බුත්සරණ - විද්‍යාචක්‍රවර්ති 1953.pdf

කතෘ :
විද්‍යාචක්‍රවර්ති
ප්‍රකාශිත වර්ෂය :
1953
මුද්‍රිත වර්ෂය :
1953
පිටු ගණන :
349
බාගත කිරීම් ගණන :
2
වෙබ් අඩවියට එක් කළ දිනය :
2026-10-18
ගොනුවේ ප්‍රමාණය :
85 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

වෙනත් සංස්කරණ

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 175

අමෘතාවහ නම් වූ බුත්සරණ යනු පොළොන්නරු යුගයේ විසූ ප්‍රකට වියතෙකු වූ විද්‍යාචක්‍රවර්තීන් විසින් බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ හා චරිතාපදානය විස්තර කරමින් රචනා කරන ලද විශිෂ්ට සම්භාව්‍ය සිංහල ගද්‍ය කාව්‍යයකි. බුදුගුණ මහිමය ප්‍රකාශ කරන මෙම ග්‍රන්ථය ‘බුත්සරණ’ යන නමින් බෞද්ධ සාහිත්‍යයේ අතිශයින් ප්‍රචලිත වී ඇත.

මෙම සංස්කරණය වැලිවිටියේ පණ්ඩිතාචාර්‍ය්‍ය සොරත නායක ස්ථවිරයන් වහන්සේ විසින් පුස්කොළ පිටපත් කිහිපයක් සංසන්දනය කරමින් ශුද්ධ පවිත්‍ර කොට සම්පාදනය කරන ලද්දකි. විද්‍යාචක්‍රවර්තීන්ගේ බස් වහර, පැරණි වියරණ හා සන්ධි රීති නොවෙනස්ව තබමින් විචාරාත්මක ප්‍රස්තාවනාවක් ද සහිතව මෙම සංස්කරණය සකසා ඇත.

වෛද්‍යකලානිධි පී. අභයවික්‍රම වෙදමහතාගේ ප්‍රකාශනයක් ලෙස මෙහි සතරවැනි මුද්‍රණය බු.ව. 2496 (ක්‍රි.ව. 1953) දී වැල්ලම්පිටියේ නවජීවන යන්ත්‍රාලයෙහි මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර තිබේ. පොත අවසානයෙහි පී. අභයවික්‍රම මහතා විසින් සකස් කරන ලද විස්තරාත්මක සංඥානාමානුක්‍රමණිකාවක් ද අන්තර්ගත වේ.

ප්‍රස්තාවනාව.

මේ ග්‍රන්ථයට තැබූ විශේෂසංඥාව ‘අමෘතාවහ’ යන්න යි. “අමෘත සඞ්ඛ්‍යාත නිර්‍වාණය ආවහනය කරන්නේ ය. ගෙන දෙන්නේ ය” යනු එහි අර්‍ථ යි. ‘අමෘතාවහ නම් වූ බුද්ධචරිතය නිමී’යි ග්‍රන්ථාවසානයෙහි පෙනෙන හෙයින් ‘බුද්ධචරිතය’ යනු සාමාන්‍ය සංඥාව යි. මෙහි වර්‍ණනා කරණ ලද්දේ බුදුරජානන් වහන්සේගේ චරිතය යි. එහෙත් ග්‍රන්ථයෙහි නොයෙක් තැන ‘බුත්සරණ’ යනු පෙනෙන හෙයින් හා මෙයින් බුත්සරණ පැවසෙන බැවින් ද ‘බුත්සරණ’ යනු ම විශේෂ සංඥාව වශයෙන් ප්‍රචලිත විය. අප විසින් එය මෙහි සාමාන්‍ය සංඥා වශයෙන් යොදන ලදී.

මේ පොත කිරීමට අභ්‍යන්තර නිමිත්ත වශයෙන් තැකිය හැක්කේ සිංහල මනුෂ්‍යයන් විෂය කොට පැවැති කරුණාව ය. අනුන්ගේ ආරාධනාවක් නැති බැවින් කරුණාවට අරමුණු වූ සිංහල බෞද්ධ මහාජනයා ම බාහ්‍ය නිමිත්ත වශයෙන් සැලකිය හැකි ය.

මේ ග්‍රන්ථයෙහි කර්තෘ වනාහි විද්‍යාචක්‍රවර්ති නම් මහ පඬිවරයෙකි. සිංහල ස්තූපවංශය ද සකල විද්‍යාචක්‍රවර්තී පරාක්‍රම පණ්ඩිත නම් කෙනෙකුන් විසින් කරණ ලද්දෙකි. බුත්සරණ කළ විද්‍යාචක්‍රවර්තී හා ස්තූපවංශය කළ සකල විද්‍යාචක්‍රවර්තී පරාක්‍රම පණ්ඩිතයනුත් එක්කෙනෙකුන් ලෙස ම අපි මුල දී සිතීමු. එහෙත් පොත් දෙකෙහි භාෂාව සසඳා බලන විට පෙනෙන්නේ ස්තූපවංශය බුත්සරණට වඩා ශතවර්‍ෂ දෙකක් තුනක් ලාබාල බව ය. ස්තූපවංශය කුරුණෑගල රජදහනි කාලයට හෝ ඊට ඉතාමත් ආසන්න කාලයක කළ පොතකි. බුත්සරණ පොළොන්නරු කාලයට අයත් වූවකි. එහෙයින් ඒ පොත් දෙකෙහි කර්තෘවරු දෙදෙනෙකි. එක්කෙනෙක් නො වෙති.

මේ පොතෙහි කර්තෘ වූ විද්‍යාචක්‍රවර්තී සැබැවින් ම විද්‍යාචක්‍රවර්තියෙකි. සම්බුද්ධ ධර්‍මයෙහි හා නොයෙක් ශාස්ත්‍රාන්තරයන්හි අප්‍රතිහත බුද්ධි ප්‍රභාවයකින් යුක්තයෙකි. පැරණි සිංහල ග්‍රන්ථ කර්තෘවරයන් අතරෙහි ප්‍රතිභාන ශක්තියෙන් විද්‍යාචක්‍රවර්තීන්ට සම වන්නේ කව් සිළුමිණ රචනා කල කලිකාල සාහිත්‍ය කවීශ්වර පණ්ඩිත දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා පමණකි. සුප්‍රසිද්ධ සිංහල ග්‍රන්ථ කර්තෘවරයෙක් වූ ගුරුළුගෝමී කවිත්වයෙන් විද්‍යාචක්‍රවර්තීන් අසලකට වත් නොපැමිණේ. අතිශයෝක්ත චමත්කාරජනක උපමා කීමේහි මහා කවි කාලිදාසයන් ලැබූ කීර්තිය විද්‍යාචක්‍රවර්ති මහාකවි තෙමේ මේ එක ම පොතෙන් පැරදවී ය. කාලිදාසයන්ගේ සියලු ම කාව්‍යවල ඇති උපමාවන් මේ එක ම බුත්සරණෙහි ඇති උපමාවන්ට අඩු බව ඒ පිළිබඳ පරීක්‍ෂා කලොත් ඔප්පු වෙයි.

මේ ග්‍රන්ථය සම්බුද්ධ ධර්‍ම ග්‍රන්ථයක් වශයෙන් පමණක් නො ව ගද්‍යකාව්‍ය ග්‍රන්ථයක් වශයෙන් ද ඉතා ප්‍රයෝජනවත් ය. සම්බුද්ධ ධර්‍මය ඉගෙන ගන්නා අතර ම මනොහර වර්‍ණනා ක්‍රමවත් පිරිසිදු වාක්‍ය රචනාරීතිත් මේ ග්‍රන්ථයෙන් ඉගෙනිය හැකි ය.

කාව්‍ය ප්‍රභේදයන් අතුරෙන් මේ ග්‍රන්ථය කොෂ කාව්‍ය ප්‍රභේදයෙහි ඇතුළත් වේ. සම්බුද්ධ ධර්‍මය අළලා සිංහල භාෂාවෙන් කල මෙතරම් ශ්‍රෙෂ්ඨ ග්‍රන්ථයක් ගුරුළුගෝමීන්ගේ ධර්‍මප්‍රදීපිකාව විනා තවත් නොමැති යි. ගුරුළුගෝමීන්ගේ අමාවතුර හුදු පරිවර්තනයකි. එහි භාෂාව අළුත් විලාසයක් ගත්තා නමුත් ග්‍රන්ථකර්තෲන්ගේ ප්‍රතිභානයෙන් එකතු වූ කිසිවක් එහි නැත්තේ ය. සද්ධර්‍ම රත්නාවලිය ද පරිවර්තනයකි. බුත්සරණ වූ කලී ඒ සියලු ග්‍රන්ථ ම පරදවා චක්‍රවර්ති ශ්‍රියක් දරයි. මේ ග්‍රන්ථයෙහි වනාහි නොයෙක් චරිත කථාවන් පමණක් නො ව උසස් ධර්‍මකොට්ඨාස ද සැකෙවින් දක්වන ලදී. මෙහි පෙනෙන නෛසර්‍ගික වූ පදලාලිත්‍යය අතිශය චෙතොවිමොහාවහ ය. කියන්නන් කටට අසන්නන් කණට සුව එළවන ලිහිල් වචනයන් තෝරාගැනීමෙහි විද්‍යාචක්‍රවර්තීන් තුළ වූ ශක්තිය අනික් එක ද සිංහල ගද්‍ය ග්‍රන්ථකාරයෙකු වෙත නො වී ය. ග්‍රන්ථකර්තෘහුගේ ප්‍රතිභානයෙන් උපදවන ලද විවිධ මනොහර වර්‍ණනා ක්‍රමවත් රචනා විලාසයක් මෙහි නොයෙක් තැන ඇතුළත් වේ. මෙහි ඇතුළත් සමහර චරිතකථා අමාවතුරෙහි ද ඇතුළත් වන නමුත් ඒ කථා පාලි පොත්වලින් කියවූවෙකුට එහි අළුත් භාෂාවිලාසයෙන් ලැබෙන රසයට වැඩි අමුතු රසයක් එයින් වින්ද නො හැකි ය. විද්‍යාචක්‍රවර්තීන්ගේ පත්තිඳතුඩින් ලියවුනු ඒ කථා ම මුල් කථාවලට වඩා සියදහස් ගුණයෙන් රසවත් ය. අමාවතුරෙහි එන ආලවකදමනය මෙහි එන එම කථාව හා සසඳා බැලූවිට විද්‍යාචක්‍රවර්තීන්ගේ හා ගුරුළුගෝමීන්ගේ තත්ත්‍වය දුරු ප්‍රකට වෙයි. මෙහි 156 වන පිටුවෙහි පටන් පෙනෙන විශාලාපුර වර්‍ණනාව හා ලිච්ඡවිරාජ වර්‍ණනාවන් කියවන විට විද්‍යාචක්‍රවර්තීන්ගේ ප්‍රතිභාන ශක්තිය හා වර්‍ණනා ශක්තියත් සිතා ගත නොහෙන සුලු බව කියවන්නාගේ සිතෙහි තහවුරු වන්නේ විස්මයත් සමග ය. එම ලිච්ඡවිරාජවර්‍ණනාව සමහරවිට විද්‍යාචක්‍රවර්තී කාලයෙහි වූ රජෙකුගේ අධර්මිෂ්ට රජ්‍ය පාලනයට එල්ල කරණ ලද්දක් ද විය හැකි ය. මෙහි හැමතන්හි ම වාගේ තැනට සුදුසු උපමා ය. එය පැවසීමට සුදුසු වචන ය. ඉතාමත් කොටින් කියතොත් මෙතරම් සාරවත් මෙතරම් රසවත් මෙතරම් ව්‍යක්ත අනික් සිංහල ගද්‍ය ග්‍රන්ථයක් නැතැයි කිය යුතු ය.

මේ ග්‍රන්ථය කිරීමෙහි දී දීඝනිකායාදිය හා ධම්මපදට්ඨකථා, ජාතකට්ඨකථා, විමානවත්ථු, ප්‍රෙතවත්ථු ආදි ග්‍රන්ථයන් ඇසුරු කල බව පෙනේ. මෙහි නවවන අංශය විමානවස්තු ප්‍රකරණයේ සාරයකි. 39 වන අංශය දික්සඟියෙහි දසුත්තර සූත්‍රාන්තයෙහි හා තවත් නොයෙක් තැන ආ ත්‍රික ත්‍රිකාදිබ්ධි එක්තැන් කිරීමෙන් විරචිත ය. 75 වන අංශයෙහි පටන් පෙනෙන ලොක විවරණ කථා බුද්ධ දෙශනා නො වේ.

මේ බුත්සරණ බොහෝ සිංහල ග්‍රන්ථ කර්තෲවරුන්ට පිහිට වූවකි. බොහෝ ගත්කරුවෝ මෙයින් නොයෙක් දෙය ගත්හ. මෙහි 31, 94, 95 වන අංශාදියෙහි ඇතුළත් ඇතැම් වර්‍ණනා සිංහල සබඳ ලක්‍ෂණකාර වෙදෙහ ස්වාමිපාදයෝ පාලි භාෂාවට පෙරළා සමන්තකූට වර්‍ණනාවෙහි යොදා ගත්හ. විදුසක් මෙත් මහනෙත්පාමුළ මහාථෙරයන්ගේ බුදුගුණාලංකාරයෙහි පෙනෙන විශාලානගර වර්‍ණිතාදිය මෙයින්ම උපුටා ගන්නා ලදී. වෙනස නම් මෙහි වූ ගද්‍ය වාක්‍ය එහි පද්‍ය වාක්‍යයන් වීමයි. සිංහල ස්තූපවංසයෙහි බොහෝ තන්හි බුත්සරණ වැකි අකුරකින්දු නො වෙනස් සේ තිබේ. කාව්‍යශෙඛරයෙහි ද බුත්සරණින් ලබාගත් ආවරණ පෙනේ. නොයෙක් පොත්වලින් වාක්‍යාදිය ගෙන ලියන ලද සද්ධර්මාලංකාරය ගැන කියයුත්තක්ම නැත. ගුත්තිල කාව්‍යකාර වූ වැත්තෑවේ හිමියෝ ද විද්‍යාචක්‍රවර්තීන්ගේ ප්‍රතිභානයෙන් උපකාර ලැබූහ. මෙසේ බොහෝ ග්‍රන්ථ විද්‍යාචක්‍රවර්තීන්ගේ කවිත්වයෙන් හා වචනයන්ගෙන් ද පෝෂණය ලද බව කිය හැකි ය. සද්ධර්මරත්නාවලියට හා පූජාවලියටත් බුත්සරණින් වැඩි දෙයක් ගත් බවක් නො පෙනේ. සද්ධර්මරත්නාවලියෙහි දෙතැන් පළක පෙනෙන “මූතුඑළුවක යටිපිට ද උඩුපිට කළුවන් නො වන තුරු” යන උපමාව බුත්සරණින් ගත්තකැයි හැඟේ. පූජාවලියෙහි දීර්ඝ වශයෙන් විස්තර කළ මාරදුහිතෘ කථාවෙහිදී බුත්සරණෙහි 31 වන අංශය ද පූජාවලී කර්තෘපාදයන්ගේ සිහියට නැගුණු බව හැඟේ.

දහම්සරණ හා සඟසරණ ද විද්‍යාචක්‍රවර්තීන්ගේ ම කෘතීන් යයි සමහරු කියති. හේතුව ලෙස දක්වන්නේ දහම් සරණෙහි එන “සත්රුවන් පුරශිය බව මැ රත්නත්‍රය සරණ ගියවුන්ට සියලු දුක් දුරු වෙයි කියා මා කියන්නා වූ තෙසරණ ගුණයට ම දෙකැ” යන පාඨයයි. මේ පාඨයෙන් බුත්සරණ ආදි පොත් ද දහම් සරණ කතුවරයා විසින් ම කළ බවක් නොහැඟේ. දහම්සරණ ගුණ කියන විට බුත්සරණ සඟසරණ ගුණ ද ඉබේම කියවේ. එහෙයින් දහම් සරණ කතුවරයා “මා කියන්නා වූ තෙසරණ ගුණැ”යි යෙදීම යුතු ම ය. එයින් ඔහු විසින් බුත්සරණ සඟසරණ යන පොත් ද ලියූ සේ නිගමය කිරීම යුතු නො වේ.

අප කියන්නේ මේ පොත් තුණ කාල තුණකට අයත් තුන් දෙනෙකුන්ගේ කෘතිය යන බවයි. ඒ පොත් තුනෙන් ප්‍රකාශ වන ප්‍රතිභානය හා වර්‍ණනාවිලාසයත් වාක්‍ය රචනාරීතිය හා ශබ්ද ප්‍රයෝගයත් හාත්පසින් ම එකිනෙකට වෙනස් ය.

බුත්සරණින් ප්‍රකාශ වන අන්දමේ ශ්‍රෙෂ්ඨ ප්‍රතිභානයක් දහම් සරණින් ප්‍රකාශ නො වේ. සඟසරණින් ප්‍රකාශ වන විශේෂ ප්‍රතිභානයක් නැත්තේ ය. බුත්සරණෙහි පෙනෙන වර්‍ණනාවන් තරම් දහම් සරණෙහි වර්‍ණනා ස්වාභාවික ද නිරුත්සාහකෘත ද චමත්කාරජනක ද නො වේ. දහම් සරණ කාරයන් නොයෙක් විට බුත්සරණ අනුගමනය කරන්ට උත්සාහ කළ බව පෙනෙන නමුත් ඒ උත්සාහ එතරම් සාර්‍ථක වූ බවක් නො පෙනේ. දහම් සරණෙහි මුල කොටස කාදම්බරී ආදි සංස්කෘත ගද්‍ය කාව්‍යයන්හි පෙනෙන දීර්ඝ සමාස පදයන් වැනි සංස්කෘත සමාස පදයන් බහුල භාෂාවෙන් රචිතය. විද්‍යාචක්‍රවර්තීහු එබඳු භාෂාවට කිසිවිටෙක රුචි නො කලහ. දහම් සරණෙහි අනිකොටස සාමාන්‍ය සිංහල භාෂාවෙන් රචිත නමුත් ඒ භාෂාව බුත්සරණෙහි භාෂාව මෙන් ලලිත ද මනොහර ද නො වේ. සඟසරණ මේ හැම කරුණකින් ම දිළිඳු ය.

බුත්සරණ කරන ලද්දේ පොළොන්නරු කාලයේ දී නොහොත් ඊට පෙරයයි මුල දී කීවු. දහම් සරණ කරන ලද්දේ දඹදෙණි කාලයෙන් පසු වූ යයි සිතීමට කරුණු තිබේ.

සද්ධර්ම රත්නාවලිය දඹදෙණි කාලයේ කරන ලද ග්‍රන්ථයකි. පුරාණ ග්‍රන්ථකර්තෘවරයන්ගේ නම් දක්වන නිකායසංග්‍රහය සද්ධර්මරත්නාවලී නාමය දක්වන්නේ පූජාවලී කර්තෘ නාමයටත් පසු ව ය. සද්ධර්මරත්නාවලිය ධම්මපදට්ඨකථාවේ විස්තෘත පරිවර්තනයෙකි. ධම්මපදට්ඨකථාවේ එන කථාවස්තු සිංහලයට පෙරළත් නෙකු එය බලනු නිසැකය. දහම් සරණ කර්තෲ ද ධම්මපදට්ඨකථා වෙහි එන කථාවස්තු ලියද්දී සද්ධර්මරත්නාවලිය බැලූබව ඔප්පු වන තැන් කීපයක් තිබේ. ඒ දෙපොතෙහිම පෙනෙන සෝපාක කථාවෙහි භාෂාව සමාන ය. “එසේ හෙයින් සත්පුරුෂයන් විසින් අනික් කරණ කුශලයක් නැත ද තුණුරුවන් කෙරෙහි ස්නෙහ මාත්‍රයක් උපදවා අසාධාරණ වූ අනුපම වූ දිව්‍යසම්පත් අනුභව කරන්ට උත්සාහ කට යුත්තේය.” යන වාක්‍යය සද්ධර්ම රත්නාවලීකාරයන්ට නොයෙක් තැන පුරුදු ලෙසින් ම සෝපාක කථාවෙහි ද ලියුවකි. ඊට සමාන පාලි පාඨයක් ධම්මපදට්ඨකථාවෙහි නොමැතියි. දහම්සරණෙහි 229 වන පිටුවෙහි මේ වාක්‍යය—

“එහෙයින් සත්පුරුෂයන් විසින් ඉතිරි කරණ ලද කුසල් නැත් ද, තුණුරුවන්හි ස්නෙහමාත්‍රයක් කොට ද අසාධාරණ වූ අනුපම වූ දිව්‍යසම්පත් අනුභව කරන්ට උත්සාහ කළ මැනව.”

යන ලෙසින් පෙනේ. දෙකෙහි වෙනස ඉතා ස්වල්පයකි. මෙබඳු තවත් තැන් එහි තිබේ. සද්ධර්මරත්නාවලී කර්තෘපාදයන් තමන්ගේ ප්‍රතිභානයෙන් උපදවා අමුතු දෙය එකතු කරමින් ධම්මපදට්ඨකථාව පරිවර්තනය කරද්දී සෝපාක කථාව ලිවීමට දහම් සරණ පෙරළා බැලුවේයි සිතීම යුතු නො වේ. සෝපාක කථාව අනික් පොතකට ඇතුළත් කරන්නා එය තිබෙන මුල් පොත නොහොත් එහි පරිවර්තනය බැලීම ස්වාභාවික ය. එහෙයින් දහම් සරණකාරයන් සද්ධර්මරත්නාවලිය බලමින් ම සෝපාක කථාව ලියුවයි සිතීම යුතු ය.

මේ කරුණු වලින් තීරණය කට හැක්කේ දහම්සරණ විද්‍යාචක්‍රවර්තීන්ගේ කෘතියක් නො ව සද්ධර්මරත්නාවලියට ද පසු ව ලියූ පොතක් බව ය.

බුත්සරණ දහම්සරණ දෙක පමණක් තිබෙනු දුටු පසු ව සිටියෙකු විසින් සඟසරණක් ද අවශ්‍යයයි සිතා එය ලියා අර දෙ පොතට ම එකතු කළ සේ සිතිය හැකි ය.

මීට අවුරුදු 50 කට පමණ ඉහත දී මේ ග්‍රන්ථයෙන් කොටසක් බුල්ලේගියාවේ විපුලසාර මහා ස්ථවිර පාදයන් වහන්සේ විසින් සකස් කර මුද්‍රණය කරවන ලදී. 1929 දී පමණ අප විසින් ද කළුකොඳයාවේ පඤ්ඤාශෙඛර නායක ස්ථවිරපාදයන් වහන්සේගේ සහායත්වය ඇති ව එක් කොට්ඨාසයක් ශුද්ධ කර ප්‍රකාශයට පමුණුවන ලදී. ඊට පසු “අප මුත් අන් කෙනෙක් නැතැ”යි දැනුමැතිකම් උගත්කම් වියත්කම්හි බැහැවුණු එක්තරා කෙනෙකුන් විසින් මුළු පොත ම ගැටපද විවරණයකැයි නම් තැබූ කොටසකුත් සමග මුද්‍රණය කරවන ලදි. 1931 දී අපි සම්පූර්‍ණ ග්‍රන්ථය ම ශුද්ධ කර මුද්‍රණය කරවීමු. එහි සංඥාපනයෙහි යථොක්ත දැනුමැතියන්ගේ කෘතිය සම්බන්ධ ව වචන ස්වල්පයක් දැක්වීමු.

අපේ සංස්කරණය ඊට පසු ද කීපවරක් මුද්‍රණය කරවන ලද නමුත් පසුගිය මහා යුද්ධය නිසා මුද්‍රණොපකරණ මහාර්ඝ වීම නිසා මේ මහාර්ඝත්‍වය දුර්ලභ විය. අපේ ශිෂ්‍යයෙකු වූ වෛද්‍යකලානිධි පණ්ඩිත අභයවික්‍රම වෙදමහත්මයාගේ ඉල්ලීම නිසා මේ වර සංස්කරණය ආරම්භ කොට හඟුරන්කෙත පොත්ගුල් විහාරයෙන් ලැබුණු පැරණි පිටපත් දෙකක් හා සසඳමින් පිටු 80 ක් පමණ සකස් කෙළෙමු. ඒ අතර මේ මුද්‍රණය හුනුහුලුව කළ යුතු යයි ප්‍රකාශකයන් කියා සිටි හෙයින් අමුතු පොත් හා සැසඳීම නැවැත්වීමු. මේ සංස්කරණය 1931 වන අවුරුද්දේ දී ප්‍රකාශයට පැමිණි සංස්කරණයට බෙහෙවින් සමාන ය. ඊට වඩා වෙනස් තැන් ස්වල්පයක් ද මෙහි නැත්තේ නො වේ. 22 වන පිටුවෙහි “තොප යොවුන් තොප රැකී” යන්න “තොප යොවුන්තොරැකී” යි ද, 262 වන පිටුවෙහි ලියත් ලියත් රු හලෙකැ ගෙන” යන්න “ලියත් ලියත් රුහැළ්වෙහි ගෙනැ”යි ද, සියලු ම පුස්කොළ පිටපත් වලට ද විරුද්ධ ව සකස් කෙළෙමු. “රු හලෙකැ ගෙන” යන්න ද පුස්කොළ පොත්හි පෙනෙන්නේ “රුලක එන” යන ලෙසිනි. “හළු වෙහි” යි වෙනස් කෙළේ 240 වන පිටුවෙහි තිබෙන ‘හළයේ වැලිගිනැ’යි යන පාඨය හා ඇත්දළ වඩුවන් අතර පවත්නා “දිය අළව, රූ අළව, හිති අළව” යන වචන ද සමග සැසඳීමෙනි. මෙසේ වෙනස් වූ තවත් පාඨ කීපයක් ඇත්තේ ය.

අපේ මේ සංස්කරණය මුද්‍රණය කරවා ගැනීමට යථොක්ත අභයවික්‍රම වෙදමහත්මයාට අවසර දුන්නේමු. එහෙයින් ඔහුගේ කැමැත්ත නැති ව මෙහි අපේ සංස්කරණයන් පැහැර ගැනීම නීතිවිරුද්ධ ය යන බව අනුන්ගේ පුස්තකසංස්කරණයන් පැහැරගන්නන්ට අනුකම්පා පූර්‍වක ව මතක් කරමු.

මේවර මෙය මුද්‍රණයන්ත්‍රාලයකීපයක මුද්‍රණය කරවන ලදී. එහෙයින් මෙහි පිටු 40 ක හෝ 48 ක ශුද්ධි පත්‍ර එක්දවසක දී කියවන්ට අපට සිදු වී ය. ඉගැන්වීම් ආදි තවත් කටයුතුවල යෙදී සිටින්නෙකු එක දවසක් තුළ එතරම් ශුද්ධි පත්‍ර රාශියක් කියවන විට නොයෙක් ප්‍රමාද දොෂ ඇති විය හැකි බව කිය යුතු නො වේ. එබඳු දොෂයන් සකස් කරගැනීම බුද්ධිමත් පාඨකයන්ට අපහසු නොවන හෙයින් ශුද්ධි පත්‍රයක් යෙදීමට අදහස් නො කෙළෙමු.

මේ වර මුද්‍රණයේ දී ශුද්ධි පත්‍ර කියවීම සඳහා විද්‍යොදය පිරිවෙනෙහි ආචාර්ය්‍යවරයන වන වැලිවිටියේ පේමරතන, වේරගොඩ පණ්ඩිත අමරමොලි, පණ්ඩිත පණ්ඩිත ජිනරතන යන නායක ස්ථවිරවරුන්ගෙන් හා ගලගම පණ්ඩිත සරණංකර ස්ථවිර තුමන්ගෙන්ද උපකාර ලැබුණු බව ප්‍රීති පූර්වක ව සඳහන් කරමු.

මෙහි අග යෙදුනු සංඥානාමානුක්‍රමණිකාව සම්පාදනය කරණ ලද්දේ පී. අභයවික්‍රම වෙදමහත්මයා විසිනි.

පුරාතන භාෂාවෙහි වර්තමාන භාෂාවට වඩා අධිකව ඇයන්න හා ඈයන්න භාවිතය කල බව කවුරුත් දනිති. පුරාණ ආදර්ශ ග්‍රන්ථයන්හි අධිකව ‘ඇ’ කාරප්‍රයෝගය පෙනෙතත්, මෑත දී ලියන ලද පිටපත්හි වර්තමාන භාෂාවෙහි මෙන් ම ඇයන්න ලුප්තප්‍රාය ය. පුරාණ පිටපත් අනුව අපි මේ ග්‍රන්ථය සකස් කෙළෙමු. එහෙත් ප්‍රථමා විභක්ත්‍යන්ත පදයන්හි පවා ‘ය’ යන්න දුටු පමණින් “අසෙවනී යැ” “කර්මයැ” යනාදි වශයෙන් ‘යැ’ යන්න යොදන “දැනුමැති” යන් සේ සැහැසි නූවෙමු. “කළහ, වදාළහ” යනාදි වශයෙන් යෙදුනු වචන මෙහි “කළහැ, වදාළහැ” යනාදි වශයෙන් යෙදු බව විශේෂයෙන් කිය යුත්තෙකි. පැරණි පිටපත්හි පෙනෙණුයේ ද මේ ක්‍රමය මැ යි. මුල දී මෙය ලෙඛක ප්‍රමාද ජාතයෙකැයි සිතූ නමුත්, බොහෝ තන්හි පෙනෙන හෙයින් මෙයින් අන්‍ය අමාවතුර, ධර්මප්‍රදීපිකාදි පැරණි පුස්කොළ පොත් ද පරික්‍ෂා කෙළෙමු. එහි දූ මෙසේ ම යෙදුනු බව පෙනී ය. මුද්‍රිත පුස්තකාවලි ආදියෙහි ද ඇතැම් තැන මේ දක්නා ලදී. මේය ලෙඛක ප්‍රමාද ජාතයෙක් නම්, බැලූ බැලූ පොත්හි තිබිය හැකි නොවේ. ග්‍රන්ථශොධකයන්ගේ ප්‍රමය මිස ලෙඛකයන්ගේ ප්‍රමයක් මෙතැන්හි නැත. මේ ‘හැ’ යන්න ‘හු+ඇ’ (=කළාහු + ඇ) යන දෙක සන්ධි වීමෙන් ලැබෙන රූපය යි. වර්තමාන භාෂාවෙහි ‘යැ’ නිපාතය ‘ය. බවට නැමුණාක් මෙන් ‘හැ’ යන්න ද ‘හ’ බවට නැමුණේ ය. එහෙයින් එහි වූ සන්ධිය වර්තමානිකයෝ නො සලකති. වාක්‍ය පරිසමාප්ත්‍යර්ථයෙහි යෙදෙන ‘ය’ නිපාතය ‘හු’ යන්නෙන් පර ව මිස මේ ‘හ’ යන්නෙන් පර ව නො යෙදේ. ‘හ යන්නෙහි සන්ධියෙන් ප්‍රවර්තන ව යකාරය තිබෙන හෙයිනි. එසේම “කළාහු ය. වදාළාහුමය”යි යොදනු මිස “කළාහ ය. කළාහමය” යන වශයෙන් නො යොදති. මෙහි නිදර්ශනයෙන් යට කී සන්ධිවිධිය ස්ඵුට වන හෙයින් ‘කළාහැ’ යනාදිය මෙහි දී අධිකීකෘත ය. හෙ ද විකල්පයෙනි. “සෙයෙකැ=සේකැ (=සෙයෙක් + ඇ) සෙයෙක=සේක. රයින්=රැයින්, ගැත්තහු=නැත්තවු, අන්හු=අන්තු, අතල=අතළ, පවා=පොවා, හැරදක්වා=ඇරදක්වා” යනාදිය ද විකල්ප වශයෙන් පැරණි පිටපත්හි පෙණුනු හෙයින් එසේ යොදන ලදී.

විද්‍යාචක්‍රවර්තීන් විසින් යම් භාෂාවකින් මේ පොත ලියන ලද නම්, ඒ භාෂාව ම මෙහි යොදාලන්නට හැමවිටම උත්සාහ ගනුම්හ. මින් අවුරුදු හත්සිය ගණනකට ඉහත පැවැතුණු භාෂාව හා වර්තමාන භාෂාවන් සමාන සේ නො සිතිය යුතු යි.

වැලිවිටියේ සොරත ස්ථවිර.
ශ්‍රී බු: ව: 2496 / ක්‍රි: ව: 1953 මැදින් මස 10 වන දින
විද්‍යොදය පිරිවෙණේ දී ය.