.
II. අභ්යන්තර බාහ්යවශයෙන් දෙවැදෑරුම් වූ නිමිත්තයන් අතුරෙන් සමරදිවාකරමුකවෙටි මන්ත්රීවරයාගේ ආරාධනය මේ ග්රන්ථකරණයෙහි බාහ්ය නිමිත්ත වී ය. ධර්මශාස්ත්ර උද්ග්රහණ ධාරණයෙහි අලස වූ සුකුමාර මතීන් විෂයයෙහි පැවැති කරුණාව අභ්යන්තර නිමිත්ත ය.
III. මේ ග්රන්ථයෙහි කර්තෘ අලගියවන්නමුකවෙටිතුමා ය. ඒ බව මේ ග්රන්ථයාගේ අවසානයෙහි පෙනෙන කවිවලින් හැඟේ. මෙතුමන්ගේ ග්රාමය සීතාවක්කෝරළයේ හඟවම්පත්නුව බඳ හිස්වැල්ල ය. මෙතුමන්ගේ පරපුරෙන් පැවතෙන්නෝ දැනුදු ඒ නමින්ම ඇතියි. එතුමාගේ පිතෲ වූ ධර්මධජ පණ්ඩිතවරයන් විසින් මේ ග්රන්ථය කරණලදයැයි ඇතැම්හු කියත්. ඒ භවතුන්ගේ එකී මතයට පිහිටා තිබෙන්නේ එලෙස පවත්නා ජනප්රවාදයක් හා ඇතැම් පුස්කොළ පිටපත්හි කර්තෘනාමසඤ්ඥීත පද්යයන් ගිලිහී තිබීමත් මෙහි හා කුසජාතකකාව්යයෙහි සමානපද්යයන් දක්නට ලැබීමත් යන මේ කරුණු යි.
මේ එකක්වත් ඒ මතය ස්ථිර කරලීමෙහි පොහොසත් නො වේ. මෙබඳු ජනප්රවාද සත්ය වන්නේ ඉතාමත් කලාතුරෙකිනි. අමාවතුර නම් වූ බුද්ධසරණී ගුරුළුගෝමීහුගේ බෑනනිකෙනෙකුන් විසින් කරණලදැයි ජනප්රවාදයක් පැවැත්තේ ය. කරුණු පරික්ෂා කළ කල්හි එම කථාව අතිශය අසත්යයක් බව හෙලි විය. එසේ ම දහම්සොඬදාකව පිළිබඳව පවත්නා ජනප්රවාදය ද හැඳැහිය නොහැක්කකි. දහම්දැද, දහම්සොඬ යන නම් දෙකෙහි ඇති සමානත්වය මේ ජනප්රවාදය ඉපදීමට හේතු වී යයි සැලකිය හැක.
කර්තෘ නාම සඤ්ඥිත පද්යයන් සමහර පොත්වල නො පෙනීම මේ පොත ධර්මධජ පණ්ඩිතවරයාගේ යයි නිගමනය කිරීමට සාධකයෙක් නො වේ. එක පිටපතෙකවත් එ පද්ය තිබේ නම් ඒ ම මෙය අලගියවන්නතුමාගේ කෘතියක් බවට බලවත් සාධකයෙකි. යට කී අමාවතුර ග්රන්ථයාගේ ද කර්තෘ නාමය පිටපත් කිපයෙක මිස බොහෝ පිටපත්වල නො පෙනේ. එහෙත් එය විද්යාචක්රවර්තීන්ගේ කෘතියක් නොවන බවට ඇතැම් පිටපත්හි ලැබෙන ඒ කර්තෘනාමාදර්ශනය සාධකයක් නො වී ය. එසේ ම මෙහි ද සමහර පිටපත්හි කර්තෘනාමසූචකපද්යයන් ගිලිහී තිබීම මෙය අලගියවන්නතුමාගේ කෘතියක් නො වේ යයි කීමට සාධකයක් කර ගැණුම අතිශය අයුක්ත ය. ග්රන්ථාන්තයෙහි පෙනෙන කර්තෘනාමගොත්රාත්මකපද්ය දෙක මෑත දී අන්යයෙකු විසින් එකතු කරණ ලදැයි සිතීම ද යුක්තියුක්ත නො වේ. අන්යයෙකුගේ කෘතියක් තදනන්යයෙකුට හිමි කර දීම ඉන් බොහෝ ඈත සිටියෙකුට මද වූ ද ප්රයෝජනයක් ගෙණ දෙන්නක් නො වේ. අප්රයෝජන කෘත්යයෙක්හි මන්දයෙක් ද ප්රවෘත්ත නො වේ. ඒ පද්ය දෙක මෑත සිටියෙකු විසින් බහාලන ලද්දකැයි සිතන්නාසේ ම, එසේ බහාලන්නට ඇත්තේ සත්යය ඉඳුරා දැනගෙන ම යයි සිතීම ද යහපත් වේව.
මෙහි හා කුසදෑහි සමානපද්යයන් දක්නා ලැබීම කෘතිද්වය එකකර්තෘක යයි කීමට බාධාවකැයි සලකන්නෝ ‘අන්ය කෘතීන්ගෙන් පද්යපාදාදිය ගැණුම තත්කර්තෘවරයනට කරණු ලබන මහත් ගෞරවයකැයි ද, පුරාතන මහාකවීහු ද ඒ සිරිත අනුගමනය කළාහු යයි ද, ස්වකීය කෘතියකින් පද්යාදිය ගෙණ තමන්ගේ ම අන්ය කෘතියෙක්හි යෙදීම මහත් නින්දාවෙකැ’යි ද කියති. මේ පිළිබඳව විවේකින්ගේ මතය මීට ඉඳුරා ම විරුද්ධ ය. පරකීය කෘතියකින් අර්ථය පැහැර ගන්නේ කුකවියෙකැයි ද, පද පැහැර ගන්නේ චෞරයෙකැයි ද ඔහු කියති. මෙසේ බලන කල අන්ය කෘතියකින් පද්යාදිය පැහැර ගැණුම නින්දාවක් මිස ස්වකීය කෘතියකින් ගෙණ අනික් ස්වකීය කෘතියක යෙදුම නින්දාවක් නො වේ. තමන්ගේ දැය තමන් කැමැති සේ කිරීම වරදකැයි සැලකීමේ කවර නීතියකට එකක් වේ ද? මහාකවි කාලිදාසයන් වැන්නෝ පවා තමන්ගේ පූර්වකෘතීන්ගෙන් ශ්ලෝකපාදාදිය ගෙණ ස්වකීයනව්යකෘතීන්හි යෙදූහ. එහෙයින් කුසදෑහි හා දහම්සොඬකවෙහි සමානපද්ය දැක්ම දහම්සොඬකව අලගියවන්න මුකවෙටි තුමාගේ නො වේයයි කීමට සාධකයෙක් නො වේ. මෙලෙසින් ධර්මධජතුමාගේ පක්ෂය ගන්නන් ප්රස්තුතාර්ථසාධනයෙහි ස්වල්ප වූ ද ශක්තියක් නැති අතිශය දුර්වල තර්කයන්හි එල්බ සිටින බව පෙනේ. “අලගියවන්න මුකවෙටිතුමන්ගේ සෙසු කෘතීන්ගෙනුදු දහම්සොඬදාකවෙන්දු ප්රකාශ වනුයේ එක ම ප්රමාණයේ කවිත්වයෙකි. එයින් ඒ සියල්ල එකකර්තෘක යයි කිය හැකි ය” යනු සුධීහු දකිති. මේ බව සමහර දහම්සොඬකව් පිටපත්හි පෙනෙන අවසාන පද්යයන්ගෙන් ඔප්පු වේ. එහෙයින් වැඩිදුර නිදර්ශන දැක්වීමෙහි උත්සාහ නො කරමු.
අලගියවන්නමුකවෙටිතුමන් ගැඹුරු සකුමගද කවිතළු සිඳු කිමිදි බව ඔවුන් විසින් කළ සැවුල් අස්නෙහි කියන ලදී. නමුත් සැවුල් අස්නෙන් හෝ කුසජාතකයෙන් හෝ දහම්සොඬකවෙන් හෙතෙම සංස්කෘත කාව්යග්රන්ථ පරිශීලනය කළ කෙනෙකැයි ප්රකාශ නො වේ. හේ සංස්කෘතකාව්යග්රන්ථයන්හි පරිචිතිය ඇත්තෙක් වී නම්, සංස්කෘතපද්යයන්ගේ අර්ථයන් ගෙණ ස්වකීය කෘතීන් හොබවා ගණු නිසැක ය. අලගියවන්න තුමාගේ කෘතීහු පුරාතන සිංහල මහාකවීන් විසින් කරණලද කාව්යයන්ගෙන් ගෙණ ගෙණ යෙදූ දැයින් ම පොහොසත් වූහ. දහම්සොඬ කවෙහි ද ඒ ඒ තන්හි ඒබව දක්වා ඇත. මොවුන් විසින් වැඩියක් ආශ්රය කරණ ලද්දේ කව්සිළුමිණ, කාව්යශෙඛර, මයුරසන්දේශ යන පොත් යයි හැඟේ. දහම්සොඬකවෙහි මෙන් ම සැවුල් අස්නෙහි ද කව්සිළුමිණෙන් ගත් අර්ථයන් හා වචන ද බොහෝය.
එපමණක් නො ව මයුරසන්දේශයෙන් ගෙණ යෙදූ සම්පූර්ණපද්යයෝ සැවුල් අස්නෙහි පෙනෙත්. සැවුල් අස්නෙහි 151 වන කවෙහි පටන් වූ කවි අට මයුරසන්දේශයෙහි 94 වන කවෙහි සිට පෙනෙන කවි ම ය. එසේවුව ද අලගියවන්න මුකවෙටිතුමා, වාග්මානීන්ගේ අතිශය ප්රශංසාවට භාජන විය යුත්තේ ම ය. එතරම් ශාස්ත්රාගම පිරිහි අන්ධකාරව තුබූ ඒ කාලයෙහි පවා සිංහල භාෂාභ්යාසවර්ධනය සඳහා එතුමන්ට හැකි තාක් දැ කළබව පෙනෙන හෙයිනි.
යට කී දහම්සොඬ, සැවුල් අසුන්, කුසදෑ යන කවිපොත් තුණ හැර සුභාෂිත නම් නීතිග්රන්ථයෙක් ද මොවුන් විසින් කරණලදී. සුභාෂිතය වනාහි ව්යාඛ්යාන ග්රන්ථ කිපයකින් සැදුම් ලද්දේ ය. ඔවුනතුරෙන් මුනිදාස කුමාරතුංග මහතා විසින් ලියනලද ප්රශස්ත විවරණ ග්රන්ථය වනාහි සුභාෂිතයට කරණ ලද හැම වර්ණනාග්රන්ථයන් මැඩගෙණ සිටිනු පමණක් නො ව වර්තමාන සිංහල කාව්යග්රන්ථයන් පිළිබඳ ව ලියනලද ඇති තාක් වර්ණනාග්රන්ථයන්ට විශ්රැතශ්වෙතච්ඡත්රයෙක් ද වේ. මුනිගුණ රත්නමාලය, නීතිසාරය යනාදි තවත් පොත් කිපයකනම් ද අලගියවන්න තුමන්ගේ කෘතිවශයෙන් පෙන්වතත් ඒ පිළිබඳ ව යමක් කීමෙහි පොහොසත් නො වෙමි.
පරංගිහටන නම් තවත් කුඩා කවිපොතක් ද මොවුන් විසින් රචනා කරණලදයැයි කියතත් එය මොවුන්ගේ කෘතියක් බවට ජනප්රවාදය ම මිස අනික් එක ද සාක්ෂ්යයෙක් නැත්තේ ය. එය වනාහි සෙන්කඩගල නුවර රජධානිය කොට ගෙණ රාජ්යශාසනය කළ දෙවෙනි රාජසිංහ රජහුගේ වික්රමාතිශයය වර්ණනා කරණු සඳහා එරජු හා පරංගින් ද අතර වූ යුද්ධයක් කථා ශරීරය වශයෙන් ගෙණ නිපදවන ලද්දකි. ඒ බව පරංගිහටනෙහි පෙනෙන,
“දිනකර කුලවර රජසිහ නර ව ර සිරිසර විඳ දින සෙන්කඩගල පු ර”
යන පද්යයෙන් හැඟේ.
දෙවෙනි රාජසිංහ රජුගේ කාලයෙහි අලගියවන්න මුකවෙටි තුමන් ජීවත් ව නොසිටිබව නොහොත් සිංහලරජුගේ යටතෙහි නොසිටිබව බොහෝ ඉතිහාසඥයන්ගේ පිළිගැන්මයි. ඊට පෙර ම අලගියවන්න මුකවෙටි තුමන් පරංගින්ගේ යටතට පැමිණි ‘දොන් ජෙරෝනිමෝ අලගියවන්න’ නාමයෙන් ප්රසිද්ධ ව උසස් නිලයක් දරමින් පරංගින්ට අයත් ව තුබූ ප්රදේශයන්හි ජනලේඛනයක් (තොම්බුවක්) සම්පාදනය කළ බව ප්රසිද්ධය. එහෙයින් පරංගිහටන මොවුන් විසින් කරණ ලද්දකැයි පිළිගැනීම දුෂ්කර ය.
දහම්සොඬකව පළමුවරට ශුද්ධ කොට ව්යාඛ්යානයක් ලියූ පඹුරල්ලේ පඤ්ඤානන්ද ස්ථවිරපාදයන්වහන්සේ අලගියවන්න තුමන් දෙවෙනි රාජසිංහ රජහුගේ කාලයෙහි සිටිබව කියති. එසේ කීමට හේතුව වූයේ මේ පරංගිහටන ම විය හැකි ය. දහම්සොඬකව අලගියවන්නතුමන්ගේ අනතිම කෘතිය යයි ද උන් වහන්සේගේ මතෙකි. මෙහි අටළොස් වන කව ඊට සාධක කොට දක්වති. නමුත් අප අදහස් ඊට වෙනස් වේ. සැවුල් අස්නෙහි 66 වන—
“තර සිවුපා ගුණදම බැඳෙමින් සිටි න දළ දම්සොඬ පිරිසිදු කිත්සිරි රඳ න සතඟ දෙරණ සුපිහිටි ගයිරී තොරඳ න මෙනරවර කලණවරණෙහි දිසි නිති න”
යන කව කරන්නට ඇත්තේ දහම්සොඬ කවෙහි පෙනෙන—
“සිවුපා පදුනි දි බ බස්මඳ වැහෙත නො ව ග යුතුවූ දහම් සො ඬ වරණ සිරි ඉසිලි දහම්සො ඬ”
යන කව බලා ගෙණ ම ය. මෙයින් දහම්සොඬකව සැවුල් අස්නට ද පුරාතන බව කියහැකි ය. දහම්සොඬකව හා සැවුල් අස්නත් කරණලද්දේ බුද්ධවර්ෂ 2121 පමණේ දී සිංහාසනාරූඪ ව එකොළොස් අවුරුද්දක් පමණ සීතාවක වෙසෙමින් රාජ්යානුශාසනා කළ පළමුවන රාජසිංහ රජුගේ කාලයේ දී ය. කුසජාතක කාව්යය වනාහි බුද්ධ වර්ෂ 2154 වන වර්ෂයේ දී නිමවී ය.
පළමුවන රාජසිංහ රජතුමා වනාහි පොත්පත් ගිනීලැවීම් ආදියෙන් ශාස්ත්රාගමවර්ධනයට බෙහෙවින් අකුල් හෙලූ රජෙකි. ඔහුගේ කාලයෙහි ශාස්ත්රාගම බොහෝසෙයින් පිරිහී තුබුනු බව නිසැක ය. එබඳු කාලයෙක්හි පවා මෙබඳු ග්රන්ථයන් නිපදවා ලූ අලගියවන්න මුකවෙටිතුමන් කෙරෙහි හැම සිංහලයන් ම කෘතඥ විය යුතු ය.
IV. ප්රමාණ වශයෙන් මේ ග්රන්ථය පද්ය එක්සිය තෙසැටෙකින් පරිමිත ය. ඊ පිළිබඳ තවත් විස්තර ග්රන්ථය කියවීමෙන් දත හැක.
V. කාව්යග්රන්ථයෙකින් ලැබිය හැකි ප්රයෝජන බොහෝය; මන්දබුද්ධීන්ට ද කාව්යග්රන්ථාශ්රවණයෙන් ධර්මාර්ථකාමමොක්ෂයන් ලැබෙන බව ශ්රී විශ්වනාථ කවිරාජයෝ කීහ.
ශුද්ධ ව්යාකරණාදි ශාස්ත්ර හා ආගම ධර්මත් ඉගෙනීමෙහි මැලි වූ සුකුමාරමතීන්ට එකී ශාස්ත්රාදිය කාව්යග්රන්ථයෙක්හි ඇතුළත් කොට උගන්වන්නට වත් කළ ඉතා පහසු වේ. එහෙයින් කාව්යග්රන්ථ මධුශර්කරා යුක්ත තික්ත ඖෂධ වැන්නැයි මහාකවි ශ්රීහර්ෂපාදයයන් විසින් කියනලදී. ආචාර්යය භාමහයෝ ද,
“ස්වාදුකාව්යරසොන්මිශ්රං ශාස්ත්රමප්යවගච්ඡති, ප්රථමාලීඪමධවඃ පිබන්ති කටුභෙෂජම්.”
යනුවෙන් ධර්ම අර්ථ කාම මොක්ෂයන්හි හා සිවුසැටකලාවන්හිත් විචක්ෂණභාවය හා කීර්තියත් ප්රීතියත් කෙරේ” යයි කීහ. මෙයින් කාව්යග්රන්ථයකින් ලැබිය හැකි ප්රයෝජන පැහැදිලි වේ. දහම්සොඬකව වනාහි උසස් කාව්යග්රන්ථයකැයි නො කිය හැකි. එහෙත් මෙබඳු පොත් පළමු කොට නිසෙවනය කිරීමෙන් උසස් කාව්යග්රන්ථයන් ඇසුරු කිරීමට මග පෑදෙන්නේ ය. මේ කාව්යයෙන් ප්රකාශ වනුයේ බෝධිසත්ව චරිතයකි. එය ඉගෙණීමෙන් ලැබෙන ප්රයෝජන—
“කෙරෙමින් සිත එක ග ඇසූ සතහට මන ර ඟ දෙන සැප සඟව ග නිසැකි පද බැඳ දහම්සොඬ ව ග”
යනුවෙන් ප්රකාශ වේ.
VI. මෙහි කාව්යශරීරය වනාහි අපගේ බුදුරජානන්වහන්සේගේ පූර්වචරිතයෙකි. “අප බුදුරජානන් වහන්සේ බෝධිසත්ව කාලයෙහි රජකුලෙහි ඉපිද දඹදිව අගරජ වූහ. උන්වහන්සේ ධර්මයෙහි ලොල් වූ බැවින් ද උපන් අවස්ථාවෙහි හර්ෂයෙන් තුටු වූ ධර්මය පිළිබඳ හැඟීම ඇඟ වූ හෙයින් ද ධර්මගවේෂණ නම් වූහ. එතුමා ධර්මශ්රවණය නැති වීමෙන් කලකිරී දහම් සොයනුවස් වල් වැද තැවෙමින් සිටියේ ඒබව දැන රකුස් වෙස ගෙණ පැමිණි ශක්රයා “අනිච්චා වත සඞ්ඛාරා” යනාදි ගාථාව කියමින් සිටිය දී පළමු ගිවිසුම ලෙස ඔහුගේ මුඛයට ගිරිමුදුනෙකැ සිට පැන්නේය; එයින් තුටු වූ ශක්ර තෙමේ එරජ තුමන් දෙව්ලොවට වඩා ගෙණ ගොස් සුරසිරි පෙන්වා අවවාද කොට මිනිස් ලොවට ඇරලී ය” යනු එහි සංක්ෂෙපයයි.
VII. මේ කාව්යග්රන්ථය මින් අවුරුදු කීපයකට ඉහත දී ඉතා දුර්ලභ ව පැවැත්තේ ය. ඒ කාලයෙහි පඹුරල්ලේ පඤ්ඤානන්දාභිධාන ස්වාමිපාදයන් වහන්සේ පිටපත් කීපයක් සපයා ගෙණ මහත් පරිශ්රමයෙන් මුලග්රන්ථය ශුද්ධ කොට පදගතාර්ථව්යාඛ්යානයක් ද නිපදවා ලූහ. මුල දී පොත කෙබඳු තත්වයක පැවැත්තේ දැයි නොදන්නන්ට උන්වහන්සේගේ කෘතියෙහි ප්රශංසනීය භාවය නො වැටහේ. ඉතා දුර්ලභ ව පැවැති පොතක් බොහොදුර ශුද්ධියට පමුණුවා සුලභ කර ලූ උන්වහන්සේ සාධූන්ගේ ගෞරවයට භාජන වෙති.
ඉතාමහත් නුවූ ද ඉතාකුඩා නුවූ ද මේ පොත කියවීමෙන් ප්රසන්නවූ කිප දෙනෙක් ම මේ පොතට විස්තාරාර්ථවර්ණනාවක් නිපදවාලුව මැනැවැයි අපට ආරාධනය කළහ. වෙසෙසින් වී. ඩබ්ලිව්. සමරනායක මහතා මේ කෘතියෙහි වැඩියක් ම අප උත්සාහවත් කෙළේ ය. එහෙයින් මේ කෘතියෙහි ආසක්ත ව පළමු කොට මුල ග්රන්ථය ශුද්ධ කර ගනුම්හ.
අපගේ පාඨයෙහි පළමුවෙන් මුද්රිත ග්රන්ථයට වඩා විසදෘශස්ථාන දක්නා ලැබේ. එහෙත් ප්රථම ප්රස්තූතයෙහි තුබුණු පාඨ අඩොලිපි වශයෙන් දක්වා ඇත. එහෙයින් කවර පාඨයක් නිරවද්ය ද යනු නිරවුල් කර ගැණුම සුධීන්ට අපහසු නො වේ. මුලපාඨය ශුද්ධ කර ගත් ඉක්බිති විස්තර කට යුතු පදයන් උද්ධරණය කරමින් විස්තාරාර්ථ වර්ණනාවන් දැක්වූම්හ. අන්යොන්යගත ව පදයක් පාසා පර්ය්යායවචන දැක්වීමෙන් අර්ථ කීම අපහපත් පුරුද්දක් හෙයින් පද්යයට අනතුරු ව පදගතාර්ථ නො දැක්වූමිහ. එහෙත් සන්වය බලා අර්ථ ඉගෙණීමෙහි පුරුදු වූවන්ගේ පහසුව සඳහා පදගතාර්ථව්යාඛ්යානයක් ග්රන්ථයාගේ අවසන්හි උපග්රන්ථයක් වශයෙන් යෙදූ නමුත් සන්වය නො බලා අර්ථාර්ථ සලකා අර්ථ ඉගෙණීමට පුරුදු වියයුතුයි. එසේ ඉගෙණීමෙන් සරල (සෘජු) නුවූ ක්රියාකාරකපදසම්බන්ධ ඇති පද්යයන්ගේ පවා අර්ථය වහා වටහා ගැනීමට ශක්තිය නොබෝකලෙකින් ලැබේ. අභූතනාථ න වූ (උඩුකුරු නුවූ=ගැඹුරු) පදයන් බෙහෙවින් වර්ණනා කළම්හ. සුගම (සුඛාවබොධ) පදයන් වර්ණනාවෙන් හලෙම්හ. ආඛ්යාත (ක්රියා) කෘදන්ත (පසරුත්) ශබ්දයන්ගේ ධාතුප්රත්යයාදීය විවරණ ඉගෙන ගන්නන්ගේ ප්රයෝජනය තකා දැක්වූම්හ. ග්රන්ථබාහ්ය ලක්ෂණින් බොහෝතැන් සංක්ෂෙප කරන්නට සිදුවිය.
අධ්යාපනකාර්ය්යමණ්ඩලය විසින් මේ ග්රන්ථය පාඨශාලා හැරයාමේ විභාගයට නියම කර තිබෙන බව පෙනේ. එ ම විභාගයට ඉතාමත්වියොග්යවූ ප්රමාණවත් මේ ග්රන්ථය නියම කිරීමෙන් අධ්යාපනකාර්ය්යමණ්ඩලයේ ග්රන්ථවිවෙචක සභාව ප්රාඥයන්ගේ අප්රශංසිතියට පාත්ර විය. ඒ විභාගය සඳහා ඉගෙනගන්නන්ගේ ප්රයෝජනය තකා මෙය ඉක්මනින් ප්රකාශයට පැමිණවීම වුවමනා කළ හෙයින් මෙහි සොදන්නට පිළියෙල කර තුබූ ග්රන්ථිපදවර්ණනාදි කොටස් අත්හරිනලදී.
VIII. වැරදීම ලොක ස්වභාවයෙකි. වැරැද්ද පෙන්වා දුන් විට පිළිගැනීමත්, වැරැද්දෙහි ක්ෂමා කිරීමත් ශිෂ්ටධර්මයෙකි. මෙහි අපගේ නොදැනීමෙන් හෝ ප්රමාදයෙන් වූ වැරදි තිබිය හැක. එබඳු තැන් ප්රාඥයන්ට මිස අඥයන්ට නො පෙනේ. අඥයෝ නිර්දොෂස්ථාන සදොෂභාවයෙන් ගණිති. එබන්දන්ගේ විඩවාල්පාප වැනි හිස් බස් තෘණලවයක් පමණවත් නැකිය යුතු නො වේ. සෙස්සක් තබා සිංහල ආඛ්යාතපදයක ධාතුවක් පමණකුදු නො දනනෙන පුහුලන් විවාද සඳහා දුෂීකාය්ය කාමැති ආයුධයන් ඇති ව සබමැදට පැමිණීමෙ පුදුමයක් නො විය යුතුයි. දොස් කියන්නට සැරසීමට මත්තෙන් දොස් කියන අයුරු ඉගෙණගතයුතුබව ඔවුන්ට මතක් කරමු. මෙහි වැරදි වශයෙන් පැනෙන තැන් දන්වන මෙන් සුධීන්ගෙන් ඉල්ලා සිටුම්හ.
අපගේ අනුමතියක් නැතිව ම මේ කෘතිය පිළිබඳ ව මහජනයාට දැනුම් දුන් ලක්වැසියා පත්රයට අකුටිල ව ප්රශංසා කරමු.
Weliwitiye Sorata. 2472 / 1928 මැයි 25 දින, විද්යොදය පිරිවෙණේ දී ය.
Weliwitiye Sorata.
2472 / 1928 මැයි 25 දින, විද්යොදය පිරිවෙණේ දී ය.