කෙලෙස් එක්දහස් පන්සියය.pdf

කතෘ :
රේරුකානේ චන්දවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2008
මුද්‍රිත වර්ෂය :
2008
පිටු ගණන :
299
බාගත කිරීම් ගණන :
10,605
වෙබ් අඩවියට එක් කළ දිනය :
2016-12-09
ගොනුවේ ප්‍රමාණය :
648 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 150

කෙලෙස් එක්දහස් පන්සියය යනු අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත අගනා ධර්ම ග්‍රන්ථයකි. බෞද්ධ සාහිත්‍යයේ නිතර අසන්නට ලැබෙන ‘එක්දහස් පන්සියයක් කෙලෙස්’ පිළිබඳව ගැඹුරු අභිධර්ම කරුණු සාමාන්‍ය පාඨකයාට පහසුවෙන් වටහාගත හැකි පරිදි සරල සිංහල බසින් මෙහි විස්තර කර ඇත.

මෙහි එක බැගින් දැක්වෙන ධර්මයන්ගේ පටන් දශක වශයෙන් සහ දෙසැට මිථ්‍යාදෘෂ්ටි ආදී වශයෙන් ක්ලේශ ධර්මයන් විග්‍රහ කර ඇති අතර අවසානයේ ක්ලේශ ප්‍රහාණය පිළිබඳව ද මඟපෙන්වා දෙයි.

  • එක බැගින් දැක්වෙන ධර්ම තෙ සැත්තෑව
  • ද්වික, ත්‍රික, චතුෂ්ක, පඤ්චක, ෂට්ක, සප්තක, අෂ්ටක, නවක හා දශක වශයෙන් දැක්වෙන ක්ලේශ ධර්ම
  • දෙසැට මිථ්‍යාදෘෂ්ටිය විස්තරය
  • ක්ලේශප්‍රහාණය හා සාරාංශය

මෙම නව වන මුද්‍රණය ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මඟින් 2008 වසරේදී ප්‍රකාශයට පත් කර ඇත.

ලේකම්ගේ සටහන්....

අපෙන් සිදු වන පව් බොහොමයක් කරන-කියන පව්කම්වලට වඩා හිතන-පතන පව්ය. හිත ගැනත් හිතෙහි ඇති වන සිතුවිලිවල විවිධාකාර ස්වරූප ගැනත් අප නොදන්නා තරමට මේ පව්වල ප්‍රමාණය ද වැඩිවිය හැකිය. ලෝභ ද්වේස මෝහ යන අකුසල් මුල් තුන පදනම් කරගෙන පාපකාරී චෛතසික කීපයක් විවිධ ආකාරවලින් මත වී එන හැටි තේරුම් ගැනීමට මේ පොත උපකාරී වෙයි.

එකම වස්තුවක් එක් එක් පැත්තෙන් සිට බලන විට එහි පෙනීම වෙනස් ය. එකම වස්තුවක් දෙස එක තැනක සිට පුද්ගලයන් දෙදෙනකු බලන විට ද වෙනස් පෙනීමක් ඇතිවිය හැකි ය. එසේ ම එක් එක් ස්ථානය අනුව, අවස්ථාව අනුව හා පුද්ගලයා අනුව එකම සිතිවිල්ලක ස්වරූපයේ ද නොයෙක් වෙනස්කම් ඇතිවිය හැකි ය. කෙලෙස් එක්දහස් පන්සියයක් වශයෙන් ගණන් බලන්නට හැකිව ඇත්තේ එම විවිධාකාරය නිසා ය. මේ තත්ත්වය යම්තම් මතුපිටින් හෝ තේරුම් ගන්නට අප සමත් වේ නම් ලෝකයේ නො ගැලි- නො ගැටී ජීවත් වීමට එයම ප්‍රමාණවත් වේ.

හික්මුණු (සමාහිත) සිතක් ඇතිකර ගැනීමට සිත පිළිබඳ මේ ඉගෙනීම ප්‍රයෝජනවත් වෙයි. විදසුන් මගට පිවිසීමට එය දොරටුවක් වෙයි. ධර්මදානය ඉතා උසස් වන්නේ පුද්ගලයාටත්, සමාජයටත් විමුක්තිය උදාකර ගැනීමට අණට වඩා බණ අවබෝධයට තැන දෙන නිසා ය. අණ නොතකා යන්නට බොහෝ දෙනකු උත්සාහ කරතත් බණ දැනගතහොත් එවැනි පව් නො කරන බව පැහැදිලිය.

2500 බුද්ධ ජයන්තිය වන විට බෞද්ධයන් තුළ තිබූ දුර්වල ආගමික දැනුම පොහොසත් කිරීම අරමුණු කර ගෙන ඇරඹුණු රේරුකානේ චන්දවිමල මහානාහිමි පාණන්ගේ “සම්බුද්ධ ජයන්ති ධර්ම පුස්තක වැඩපිළිවෙල” එකල වැඩවිසූ සමහර භික්ෂූන් වහන්සේලාගේ හා විවිධ උගතුන්ගේ විවේචන ජයගනිමින් දීර්ඝ මාවතක ගමන් කළ බව ඔබ දනී. මේ පොත් නිසා බුද්ධ විනය පිළිබඳවත්, භාවනා කිරීම පිළිබඳවත් ගිහියන් දැනුවත් කළවුනට පහසුවක් වූ බව පෙනේ. ගිහියන්ට නිවැරදි බෞද්ධයන් ලෙස සාර්ථක ගිහි ජීවිතයක් ගත කිරීමට මේ පොත් නිසා ලැබුණු අනුබලය විශේෂයෙන් අගය කළ යුත්තකි.

මුද්‍රණ තාක්ෂණයේ නව ශිල්ප ක්‍රම, පාඨක රුචිය ඇති කරන ආකෘතිමය අවශ්‍යතා, සේවක වැටුප්, වෙළඳ නියෝජිතයන් ආකර්ෂණය කර ගැනීම වැනි අභියෝග රැසක් ඉදිරියේ මේ පොත්වලින් වන සේවය නොකඩවා ලබා දෙන්නට “ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය” කටයුතු කරයි. ඒ අභියෝග ඉදිරියේ නොසැලී සිටීම සඳහා සැදැහැවතුන් දෙන අනුබලය මහත් පිටුවහලකි. තම තමන්ට ඒ ඒ අවස්ථාවල හැකි ඉහළ මුදල් ප්‍රමාණවලින් උදව් දෙමින් සැදැහැවත් අනුග්‍රාහක භවතුන් දක්වන සහයෝගය අප ලද භාග්‍යයකි.

මෙහි අනුක්‍රමණිකාව ලියූ පරලෝසැපත් හර්බට් පතිරණ මහතාණන් ද, මද ඉසුඹුවක් පවා නොගෙන අවසන් වන පොතෙන් පොත මුද්‍රණය කරන්නට මා මෙහෙයවන ගරු සභාපති පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද සමිඳුන් ද, කලින් මුද්‍රණ වාරයකදී සැදැහැබරව සෝදුපත් සැසඳූ පූජා පොල්පිටිය, දයාවතී අබේසිංහ මහත්මීන් ද, කලට වේලාවට මනා ලෙස මුද්‍රණ කටයුතු කළ සිකුරු පොත් ප්‍රකාශක ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ද සංශෝධිත පරිගණක සටහන් යෙදූ හොරණ රූ-මායා ග්‍රැෆික්ස් හි සාලිය ජයකොඩි යුවල ද දයාවෙන් සිහිපත් කරමි.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක
සංරක්ෂණ මණ්ඩලය
2008 නොවැම්බර් 12 වන දින,
පොකුණුවිටදී ය.

ප්‍රස්තාවනා

ස්මරණශක්තිය ඥානශක්තිය ඉන්ද්‍රියශක්තිය ශරීරශක්තිය යන මේවා වයස් ගත වීමෙන් පිරිහෙන්නේ ය. ඒ ශක්තීන් පිරිහුණු මහලු අයට පොත් ලිවීම අපහසු ය. අමාරුවෙන් ලියුව ද ඒවායේ ද දුබල බව සිටින්නේ ය. අපි ද දැන් මහලු වියෙහි සිටින්නෙමු. දැන් අපගේ ශක්තිය බොහෝ හීන ය. එබැවින් පොත ලිවීම නවත්වා විවේකීව කල් යැවීම ආරම්භ කෙළෙමු. එහෙත් අපගේ පොත් කියවීමෙන් සතුටට පත්, අප වෙත පැමිණෙන අපට මුණ ගැසෙන බොහෝ ගිහි පැවිදි පින්වත්හු පොත් ගැන ම කථා කළහ. බොහෝ දෙනා අලුත් පොත් ගැන විමසූහ. ඇතැම්හු දැනට ලියන පොත කුමක්දැ යි ඇසූහ. ඇතැම්හු අලුත් අලුත් පොත් නැත්තේ ඇයි ද? දැන් පොත් නො ලියන්නේ ඇයිදැ යි ඇසූහ. ඇතැම්හු අලුත් පොත් ලිවීම සඳහා නොයෙක් මාතෘකා ඉදිරිපත් කළහ. ඇතැම්හු තවත් පොත් ලියන ලෙස ඇරයුම් කළහ. ඇතැම්හු අපගේ පොත් කලක් නො නැසී පවතිනු පිණිස තල්පත්වල හෝ තඹපත්වල ලියා තැබීමට ද යෝජනා කළහ. මේ කරුණු අනුව අප විසින් සම්පාදනය කරන දහම් පොත් කියවීමට ආශාව ඇති විශාල පිරිසක් ඇති බව පෙනී ගියෙන් නැවතත් පොතක් ලිවීමේ අදහස අපට ඇති විය.

“කෙලෙස් එක් දහස් පන්සියය” යනු නොයෙක් විට ධර්මකථිකයන් වහන්සේලාගේ මුවින් නිකුත් වන බෞද්ධයන්ට නිතර ඇසෙන වචනයෙකි. එහෙත් කෙලෙස් එක්දහස් පන්සියය දන්නවුන් දුලබ නිසා එය වචනමාත්‍රයක් වී ඇති බැවින් ඒ ගැන පොතක් කවරකු විසින් හෝ ලියුව හොත් මැනව යන අදහස අප තුළ බොහෝ කලක පටන් පැවතිණ. කෙලෙස් ගිනි දල්වන කෙලෙස් වඩන පොත් කොතෙකුත් බිහිවුණා මිස, කෙලෙස් ගිනි නිවීමට උපකාර වන පරිදි කෙලෙස් එක්දහස් පන්සියය ගැන පොතක් නො බිහි විය. එබැවින් බෞද්ධ ග්‍රන්ථමාලාවට අඩුවක් ව පවතින ග්‍රන්ථයක් වන මේ කෙලෙස් එක්දහස් පන්සියය නමැති ග්‍රන්ථය ලිවීම ආරම්භ කරන ලදි.

මෙය අප විසින් ආරම්භ කරන ලද්දේ අවසානය තෙක් ලියමිය යන ස්ථිර බලාපොරොත්තුවකින් නොව අපහසුකමක් නො වුව හොත් අවසානය තෙක් ලිවීමේ අදහසිනි. ඒ අතර යම් යම් අපහසුකම් ඇති වුව ද ලිවීම ආරම්භ කළ දිනයේ පටන් සෑම දිනයක ම පොතින් පේළි කීපයක් හෝ ලිවිය හැකි විය. තෙමසක් පමණ ලිවීමෙන් පොත සම්පූර්ණ විය.

මේ ක්ලේශයෝ වනාහි මැටිකැට ගල්කැට පොල් ගෙඩි කොස් ගෙඩි ආදිය මෙන් පැහැයක් නැති සටහනක් නැති ප්‍රමාණයක් නැති ශරීරයක් නැති ඇසට නො පෙනෙන අතට අසු නො වන සිතෙහි ඇති වන අරූපී ධර්ම කොට්ඨාසයෙකි. ඒවා තේරුම් කිරීමට උපයෝගී කර ගැනීමට ඇති එකම දෙයත් වචනය ම ය. ඇසට පෙනෙන අතින් ගත හැකි මැටිකැටයක ගල් කැටයක සැටි පවා වචනයෙන් හරියට ම තේරුම් කළ නො හැකි ය. පුද්ගලයන් හා වස්තූන් තේරුම් ගැනීමට ඡායාරූප උපයෝගී කර ගන්නේ එබැවිනි. වචනයට වඩා බලයක් ඡායාරූපයට තිබේ. ශරීරයක් නැති කෙලෙසුන්ගේ ඡායාරූප ගැනීමක් නො කළ හැකි ය. ඒවා කෙසේ හෝ වචන වලින් ම තේරුම් කළ යුතු ය. අරූපී ධර්මයන් වචනවලින් ම තේරුම් කිරීම පහසු නො වන බැවින් අභිධර්ම ග්‍රන්ථයන්හි එක් එක් ක්ලේශයක් තේරුම් කිරීමට බොහෝ වචන උපයෝගී කර ගෙන ඇත්තේ ය. ලෝභය දැක්වීමට වචන සියයක් ද, ද්වේෂය දැක්වීමට වචන සූවිස්සක් ද, මෝහය දැක්වීමට වචන පස් විස්සක් ද ගෙන තිබේ. පාළි භාෂාව නොදත් සිංහල ජනයාට ඒ වචන වලින් කාරණය තේරුම් කළ නො හෙන බැවින් ඔවුනට තේරෙන්නට සිංහල වචනවලින් අමුතු ආකාරයකින් කෙලෙසුන් විස්තර කළ යුතු ය. එය දුෂ්කර කාර්යයෙකි. එය අපේ ශක්තියේ සැටියට කරන ලදී. කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි ප්‍රසිද්ධ සිංහල වචනම යොදා මේ ග්‍රන්ථය ලියන ලදි. අපට දැනට ස්මරණ ශක්තිය ගිලිහී ගොස් ද ඇත. ලියන ලද දෙය ඉක්මනින් අමතක වී යන බැවින් මෙහි ඇතැම් තැනක පුනරුක්තයන් ද තිබිය හැකි ය.