ජාතක අටුවාව 1.pdf

කතෘ :
බුද්ධඝෝෂ හිමි
ප්‍රකාශිත වර්ෂය :
2007
මුද්‍රිත වර්ෂය :
2007
පිටු ගණන :
623
බාගත කිරීම් ගණන :
3,417
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-03-23
ගොනුවේ ප්‍රමාණය :
93 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 312

ජාතකට්ඨ කථා (පළමුවෙනි කොටස - ඒකක නිපාතය) යනු ත්‍රිපිටකයේ ඛුද්දක නිකායට අයත් ජාතක පාලිය සඳහා අටුවාචාරී බුද්ධඝෝෂ මහා ස්ථවිරයන් වහන්සේ විසින් රචිත ජාතකට්ඨකථාවේ සිංහල පරිවර්තනයයි.

මෙම ප්‍රථම භාගය පානදුර වළපොල ශ්‍රී සද්ධර්මෝදය පරිවේනාධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති යාලේගම චන්දකිත්ති හිමියන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දයා ගුණසේකර මහතා විසින් අධීක්ෂණය කර තිබේ. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් 2007 වසරේදී මෙම කෘතිය මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර ඇත.

මෙහි අඩංගු ප්‍රස්තාවනාව මගින් පාලි භාෂාවේ සම්භවය, හෙළ අටුවා ඉතිහාසය (මහා අට්ඨකථා, කුරුන්දි, පච්චරිය ආදිය), බුද්ධඝෝෂ හිමියන්ගේ කාර්යභාරය සහ අටුවා සාහිත්‍යයේ සංවර්ධනය පිළිබඳව විස්තරාත්මක අධ්‍යයනයක් ඉදිරිපත් කරයි.

ප්‍රස්තාවනා

පාලි භාෂාව මධ්‍යතන ඉන්දු ආර්ය්‍ය පූර්ව අවධියට අයත් ප්‍රාකෘත විශේෂයක් බවත් එම ප්‍රාකෘතය වූ කලී එකල උත්තර භාරතයේ ඒ ඒ ප්‍රදේශවල පැවැති පොදු ජනයාගේ කථා ව්‍යවහාරය බවත් පිළිගත් විද්වත් මතයයි. ප්‍රාකෘත ව්‍යවහාරය පොදු ජනතාවගේ හා ශ්‍රමණ සම්ප්‍රදාය ගරු කළ චින්තකයන්ගේ ද භාෂා මාධ්‍යය විය. එය උත්තර භාරතයේ පැතිරී ගිය ඉන්දු යුරෝපීය භාෂා ව්‍යවහාරයෙන් ජනිත වූවක් සේ සැලකිය යුතුය. මෙම ප්‍රාකෘත ව්‍යවහාරයේ ලිඛිත සාධක අනුව මුල අවස්ථාවක් සේ පෙනෙන පාලි භාෂාව උත්තර භාරතයේ කිසියම් විශේෂ ප්‍රදේශයක කථා ව්‍යවහාරයේ මාධ්‍යයක් විය.

1. පාලි භාෂාව ක්‍රි.පූ. 6 වැනි 7 වැනි සියවස්වල කොසොල් රට පැවැති කථා ව්‍යවහාරය පදනම්කොට ඇති වූවෙකැයි ද එය නොයෙක් ජනපදවල ජනයාගේ පොදු භාෂා මාධ්‍යය වියැයි ද මහාචාර්ය රීස් ඩේවිඩ්ස්තුමා පවසයි.

2. පාලිය උජ්ජයිනී ප්‍රදේශයේ භාෂාවයැයි වෙස්ටර් ගාඩ් ඊ කුක් සහ ඔටෝ ප්‍රොන්කේ වැනි විචාරකයෝ පවසති.

3. පාලිය මගධයේ කථා ව්‍යවහාරයයි, යන බුද්ධඝෝෂ හිමියන්ගේ මතය මහාචාර්ය ගෙයිගර්තුමා අනුමත කරයි.

4. බුදුරජාණන් වහන්සේ මුලදී කොසොල් රට බසින් දහම් දෙසන්නට ඇතැයි සලකන වින්ටර්නීස්, පාලි ත්‍රිපිටකයේ භාෂාව පැරණි මගධ ව්‍යවහාරය පදනම්කොට වෙනත් ප්‍රදේශ ව්‍යවහාරයන්ගේ සම්මිශ්‍රණය ද ඇතිව ගොඩනැගුණු බෞද්ධයන්ගේ සාහිත්‍යයික භාෂාවයැයි පවසයි.

5. බුදුරජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරයේ යෙදුනු පන්සාලිස් වසින් වැඩි කොටසක් කොසොල්, මගධ ප්‍රදේශවල සැරිසැරූ බව බෞද්ධ සාහිත්‍යයේ පෙනෙන බැවින් පාලි භාෂාව කොසොල්, මගධ දෙරට කථා ව්‍යවහාරය පදනම්කොට ගෙන බිහි වූවක් සේ සැලකීමට පුළුවන් බව ඊ කූන් නම් විචාරකයා පෙන්වාදෙයි.

මෙම විග්‍රහයයන් ශාස්ත්‍රීය වශයෙන් වැදගත් වන අතර විශේෂයෙන් සැලකිය යුත්තේ බුදුරජාණන් වහන්සේගේ මතයයි. බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ ආකල්ප විග්‍රහ වන්නේ මජ්ඣිම නිකායේ අරණ විභංග සූත්‍රයෙහිය. මෙම සූත්‍රයෙන් පෙන්වන්නේ උන්වහන්සේ භාෂා මාධ්‍යයෙහි අනවශ්‍යය ලෙස දැඩි ව එල්බ ගත් ශාස්තෘවරයකු නොවන බවයි. එක ම දෙය විවිධ ජනපදවල නාම කීපයකින් හඳුන්වනු ලබන කල ඒ එක් නාමයක් දැඩි ව අල්වා නොගෙන ඒ ඒ ලෙසට ව්‍යවහාර කළ යුතු බවත් ලෝක ව්‍යවහාරය නො ඉක්මවිය යුතු බවත් අරණ විභංග සූත්‍රයෙහි උගන්වෙයි.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ත්‍රිපිටකය සංගීත වූ භාෂාව වන පාලි භාෂාව ථේරවාදීන්ගේ ආගමික භාෂාව විය. එය සමස්ත ත්‍රිපිටකය පුරා රැඳී ගියේය. ථේරවාදීන්ගෙන් බිඳී ගිය මහායානිකයෝ බුද්ධ ධර්මය සංස්කෘතයට පෙරලා ගත්හ. ඔවුන්ගේ සංස්කෘත සාහිත්‍යය දියුණුවීමත් මුස්ලිම් ආක්‍රමණ වැනි ආක්‍රමණත් මහායාන දර්ශනය විශ්ව විද්‍යාල මගින් රට මුළුල්ලෙහි බෙදා හැරීමත් මහායානිකයන් ආමිෂ පූජා, යන්ත්‍ර, මන්ත්‍ර ආදියෙන් පෘථග්ජන ජනතා ප්‍රසාදය දිනාගැනීමත් භික්ෂු විනය නීති ලිහිල් ලෙස මහායානිකයන් විසින් සකස් කිරීමත් ආදිය නිසා බුද්ධ ධර්මයත් පාලි භාෂාවත් බුද්ධ ජන්ම භූමියෙන් අතුරුදහන් විය. එය ශ්‍රී ලංකාදීපයේ තහවුරු විය.

හෙළ අටුවා

සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය පන්තිස් වැන්නෙහි අශෝක අධිරාජ්‍යාගේ දායකත්වයෙන් පැලලුප් නුවර දී තුන් වැනි සංගායනාව පැවැත්වීය. මොග්ගලීපුත්තතිස්ස මහා රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්

තෘතීය සංගායනාවසානයේ දඹදිව ථේරවාදාචාර්ය පරම්පරාවේ අවසන් පුරුෂයා වූ මොග්ගලීපුත්තතිස්ස මහා රහතන් වහන්සේගේ ශිෂ්‍ය මිහිඳු මහා රහතන් වහන්සේ විසින් තෘතීය සංගායනාවේ දී තෝරා බේරා ගෙන සංග්‍රහ කළ ථේරවාදී ත්‍රිපිටකය ශ්‍රී ලංකාවට ගෙන එන ලදී. මිහිඳු හිමියන් විසින් ලක්දිවට ගෙන එන ලද පාලි ත්‍රිපිටකය මහා අරිට්ඨ රහතන් වහන්සේ ප්‍රමුඛකොට ඇති සිංහල භික්ෂූන් වහන්සේලා උගත්හ. පාලියෙන් තිබූ ත්‍රිපිටකයේ ගැටලු තැන් සිංහල ජනතාවට පැහැදිලි කර දීම අවශ්‍ය විය. බුද්ධ කාලයේ සිට වාචන මාර්ගයෙන්, ආචාර්ය පරම්පරාවලින් පැවැත ආ අර්ථ විවරණ ක්‍රම මිහිඳු හිමියන්ගෙන් සිංහල භික්ෂූන් වහන්සේලා උගෙන පාලි ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අරුත් විවරණ කළහ. හෙළටුවා නමින් මේවා හඳුන්වයි.

අටුවා වනාහි ත්‍රිපිටකයට අයත් පොත්වලට ලියා ඇති ව්‍යාඛ්‍යාන සංග්‍රහ සමූහයයි. අටුවාවල පරමාර්ථය පෙළෙහි ඇති දුරවබෝධ වචන සහ ධර්මයේ ගැඹුරු තැන් විස්තර කිරීමත් අවශ්‍ය තැන්වල දී විස්තරාර්ථ සැපයීමත්ය. මෙම පරමාර්ථයෙන් ලියන ලද හෙළටුවා නම්,

මහා අට්ඨ කථා කුරුන්දි අට්ඨ කථා පච්චරිය අට්ඨ කථා නම් වේ.

හෙළ අටුවා අතුරින් ප්‍රමුඛ ස්ථානය දැරුවේ මහා අට්ඨ කථාව හෙවත් මුල අට්ඨ කථාවයි. බුද්ධඝෝෂ හිමියන්ගේ අට්ඨ කථා සියල්ලට ම පාහේ ශරීරය කැර ගෙන ඇත්තේ මෙම අටුවාවයි. තුන් පිටකයට ම අයත් අට්ඨ කථාවන්හි මහා අට්ඨ කථාව ගැන සඳහන් වන බැවින් එය තුන් පිටකය ම අළලා සකස් වුණු හෙළටුවාවක් වශයෙන් සැලකිය හැකිය. වස්තු විෂයය අතින් සෙසු හෙළටුවාවන්ට වඩා පරිපූර්ණ වී තිබුණු මහා අට්ඨ කථාවේ, ලක්දිව සිදු වූ දේ පිළිබඳ ව බොහෝ වෘතාන්ත ද සඳහන් ව තිබුණු බව සිතා ගත හැකිය.

මහා පච්චරිය අට්ඨ කථාවට එම නම ලැබුණේ පච්චරියක් හෙවත් පහුරක් උඩ දී ලියන ලද බැවිනි. කුරුන්දිවේලු විහාරයේ දී ලියන ලද හෙයින් කුරුන්දි අටුවා නම් විය.

මෙම ප්‍රධාන හෙළටුවාවන්ට අමතර ව තවත් අටුවා කීපයක් දක්නට ඇත. අන්ධ අට්ඨ කථාව එයින් එකකි. දකුණු ඉන්දියාවේ කාඤ්චිපුර (කොන්ජීවරම්) යෙහි පැවැති අටුවාවයි. එය ආන්ධ්‍රා භාෂාවෙන් ලියා ඇතැයි සැලකේ.

බුද්ධඝෝෂ හිමි

දඹදිව බෝමැඩට නුදුරු සෝෂ නම් ග්‍රාමයේ බමුණු කුලයක උපත ලද බුද්ධඝෝෂ, වාදයෙහි දක්ෂ වූ රේවත නම් මහා තෙරපාණන් වෙත පැවිදි වූ බව ප්‍රචලිත මතයයි. බුද්ධඝෝෂ මහා බෝධි මණ්ඩපයට දකුණු දිග බමුණුගම උපන් බව සද්ධම්ම සංගහ නම් පොතෙහි සඳහන් වේ. බෝමැඩට නුදුරෙහි සෝෂ නම් වූ ගමේ උපන් බව බුද්ධඝෝෂුප්පත්ති නම් කථාවේ ද සඳහන් වේ. මෙවැනි විවිධ කරුණු විමර්ශනයෙන් පසුව බුද්ධඝෝෂ ජන්ම භූමිය මොරණ්ඩඛෙටක නම් ගම බව පිළිගෙන ඇත. ආන්ධ්‍ර දේශයේ ගුන්ටූර් දිස්ත්‍රික්කයේ පාලනාඩ් තලුක් පෙදෙසේ කෝට්නෙමලි, පුරිගුන්ඩ්ලපල්ලී යන ළඟ පිහිටි ගම් දෙක මොරණ්ඩඛෙටකයැයි පැවසේ. උන් වහන්සේ උපන් පෙදෙස මොරණ්ඩඛෙටකයැයි විසුද්ධි මග්ගයෙන් පෙනේ. මජ්ඣිම නිකායට්ඨ කථාවේ කර්තෘ සංදර්ශක ගාථාවක මයුර සුත්ත පට්ඨාන හෝ මයුර රූප පට්ඨන සඳහන් වන බැවින් එතුමා එහි විසූ බව ද සිතිය හැකිය.

ව්‍යාකරණ විෂයයෙහි ද දර්ශන ශාස්ත්‍රයෙහි ද වෛදික ග්‍රන්ථ විෂයයෙහි ද ඉතිහාස පුරා විද්‍යා විෂයයෙහි ද කාය ව්‍යවච්ඡේද විද්‍යාවන්හි ද ලක්ෂණ ශාස්ත්‍රයෙහි ද පැතිරී ගිය බුද්ධි ප්‍රභාවයක් එතුමා කෙරෙහි පැවැති බව පැහැදිලිය. බුද්ධඝෝෂ හිමියන් ලංකාවට පැමිණීමට පෙර ඤාණෝදය නම් ධර්ම ප්‍රකරණයත් අත්ථසාලිනී අටුවාවත් දඹදිව දී කළ බව සඳහන්ය. බුද්ධඝෝෂ හිමියන් කලින් සර්වාස්ති වාදියකු ව සිට පසුව ථේරවාදී වූ බව ඇතැම් විචාරකයන්ගේ පිළිගැනීමයි.

බුද්ධඝෝෂ හිමියන් ලක්දිවට පැමිණියේ අනුරාධපුරය රාජධානිය කැර ගත් මහානාම රජු දවසය. බුද්ධ වර්ෂ 953 - 975 අතර කාලයේය. උන් වහන්සේ ලංකාවට වඩින විට අට්ඨ කථා සංහිතා කීපයක් ම මේ දිවයිනේ පැවැති බවත් ඒවා හෙළ බසින් ම උගත් බවත් මෙයින් සමහරක් ග්‍රන්ථ ස්වරූපයෙන් ද සමහරක් පූර්වාචාරීන්ගේ මතවාද ඇතුළත් වූ සාහිත්‍යයක් වශයෙන් ද පැවැති බවත් ආචාර්ය අදිකාරම් මහතා පවසයි.

මිහිඳු හිමියන් දවස ම ආරම්භ වූ සිංහල අටුවා කථා වසර 700 ක පමණ කාලයක් සිංහල ත්‍රිපිටකය හෙළි පෙහෙළි කැරමින් පැවැතිණි. ත්‍රිපිටක පාලියට සිංහල අටුවා ලියා ඇති බව දඹදිව විසූ රේවත හිමියන් විසින් දැන ගැනීමෙන්, සිංහල අටුවා පාලියට පරිවර්තනය කිරීම, බුදුදහම චිරස්ථායී වීමට හේතුවක්යැ යි උන්වහන්සේ සලකා හෙළටුවා පාලියට පරිවර්තනය කිරීම සඳහා බුද්ධඝෝෂ හිමියන් ලක්දිවට එවන්න ඇතැ යි සැලකිය හැකිය.

බුද්ධඝෝෂ හිමියන් මෙහි පැමිණ බුදුරජුන් වදාළ දෙලක්ෂ පන්සැත්තෑ දහස් දෙසිය පනසක ග්‍රන්ථ සංඛ්‍යාවක් ඇති ආගමයෙහි තුන් ලක්ෂ එක්සැට දහස් සත්සිය පනසක ග්‍රන්ථ සංඛ්‍යාවක් පමණ අටුවා කථා ලියා නැඟූ සේකැ යි, දත යුතු යැ යි පූජාවලියේ සඳහන් ව තිබේ.

සංස්කාරවරයකු හා අනුවාදකයකු වශයෙන් බුද්ධඝෝෂ හිමියන්ගේ කාර්යය වූයේ තමන් ඉදිරියෙහි වූ හෙළටුවාවන්හි අන්තර්ගත වූ විවරණ වෙනස් කිරීම නොව, ඒවා සකස් කිරීම සහ අවශ්‍යය ස්ථාන පිඬු කරමින්, අවශ්‍යය ස්ථානවලට විස්තරාර්ථ දක්වමින්, විධිමත් ව, සුගම ව පාලි භාෂාවට නැඟීමයි. බුද්ධඝෝෂ හිමියන්ට අට්ඨ කථා සකස් කරන්නට මහා විහාරයෙන් ඉඩ ලැබී ඇත්තේ මහා විහාර වාචනා මාර්ගයට විරුද්ධ මත ඒවායේ ඇතුළත් නො විය යුතුය යන කොන්දේසිය ද සහිත වය.

මහා අට්ඨ කථාව ශරීරයකොට ගෙන මහාපච්චරිය, කුරුන්දි ආදී විශ්‍රැත අර්ථ කථාවන්හි යම් විනිශ්චයක් වේ ද, එහි යුක්තාර්ථ සහ ඇතුළත් වන්නා වූ ස්ථවිර වාදය ද අත් නො හරිමින් සංවර්ධනය හොඳින් ආරම්භ කරන්නෙමු.

තව ද, එම අර්ථ කථාවලින් භාෂාන්තරය පමණක් අත්හැර විස්තර තැන් පිඬුකොට සියලු ම විනිශ්චයන් ඇතුළත්කොට කිසි ම තන්හි යුක්තත් නො ඉක්මවා සංවර්ධනය කරන්නෙමුයි, බුදුගොස් හිමියෝ පවසති.

බුද්ධඝෝෂ හිමියන් විසින් කරන ලද අට්ඨ කථා සියල්ලම මිහිඳු මාහිමියන් විසින් ලක්දිවට ගෙන එන ලදුව මහා විහාරිකයන් විසින් ආරක්ෂා කරනු ලැබූ හෙළටුවාවන්හි පාලි අනුවාද බවත් මහා අට්ඨ කථාවේ සාරය ගෙන පාලි අට්ඨ කථා රචිත බවත් මෙම අට්ඨ කථාවල සඳහන් වේ.

මේ අනුව බුදුගොස් හිමියන්ගේ කාර්යය වූයේ බුදු සමය පිළිබඳ ව අමුතුවෙන් පොත් ලිවීම නොව, එතෙක් හෙළටුවාවන්හි ආ කරුණු විධිමත් ව හා සුගම ව පාලි භාෂාවට නැඟීම වෙයි. පාලි අටුවා පොත්වලින් අඩකටත් වඩා සපයා ඇත්තේ බුදුගොස් හිමියන් විසිනි. බෞද්ධ අට්ඨකථාචාරීන් අතුරෙන් එතුමා ශ්‍රේෂ්ඨතමයායි. එතුමාගේ ජීවන චරිතය වටා විවිධ ජනප්‍රවාද ගෙතී ඇත්තේ ඒ නිසා මය. එතුමා මෙලොව පහළ වූයේ බුදුරජුන්ගේ පර්යාප්ති ශාසනය දීර්ඝ කාලයක් නිර්මල ව පවත්වාගෙන යාම සඳහා පාලි අට්ඨ කථා ලිවීමටය යන ජනප්‍රවාදයක් ද ඇත.

අටුවා විස්තරය

විනය පිටකය පෙළ / අටුවාව / කර්තෘ / කාලය උභය විභංග 1. පාරාජිකා පාළි 1. ආණා දේසනා සමන්තපාසාදිකා බුද්ධඝෝෂ හිමි 5 වැනි ශ.ව. 2. පාචිත්තිය පාළි 2. යථාපරාධ සාසන විනය අට්ඨ කථා ඛන්ධක 3. චුල්ලවග්ග පාළි 3. සංවරාසංවර කථා 4. මහාවග්ග පාළි පරිවාර 5. පරිවාර පාළි කඞ්ඛා විතරණී බුද්ධඝෝෂ හිමි 5 වැනි ශ.ව. භික්ඛු පාතිමොක්ඛ මාතිකට්ඨ කථා භික්ඛුණී පාතිමොක්ඛ

අභිධර්ම පිටකය 1. ධම්මසංගණීප්පකරණ / 1. පරමත්ථ දෙසනා අට්ඨසාලිනී / බුද්ධඝෝෂ හිමි / 5 වැනි ශ.ව. 2. විභංගප්පකරණ / 2. යථාධම්ම සාසන සම්මෝහ විනෝදනී / බුද්ධඝෝෂ හිමි / 5 වැනි ශ.ව. 3. කථාවත්ථුප්පකරණ / පරමත්ථදීපනී පඤ්චප්පකරණට්ඨකථා / බුද්ධඝෝෂ හිමි / 5 වැනි ශ.ව. 4. පුග්ගලපඤ්ඤත්තිප්පකරණ 5. ධාතුකථාප්පකරණ 6. යමකප්පකරණ 7. පට්ඨානප්පකරණ

සූත්‍ර පිටකය 1. දීඝ නිකාය / 1. වෝහාර දෙසනා සුමංගල විලාසිනී / බුද්ධඝෝෂ හිමි / 5 වැනි ශ.ව. 2. මජ්ඣිම නිකාය / 2. යථානුලොමසාසන පපඤ්ච සූදනී / බුද්ධඝෝෂ හිමි / 5 වැනි ශ.ව. 3. සංයුක්ත නිකාය / 3. දිඨී විනිවේඨන කථා සාරත්ථප්පකාසිනී / බුද්ධඝෝෂ හිමි / 5 වැනි ශ.ව. 4. අංගුත්තර නිකාය / මනෝරථපූරණී / බුද්ධඝෝෂ හිමි / 5 වැනි ශ.ව. 5. ඛුද්දක පාඨ / පරමත්ථ ජෝතිකා / බුද්ධඝෝෂ හිමි / 5 වැනි ශ.ව. 1. ඛුද්දකපාඨ / පරමත්ථ ජෝතිකා / බුද්ධඝෝෂ හිමි / 5 වැනි ශ.ව. 2. ධම්ම පද / ධම්මපදට්ඨ කථා / බුද්ධඝෝෂ හිමි / 5 වැනි ශ.ව. 3. උදාන / පරමත්ථ දීපනී / ධම්මපාල හිමි / 5 වැනි ශ.ව. 4. ඉතිවුත්තක / පරමත්ථ දීපනී / ධම්මපාල හිමි / 5 වැනි ශ.ව. 5. සුත්තනිපාත / පරමත්ථ ජෝතිකා / බුද්ධඝෝෂ හිමි / 5 වැනි ශ.ව. 6. විමානවත්ථු / පරමත්ථ දීපනී / ධම්මපාල හිමි / 5 වැනි ශ.ව. 7. පේතවත්ථු / පරමත්ථ දීපනී / ධම්මපාල හිමි / 5 වැනි ශ.ව. 8. ථේර ගාථා / පරමත්ථ දීපනී / ධම්මපාල හිමි / 5 වැනි ශ.ව. 9. ථේරී ගාථා / පරමත්ථ දීපනී / ධම්මපාල හිමි / 5 වැනි ශ.ව. 10. ජාතක / ජාතකට්ඨ කථා / බුද්ධඝෝෂ හිමි / 5 වැනි ශ.ව. 11. නිද්දෙස (චූල්ල - මහා) / සද්ධම්ම පජෝතිකා / උපසේන හිමි / 6 වැනි ශ.ව. 12. අපදාන (ථේර - ථේරී) / විසුද්ධජනවිලාසිනී / මහානාම හිමි / 7 වැනි ශ.ව. 13. පටිසම්භිදා මග්ග / සද්ධම්මප්පකාසිනී / ධම්මපාල හිමි / 5 වැනි ශ.ව. 14. බුද්ධවංස / මධුරත්ථප්පකාසිනී / බුද්ධදත්ත හිමි / 5 වැනි ශ.ව. 15. චරියාපිටක / පරමත්ථ දීපනී / ධම්මපාල හිමි / 5 වැනි ශ.ව. විසුද්ධි මග්ග / බුද්ධඝෝෂ හිමි / 5 වැනි ශ.ව.

නෙත්තිප්පකරණ / නෙත්ති අට්ඨ කථා / ධර්මපාල හිමි / 5 වැනි ශ.ව. චතුභාණවාරපාළි / චතුභාණවාරට්ඨ කථා ආනන්ද වනරතන / 8 වැනි ශ.ව.

බුද්ධඝෝෂ හිමියන් විසින් පාලියට නො නගන ලද අට්ඨ කථා පාලියට නගන ලද්දේ බුද්ධදත්ත, ධම්මපාල, උපසේන සහ මහානාම තෙරණුන් විසිනි.

බුද්ධදත්ත හිමි

බුද්ධදත්ත හිමියන්ගේ සමකාලීනයෙකි. මධුරත්ථ විලාසිනී නම් බුද්ධවංස අටුවාව උන් වහන්සේ ලියා ඇත.

උපසේන හිමි

සද්ධම්මජෝතිකා නම් නිද්දෙස අට්ඨ කථාව මහා පරිවේනවාසී උපසේන හිමියන් විසින් කරන ලදී.

මහානාම හිමි

පරිසම්භිඩාමග්ග අටඨ කථාව වන සද්ධම්මප්පකාසනිය මුන්වහන්සේ ලියා ඇත.

ධම්මපාල හිමි

පරමත්ථදීපනී අට්ඨ කථා - උදාන - ඉතිවුත්තක - විමානවත්ථු - පෙතවත්ථු - ථේර ථේරී ගාථා අට්ඨ කථා මුන්වහන්සේ ලියා ඇත.

මෙම අට්ඨ කථාවන් උගෙන ඒවා ආරක්ෂා කළ අය අට්ඨකථිකා නමින් හඳුන්වා ඇත. අට්ඨකථාවරියා යනු අට්ඨ කථා සම්පාදනය කළ ආචාර්යවරයන්ය. ආචරිය වාද, ආචරිය මත, ආචරියා වාද යන නම්වලින් කියැවෙන්නේ අට්ඨ කථාවන්මැ යි.

අට්ඨ කථාවන් පිළිබඳව විවිධ විවේචන හා මතවාද උගතුන් අතර පවතී. මෑත කාලීන වියතුන් අතුරින් අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ එවැනි විවේචකයෙකි. උන්වහන්සේගේ අටුවා පරීක්ෂණ නම් පොතෙන් එවැනි විවේචන ඉදිරිපත් කැර ඇත. අටුවා කථා බුදුරජාණන් වහන්සේගේ දේශනා නො වන බව කවුරුත් පිළිගනිති. අටුවාචාරීන් වහන්සේලා අතර ද විවිධ මතභේද තිබූ බව දක්නට ඇත. වසර හත්අට සියයක් ගෙන ආ, ලිඛිත ව නො තිබූ අර්ථ කථා සාහිත්‍යයට එවැනි දේ ඇතුළත් වන්නට පහසුකම් තිබේ. මිහිඳු හිමියන් විසින් ගෙන එන ලද පාලි විවරණ, මහා විහාරික භික්ෂූන් විසින් සිංහලට පරිවර්තනයකොට එම හෙළටුවා පස් වැනි සියවසේ බුද්ධඝෝෂ හිමියන් විසින් නැවත පාලි භාෂාවට පරිවර්තනය කළ බව පිළිගත් සම්ප්‍රදායයි. මේ තැන්වල දී එම මතිමාන්තර ඇතුළත් වන්නට ඇති බව සිතිය යුතුය.

මහා විහාරීය සම්ප්‍රදාය එකකි. අභයගිරි, ජේතවන පරම්පරාවන්හි ද එවැනි සම්ප්‍රදායයන් පැවතුන බවට සැකයක් නැත. ස්වකීය පාරම්පරික මතවලට පටහැනි සූත්‍ර ධර්මයන් පෙළෙහි ඇති බව දැන දැනත් සිය මතය තහවුරු කරනු සඳහා ඒවා මදකිනිදු වෙනස් නො කැර, ඉවත් නො කැර, සංගායනාවල දී පැවැති තත්ත්වයෙන් ම ත්‍රිපිටකය රැකගෙන ඒම ගැන මහා විහාරීය පරම්පරාවට බෞද්ධයාගේ ප්‍රණාම පූර්වක ගෞරවය හිමි විය යුතුය.

මේ අන්දමින් පැවැත ගෙන ආ අට්ඨ කථා අපේ හාමුදුරුවරු තවත් වර්ෂ සිය ගණනක් තම ආරාමවල, පොත්ගුල්වල තබා පුස්තකාලවල තැන්පත්කොට උදේ සවස සුවඳ දුම් අල්ලා ධර්ම ගෞරවයෙන් ධර්ම රත්නය රැක ගෙන ආහ. අනගාරික ධර්මපාලතුමාගේ ජාතික ආගමික වැඩපිළිවෙල ආරම්භ වීමෙන් පසු ව එතුමාගේ ම පවුලේ ඤායන් විසින් අට්ඨ කථා මුද්‍රණය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කැර ඇත. ඒ ධර්මපාලතුමා විසින් ඇති කරන ලද ආගමික ප්‍රබෝධයේ එක් ආභාෂයකි. 1916 ජූලි 05 වැනි දින ත්‍රිපිටක මුද්‍රණ සභා නම් ආයතනයක් සයිමන් ඇලෙක්සැන්ඩර් හේවාචිතාරණ මහතාගේ මැදහත් වීමෙන් කොල්ලුපිටියේ ජ්ලාමිස් හවුස්හි පිහිටුවා ඇත. 1929 ජූනි 29 වැනි දින මෙම ත්‍රිපිටක සභාවේ රැස්වීමක් කොළඹ ඩික්මන් පාරේ තක්සලාවේ දී පවත්වා තිබේ. මෙම රැස්වීමට අති පූජ්‍යය හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන් ද රත්මලානේ ශ්‍රී ධම්මානන්ද, ධර්මාලෝක නායක හිමියන් ද ප්‍රධාන පණ්ඩිත ධර්මධර භික්ෂූන් වහන්සේලා 25 නමක් සහභාගි වූ බව සඳහන් වේ. අනගාරික ධර්මපාලතුමා ප්‍රධාන සාසනමාමක පිරිස් ද මෙම රැස්වීමට සහභාගි වී ඇත. මෙම නායක පණ්ඩිත ස්වාමීන් වහන්සේලා එක් එක් අටුවා ග්‍රන්ථ සංස්කරණය බාර ගත් බව ද සඳහන් වේ.

සයිමන් හේවාචිතාරණ මහතාගේ අභාවයෙන් පසුව සෝමලතා හේවාචිතාරණ ළමාතැනී විසින් ත්‍රිපිටක මුද්‍රණය සඳහා අරමුදල පිහිටුවීය. ඒම අරමුදල මගින් හේවාචිතාරණ අට්ඨ කථා ග්‍රන්ථ සමූහය මුද්‍රණය කැර ඇත. ආගම ධර්මය, ඉතිහාසය, පුරාවිද්‍යාව, සාහිත්‍යය ආදී ශ්‍රී ලංකා සංස්කරණ විවිධ ක්ෂේත්‍රයන් පර්යේෂණාත්මක අධ්‍යයනවලට යොමු කරමින් ශාස්ත්‍රීය පොතපත සපයා සංස්කෘතිය පිළිබඳ ව අවබෝධයක් ජනතාවට ලබාදීමේ අරමුණින් 1845 දී ආරම්භ කළ ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ අට්ඨ කථා සිංහලට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය මගින් පොත් දහයක් මුද්‍රණය කිරීම මහඟු කාර්යයකි.

අභාවයට යන පැරණි බෞද්ධ පොත්පත් හා අලුතින් ලියැවෙන බෞද්ධ පොත්පත් මුද්‍රණය කැරවීමත් ඉංග්‍රීසි බෞද්ධ පොත්පත් සිංහලට පරිවර්තනය කැර මුද්‍රණය කිරීමත් පරපුරෙන් පරපුරට බුද්ධ ධර්මය ගෙනයාමත් බෞද්ධ සංස්කෘතියේ ආරක්ෂාවත් සඳහා පිහිටුවා ඇති අප ආයතනය වන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ පුනර් මුද්‍රණය නිම කිරීමෙන් පසු ව අට්ඨ කථා සිංහලයට පරිවර්තනයකොට මුද්‍රණය කිරීමට ප්‍රතිපත්ති සකස් කළේය. සිංහලෙන් මුද්‍රණය අවසන්කොට අටුවා කථා ඉංග්‍රීසියට පරිවර්තනය කැර මුද්‍රණය කිරීම අපේ අදහසයි.

“කථා පවත්තිනී” නම් පාඨයක් ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ සඳහන් වෙයි. ධර්ම දේශකයා පෙළත් අටුවාවත් දනී නම්, දහම් අසන්නා පෙළත් අටුවාවත් දනී නම්, දහම් දෙසන්නාත් අසන්නාත් දෙදෙනා ම පෙළත් අටුවාවත් දනී නම්, එම ධර්ම දේශනාව සාර්ථක දේශනාවක් වන බව මෙහි සාමාන්‍යය අදහසයි. තථාගත ධර්මය වඩාත් ප්‍රකට වීම, විවෘත වීම, එහි පැවැත්මට හා උත්තරීතර භාවයට හේතු වන බව සඳහන්ය. මෙම කරුණු පිළිබඳ විමසිලිවත් වන විට අට්ඨ කථා පරිවර්තනයේ හා මුද්‍රණයේ අවශ්‍යතාවය වඩාත් පැහැදිලි වන්නේය. එයට අමතර ව විශ්ව විද්‍යාලවල පාලි හා බෞද්ධ අධ්‍යයනාංශවල උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට විෂයය නිර්දේශානුකූල අට්ඨ කථාවල සිංහල පරිවර්තන නොමැතිකමේ බාධාව ද එම ගුරු ශිෂ්‍යය දෙපිරිසට ම මේ මගින් දුරු කිරීම ද අපේ පරමාර්ථයකි. අපගේ ඉල්ලීම ද පූජ්‍යය රාජකීය පණ්ඩිත වැලිමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ අනුශාසනාව ද අනුව අටුවා කථා සිංහලට පරිවර්තනය කැර මුද්‍රණය කැරවීමේ භාරදූර