ආනාපානසති දේශනාව - නාඋයනේ අරියධම්ම හිමි.pdf

කතෘ :
නාඋයනේ අරියධම්ම හිමි
ප්‍රකාශිත වර්ෂය :
2010
මුද්‍රිත වර්ෂය :
2010
පිටු ගණන :
31
බාගත කිරීම් ගණන :
8,831
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-11-19
ගොනුවේ ප්‍රමාණය :
21 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 16

ආනාපාන සති දේශනාව යනු අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන් වහන්සේ විසින් ආනාපානසති භාවනාව පිළිබඳව පවත්වන ලද සවිස්තර දේශනාවක් ඇසුරෙන් සම්පාදිත ධර්ම ග්‍රන්ථයකි. බුරුමයේ අතිපූජ්‍ය පා-අවුක් සෙයාඩෝ මාහිමියන් 1997 වසරේදී ශ්‍රී ලංකාවට වැඩම කරවා පවත්වන ලද භාවනා වැඩසටහනේදී යෝගාවචරයන් උදෙසා මෙම දේශනාව පවත්වා ඇත.

මෙහිදී ආනාපානසතිය ප්‍රගුණ කරන ආකාරය, පලිබෝධ දුරු කිරීම, ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කිරීමේ පිළිවෙළ, ධ්‍යාන හා විදර්ශනා මාර්ගය කරා සිත දියුණු කරන අයුරු ත්‍රිපිටක ධර්මය හා අටුවා ක්‍රමයට අනුකූලව මනාව පහදා දී ඇත. භාවනායෝගීන්ට ප්‍රායෝගික උපදෙස් සපයන අත්පොතකි.

මෙම කෘතියේ ප්‍රථම මුද්‍රණය 1997 දී එළිදැක්වුණු අතර, පසුව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමිපාණන්ගේ 71 වන ජන්ම දිනය (2010) නිමිත්තෙන් එච්. ජී. ආරියරත්න සහ චන්ද්‍රා ආරියරත්න යන දම්පතීන්ගේ ධර්ම දානමය දායකත්වයෙන් නුගේගොඩ ලිතිර මුද්‍රණාලය මඟින් නැවත මුද්‍රණය කරවා ඇත.

පෙරවදන

තථාගතප්පවෙදිතො ධම්මවිනයො විරොචති නො පටිච්ඡන්නො

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය විවෘත වූයේ ම බබළන්නේ ය. සැඟවී ගියේ නම් එසේ නොවේ, යනු සූත්‍ර පාඨයේ තේරුමය. චන්ද්‍ර සූර්ය දෙදෙනා ගගන තලයේ බැබළෙනුයේ වලාකුළු, මීදුම, ධූමානය, දූවිල්ල, රාහු නමැති බාධාවන් නොමැති විටකය. එසේම ශ්‍රී සද්ධර්මය බැබළෙනුයේ ශ්‍රාවකයන් විසින් ශ්‍රද්ධාවත්, නුවණත් පිහිටුවාගෙන ධර්මය ඉගෙනීම, උගැන්වීම අනුගමනය කරමින් ද, පිළිවෙත්හි යෙදීමෙනි.

ශ්‍රී සම්බුද්ධ ජයන්ති සමයේ සිට සමථ-විපස්සනා භාවනා ගැන බෞද්ධයන්ගේ උද්‍යෝගය උදා වූ බැවින් ථෙරවාද බෞද්ධ රටවල ඉමහත් ප්‍රබෝධයක් ජනිත විය. ඈත අතීතයේ දියුණුවෙන් පැවති ධ්‍යාන භාවනා ගැනත් පුනර්ජීවයක් උදාපත් කරන ලද්දේ වර්තමානයේ මියන්මාර් රාජධානියේ මෝලමියෙන් නගර ආශ්‍රිත චිත්තලපබ්බත භාවනා මධ්‍යස්ථානයෙහි පැවිදි දහස් ගණනකට ඒ සඳහා උපදෙස් දෙමින් වැඩ සිටින අති පූජ්‍ය අග්ගමහා කම්මට්ඨානාචරිය පා අවුක් සෙයාඩෝ මාහිමියන් වහන්සේ විසිනි.

ශ්‍රී ලංකාවාසීන් හටත් එම සමථ පූර්වාංගම විපස්සනා භාවනාව පුහුණු කරවනු පිණිස අපගේ ගෞරවණීය ආරාධනාවෙන් 1997 ජනවාරි මස 27 වෙනිදා ශ්‍රී ලංකාවට එම මාහිමියන් වහන්සේ ප්‍රධාන පිරිස 10 දෙනෙකු වැඩම කරවා ආරම්භ කළ ප්‍රථම වැඩ සටහනේ දී අප විසින් යෝගී පිරිස සඳහා පවත්වන ලද දම් දෙසුම “ආනාපාන සති භාවනාව” නමින් මෙසේ දහම් පොතක් බවට මුද්‍රණය වී ඇත.

ගල්දූවේ ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ දී පළමුව ආරම්භ කළ එම වැඩසටහන සේනාසන කීපයකම දැනට සාර්ථකව පුහුණු කරවීම ඉමහත් සතුටකි. මියන්මාර් රජධානියේ සේනාසන රාශියක සහ විදේශ රටවල් රාශියකත් මෙම භාවනා ක්‍රමය පුහුණු කරවමින් පැවතීම සම්බුද්ධ ශාසනයෙහි බැබළීම පිණිස හේතු වනවා නියතය.

වර්ෂයක් පාසා අප්‍රේල් 24 දිනට යෙදෙන මගේ ජන්ම දිනය නිමිත්තෙන් දහම් පොතක් මුද්‍රණය කරවා ධර්ම දානය පිරිනමා ආශිර්වාදය පිරිනමන, සැමකල්හි ම මාගේ හිතසුව පිණිස ඉමහත් දයාවෙන් පිහිටවන පින්වත් එච්. ජී. ආරියරත්න මහත්මයා සහ එම පින්වත් චන්ද්‍රා ආරියරත්න මහත්මනී මේ වාරයේ “ආනාපාන සති දේශනාව” දෙවන වර මුද්‍රණය කරවා ධර්මදානය පිරිනමනුයේ සම්බුද්ධ ශාසනාභිවෘද්ධිය ද පැතුමෙනි.

මෙම ධර්මදානමය කුසලය පින්වත් ආරියරත්න දම්පතීන් දෙපළගේ ම සගපත් ආදරණීය මවුපිය සතරදෙනාටත්, දෙපාර්ශවයේම අභාවප්‍රාප්ත ඥාති මිත්‍රාදීන්ටත් අජරාමර ශාන්ත නිවන් සුව පිණිස හේතු වාසනා වේවා!

අපවත් වී වදාළ මාගේ ආචාර්යය උපාධ්‍යාය මහෝත්තමයන් වහන්සේලාට උතුම් බුදුබව අත්වේවා. මාගේ මවුපිය දෙදෙනා වහන්සේ ප්‍රධාන පරලෝ සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ටත්, දායක දායිකා කල්‍යාණ මිත්‍රයන්ටත් අජරාමර ශාන්ත නිවන්සුව අත්වේවා!

මෙම ධර්මදානය පිරිනමන පින්වත් කල්‍යාණ මිත්‍ර එච්. ජී. ආරියරත්න මහත්මයා, එම චන්ද්‍රා ආරියරත්න මහත්මනී, අමිලා ගමගේ රණසිංහ දියණිය, අසංක ගමගේ පුතණුවන්, ජීවින්-අනුක් රණසිංහ මුණුබුරු දෙපළ සහ දෙපාර්ශවයේම සහෝදර සහෝදරීන්, ඥාති මිත්‍රාදීන් සැමටත් මෙම කුසලානුභාව බලයෙන් සහ රත්නත්‍රයේ අසීමිත සූවිසි මහා ගුණානුභාව බලයෙන් ආයුරාරෝග්‍යාදී ශ්‍රී සම්පත් සහ ධර්මඥාන, භාවනා ඥානයත් සමෘද්ධ වේවා. දෙලොව සුබ සෙතත් ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවත් සුවසේම සාක්ෂාත් වේවා!

ඉතාමත් ගෞරවයෙන් සෝභන ලෙස දහම් පොත් මුද්‍රණය කරන සත්ගුණවත් කමල් ඇඹුල්දෙණිය මහත්මයා සහ එම මහත්මනී ප්‍රධාන ලිතිර මුද්‍රණාලයේ කාර්ය මණ්ඩලයේ සැමටත් රත්නත්‍රයානුභාවයෙන් ආයුරාරෝග්‍යාදී ශ්‍රී සම්පත්තියත්, ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවත් සුවසේම සාක්ෂාත් වේවා!

“සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා”

මෙයට,
මෙත්තිනි
නා උයනේ අරියධම්ම ස්ථවිර
නා උයන ආරණ්‍ය සේනාසනය
පන්සියගම.
2010-04-10

පුණ්‍යානුමෝදනාව

සියලුම බෝධිසත්වයන් වහන්සේලා සම්බුද්ධත්වය ලබා ගැනීම සඳහා වඩන ලද භාවනාව ආනාපාන සති භාවනාවයි. එය මහා පුරිස භාවනාවක ලෙසින් හඳුන්වා දෙන්නේ ද එබැවිනි.

අති පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමිපාණන්ගේ 71 වන ජන්ම දිනය නිමිති කොට ගෙන මෙම අති උත්තම සූත්‍ර දේශනය ග්‍රන්ථානුසාරයෙන් මුද්‍රණය කර සැදැහැවතුන් වෙත පිළිගැන්වීමට හැකිවීම අප ලද උතුම් භාග්‍යයක් කොට සලකමු.

බුරුම රට, අති පූජ්‍ය පා අවුක් සෙයාඩෝ මහ තෙරුන්වහන්සේ, ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී අති පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමිපාණන් විසින් පවත්වන්නට යෙදුන දේශන මාලාවේ කොටසක් මෙම ආනාපාන සති දේශනාව. එසේ හෙයිනි මෙය බොහෝ දෙනාට ප්‍රයෝජන පිණිස නැවත මුද්‍රණය කරන්නට යෙදුනේ. අති පූජ්‍ය අග්ගමහා කම්මට්ඨානාචරිය පා අවුක් සෙයාඩෝ මාහිමියන් වහන්සේට මෙම ධර්මදානමය කුසලය, නිරෝගී සුව චිරජීවනයට ත්, අවසානයේ ප්‍රාර්ථනා බෝධියකින් නිවන් අවබෝධ කිරීමට උපනිශ්‍රය වේවා!

අති පූජ්‍ය නා උයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ අනන්ත තරුගණ මැද බබලන සොළොස් කලාවෙන් පිරිපුන් සරත් පුන්සඳ මඩලක් මෙන් සම්බුදුසසුන බබුළුවමින් තෙරුවන් ගුණ තෙද බල මහිමයෙන් සිය වසරකට වැඩි ආයු කාලයක් යෙහෙන් වැජඹේවා!

අවසානයේ උතුම් බුද්ධත්වයට පිවිසීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වේවා! අති පූජ්‍ය නාහිමියන්ගේ පරලොව සැපත් මාපිය දෙපළට ද මේ පින් නිවන් අවබෝධය පිණිස ම හේතු වේවා!

නා උයන සෙනසුනේ වැඩ වසන පූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද හිමිපාණන් වහන්සේ, මහා නායක අති පූජ්‍ය අරියධම්ම හිමිපාණන්ගේ සුව දුක් සොයා බලා උපස්ථානය කරන පූජ්‍ය නාග පොකුණේ අරිය සීල හිමිපාණන් ඇතුළු සෙසු ආරණ්‍යවාසී සියලු සබ්‍රහ්මචාරීන් වහන්සේලා ප්‍රමුඛ සෙසු ආරණ්‍යවාසී සංඝ පීතෘන්වහන්සේලාට බුදු සසුන නගාසිටුවීමට කාය ශක්තිය, චිත්ත ශක්තිය අභිවර්ධනය කිරීමට මෙම කුසලය හේතු වේවා! වාසනා වේවා!

ධර්ම ඥාතිත්වයෙන් අප හා එකට පින්කම් සිදුකරන සියලු කල්‍යාණ මිත්‍ර සංසදයටත් මෙම ධර්ම දානමය කුසලය නිවන් අවබෝධවීම පිණිස හේතු වේවා!

පරිගණක අක්ෂර සංයෝජනය කළ චම්පා ඇඹුල්දෙණිය ඇතුළු ලිතිර ආයතනයේ කාර්යය මණ්ඩලයට නිවනින් සැනසීම ලැබේවා! ශාසනික කටයුතුවල නියැලීමට තව තවත් වීර්යයය, ධෛර්යයය ලැබේවා!

සම්බුද්ධ ශාසනයෙන් ගත යුතු උත්තම ධර්මය මෙම ජීවිතයේදී ම අත් කර ගැනීම පිණිස මෙම ආනාපාන සති දේශනාව ශාසනමාමකත්වයෙන් සියල්ලෝම අනුගමනය කරත්වා’යි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු.

මෙයට,
ශාසනාලැකී,
එච්. ජී. ආරියරත්න
චන්ද්‍රා ආරියරත්න
12, උද්‍යාන පාර,
කොළඹ 5.
2010-04-16