සතිපට්ඨාන විපස්සනා භාවනා - දෙවිනුවර ඤාණාවාස හිමි.pdf
- කතෘ :
- දෙවිනුවර ඤාණාවාස හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1970
- මුද්රිත වර්ෂය :
- 1970
- පිටු ගණන :
- 273
- බාගත කිරීම් ගණන :
- 3,697
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2020-03-27
- ගොනුවේ ප්රමාණය :
- 620 KB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සතිපට්ඨාන විපස්සනා භාවනා යනු ශ්රී ලංකා ස්වේජින් නිකායේ මහානායක ධුරන්ධර ආචාර්ය දෙවිනුවර ඤාණාවාස ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත ප්රමුඛ භාවනා උපදේශ ග්රන්ථයකි. 1966-1967 කාලයේ බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේදී පවත්වන ලද සතිපට්ඨාන ධර්ම සාකච්ඡා පන්තියේ දේශන පදනම් කරගනිමින්, අග්ගමහා පණ්ඩිත බුරුමයේ මහාසී සයාඩෝ හිමියන්ගේ ‘සතිපට්ඨාන සන්නය’ ඇතුළු මූලාශ්ර සහ පාලි අටුවා-ටීකා උපයෝගී කරගෙන මෙම කෘතිය රචනා කර තිබේ.
මහා සතිපට්ඨාන සූත්රයෙහි අන්තර්ගත කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨානයන් විදර්ශනා භාවනා ක්රමවේදයට අනුකූලව ප්රායෝගිකව වඩන ආකාරය සවිස්තරාත්මකව මෙහි විග්රහ කෙරේ. මෙහි අන්තර්ගත ප්රධාන මාතෘකා අතර:
- ඒකායන මාර්ගය සහ සතිපට්ඨානයේ අනුසස්
- කායානුපස්සනාව (ආනාපාන, ඉරියාපථ, සම්පජඤ්ඤ, පටික්කූල, ධාතු, සීවථික පබ්බ)
- වේදනානුපස්සනාව (සුඛ, දුක්ඛ, උපෙක්ඛා, සාමිස හා නිරාමිස වේදනා)
- චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව (නීවරණ, ඛන්ධ, ආයතන, බොජ්ඣංග, සච්ච පබ්බ)
බලන්ගොඩ ආනන්ද මෛත්රෙය මහනාහිමියන්ගේ පෙරවදනකින් සහ රේරුකානේ චන්ද්රවිමල මහනාහිමියන්ගේ අදහස් දැක්වීමකින් ද සමන්විත මෙම ප්රථම මුද්රණය 1970 වසරේදී කොළඹ අනුල මුද්රණාලයේ මුද්රණය කර ප්රකාශයට පත් කරන ලදී.
මේ පොත ගැන
අප විසින් 1966 දෙසැම්බර් මාසයේ සිට 1967 මැයි මාසය දක්වා බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේදී “සතිපට්ඨාන ධර්ම සාකච්ඡා පන්තියක්” පවත්වන ලදී. එහිදී විදසුන් වඩන පින්වතුන්ගේ පහසුව පිණිස විදසුන් වඩන ක්රමය හැකිතාක් දුරට පැහැදිලි වනසේ කරුණු ඉදිරිපත් කරමින් ඒ සාකච්ඡාව පැවැත්වීමට උත්සාහ කළෙමි. මේ කරුණ මැනවින් ඉටු කිරීමට බුරුම රට රංගූන් නුවර “සාසනයෙයිත්තා” භාවනා මධ්යස්ථානයේ අධිපති “මහාසී සයාඩෝ” නමින් හැඳින්වෙන අග්ගමහා පණ්ඩිත භදන්ත සෝභන මහා ස්ථවිරයන් විසින් බුරුම බසින් ලියන ලද “සතිපට්ඨාන සන්නය” ඇතුළු බුරුම පොත් බෙහෙවින් උපකාරී විය. විශේෂයෙන් විදර්ශනා භාවනාව පැහැදිලි කිරීමේදී උන්වහන්සේගේ පොත්වලින් කරුණු ගෙන හැර දැක්වීමි. එසේම මේ භාවනාව සම්බන්ධ වෙනත් පාලි අටුවා හා ටීකාවලින් ද කරුණු ඉදිරිපත් කරමින් මේ සාකච්ඡාව පැවැත්වීමි. ඒ ඒ දිනවල සාකච්ඡා වුණු කොටස් තරුණ බෞද්ධ සමිතිය මගින් මුද්රණය කොට බෙදා දෙන ලදී.
එම ධර්ම පත්රිකා කියවූ සැදැහැවත් පින්වතුන්ගෙන් ඇතැම් කෙනෙක් විදසුන් වඩන අයගේ පහසුව පිණිස එම දහම් කොටස සංග්රහ කොට පොතක් මුද්රණය කරවන මෙන් ඉල්ලා සිටියහ. සතිපට්ඨානය ගැන ලියවුණු පොත් කොතෙකුත් ඇතත් මේ භාවනා ක්රමය එමගින් විස්තර නොවන හෙයින් පොතක් වශයෙන් සකස් වුව හොත් බොහෝ දෙනෙකුගේ යහපත පිණිස හේතුවෙතැයි මට ද සිතුනි. එහෙත් මෙකල මෙබඳු පොතක් මුද්රණය කරවීමට සෑහෙන මුදලක් යට කළ යුතුය. අපට එබඳු හැකියාවක් නැති හෙයින් එය මෙතෙක් කල් අතපසු විය. ඒ අතර සැදැහැවතුන් කීප දෙනෙක් සෑහෙන මුදලක් ද පරිත්යාග කොට මෙම කටයුත්තෙහි ලා අපව උත්සුක කළහ. මේ “සතිපට්ඨාන විපස්සනා භාවනා” නමැති පොත පළවූයේ එහි ප්රතිඵලයක් වශයෙනි.
සතිපට්ඨානය වනාහී සියළු ම බුදුවරයන් විසින් අත් නොහැර නිතර භාවිත කරන ලද්දකි. “සබ්බ බුද්ධානං අවිජහිතං ‘සතිපට්ඨානං’ යන්නෙන් එය පැහැදිලි කරයි. පසේ බුදුවරයන් හා සියලු බුදු සව්වෝ ද දුක් කෙළවර කොට නිවණට පැමිණියෝ මේ භාවනා මාර්ගයෙන් ම ය. නිවන් කැමති සියළු උවසු උවැසියන් විසින් ද වැඩිය යුතු - ගමන් කළ යුතු එකම නිවන් මග මේ භාවනා ක්රම ය යි. මේ භාවනාව වැඩීමෙන් මේ ආත්මයේ දී ම මගඵල හා නිවන් ලැබිය හැකිය.
එසේම භාවනා වැඩීමේ දී නිවන් දැකීමට පෙරාතුව ම භාවනාව තරමක් දියුණු වූ තැන් සිට පිළිවෙළින් කෙලෙස් මළ දුරුවී යෑමෙන් දුක් දොම්නස් ආදිය සංසිඳවිය හැකිය. දිනපතා මුහුණ පෑමට සිදුවන දහසක් දුක් කම්කටොළුවලින් තාවකාලිකව නමුත් අස්වැසිල්ලක් ලද හැක්කේ මෙවැනි භාවනාවක් වැඩීමෙනි. එහෙයින්ම සිල් සමාදන් වන - භාවනා කරන හැම කෙනෙකු ලඟම සතිපට්ඨාන පොතක් දක්නට ලැබීම ඉතා අගනා දර්ශනයකි. ඇතැම් අය මරණාසන්න මොහොතේ දී පවා සතිපට්ඨානය අස්වති. ඈත අතීතයේ සිට ම මේ සිරිත පැවති බවක් ධම්මික උපාසක තුමාගේ කථා ප්රවෘත්තියෙන් ද පැහැදිලි වේ. මෙවැනි නොයෙක් කරුණු ගැන සලකා මේ පොත සකස් කිරීමට අදහස් කළෙමි.
අවිවේකීව හා රෝගාතුරව සිටිමින් ලිවීමට හා මුද්රණය කරවීමට සිදුවූ හෙයින් ප්රමාද දෝෂ ද විය හැකිය. එබඳු තැන් ඇතොත් නැවත මුද්රණය කිරීමේ දී සංශෝධනය කිරීමට සැදැහැවත් ධර්මධර පාඨකයින්ගේ පිටුවහල බලාපොරොත්තු වෙමි.
කෘතඥතා සැලකීම
කොල්ලුපිටියේ ඇඩ්වඩ් පටු මාවතේ අංක 52, නිවසේ ඇස්. ද ඇස්. වික්රමරත්න මහත්මයා සහ එම මහත්මිය ද, හැව්ලොක්ටවුන්හි පොලිස්පාක් පෙදෙසේ අංක 6, නිවසේ ගුණසේන ද සොයිසා මහත්මිය ද, කොල්ලුපිටියේ රයිලන්ඩ් පෙදෙසේ අංක 17, නිවසේ ඇල්ෆ්රඩ් ද සොයිසා මහත්මිය ද යන මේ සැදැහැතියන් විසින් තම තමන්ගේ අභාවප්රාප්ත ඥාතීන්ට පින් පිණිස පොත් දාහක් මුද්රණය කරවීමේ වියදම දරන ලදී. ඒ අයට සහ ඔවුන්ගේ මලගිය නෑයනට ද උතුම් නිවන් සුව අත් වේවා. මේ පොත සම්පාදනයෙන් ලත් කුශලය ද ඔවුන්ට අනුමෝදන් කරවමි.
එසේ ම පොත මුද්රණය කරවීම සම්බන්ධ හැම කටයුත්තකදී ම අතිශයින් උද්යෝගිමත්ව ක්රියා කළ අපගේ ප්රිය ශිෂ්ය ශාස්ත්රවේදී පත්බේරියේ සිරිනිවාස ස්ථවිර නම ද, බ්ලොක් එක සපයා දුන් බී. සුමනදාස පෙරේරා මහත්මයා ද, පොත් මුද්රණ කටයුතු හොඳින් කර දුන් ඩබ්ලිව්. ඩී. ජේ. රත්නායක අප්පුහාමි මහතා ඇතුළු එම කාර්යය මණ්ඩලය ද කෘතඥතා පූර්වකව පින් දෙමින් සිහිපත් කරමි.
ආචාර්ය පූජා
කොළඹ දෙමටගොඩ මහා විසුද්ධාරාම ත්රිපිටක විද්යාලයාධිපතිව වැඩ වෙසෙමින් මහඟු සේවාවක් සිදුකොට අපවත් වී වදාළ ශ්රී ලංකා ස්වේජින් නිකායේ ආදිකතෲභූත ත්රිපිටක පරියාප්ති ධර අරංගල සිරි ධම්මාභිධාන අස්මදාචාර්ය මාහිමියන්ගේ ශ්රී නාමයට මෙම පුස්තකය පූජෝපහාරයක් වේවා !
දෙවිනුවර ඤාණාවාස ස්ථවිර (ශ්රී ලංකා ස්වේජිං නිකායේ මහානායක)
මහා විසුද්ධාරාම ත්රිපිටක විද්යාලය
දෙමටගොඩ,
කොළඹ 10.
2514 වප් මස
1970 ඔක්තෝම්බ 10 දින
පෙර වදන
මිහිඳු මහ රහතුන් වහන්සේ මේ හෙළ දිව බුදු සසුන පිහිටුවූ තැන් සිට, කලක් ම මෙ රට භාවනානු යෝගීන් ගණනින් වැඩි ගිය ද කලකට පසු විදර්ශනා ධුරයට වඩා ග්රන්ථධුරය නැගී ගියේ ය. එහෙත් විදර්ශනාධුරය මුළු මනින් හෙළ දිවින් අතුරුදහන් වූයේ නැත. සීතාවක රාජසිංහ රජු දවසැ වූ ශාසන විනාශයෙන් පසු එය අතුරුදහන් ම වී ය.
වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ ගේ උද්යෝගයෙන් මෙයින් සියවස් දෙකකට පමණ පෙර යලිදු මෙහි සසුන පිහිටුවන ලදින් භාවනානුයෝගීහු මෙහි මද වශයෙන් ඇති වූහ. ඔවුන් අතුරෙහි කෙනෙක් ශමථය වැඩූහ. ඉතා ටික දෙනෙක් විදර්ශනා වැඩූහ.
බොහෝ පෙර සිට ම බුරුම රට ශමථායානික විදර්ශනායානික යෝගී පරම්පරාවෝ අවිච්ඡින්න වැ පැවැත්තා හ. පෙරැ බොහෝ සෙයින් සගයින් පර්වතය වැනි ආරණ්ය ශයනාසනයන්හි පැවැති යථොක්ත යෝගාවචර පරම්පරාවෝ ක්රමයෙන් පැතිර ගොස් අද ග්රාමාන්තරශයනාසනයන්හි ද දියුණු වෙමින් පවතිත්.
අද බුරුමරටැ විදර්ශනා කර්මස්ථානාචාර්ය්යන් අතුරෙහි උපරිම ස්ථානයෙහි වැජඹෙන කෙනෙකි, රන්ගූන් නුවරට නොදුරෙහි ශාසනයෙයික්තා යෝගාශ්රමයෙහි අධිපති අග්ගමහා පණ්ඩිත මහාසීසයාඩෝ නමින් ප්රකට මහ තෙරණුවෝ. අද ධර්මධරයන් අතර ත්රිපිටකධාරී යැ යි කිව යුතු තරමට අටුවා ටීකා සහිත තෙවළා දහම්හි හසළ බුද්ධියක් ඇති දුර්ලභ ගණයේ මහාධම්මධරයෙකු වූ, විදර්ශනා භාවනායෙහි බොහෝ ඉහළට මුහුකුරා ගිය භාවනාමය ප්රඥා ඇති මහතෙරණුවන් විසින් විදර්ශනා භාවනාව පිළිබඳ රසැයුරුණු ග්රන්ථ කිහිපයක් ද වෙති. මෙ කී තෙරුන් වෙතින් කමටහන් උගත් සුජාත ජවන ආදී තෙරවරුන් මේ හෙළදිව වැඩ ඇරැඹි සතිපට්ඨාන භාවනා ක්රමය අද නොයෙක් තන්හි සැදැහැවත් ගිහි පැවිදි බොහෝ දෙනා විසින් පුරුදු කරනු ලැබේ. කලක් ම මේ රට පිරිහෙමින් පැවැති විදර්ශනාධූරය මෙසේ මහාසී මහතෙරුන් ගේ සිසු පිරිස මගින් මෙහි හිස ඔසොවා නැගී සිටින්නට විය.
මේ සතිපට්ඨාන භාවනා ක්රමය පිළිබඳ ව වර්ෂයක් පාසා ලොකු කුඩා නොයෙක් පොත පත පළ වෙයි. මෑතක සිට මේ හෙළදිව ද විදර්ශනා භාවනාව පිළිබඳ පොත් පළවන්නට වී ඇත.
ආචාර්ය දෙවිනුවර ඤාණාවාස මහ තෙරුන් විසින් ලියන ලද මෙම සතිපට්ඨාන විපස්සනා භාවනා පොත මෙයට පළමුවෙන් මෙහි පහළ වූ භාවනෝපදේශ පොත් අතුරෙහි උසස් ම තැනක් ගන්නා එකකැ යි කියතොත් එය අතිමාත්ර වර්ණනාවක් නොවේ යැ යි මගේ හැඟීම යි.
මහාසී මහතෙරුන් විසින් සතිපට්ඨාන භාවනාව පිළිබඳ ව බුරුම බසින් ලියා පළ කරවන ලද විශාල කාණ්ඩ දෙකකින් පරිමිත මහඟු මහා ග්රන්ථයක් ඇත. එය ද ඇසුරු කොට, තවත් පෙළ අටුවා ටීකා ආදියෙන් ද කරුණු ගෙන මෙම පොත ආචාර්ය දෙවිනුවර ඤාණාවාස මහ තෙරුන් විසින් රචිත ව ඇත. බුද්ධ ධර්මයෙහි යථාතත්වය දැනගනු රිසියවුනට ද භාවනානුයෝගීනට ද මේ පොත විපුල අර්ථයක් ගෙන දෙනු ඇත. පොත් නම් බොහෝ පහළ වෙයි. එහෙත් මෙබඳු පොතක් පහළ වනුයේ කලාතුරකිනි. මේ පොත සැපැයූ ආචාර්ය දෙවිනුවර ඤාණාවාස මහ තෙරණුවෝ මෙයින් හෙළදිවට මහදර්ථයක් සිදු කෙරෙති.
දැන් මේ මහඟු ග්රන්ථයේ කර්තෘ ඇරැඹැ ද යමක් කිය යුතු වැ ඇත.
යටකී පරිදි වැලිවිට සරණංකර සඟරජුන් ගේ ශාසන සංග්රහයෙන් සූත්රපිටක විනයපිටක දෙක්හි ද ව්යාකරණ ඡන්දෝලංකාර ශාස්ත්රයන්හි ද දැනීම මෙ රට කෙමෙන් වැඩි ගියේ ය. ඇතැම් ගිහි පැවැදි පඬි කෙනෙක් මහෝත්සාහයෙන් අභිධර්ම පිටකයෙහි දැනීම ද තරමක් දියුණු කැර ගත්තාහු ද එය පැතිරවීමෙහි එතරම් උනන්දු නොවූහ. එදා සූත්ර විනය දෙකට ම ප්රධාන තැන ලැබී තුබුණේ ය. මෙසේ පවත්නා අතර අන්තිම බුරුම රජුන් ගේ සමයෙහි බුරුම රටට ගොස් ත්රිපිටකධාරී මහ තෙරුන් පස් නමක් වෙතින් අටුවා ටීකා සහිත ව ත්රිපිටකය බොහෝ කලක් ඉගෙන මෙරටට පැමිණ බොහෝ ගිහි පැවිද්දනට විශේෂයෙන් අභිධර්මය ඉගැන්වූ ලක්මිණිපහන් පත් සකසු වූ ධර්මරත්න පඬිතුමා නිසා අභිධර්මය හදාරනුයෙහි උනන්දුව මෙහි ඇති විය.
එයින් කලකට පසු බුරුම රට වැඩ එහි දී ම උපසපුව ලබා, මහාධර්මධර තෙරුන් ඇසුරින් සාර්ථකථා ත්රිපිටක ධර්මය ඉගෙන, ඉක්බිති ආචාර්යත්වයෙන් ද පුදනු ලැබ මෙසේ සොළොස් වසක් බුරුම රට වැස, මෙහි වැඩ කොළොඹැ මහා විසුද්ධාරාමය ඇති කොට ශත සංඛ්යාත ගිහි පැවිදි ජනයාට ත්රිපිටක ධර්මය ඉගැන්වීමෙන් මහත් ශාසන සේවාවක් කළ අරංගල සිරිධම්ම මහා නාහිමිපාණන් ගෙන් වූ ශාසනෝද්දීප්තිය ඉතා මහත් ය.
උන් වහන්සේ වෙත දහම් විනය හදාළ බොහෝ පැවිදි තැන් අතුරෙහි දෙවිනුවර ඤාණාවාස මහා නායක මහ තෙරණුවෝ උච්චස්ථානයක් ගත්තෝ යැ. උන් වහන්සේ බුරුම රට ද වැඩ කලක් එහි ද දහම් විනය ඉගෙන ධර්ම පරීක්ෂණ කිහිපයකින් ම සාමර්ථ්ය ලැබ පෙරළා මෙහි වැඩ, ඒ සිරිධම්ම මහ නාහිමිඳුන් ඇරැඹු ත්රිපිටක විද්යාලයයේ ඉගැන්වීමෙහි අදත් නිරත ව ඉඳිති.
මෙසේ වූ මහා ධර්මධර පණ්ඩිතවරයකු විසින් ම විනා සාමාන්ය උගතකු විසින් මෙ බඳු ග්රන්ථයක් නිපදවනු දුෂ්කර ය. මේ පොත බොහෝ දුරට කියවා බැලූ මට මේ ග්රන්ථයෙහි අගය පමණ කළ නොහැකි සේ වැටහිණ.මේ වටිනා ග්රන්ථය භාවනානු යෝගීන් ගේ ත් ධර්මාභිලාෂීන් ගේ ත් මනදොළ පිරීමෙහි හැම ලෙසින් ම සමර්ථ වේ වා!
බළන්ගොඩ ආනන්ද මෛත්රෙය ස්ථවිර
(ශ්රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක)
අදහස් දැක්වීම
සතිපට්ඨාන විපස්සනා භාවනා නමැති මේ පොත බෞද්ධයන් අතීතයේ පටන් බෙහෙවින් භාවිත කරන ගරු කරන මහා සතිපට්ඨාන සූත්රයේ අර්ථ විවරණයෙකි. මහා සතිපට්ඨාන සූත්රය වනාහි මෙහි අර්ථය එසේ ද මෙසේ ද මෙයින් දැක්වෙන්නේ මෙය ද අනිකක් ද කියා උගතුන්ට පවා සැක පහළ කරවන නිශ්චයකට පැමිණීමට දුෂ්කර ස්ථාන බොහෝ ඇති ඉතා ගැඹුරු සූත්ර ධර්මයකි. භාෂා ශාස්ත්ර උගෙන ඇති පමණින් සතිපට්ඨාන සූත්රය තේරුම් ගත නො හැකි ය. මේ සූත්රයට පිරිසිදු පැහැදිලි අර්ථ විවරණයක් කළ හැකි වීමට භාෂා ශාස්ත්ර දැනුමක් තිබිය යුතු ය. අභිධර්මය පිළිබඳ උසස් දැනුමක් ද තිබිය යුතු ය. චිරකාලයක් පවත්වන ලද යෝගාභ්යාසයක් තිබිය යුතු ය. බොහෝ යෝගීන් ඇසුරු කර තිබිය යුතුය. ඔවුන් හා නොයෙක් වර සාකච්ඡා පවත්වා තිබිය යුතු ය. ධර්ම ගරුකයකු විය යුතු ය.
ශ්රී ලංකා ශ්වේජින් නිකායේ මහා නායක ධුරන්ධර ආචාර්ය්ය දෙවිනුවර ඤාණාවාස ස්ථවිරයන් වහන්සේ කියන ලද සකලාංගයන්ගෙන්ම පරිපූර්ණ මහා ස්ථවිර නමෙකි. උන් වහන්සේ පාලි සංස්කෘත බුරුම ආදී භාෂා පිළිබඳ උසස් දැනුමක් ඇතියෙකි. අභිධර්මය පිළිබඳ විශේෂ දැනුමක් ඇතියෙකි. ත්රිපිටක ධර්මය ගිහි පැවිදි බොහෝ සිසුන්ට දීර්ඝ කාලයක් උගන්වා ඇති ධර්මාචාර්ය්යවරයෙකි. දීර්ඝ කාලයක් කරන ලද යෝගාභ්යාසය ඇතියෙකි. කර්මස්ථානාචාර්ය්යවරයෙකි. බුරුමයේ හා තවත් රටවල අති ප්රසිද්ධ අග්ග මහා පණ්ඩිත මහාසී සයාඩෝ නමැති කර්මස්ථානාචාර්ය්ය මහා ස්ථවිරයන් වහන්සේ ආදි බොහෝ යෝගාවචරයන් ඇසුරු කර ඇතියෙකි. ඔවුන් හා සාකච්ඡා පවත්වා ඇතියෙකි. විදර්ශනා භාවනාව පිළිබඳ වූ පාලි සිංහල පොත් පමණක් නොව බොහෝ බුරුම පොත් ද භාවිත කර ඇත්තෙකි. භාවනා ක්රම පිළිබඳ පරීක්ෂණ පවත්වා ඇතියෙකි. භාවනා ගැන අත් දැකීම් ඇතියෙකි. කරුණු මෙසේ හෙයින් දෙවිනුවර ඥාණාවාස ස්ථවිරයන් වහන්සේ සතිපට්ඨාන සූත්රයට අර්ථ විවරණයක් කිරීමට ඉතා සුදුසු තෙර නමෙකි. උන් වහන්සේ අතින් ලියවුණු මේ අගනා ධර්ම ග්රන්ථය නිවන් මග සොයන ගිහි පැවිදි පින්වතුන්ට ඉමහත් ආලෝකයක් බව කිය යුතු ය.
දහම් පාසල් ආදියෙහි සතිපට්ඨාන සූත්රය උගන්වන ගුරුවරුන් විසින් ද පැහැදිලි පොතක් නැතිකමින් සතිපට්ඨාන සූත්රය උගැන්වීම දුෂ්කර වී ඇති බව නොයෙක් විට කියනු ඇසේ. සුදුසු පොතක් නැති බැවින් ශිෂ්යයනට ද මේ සීවටන් සූතුර අමිහිරි දහමක් වී තිබේ. ඥාණාවාස නා හිමියන්ගේ මේ ග්රන්ථයෙන් ඒ ගුරු ශිෂ්ය සැමදෙනාට ම ද මහත් පිහිටක් වනු ඇත. වයෝ වෘද්ධව සිටින අප නා හිමියන්ට තවත් මෙබඳු ග්රන්ථයන් සම්පාදනය කළ හැකිවීමට කාය ශක්තිය ලැබේවා! යි පතමු.
මීට- ශාසනෝදයකාමී, රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයෝය.
රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයෝය.
2514 /1970
ජූලි මස 23 වෙනි දින,
පොකුණුවිට ශ්රී විනයාලංකාරාරාමයේදී ය.