බුත්සරණ - විද්‍යාචක්‍රවර්තී.pdf

කතෘ :
විද්‍යාචක්‍රවර්තී
ප්‍රකාශිත වර්ෂය :
1959
මුද්‍රිත වර්ෂය :
1959
පිටු ගණන :
344
බාගත කිරීම් ගණන :
13,945
වෙබ් අඩවියට එක් කළ දිනය :
2016-09-17
ගොනුවේ ප්‍රමාණය :
27 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

වෙනත් සංස්කරණ

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 173

බුත්සරණ යනු දොළොස්වන හෝ දහතුන්වන සියවසෙහි පොළොන්නරු යුගයේ විසූ විද්‍යාචක්‍රවර්තී මහා පඬිවරයාණන් විසින් විරචිත අතිශය ප්‍රකට සම්භාව්‍ය සිංහල ගද්‍ය කාව්‍යයකි. ‘අමෘතාවහ’ යන නාමයෙන් ද හඳුන්වනු ලබන මෙම මහා ග්‍රන්ථය, බුදුරජාණන් වහන්සේගේ අපරිමිත බුදුගුණ හා චරිතාපදාන වර්ණනා කිරීම අරමුණු කරගනිමින් නිමවා ඇත.

මෙම සංස්කරණය සම්පාදනය කර ඇත්තේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය හෙබවූ සාහිත්‍ය චක්‍රවර්ති පණ්ඩිතාචාර්ය වැලිවිටියේ ශ්‍රී සෝරත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. මුල් සංස්කරණය 1931 දී පළ කර ඇති අතර, මෙම මුද්‍රණයට අදාළ සංස්කාරක ප්‍රස්තාවනාව බු.ව. 2503 (ක්‍රි.ව. 1959) දී සටහන් කර තිබේ.

ග්‍රන්ථයෙහි අන්තර්ගතය දීඝනිකාය, ධම්මපදට්ඨකථා, ජාතකට්ඨකථා සහ විමානවස්තු ආදී පාලි මූලාශ්‍රයන් ආශ්‍රය කරගනිමින් විචිත්‍ර උපමා, රූපක හා මනෝහර වාක්‍ය රටාවලින් සමන්විතව ලියා ඇත. ගුරුළුගෝමීන්ගේ හා ධර්මසේන හිමියන්ගේ කෘතීන්ට වඩා අනන්‍ය වූ භාෂා විලාසයක් හා ප්‍රතිභා ශක්තියක් බුත්සරණ කතුවරයාණන් තුළ පැවති අයුරු සංස්කාරක හිමියෝ පෙන්වා දෙති. ග්‍රන්ථාවසානයෙහි නාමානුක්‍රමණිකාවක් ද අන්තර්ගත වේ.

ප්‍රස්තාවනාව

සංඥා

මේ ග්‍රන්ථයට තැබූ විශේෂසංඥාව ‘අමෘතාවහ’ යන්න යි. “අමෘත සංඛ්‍යාත නිර්වාණය ආවහනය කරන්නේ ය. ගෙනැ දෙන්නේ ය” යනු එහි අර්ථ යි. “අමෘතාවහ නම් වූ බුද්ධචරිතය නිමී” යි ග්‍රන්ථාවසානයෙහි පෙණෙන හෙයින් “බුද්ධචරිතය” යනු සාමාන්‍යසංඥාව යි. මෙහි වර්ණනා කරණ ලද්දේ බුදුරජාණන් වහන්සේගේ චරිතය යි. එහෙත් ග්‍රන්ථයෙහි නොයෙක් තැන “බුත්සරණ” යනු පෙණෙන හෙයින් හා මෙයින් බුත්සරණ පැවැසෙන බැවින් ද “බුත්සරණ” යනු ම විශේෂසංඥාව වශයෙන් ප්‍රචලිත වී ය. අප විසින් එය මෙහි සාමාන්‍යසංඥා වශයෙන් යොදන ලදී.

නිමිත්ත

මේ පොත කිරීමට අභ්‍යන්තරනිමිත්ත වශයෙන් තැකිය හැක්කේ සිංහලමනුෂ්‍යයන් විෂය කොට පැවැති කරුණාව ය. අනුන්ගේ ආරාධනාවක් නැති බැවින් කරුණාවට අරමුණු වූ සිංහලබෞද්ධ මහාජනයා ම බාහ්‍ය නිමිත්ත වශයෙන් සැලකිය හැකි ය.

කර්තෘ

මේ ග්‍රන්ථයෙහි කර්තෘ වනාහි විද්‍යාචක්‍රවර්ති නම් මහ පඬිවරයෙකි. සිංහලස්තූපවංශය ද සකලවිද්‍යාචක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිත නම් කෙනෙකුන් විසින් කරණ ලද්දකි. බුත්සරණ කළ විද්‍යාචක්‍රවර්ති හා ස්තූපවංශය කළ සකලවිද්‍යාචක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිතයනුත් එක්කෙනෙකු ලෙස ම අපි මුල දී සිතීමු. එහෙත් පොත් දෙකෙහි භාෂාව සසඳාබලන විට පෙනෙන්නේ ස්තූපවංශය බුත්සරණට වඩා ශතවර්ෂ දෙකක් තුනක් ලාබාල බව ය. ස්තූපවංශය කුරුණෑගල රාජධානිකාලයට හෝ ඊට ඉතාමත් ආසන්නකාලයක කළ පොතකි. බුත්සරණ පොළොන්නරුකාලයට අයත් වූවකි. එහෙයින් ඒ පොත් දෙකෙහි කර්තෘවරු දෙදෙනෙකි. එක්කෙනෙක් නොවෙති.

කර්තෘන්කර්තෘත්‍වය

මේ පොතෙහි කර්තෘ වූ විද්‍යාචක්‍රවර්ති සැබවින් ම විද්‍යාචක්‍රවර්තියෙකි. සම්බුද්ධධර්මයෙහි හා නොයෙක් ශාස්ත්‍රාන්තරයන්හි අප්‍රතිහත බුද්ධිප්‍රභාවයකින් යුක්තයෙකි. පැරැණි සිංහල ග්‍රන්ථ කර්තෘවරයන් අතරෙහි ප්‍රතිභාඥානයෙන් විද්‍යාචක්‍රවර්තීන්ට සම වන්නේ කවිසිළුමිණ රචනා කළ කලිකාලසර්වඥ කවීශ්වරපණ්ඩිත දෙවෙනි විජයබාහු රජතුමා පමණකි. සුප්‍රසිද්ධ සිංහල ග්‍රන්ථ කර්තෘවරයෙක් වූ ගුරුළුගෝමී කවිත්වයෙන් විද්‍යාචක්‍රවර්තීන් අසලකට වත් නො පැමිණේ. අතිශයොක්ත චමත්කාර ජනක උපමා කීමෙහි මහාකවි කාලිදාසයන් ලැබූ කීර්තිය විද්‍යාචක්‍රවර්තිමහාකවි තෙමේ මේ එක ම පොතෙන් පරදවයි. කාලිදාසයන්ගේ සියලු ම කාව්‍යවල ඇති උපමාවන් මේ එක ම බුත්සරණයෙහි ඇති උපමාවන්ට අඩු බව ඒ පිළිබඳ පරීක්‍ෂා කළොත් ඔප්පු වෙයි.

ප්‍රයෝජන

මේ ග්‍රන්ථය සම්බුද්ධධර්මග්‍රන්ථයක් වශයෙන් පමණක් නොව ගද්‍යකාව්‍යග්‍රන්ථයක් වශයෙන් ද ඉතා ප්‍රයෝජනවත් ය. සම්බුද්ධධර්මය ඉගෙන ගන්නා අතර ම මනොහරවර්ණනාක්‍රමත් පිරිසිදු වාක්‍යරචනාරීතිත් මේ ග්‍රන්ථයෙන් ඉගෙනිය හැකි ය.

ග්‍රන්ථතත්ත්‍වය

කාව්‍යප්‍රභෙදයන් අතුරෙන් මේ ග්‍රන්ථය කෝෂකාව්‍යභෙදයෙහි ඇතුළත් වේ. සම්බුද්ධධර්මය අලලා සිංහලභාෂාවෙන් කළ මෙතරම් ශ්‍රෙෂ්ඨ ග්‍රන්ථයක් ගුරුළුගෝමීගේ ධර්මප්‍රදීපිකාව විනා තවත් නො මැති යි. ගුරුළුගෝමීන්ගේ අමාවතුර හුදු පරිවර්තනයකි. එහි භාෂාව අළුත් විලාසයක් ගත්තා නමුත් ග්‍රන්ථකර්තෘහූගේ ප්‍රතිභානයෙන් එකතු වූ කිසිවක් එහි නැත්තේ ය. සද්ධර්මරත්නාවලිය ද පරිවර්තනයකි. බුත්සරණ වූ කලී ඒ සියලු ග්‍රන්ථ ම පරදවා චක්‍රවර්තිශ්‍රියක් දරයි. මේ ග්‍රන්ථයෙහි වනාහි නොයෙක් චරිතකථාවන් පමණක් නො ව උසස් ධර්‍මකොඨාස ද සැකෙවින් දක්වන ලදී. මෙහි පෙණෙන නෛසර්ගික වූ පදලාලිත්‍යය අතිශයවෛචිත්‍ර්‍යාවහ ය. කියන්නන් කටට අසන්නන් කණට සුව එළවන ලිහිල් වචනයන් තෝරාගැණීමෙහි විද්‍යාචක්‍රවර්තීන් තුළැවූ ශක්තිය අනික් එක ද සිංහලගද්‍යග්‍රන්ථකාරයකු වෙත නො වී ය. ග්‍රන්ථකර්තෘහුගේ ප්‍රතිභානයෙන් උපදවන ලද විවිධමනොහර වර්ණනාක්‍රමත් රචනාවිලාසත් මෙහි නොයෙක් තැන ඇතුළත්වේ. මෙහි ඇතුළත් සමහර චරිතකථා අමාවතුරෙහි ද ඇතුළත් වන නමුත් ඒ කථා පාලිපොත්වලින් කියවූවෙකුට එහි අළුත් භාෂාවිලාසයෙන් ලැබෙන රසයට වැඩි අමුතු රසයක් එයින් වින්ද නො හැකි ය. විද්‍යාචක්‍රවර්තීන්ගේ පන්හිඳතුඩින් ලියවුනු ඒ කථා ම මුල් කථාවලට වඩා සියදහස් ගුණයෙන් රසවත් ය. අමාවතුරෙහි එන ආලවකදමනය මෙහි එන එම කථාව හා සසඳා බැලූවිට විද්‍යාචක්‍රවර්තීන්ගේ හා ගුරුළුගෝමීන්ගේ තත්ත්වය ඉඳුරා ප්‍රකට වෙයි. මෙහි 155 වන පිටුවෙහි පටන් පෙණෙන විශාලාපුර වර්ණනාව හා ලිච්ඡවිරාජවර්ණනාවත් කියවනවිට විද්‍යාචක්‍රවර්තීන්ගේ ප්‍රතිභාශක්තිය හා වර්ණනා ශක්තියත් නොගෙවෙතසුලුබව කියවන්නාගේ සිතෙහි තහවුරු වන්නේ විස්මයත් සමග ය. එම ලිච්ඡවිරාජවර්ණනාව සමහරවිට විද්‍යාචක්‍රවර්ති කාලයෙහි වූ රජෙකුගේ අධර්මිෂ්ඨරාජ්‍යපාලනයට එල්ලකරණලද්දක් ද විය හැකි ය. මෙහි හැමතන්හි ම වාගේ තැනට සුදුසු උපමා ය. එය පැවසීමට සුදුසු වචන ය. ඉතාමත් කොටින් කියතොත් මෙතරම් සාරවත් මෙතරම් රසවත් මෙතරම් ව්‍යක්ත අනික් සිංහලගද්‍යග්‍රන්ථයක් නැතැයි කිය යුතු ය.

ආශ්‍රිත ග්‍රන්ථ

මේ ග්‍රන්ථය කිරීමෙහි දී දීඝනිකායාදිය හා ධම්මපදට්ඨකථා ජාතකට්ඨකථා, විමානවස්තු, ප්‍රෙතවස්තු ආදි ග්‍රන්ථයන් ඇසුරු කළ බව පෙනේ. මෙහි නව වන අංශය විමානවස්තුප්‍රකරණයේ සාරයකි. 39 වන අංශය දික්සඟියෙහි දසුත්තරසංගීති සූත්‍රයන්හි හා තවත් නොයෙක් තැන ආ ද්විකත්‍රිකාදිධර්ම එක්තැන් කිරීමෙන් විරචිත ය. 75 වන අංශයෙහි පටන් පෙණෙන ලොකවිවරණකථා බුද්ධදෙසනා නො වේ.

පොෂිත ග්‍රන්ථ

මේ බුත්සරණ බොහෝ සිංහලග්‍රන්ථකර්තෘවරයන්ට පිහිට වූවකි. බොහෝ ගත්කරුවෝ මෙයින් නොයෙක් දෙය ගත්හ. මෙහි 31, 94, 95 වන අංශාදියෙහි ඇතුළත් ඇතැම් වර්ණනා සිංහලශබ්දලක්‍ෂණකාර වෙදෙහ ස්වාමිපාදයෝ පාලිභාෂාවට පෙරළා සමන්තකූටවණ්ණනාවෙහි යොදා ගත්හ. වීදාගම මෛත්‍රෙයමහාස්වාමීන්ද්‍රයන්ගේ බුදුගුණාලංකාරයෙහි පෙනෙන විශාලානගරවර්ණනාදිය මෙයින් ම උපුටා ගන්නා ලදී. වෙනස නම් මෙහි වූ ගද්‍යවාක්‍ය එහි පද්‍යවාක්‍යයන් වීමයි. සිංහල ස්තූපවංශයෙහි බොහෝ තන්හි බුත්සරණවැකි අකුරකුදු නො වෙනස් සේ තිබේ. කාව්‍යශෙඛරයෙහි ද බුත්සරණින් ලබාගත් අබරණ පෙණේ. නොයෙක් පොත්වලින් වාක්‍යාදිය ගෙණ ලියන ලද සද්ධර්මාලංකාරය ගැන කියයුත්තක් ම නැත. ගුත්තිලකාව්‍යකාර වූ වෑත්තෑවේ හිමියෝ ද විද්‍යාචක්‍රවර්තීන්ගේ ප්‍රතිභානයෙන් උපකාර ලැබූහ. මෙසේ බොහෝ ග්‍රන්ථ විද්‍යාචක්‍රවර්තීන්ගේ කවිත්වයෙන් හා වචනයන්ගෙන් ද පොෂණය ලද බව කිය හැකි ය. සද්ධර්ම රත්නාවලියට හා පූජාවලියටත් බුත්සරණින් වැඩි දෙයක් ගත් බවක් නො පෙනේ. සද්ධර්මරත්නාවලියෙහි දෙතුන් පලක පෙණෙන “මකුළුනුයක යටිපිට ද උඩුපිට කළවත් නො වන තුරු” යන උපමාව බුත්සරණින් ගත්තකැ යි හැඟේ. පූජාවලියෙහි දීර්ඝ වශයෙන් විස්තර කළ මාරදුහිතෘ කථාවෙහි දී බුත්සරණෙහි 31 වන අංශය ද පූජාවලි කර්තෘපාදයන්ගේ සිහියට නැඟුනු බව හැඟේ.

දහම්සරණ හා සඟසරණ

දහම්සරණ හා සඟසරණ ද විද්‍යාචක්‍රවර්තීන්ගේ ම කෘති ය යි සමහරු කියති. හේතුව ලෙස දක්වන්නේ දහම්සරණෙහි එන ‘සත්රුවන් පුරාගිය බව මැ රත්නය සරණ ගියවුන්ට සියලු දුක් දුරු වෙයි කියා මා කියන්නා වූ තෙසරණ ගුණයට ම දෙයි’ යන පාඨය යි. මේ පාඨයෙන් බුත්සරණ ආදි පොත් ද දහම්සරණ කතුවරයා විසින් ම කළබවක් නො හැඟේ. දහම්සරණගුණ කියනවිට බුත්සරණසඟසරණගුණද ඉබේ ම කියවේ. එහෙයින් දහම්සරණකතුවරයා “මා කියන්නා වූ තෙසරණ ගුණ” යි යෙදීම යුතු ම ය. එයින් ඔහු විසින් බුත්සරණ සඟසරණ යන පොත් ද ලියූ සේ නිශ්චය කිරීම යුතු නො වේ.

අප කියන්නේ මේ පොත් තුණ කාල තුණකට අයත් තුන් දෙනෙකුන්ගේ කෘති ය යන බව යි. ඒ පොත් තුණෙන් ප්‍රකාශ වන ප්‍රතිභානය හා වර්ණනාවිලාසයත් වාක්‍යරචනාරීතිය හා ශබ්ද ප්‍රයෝගයත් හාත්පසින් ම එකිනෙකට වෙනස් ය.

බුත්සරණින් ප්‍රකාශ වන අන්දමේ ශ්‍රෙෂ්ඨප්‍රතිභානයක් දහම් සරණින් ප්‍රකාශ නො වේ. සඟසරණින් ප්‍රකාශ වන විශේෂ ප්‍රතිභානයක් නැත්තේ ය. බුත්සරණෙහි පෙණෙන වර්ණනාවන් තරම් දහම් සරණෙහි වර්ණනා ස්වභාවික ද නිරුත්සාහකෘත ද චමත්කාරජනක ද නො වේ. දහම්සරණකාරයන් නොයෙක් විට බුත්සරණ අනුගමනය කරන්ට උත්සාහ කළ බව පෙනෙන නමුත් ඒ උත්සාහ එතරම් සාර්ථක වූ බවක් නො පෙනේ. දහම් සරණෙහි මුල කොටස කාදම්බරී ආදි සංස්කෘත-ගද්‍යකාව්‍යයන්හි පෙණෙන දීර්ඝසමාසපදයන් වැනි සංස්කෘතසමාසපදයන් බහුල භාෂාවෙන් රචිත ය. විද්‍යාචක්‍රවර්තීහු එබඳු භාෂාවට කිසි විටෙක රුචි නො කළහ. දහම්සරණෙහි අග කොටස සාමාන්‍ය සිංහල භාෂාවෙන් රචිත නමුත් ඒ භාෂාව බුත්සරණෙහි භාෂාව මෙන් ලලිත ද මනොහර ද නො වේ. සඟසරණ මේ හැම කරුණකින් ම දිළිඳු ය.

බුත්සරණ කරණ ලද්දේ පොළොන්නරුකාලයේ දී නොහොත් ඊට පෙර ය යි මුල දී කීමු. දහම්සරණ කරණ ලද්දේ දඹදෙණිකාලයෙන් පසු ව ය යි කීමට කරුණු තිබේ.

සද්ධර්මරත්නාවලිය දඹදෙණිකාලයේ කරණ ලද ග්‍රන්ථයකි. පුරාණ ග්‍රන්ථකර්තෘවරයන්ගේ නම් දක්වන නිකාය සංග්‍රහය සද්ධර්මරත්නාවලීනාමය දක්වන්නේ පූජාවලිකර්තෲ නාමයටත් පසු ව ය. සද්ධර්මරත්නාවලිය ධම්මපදට්ඨකථාවේ විස්තෘත පරිවර්තනයෙකි. ධම්මපදට්ඨකථාවේ එන කථාවස්තු සිංහලයට පෙරලන්නෙකු එය බලනු නිසැක ය. දහම්සරණ කර්තෘ ද ධම්මපදට්ඨකථාවෙහි එන කථාවස්තු ලියද්දී සද්ධර්ම රත්නාවලිය බැලූබව ඔප්පුවන තැන් කීපයක් තිබේ. ඒ දෙපොතෙහි ම පෙණෙන සෝෂකකථාවෙහි භාෂාව සමාන ය. “එසේ හෙයින් සත්පුරුෂයන් විසින් අනික් කරණ කුශලයක් නැත ද තුණුරුවන් කෙරෙහි ස්නේහමාත්‍රයක් උපදවා අසාධාරණ වූ අනුපම වූ දිව්‍යසම්පත් අනුභවකරන්ට උත්සාහ කට යුත්තේ ය.” යන වාක්‍යය සද්ධර්මරත්නාවලී කාරයන්ට නොයෙක් තැන පුරුදු ලෙසින් ම සොෂකකථාවෙහි ද ලියුවකි. ඊට සමාන පාලිපාඨයක් ධම්මපදට්ඨකථාවෙහි නොමැතියි. දහම්සරණෙහි 229 වන පිටුවෙහි මේ වාක්‍යය -

“එහෙයින් සත්පුරුෂයන් විසින් ඉතිරි කරණ ලද කුසල් නැත් ද, තුණුරුවන්හි ස්නෙහමාත්‍රයක් කොට ද අසාධාරණ වූ අනුපම වූ දිව්‍යසම්පත් අනුභව කරන්නට උත්සාහ කළ මැනව” යන ලෙසින් පෙනේ. දෙකෙහි වෙනස ඉතා ස්වල්පයකි. මෙබඳු තවත් තැන් එහි තිබේ. සද්ධර්මරත්නාවලී කර්තෘපාදයන් තමන්ගේ ප්‍රතිභානයෙන් උපදවා අමුතු දෙය එකතු කරමින් ධම්මපදට්ඨකථාව පරිවර්තනය කරද්දී සොෂකකථාව ලිවීමට දහම් සරණ පෙරළා බැලුවයි සිතීම යුතු නො වේ. සොෂක කථාව අනික් පොතකට ඇතුළත් කරන්නා එය තිබෙන මුල්පොත නොහොත් එහි පරිවර්තනය බැලීම ස්වභාවික ය. එහෙයින් දහම්සරණකාරයන් සද්ධර්මරත්නාවලිය බලමින් ම සොෂකකථාව ලියුවයි සිතීම යුතු ය.

මේ කරුණු වලින් තීරණය කට හැක්කේ දහම්සරණ විද්‍යාචක්‍රවර්තීන්ගේ කෘතියක් නො ව සද්ධර්මරත්නාවලියට ද පසු ව ලියූ පොතක් බව ය.

බුත්සරණ දහම්සරණ දෙක පමණක් තිබෙනු දුටු පසු ව සිටියෙකු විසින් සඟසරණක් ද අවශ්‍යය යි සිතා එය ලියා අර දෙ පොතට ම එකතු කළ සේ සිතිය හැකි ය.

ශොධනය

මීට අවුරුදු 50 කට පමණ ඉහත දී මේ ග්‍රන්ථයෙන් කොටසක් මුල්ලේරියාවේ විපුලසාර මහාස්ථවිර පාදයන් වහන්සේ විසින් සකස් කර මුද්‍රණය කරවන ලදී. 1929 දී පමණ අප විසින් ද කළුකොඳයාවේ පඤ්ඤාසෙඛර නායක ස්ථවිරපාදයන් වහන්සේගේ සහායත්‍වය ඇති ව එක් කොටසක් ශුද්ධ කර ප්‍රකාශයට පමුණුවන ලදී. ඊට පසු “අප මුත් අන් කෙනෙක් නැතැ”යි දැනුමැතිකම් උගත්කම් වියත්කම්හි බැහැවුනු එක්තරා කෙනෙකුන් විසින් මුළු පොත ම ගැටපද විවරණයකැයි නම් තැබූ කොටසකුත් සමග මුද්‍රණය කරවන ලදී. 1931 දී අප සම්පූර්ණ ග්‍රන්ථය ම ශුද්ධකර මුද්‍රණය කරවීමු. එහි සංඥාපනයෙහි යථොක්ත දැනුමැතියන්ගේ කෘතිය සම්බන්ධ ව වචන ස්වල්පයක් දැක්වීමු.

අපේ සංස්කරණය ඊට පසු ද කීපවරක් මුද්‍රණය කරවන ලද නමුත් පසුගිය මහායුද්ධය නිසා මුද්‍රණොපකරණ මහාර්ඝ වීම නිසා මේ මහාග්‍රන්ථය දුර්ලභ වී ය. අපේ ශිෂ්‍යයකු වූ වෛද්‍යකලානිධි පෙමසිරි අභයවික්‍රම වෙදමහත්මයාගේ ඉල්ලීම නිසා මේ වර සංස්කරණය ආරම්භ කොට හඟුරන්කෙත පොත්ගුල්විහාරයෙන් ලැබුනු පැරණි පිටපත් දෙකක් හා සසඳමින් පිටු 80 ක් පමණ සකස් කෙළෙමු. ඒ අතර මේ මුද්‍රණය යුහුසුළු ව කළ යුතු ය යි ප්‍රකාශකයන් කියා සිටි හෙයින් අමුතු පොත් හා සැසඳීම නැවැත්වීමු. මේ සංස්කරණය 1931 වන අවුරුද්දේ දී ප්‍රකාශයට පැමිණි සංස්කරණයට බෙහෙවින් සමාන ය. ඊට වඩා වෙනස් තැන් ස්වල්පයක් ද මෙහි නැත්තේ නො වේ. 22 වන පිටුවෙහි “තොප යොවුන් තොප රූහි” යන්න “තොප යොවුන්තුරූහි”යි ද, 262 වන පිටුවෙහි “ලියත් ලියත් රුඇහලෙකැ හෙන” යන්න “ලියත් ලියත් රුඇහළ්වෙහි හෙන” යි ද සියලු ම පුස්කොළ පිටපත්වලට ද විරුද්ධ ව සකස් කෙළෙමු. “රුඇහලෙක හෙන” යන්න ද පුස්කොළපොත්හි පෙණෙන්නේ “රුඇලක එන” යන ලෙසිනි. “හළ්වෙහි” යි වෙනස් කළේ 240 වන පිටුවෙහි තිබෙන “හළ්යේ වැටීහින්නැ” යි යන පාඨය හා ඇත්දළවඩුවන් අතර පවත්නා “දිය අළුව, රූඅළුව, ගිනිඅළුව” යන වචන ද සමග සැසඳීමෙනි. මෙසේ වෙනස් වූ තවත් පාඨකීපයක් ඇත්තේ ය.

මුද්‍රණය

අපේ මේ සංස්කරණය මුද්‍රණය කරවා ගැණීමට යථොක්ත අභයවික්‍රම වෙදමහත්මයාට අවසර දුන්නේමු. එහෙයින් ඔහුගේ කැමැත්ත නැති ව මෙහි අපේ සංස්කරණයන් පැහැර ගැණීම නීතිවිරුද්ධ ය යන බව අනුන්ගේ ග්‍රන්ථසංස්කරණයන් පැහැර ගන්නන්ට අනුකම්පාපූර්‍වකව මතක් කරමු.

ප්‍රාමාදිකපාඨ

මේ වර මෙය මුද්‍රණයන්ත්‍රාලය කීපයක මුද්‍රණය කරවන ලදී. එහෙයින් මෙහි පිටු 40 ක හෝ 48 ක ශුද්ධිපත්‍ර එක්දවසක දී කියවන්ට අපට සිදු වී ය. ඉගැන්වීම් ආදි තවත් කටයුතුවල යෙදී සිටින්නෙකු එක දවසක් තුළ එතරම් ශුද්ධිපත්‍ර රාශියක් කියවන විට නොයෙක් ප්‍රමාද දොෂයන් ඇති විය හැකි බව කිව යුතු නො වේ. එබඳු දොෂයන් සකස් කරගැනීම බුද්ධිමත් පාඨකයන්ට අපහසු නොවන හෙයින් ශුද්ධිපත්‍රයක් යෙදීමට අදහස් නො කෙළෙමු.

උපකාර

මේ වර මුද්‍රණයේ දී ශුද්ධිපත්‍ර කියවීම සඳහා විද්‍යොදය පිරිවෙණේ ආචාර්ය්‍යවරයන් වන වැලිවිටියේ පෙමරතන, වේරගොඩ පණ්ඩිත අමරමොලි, පණමගල පණ්ඩිත ජිනරතන යන නායක ස්ථවිරයන්ගෙන් හා ගලගම පණ්ඩිත සරණංකර ස්ථවිර නමගෙන් ද උපකාර ලැබුනු බව ප්‍රීති පූර්වක ව සඳහන් කරමු.

මෙහි අග යෙදුනු සංඥාමානුක්‍රමණිකාව සම්පාදනය කරණ ලද්දේ පී. අභයවික්‍රම වෙදමහත්මයා විසිනි.

ඇයත්න හා විකල්ප විධි

පුරාතනභාෂාවෙහි වර්තමානභාෂාවට වඩා අධික ව ඇයත්න ව්‍යවහාර කළ බව කවුරුත් පිළිගනිති. පුරාණ ආදර්ශග්‍රන්ථයන්හි අධික ව ‘ඇ’ කාරප්‍රයෝගය පෙණෙතත්, මෑත දී ලියන ලද පිටපත්හි වර්තමානභාෂාවෙහි මෙන් ම ඇයත්න ලුප්තප්‍රාය ය. පුරාණපිටපත් අනු ව අපි මේ ග්‍රන්ථය සකස් කෙළෙමු. එහෙත් ප්‍රථමාවිභක්ත්‍යන්තපදයන්හි පවා ‘ය’ යන්න දුටු පමණින් “අසෙවනීයැ” “කර්මීයැ” යනාදි වශයෙන් ‘යැ’ යන්න යොදන “දැනුමැති” යන් සේ සැහැසි නූවමු. “කළහ, වදාළහ” යනාදි වශයෙන් යෙදුනු වචන මෙහි “කළහැ, වදාළහැ” යනාදි වශයෙන් යෙදූබව විශේෂයෙන් කිය යුත්තකි. පැරණිපිටපත්හි පෙණෙණයේ ද මේ ක්‍රමය මැ යි. මුල දී මෙය ලෙඛකප්‍රමාද ජාතයෙකැයි සිතූ නමුත්, බොහෝතන්හි පෙණෙනහෙයින් මෙයින් අන්‍ය අමාවතුරු, ධර්මප්‍රදීපිකාදි පැරණිපුස්කොළ පොත් ද පරීක්‍ෂා කෙළෙමු. එහි දු මෙසේ ම යෙදුනු බව පෙණින. මුද්‍රිත පූජාවලි ආදියෙහි ද ඇතැම්තැන මේ දක්නා ලදී. මෙය ලෙඛක ප්‍රමාද ජාතයෙක් නම්, බැලූ බැලූ පොත්හි තිබිය හැකි නො වේ. ග්‍රන්ථශොධකයන්ගේ භ්‍රමය මිස ලෙඛකයන්ගේ භ්‍රමයක් මෙතැන්හි නැත. මේ ‘හැ’ යන්න ‘හු+යැ’ (=කළාහු+යැ) යන දෙක සන්ධිවීමෙන් ලැබෙන රූපය යි. වර්තමානභාෂාවෙහි ‘යැ’ නිපාතය ‘ය’ බවට නැමුනාක් මෙන් ‘හැ’ යන්න ද ‘හ’ බවට නැමුනේ ය. එහෙයින් එහි වූ සන්ධිය වාර්තමානිකයෝ නො සලකති. වාක්‍ය පරිසමාප්ත්‍යර්ථයෙහි යෙදෙන ‘ය’ නිපාතය ‘හු’ යන්නෙන් පර ව මිස මේ ‘හ’ යන්නෙන් පර ව නො යෙදේ. ‘හ’ යන්නෙහි සන්ධියෙන් ප්‍රවිෂ්ටන ව යකාරය තිබෙන හෙයිනි. එසේ ම “කළාහු ය. වදාළාහු ම ය”යි යොදනු මිස “කළාහ ය කළාහ ම ය” යන වශයෙන් නො යොදති. මේ කී නිර්දෙශයෙන් යට කී සන්ධිවිධිය ස්ඵුට වන හෙයින් ‘කළහැ’ යනාදිය මෙහි දී අවිගීතත ය. හෙ ද විකල්පයෙනි. “සෙයෙකැ=සේකැ (=සෙයෙක්+යැ) සෙයෙක=සේක. රයින්=රයින්, ගැත්තහු=ගැත්තවු, අන්හු=අන්‍තු, අතළ=අතළ,

පවා=පොවා, හැරුදක්වා=ඇරුදක්වා” යනාදිය ද විකල්පවශයෙන් පැරැණි පිටපත්හි පෙණුනු හෙයින් එසේ යොදන ලදී.

විද්‍යාචක්‍රවර්තීන් විසින් යම් භාෂාවකින් මේ පොත ලියන ලද නම්, ඒ භාෂාව ම මෙහි යොදා ලන්නට හැමවිට ම උත්සාහ ගතුම්හ. මින් අවුරුදු හත්සිය ගණනකට ඉහත පැවැතුනු භාෂාව හා වර්තමානභාෂාවන් සමාන සේ නො සිතිය යුතු යි.

වැලිවිටියේ සොරත ස්ථවිර

ශ්‍රී බු: ව: 2496 මාර්තු මස 10 වන දින ක්‍රි: ව: 1953 විද්‍යොදය පිරිවෙණේ දී ය

මේ වර මුද්‍රණයෙහි දී ද සමහර කොටස්වල ශුද්ධිපත්‍ර අප විසින් නො ව වේරගොඩ පණ්ඩිත අමරමොලි නායක ස්ථවිරයන් විසින් කියවූ බව ස්තුති පූර්වක ව සඳහන් කරමි.

වැලිවිටියේ සොරත ස්ථවිර

2503 අගෝස්තු 24 වන දින දී ය 1959

වැලිවිටියේ සොරත ස්ථවිර
ශ්‍රී බු: ව: 2496 මාර්තු මස 10 වන දින
ක්‍රි: ව: 1953
විද්‍යොදය පිරිවෙණේ දී ය
...
වැලිවිටියේ සොරත ස්ථවිර
2503 අගෝස්තු 24 වන දින දී ය
1959