KN ධම්මපද අටුවාව 2.pdf

කතෘ :
බුද්ධඝෝෂ හිමි
ප්‍රකාශිත වර්ෂය :
2008
මුද්‍රිත වර්ෂය :
2008
පිටු ගණන :
599
බාගත කිරීම් ගණන :
2,434
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-03-23
ගොනුවේ ප්‍රමාණය :
69 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 300

ධම්මපදට්ඨකථා II (දෙවන කොටස) යනු ඛුද්දකනිකායට අයත් ධම්මපද පාලිය සඳහා අනුබුද්ධ බුද්ධඝෝෂ මහා ස්ථවිරයන් වහන්සේ විසින් රචිත ධම්මපදට්ඨකථාවේ සිංහල පරිවර්තනයයි. මෙම දෙවන භාගය සිංහලයට පරිවර්තනය කරන ලද්දේ රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය පන්නල සුමේධ නායක ස්ථවිරයන් වහන්සේ විසිනි. මෙහි අධීක්ෂණය හා පද්‍යරචනය විජිතනන්ද සරත්චන්ද්‍ර මහතා විසින් සිදුකර ඇත.

බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් 2008 වසරේදී ප්‍රථම වරට මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලද මෙම කෘතිය, ධම්මපද ගාථාවල පසුබිම් කථා ප්‍රවෘත්ති සවිස්තරාත්මකව හා රසවත්ව සිංහල පාඨකයාට අධ්‍යයනය කිරීමට පහසු වන පරිදි සකසා ඇත.

ප්‍රස්තාවනා (අට්ඨකථා)

පාලි භාෂාව මධ්‍යතන ඉන්දු ආර්‍ය්‍ය පූර්ව අවධියට අයත් ප්‍රාකෘත විශේෂයක් බවත්, එම ප්‍රාකෘතය වූ කලි එකල උත්තර භාරතයේ ඒ ඒ ප්‍රදේශවල පැවති පොදු ජනයාගේ කථා ව්‍යවහාරය බවත්, පිළිගත් විද්වත් මතයයි. ප්‍රාකෘත ව්‍යවහාරය පොදු ජනතාවගේ හා ශ්‍රමණ සම්ප්‍රදාය ගරුකළ චින්තකයන්ගේද භාෂා මාධ්‍යය විය. එය උත්තර භාරතයේ පැතිරී ගිය ඉන්දු යුරෝපීය භාෂා ව්‍යවහාරයෙන් ජනිත වූවක් සේ සැලකිය යුතුය. මෙම ප්‍රාකෘත ව්‍යවහාරයේ ලිඛිත සාධක අනුව මුල් අවස්ථාවක් සේ පෙනෙන පාලි භාෂාව උත්තර භාරතයේ කිසියම් විශේෂ ප්‍රදේශයක කථා ව්‍යවහාරයේ මාධ්‍යයක් විය.

1. පාලි භාෂාව ක්‍රි.පූ. 6 වැනි 7 වැනි සියවස් වල කොසොල් රට පැවති කථා ව්‍යවහාරය පදනම් කොට ඇති වූවෙකැයි ද එය නොයෙක් ජනපදවල ජනයාගේ පොදු භාෂා මාධ්‍යය වී යැයි ද මහාචාර්ය රීස් ඩේවිඩ්ස් තුමා පවසයි.

2. පාලිය උජ්ජයිනී ප්‍රදේශයේ භාෂාව යැයි වෙස්ටර් ගාඩ්, ඊ කුන් සහ ඔටෝ ප්‍රොන්කේ වැනි විචාරකයෝ පවසති.

3. පාලිය මගධයේ කථා ව්‍යවහාරයයි යන බුද්ධඝෝෂ හිමියන්ගේ මතය මහාචාර්ය ගෙගර් තුමා අනුමත කරයි.

4. බුදු රජාණන් වහන්සේ මුලදී කොසොල් රට බසින් දහම් දෙසන්නට ඇතැයි සළකන වින්ටර්නිටිස් පාලි ත්‍රිපිටකයේ භාෂාව පැරණි මගධ ව්‍යවහාරය පදනම් කොට වෙනත් ප්‍රදේශ ව්‍යවහාරයන්ගේ සම්මිශ්‍රණයද ඇතිව, ගොඩනැගුණු බෞද්ධයන්ගේ සාහිත්‍යයික භාෂාවකැයි පවසයි.

5. බුදුන් වහන්සේ ධර්ම ප්‍රචාරයේ යෙදුනු පන්සාලිස් වසින් වැඩි කොටසක් කොසොල් මගධ ප්‍රදේශවල සැරිසැරූ බව බෞද්ධ සාහිත්‍යයේ පෙනෙන බැවින් පාලි භාෂාව කොසොල් මගධ දෙරට කථා ව්‍යවහාරය පදනම් කොටගෙන බිහි වූවක් සේ සැලකීමට පුළුවන් බව ඊ කුන් නම් විචාරකයා පෙන්වා දෙයි.

මෙම විග්‍රහයන් ශාස්ත්‍රීය වශයෙන් වැදගත් වන අතර විශේෂයෙන් සැලකිය යුත්තේ බුදුන් වහන්සේගේ මතයයි. බුදු රජාණන් වහන්සේ දක්වා වදාළ ආකල්ප විග්‍රහ වන්නේ මජ්ඣිම නිකායේ අරණ විභංග සූත්‍රයෙනි. මෙම සූත්‍රයෙන් පෙන්වන්නේ උන්වහන්සේ භාෂා මාධ්‍යයෙහි අනවශ්‍ය ලෙස දැඩිව එල්බ ගත් ශාස්තෘවරයෙකු නොවන බවයි. එකම දෙය විවිධ ජනපදවල නාම කීපයකින් හඳුන්වනු ලබන කළ ඒ එක නාමයක් දැඩිව අල්වා නොගෙන ඒ ඒ ලෙසට ව්‍යවහාර කළ යුතු බවත් ලෝක ව්‍යවහාරය නොඉක්මවිය යුතු බවත් අරණ විභංග සූත්‍රයෙහි උගැන්වෙයි.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ත්‍රිපිටකය සංගීත වූ භාෂාව වන පාලි භාෂාව ථේරවාදීන්ගේ ආගමික භාෂාව විය. එය සමස්ත ත්‍රිපිටකය පුරා රැඳී ගියේය. ථේරවාදීන්ගෙන් බිඳී ගිය මහායානිකයෝ බුද්ධ ධර්මය සංස්කෘතයට පෙරලා ගත්හ. ඔවුන්ගේ සංස්කෘත සාහිත්‍යය දියුණුවීමත්, මුස්ලිම් ආක්‍රමණ වැනි ආක්‍රමණත්, මහායානික දර්ශනය විශ්ව විද්‍යාල මගින් රට මුලුල්ලෙහි බෙදා හැරීමත්, මහායානිකයන් ආමිස පූජා යන්ත්‍ර,මන්ත්‍ර ආදියෙන් පෘථග්ජන ජනතා ප්‍රසාදය දිනාගැනීමත්, භික්‍ෂු විනය නීති ලිහිල් ලෙස මහායානිකයන් විසින් සකස්කිරීමත්, ආදිය නිසා බුද්ධ ධර්මයත්, පාලි භාෂාවත්, බුද්ධජන්මභූමියෙන් අතුරුදහන් විය. එය ශ්‍රී ලංකාදීපයේ තහවුරු විය.

හෙළ අටුවා (හෙළටුව)

සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය පන්තිස් වැන්නෙහි අශෝක අධිරාජ්‍යාගේ දායකත්වයෙන් පැලලුප් නුවරදී තුන්වන සංගායනාව පැවැත් විය. මොග්ගලිපුත්තතිස්ස මහා රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රහතන් වහන්සේලා දහසක් සම්බන්ධ වෙමින් මෙම සංගායනාව පවත්වා ඇත. සාහස්සිකා නමින් හඳුන්වන මෙම සංගායනාව නව මසකින් සම්පූර්ණ විය.

තෘතිය සංගායනාවසානයේ දඹදිව ථේරවාදාචරිය පරම්පරාවේ අවසන් පුරුෂයා වූ මොග්ගලිපුත්තතිස්ස මහා රහතන් වහන්සේගේ ශිෂ්‍ය මිහිඳු මහා රහතන් වහන්සේ විසින් තෘතිය සංගායනාවේදී තෝරා බේරා ගෙන සංග්‍රහ කළ, ථේරවාදී ත්‍රිපිටකය ශ්‍රී ලංකාවට ගෙන එන ලදි. මිහිඳු හිමියන් විසින් ලක්දිවට ගෙන එන ලද පාලි ත්‍රිපිටකය මහා අරිට්ඨ රහතන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති සිංහල භික්‍ෂූන් වහන්සේලා උගත්හ. පාලියෙන් තිබූ ත්‍රිපිටකයේ ගැටලු තැන් සිංහල ජනතාවට පැහැදිලි කරදීම අවශ්‍ය විය. බුද්ධ කාලයේ සිට වාචනා මාර්ගයෙන්, ආචාර්ය පරම්පරා වලින් පැවත ආ අර්ථ විවරණ ක්‍රම මිහිඳු හිමියන්ගෙන් සිංහල භික්‍ෂූන් වහන්සේලා උගෙන පාලි ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අරුත් විවරණය කළහ. හෙළටුවා නමින් මේවා හඳුන්වයි.

අටුවා වනාහි ත්‍රිපිටකයට අයත් පොත් වලට ලියා ඇති ව්‍යාඛ්‍යාන සංග්‍රහ සමූහයයි. අටුවාවල පරමාර්ථය පෙළෙහි ඇති දුරවබෝධ වචන සහ ධර්මයේ ගැඹුරු තැන් විස්තර කිරීමත් අවශ්‍ය තැන් වලදී විස්තරාර්ථ සැපයීමත් ය. මෙම පරමාර්ථයෙන් ලියන ලද හෙළටුවා නම්,

මහා අට්ඨකථා කුරුන්දි අට්ඨකථා මහා පච්චරිය අට්ඨකථා නම් වේ.

හෙළ අටුවා අතුරින් ප්‍රමුඛ ස්ථානය දැරුවේ මහා අට්ඨකථාව හෙවත් මූල අට්ඨ කථාවයි. බුද්ධඝෝෂ හිමියන්ගේ අට්ඨ කථා සියල්ලටම පාහේ ශරීරය කරගෙන ඇත්තේ මෙම අටුවාවයි. තුන් පිටකයටම අයත් අට්ඨ කථාවන්හි මහා අට්ඨකථාව ගැන සඳහන් වන බැවින් එය තුන්පිටකයම අළලා සකස් වුනු හෙළටුවාවක් වශයෙන් සැලකිය හැකිය. වස්තු විෂය අතින් සෙසු හෙළටුවාවන්ට වඩා පරිපූර්ණ වී තිබුණ මහා අට්ඨ කථාවේ, ලක්දිව සිදුවූ දේ පිළිබඳව බොහෝ වෘත්තාන්ත ද සඳහන්ව තිබුණ බව සිතා ගත හැකිය.

මහා පච්චරිය අට්ඨකථාවට එම නම ලැබුනේ පච්චරියක් හෙවත් පහුරක් උඩදී එය ලියන ලද බැවිනි. කුරුන්දු වේලු විහාරයේදී ලියන ලද හෙයින් කුරුන්දි අටුවා නම් විය.

මෙම ප්‍රධාන හෙළටුවාවන්ට අමතරව තවත් අටුවා කීපයක් දක්නට ඇත. අන්ධ අට්ඨකථාව එයින් එකකි. දකුණු ඉන්දියාවේ කාඤ්චිපුර (කොන්ජීවරම්) යෙහි පැවති අටුවාවයි. එය ආන්ධ්‍රා භාෂාවෙන් ලියා ඇතැයි සැලකේ.

බුද්ධඝෝෂ හිමි

දඹදිව බෝමැඩට නුදුරු ඝෝෂ නම් ග්‍රාමයේ බමුණු කුලයක උපත ලද බුද්ධඝෝෂ වාදයෙහි දක්‍ෂ වූ රේවත නම් මහා තෙරපාණන් වෙත පැවිදි වූ බව ප්‍රචලිත මතයයි. බුද්ධඝෝෂ මහාබෝධි මණ්ඩපයට දකුණු දිග බමුණුගම උපන් බව සද්ධම්මසංගහ නම් පොතෙහි සඳහන් වේ. බෝමැඩට නුදුරෙහි ඝෝෂ නම් වූ ගමේ උපන් බව බුද්ධඝෝසුප්පත්ති නම් කථාවේ ද සඳහන් වේ. මෙවැනි විවිධ කරුණු විමර්ශනයෙන් පසුව බුද්ධඝෝෂ ජන්ම භූමිය මොරණ්ඩඛෙටක නම් ගම බව පිළිගෙන ඇත. ආන්ධ්‍රා දේශයේ ගුන්ටුර් දිස්ත්‍රික්කයේ පාල්නාඩ් තලුක් පෙදෙසේ “කෝටනේමලි පුරි” “ගුන්ඩ්ලූ පල්ලි” යන ළඟ පිහිටි ගම් දෙක මොරන්ඩඛෙටක යැයි පැවසේ. උන් වහන්සේ උපන් පෙදෙස මොරන්ඩඛෙටක යැයි විසුද්ධි මග්ගයෙන් පෙනේ. මජ්ඣිමනිකායට්ඨ කථාවේ කත්තු සංදේශක ගාථාවක මයුර සුත්ත පට්ඨන හෝ මයුර රූප පට්ඨන සඳහන් වන බැවින් එතුමා එහි විසූ බව ද සිතිය හැකිය.

ව්‍යාකරණ විෂයෙහි ද දර්ශන ශාස්ත්‍රයෙහි ද වෛදික ග්‍රන්ථ විෂයෙහිද ඉතිහාස පුරාවිද්‍යා විෂයෙහිද කාව්‍යප්‍රවච්ඡේද විද්‍යාවන් හිද ලක්‍ෂණ ශාස්ත්‍රයෙහිද පැතිරී ගිය බුද්ධි ප්‍රභාවයක් එතුමා කෙරෙහි පැවති බව පැහැදිලිය. බුද්ධඝෝෂ හිමියන් ලංකාවට පැමිණීමට පෙර ඤාණෝදය නම් ධර්ම ප්‍රකරණයත් අත්ථසාලිනී අටුවාවත් දඹදිව දී කළ බවද සඳහන් ය. බුද්ධඝෝෂ හිමියන් කලින් සර්වාස්ති වාදියෙකුව සිට පසුව ථේරවාදී වූ බව ඇතැම් විචාරකයන්ගේ පිළිගැනීමයි.

බුද්ධඝෝෂ හිමියන් ලක්දිවට පැමිණියේ අනුරාධපුරය රාජධානිය කරගත් මහානාම රජ දවස බුද්ධ වර්ෂ 953-975 අතර කාලයේ ය. උන් වහන්සේ ලංකාවට වඩින විට අට්ඨකථා සංහිතා කීපයක්ම මේ දිවයිනේ පැවති බවත් ඒවා හෙළ බසින්ම උගත් බවත් මෙයින් සමහරක් ග්‍රන්ථ ස්වරූපයෙන්ද සමහරක් පූර්වාචාරීන්ගේ මතවාද ඇතුළත් වුන සාහිත්‍යය වශයෙන්ද පැවති බවත් ආචාර්ය අදිකාරම් මහතා පවසයි.

මිහිඳු හිමියන් දවසම ආරම්භ වූ සිංහල අටුවා කථා වසර 700ක පමණ කාලයක් සිංහල ත්‍රිපිටකය හෙළි පෙහෙළි කරමින් පැවතිනයහ. ත්‍රිපිටක පාලියට සිංහල අටුවා ලියා ඇතිබව දඹදිව විසූ රේවත හිමියන් දැන ගැනීමෙන් සිංහල අටුවා පාලියට පරිවර්තනය කිරීම, බුදු දහම චිරස්ථායි වීමට හේතුවක් යැයි උන් වහන්සේ සලකා හෙලටුවා පාලියට පරිවර්තනය කිරීම සඳහා බුද්ධඝෝෂ හිමියන් ලක්දිවට එවන්න ඇතැයි සැලකිය හැකිය.

“බුද්ධඝෝෂ හිමියන් මෙහි පැමිණ බුදුන් වදාළ දෙලක්‍ෂ පන්සැත්තෑදහස් දෙසියපනස් ග්‍රන්ථ සංඛ්‍යාවක් ඇති ආගමයට තුන්ලක්‍ෂ එක්සැටදහස් සත්සියපනස් ග්‍රන්ථ සංඛ්‍යාවක් පමණ අටුවා කථා ලියා ආගමයෙහි පහන් නැගූ සේකැයි දත යුතු යැයි” පූජාවලියේ සඳහන්ව තිබේ.

සංස්කාරකයෙකු හා අනුවාදයකූ වශයෙන් බුද්ධඝෝෂ හිමියන්ගේ කාර්‍ය්‍යය වූයේ තමන් ඉදිරියෙහි වූ හෙළටුවාවන්හි අන්තර් ගත වූ විවරණ වෙනස් කිරීම නොව, ඒවා සකස් කිරීම සහ අවශ්‍ය ස්ථාන පිඬු කරමින්, විස්තරාර්ථ දක්වමින්, විධිමත්ව සුගමව පාලි භාෂාවට නැගීමයි. බුද්ධඝෝෂ හිමියන්ට අට්ඨකථා සකස්කරන්නට මහා විහාරයෙන් ඉඩ ලැබී ඇත්තේ මහා විහාර වාචනා මාර්ගයට විරුද්ධ මත ඒවායේ ඇතුලත් නොවිය යුතුය. යන කොන්දේසිය ද සහිතවය.

“මහා අට්ඨකථාව ශරීරය කොටගෙන මහාපච්චරිය කුරුන්දි ආදී විශ්‍රුත අර්ථ කථාවන්හි යම් විනිශ්චයක් වේද එහි යුක්තාර්ථ සහ ඇතුලත් වන්නාවූ ස්ථවිර වාදයද අත්තනොමතීන් නොහළුවා හොඳින් ආරම්භ කරන්නෙමු”

“තවද එම අර්ථ කථාවලින් භාෂාන්තරය පමණක් අත්හැර විස්තර තැන් පිඬුකොට සියලුම විනිශ්චයන් ඇතුලත් කොට කිසිම තන්හි යුක්ත්‍යාර්ථ නොඉක්මවා සංවර්ධනය කරන්නෙමු.”යි බුදුගොස් හිමියෝ පවසති.

බුද්ධඝෝෂ හිමියන් විසින් කරන ලද අට්ඨකථා සියල්ලම මිහිඳු මාහිමියන් විසින් ලක්දිවට ගෙන එන ලදුව මහා විහාරිකයන් විසින් ආරක්‍ෂා කරනු ලැබූ හෙළටුවාවන්හි පාලි අනුවාද බවත් මහා අට්ඨකථාවේ සාරය ගෙන පාලි අට්ඨකථා රචිත බවත් මෙම අට්ඨකථාවල සඳහන් වේ.

මේ අනුව බුදුගොස් හිමියන්ගේ කාර්යය වූයේ බුදු සමය පිළිබඳව අමුතුවෙන් පොත් ලිවීම නොව එතෙක් හෙළටුවා වන්හි ආ කරුණු විධිමත්ව හා සුගමව පාලි භාෂාවට නැගීම වෙයි. පාලි අටුවා පොත් වලින් අඩකටත් වඩා සපයා ඇත්තේ බුදුගොස් හිමියන් විසිනි. බෞද්ධ අට්ඨකථාචාරීන් අතුරෙන් එතුමා ශ්‍රේෂ්ඨතමයා යි. එතුමාගේ ජීවන චරිතය වටා විවිධ ජනප්‍රවාද ගෙතී ඇත්තේ ඒ නිසාමය. එතුමා මෙලොව පහල වූයේ “බුදුන්ගේ පර්යාප්ති ශාසනය දීර්ඝ කාලයක් නිර්මලව පවත්වාගෙන යාම සඳහා පාලි අට්ඨකථා ලිවීමටමය” යන ජනප්‍රවාදයක් ද ඇත.

අටුවා විස්තර

විනය පිටකය උභය විභංග 1 පාරාජිකා පාලි 1. ආණා දෙසනා සමන්තපාසාදිකා බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව 2. පාචිත්තිය පාලි 2. යථාපරාධ සාසන විනය අට්ඨකථා

ඛන්ධක 3. චුල්ල වග්ග පාලි 3 සංවරාසංවර කථා 4. මහාවග්ග පාලි

පරිවාර 5. පරිවාර පාලි භික්ඛුපාතිමොක්ඛ කංඛාවිතරණී බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. භික්ඛුණී පාතිමොක්ඛ (මාතිකාට්ඨකථා)

අභිධර්ම පිටකය 1. ධම්මසංගණීප්පකරණ 1. පරමත්ථ දේශනා අට්ඨසාලිනී බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. 2. විභංගප්පකරණ 2. යථාධම්ම සාසන සම්මෝහ විනෝදනී බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. 3. නාමරූප පරිච්ඡේදකථී 3. කථාවත්ථුප්පකරණ බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. 4. පුද්ගලපඤ්ඤත්තිප්පකරණ 5. ධාතුකථාප්පකරණ පරමත්ථදීපනී 6. යමකප්පකරණ පඤ්චප්පකරණට්ඨකථා 7. පට්ඨානප්පකරණ

සූත්‍ර පිටකය 1. දීඝනිකාය 1. වොහාර දේශනා සුමංගල විලාසිනී බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. 2. මජ්ඣිමනිකාය 2. යථානුලෝමසාසන පපඤ්ච සූදනී බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. 3. සංයුක්තනිකාය 3. දිට්ඨි විනිවෙඨන කථා සාරත්ථප්පකාසිනී බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව 4. අංගුත්තරනිකාය මනෝරථපූරණී බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. 5. ඛුද්දකනිකාය 1. ඛුද්දකපාඨ පරමත්ථ ජෝතිකා බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. 2. ධම්මපද ධම්ම පදට්ඨ කථා බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව 3. උදාන පරමත්ථ දීපනී ධම්මපාල ආචාර්ය 5වන ශ.ව. 4. ඉතිවුත්තක පරමත්ථ දීපනී ධම්මපාල ආචාර්ය 5වන ශ.ව. 5. සුත්තනිපාත පරමත්ථ ජෝතිකා බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. 6. විමානවත්ථු පරමත්ථ දීපනී ධම්මපාල ආචාර්ය 5වන ශ.ව. 7. පේත වත්ථු පරමත්ථ දීපනී ධම්මපාල ආචාර්ය 5වන ශ.ව. 8. ථේර ගාථා පරමත්ථ දීපනී ධම්මපාල ආචාර්ය 5වන ශ.ව. 9. ථේරී ගාථා පරමත්ථ දීපනී ධම්මපාල ආචාර්ය 5වන ශ.ව. 10. ජාතක ජාතකට්ඨකථා බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව. 11. නිද්දෙස (චුල්ල - මහා) සද්ධම්ම ජෝතිකා උපසේන ආචාර්ය 6වන ශ.ව. 12. අපදාන (ථේර - ථේරී) විසුද්ධජනවිලාසනී මහානාම ආචාර්ය 7වන ශ.ව. 13. පටිසම්භිදා මග්ග සද්ධම්මප්පකාසිනී ධම්මපාල ආචාර්ය 5වන ශ.ව. 14. බුද්ධ වංස මධුරත්ථප්පකාසිනී බුද්ධදත්ත හිමි 5වන ශ.ව. 15. චරියාපිටක පරමත්ථ දීපනී ධම්මපාල ආචාර්ය 5වන ශ.ව. විසුද්ධි මග්ග බුද්ධඝෝෂ හිමි 5වන ශ.ව.

නෙත්තිප්පකරණ නෙත්ති අට්ඨකථා ධර්මපාල ආචාර්ය 5වන ශ.ව. චතුභාණවාරපාලි චතුභාණවාර අට්ඨකථා ආනන්ද වනරතන 8වන ශ.ව.

බුද්ධඝෝෂ හිමියන් විසින් පාලියට නොනගන ලද අට්ඨ කථා පාලියට නගන ලද්දේ බුද්ධදත්ත, ධම්මපාල, උපසේන සහ මහානාම තෙරණුන් විසිනි.

බුද්ධදත්ත හිමි

බුද්ධඝෝෂ හිමියන්ගේ සමකාලිකයෙකි. මධුරත්ථ විලාසිනී නම් බුද්ධ වංශ අටුවාව උන්වහන්සේ ලියා ඇත.

උපසේන හිමි

සද්ධම්මජෝතිකා නම් නිද්දේශ අට්ඨකථාව මහාපරිවේනවාසී උපසේන හිමියන් විසින් කරන ලදි.

මහානාම හිමි

පටිසම්භිදාමග්ග අට්ඨකථාව වන සද්ධම්මප්පකාසනී මුන්වහන්සේ විසින් ලියා ඇත.

ධම්ම පාල හිමි

පරමත්ථදීපනී අට්ඨකථා - (උදාන - ඉතිවුත්තක - විමානවත්ථු - පේතවත්ථු - ථේර ථේරී ගාථා අට්ඨකථා) මුන්වහන්සේ ලියා ඇත.

මෙම අට්ඨකථාවන් උගෙන ඒවා ආරක්‍ෂා කළ අය අට්ඨකථිකා නමින් හඳුන්වා ඇත. අට්ඨකථා චරියා යනු අට්ඨකථා සම්පාදනය කළ ආචාර්යවරයෝය. ආචරිය වාද ආචරිය මත ආචරියා වාද යන නම් වලින් කියවෙන්නේ අට්ඨකථාවන් මැයි.

අට්ඨකථාවන් පිළිබඳ විවිධ විවේචන හා මතවාද උගතුන් අතර පවතී. මෑතකාලීන වියතුන් අතුරින් අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ එවැනි විවේචකයෙකි. උන්වහන්සේගේ අටුවා පරීක්‍ෂණ නම් පොතෙන් එවැනි විවේචන ඉදිරිපත් කර ඇත. අටුවාකථා බුදුන් වහන්සේගේ දේශනා නොවන බව කවුරුත් පිළිගනිති. අටුවාචාරීන් වහන්සේලා අතරද විවිධ මතභේද තිබූ බව දක්නට ඇත. වසර හත්අට සියයක් ගෙන ආ ලිඛිතව නොතිබූ අර්ථ කථා සාහිත්‍යයට ඒවැනි දේ ඇතුලත් වන්නට පහසුකම් තිබේ. මිහිඳු හිමියන් විසින් ගෙන එන ලද පාලි විවරණ මහා විහාරික භික්‍ෂූන් විසින් සිංහලට පරිවර්තනය කොට එම හෙළටුවා පස්වන සියවසේ දී බුද්ධඝෝෂ හිමියන් විසින් නැවත පාලි භාෂාවට පරිවර්තනය කළ බව පිළිගත් සම්ප්‍රදායයි. මේ තැන් වලදී එම මතිමානාන්තර ඇතුලත් වන්නට ඇති බව සිතිය යුතුයි.

මහා විහාරීය සම්ප්‍රදාය එකකි. අභයගිරි ජේතවන පරම්පරාහිද එවැනි සම්ප්‍රදායයන් පැවතුන බවට සැකයක් නැත. ස්වකීය පාරම්පරික මත වලට පටහැනි සූත්‍ර ධර්මයන් පෙළෙහි ඇති බව දැන දැනත් සිය මතය තහවුරු කරණු සඳහා ඒවා මදකිනිදු වෙනස් නොකර, සංගායනා වලදී පැවති තත්ත්වයෙන්ම ත්‍රිපිටකය රැකගෙන ඒම ගැන මහා විහාරීය පරම්පරාවට බෞද්ධයාගේ ප්‍රණාම පූර්වක ගෞරවය හිමිවිය යුතුය.

මේ අන්දමින් පැවතගෙන ආ අට්ඨකථා අපේ හාමුදුරුවරු තවත් වර්ෂ සිය ගණනක් තම ආරාම වල පොත්ගුල් වල තබා පුස්තකාල වල තැන්පත්කොට උදේ සවස සුවඳ දුම් අල්ලා ධර්ම ගෞරවයෙන් ධර්ම රත්නය රැකගෙන ආහ. අනගාරික ධර්මපාලතුමාගේ ජාතික ආගමික වැඩපිළිවෙල ආරම්භ වීමෙන් පසුව එතුමාගේම පවුලේ ඤායන් විසින් අට්ඨකථා මුද්‍රණය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇත. ඒ ධර්මපාල තුමා විසින් ඇති කරණ ලද ආගමික ප්‍රබෝධයේ එක් ආභාෂයකි. 1916 ජූලි 05 වන දින ත්‍රිපිටක මුද්‍රණ සභා නම් ආයතනයක් සයිමන් ඇලෙක්සැන්ඩර් හේවාවිතාරණ මහතුන්ගේ මැදිහත් වීමෙන් කොල්ලුපිටියේ ජ්ලාම්ස් හවුස්හි පිහිටුවා ඇත. 1929 ජුනි 29 දින මෙම ත්‍රිපිටක සභාවේ රැස්වීමක් කොළඹ ඩික්මන් පාරේ තක්සලා හිදී පවත්වා තිබේ. මෙම රැස්වීමට අති පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන්ද, රත්මලානේ ශ්‍රී ධම්මානන්ද ධර්මාලෝක නායක හිමිවරුන්ද ප්‍රධාන පණ්ඩිත ධර්මධර භික්‍ෂූන් වහන්සේලා 25 නමක් සහභාගි වූ බව සඳහන් වේ. අනගාරික ධර්මපාල තුමා ප්‍රධාන සාසනමාමක පිරිසක්ද මෙම රැස්වීමට සහභාගි වී ඇත. මෙම නායක පණ්ඩිත ස්වාමීන් වහන්සේලා එක් එක් අටුවා ග්‍රන්ථ සංස්කරණය භාරගත් බවද සඳහන් වේ.

සයිමන් හේවාවිතාරණ මහතාගේ අභාවයෙන් පසුව සෝමලතා හේවාවිතාරණ ළමාතැනී විසින් ත්‍රිපිටක මුද්‍රණය සඳහා අරමුදල පිහිටුවීය. එම අරමුදල මගින් හේවාවිතාරණ අට්ඨකථා ග්‍රන්ථ සමූහය මුද්‍රණය කර ඇත. ආගම ධර්මය ඉතිහාසය පුරාවිද්‍යාව, සාහිත්‍යය ආදී ශ්‍රී ලංකා සංස්කරණ විවිධ ක්‍ෂේත්‍රයන් පර්යේෂණාත්මක අධ්‍යයන වලට යොමු කරමින් ශාස්ත්‍රීය පොතපත සපයා සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් ජනතාවට ලබාදීමේ අරමුනින් 1845 දී ආරම්භ කළ ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ අට්ඨකථා සිංහලට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය මගින් පොත් දහයක් මුද්‍රණය කිරීම මහඟු කාර්‍ය්‍යයකි.

අභාවයට යන පැරණි බෞද්ධ පොත්පත් හා අලුතින් ලියැවෙන බෞද්ධ පොත් පත් මුද්‍රණය කරවීමත් ඉංග්‍රීසි බෞද්ධ පොත්පත් සිංහලයට පරිවර්තනය කර මුද්‍රණය කිරීමෙන් පරපුරෙන් පරපුරට බුද්ධ ධර්මය ගෙන යාමත් බෞද්ධ සංස්කෘතියේ ආරක්‍ෂාවත් සඳහා පිහිටුවා ඇති අප ආයතනය වන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ පුනර්මුද්‍රණය නිමවීමෙන් පසුව අට්ඨකථා සිංහලට පරිවර්තනය කොට මුද්‍රණය කිරීමට ප්‍රතිපත්ති සකස් කළහ. සිංහලෙන් මුද්‍රණය අවසන් කොට අටුවා කථා ඉංග්‍රීසියට පරිවර්තනය කර මුද්‍රණය කිරීම අපේ අදහසයි.