27 අංගුත්තර නිකාය 6 - සූත්‍ර.pdf

ප්‍රකාශිත වර්ෂය :
2006
මුද්‍රිත වර්ෂය :
2006
පිටු ගණන :
724
බාගත කිරීම් ගණන :
2,971
වෙබ් අඩවියට එක් කළ දිනය :
2015-10-18
ගොනුවේ ප්‍රමාණය :
19 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 363

මෙම ග්‍රන්ථය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 23 වන වෙළුම වන අතර සූත්‍ර පිටකයට අයත් අංගුත්තර නිකායේ හයවන (අවසාන) කොටසයි. මෙයට අංගුත්තර නිකායේ දසක නිපාතය සහ එකාදසක නිපාතය යන අවසාන නිපාත දෙක ඇතුළත් වන අතර පාලි පෙළ සහ එහි සිංහල පරිවර්තනය මුහුණට මුහුණ ලා මුද්‍රණය කර ඇත.

ලංකා බෞද්ධ මණ්ඩලයේ ආරාධනයෙන් ත්‍රිපිටක පරිවර්තන සංස්කාරක සභාවේ අංගුත්තරනිකාය ශෝධක මණ්ඩලය (කොදගොඩ ශ්‍රී ඤාණාලොක නාහිමි, පරවාහැර සිරි පඤ්ඤානන්ද නාහිමි, තලල්ලේ සිරි ධම්මානන්ද නාහිමි ඇතුළු හිමිවරුන්) විසින් සිංහල පරිවර්තනය සකස් කර ඇති අතර, ලබුගම ලංකානන්ද නාහිමිපාණන් ඇතුළු ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය විසින් සංස්කරණය කොට ඇත. බුද්ධ වර්ෂ 2550 (ක්‍රි.ව. 2006) දී මෙය සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ නැවත මුද්‍රණයක් ලෙස නිකුත් කර තිබේ.

ග්‍රන්ථ ආරම්භයේ සංස්කාරක නිවේදනය, ත්‍රිපිටක සම්පාදක මණ්ඩල ලැයිස්තුව සහ අංගුත්තර නිකායේ සූත්‍ර සංඛ්‍යාව, භාණක සම්ප්‍රදාය හා ධර්මකථිකත්වයේ වැදගත්කම විස්තර කෙරෙන දීර්ඝ සංඥාපනයක් ඇතුළත් වේ. ග්‍රන්ථය අවසානයෙහි ගාථාපිපාද සූචිය, සංඥානාම සූචිය සහ විශේෂ පදානුක්‍රමණිකාවක් ද අන්තර්ගත ය.

  • දසකනිපාතය
  • එකාදසකනිපාතය
  • ගාථාපිපාද සූචි
  • සඤ්ඤානාම සූචි
  • විසෙසපදානුක්කමණිකා

සංස්කාරක නිවේදනය

සූත්‍රාන්තපිටකයට අයත් චතුරාගමයන් අතුරෙහි අඞ්ගුත්තරනිකායෙහි ‘දසක එකාදසක’ නිපාතයන්ගෙන් සමන්විත වූ මේ සවන භාගය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි තෙවිසිවන (23) ග්‍රන්ථය වෙයි. මෙයින් අඞ්ගොත්තර සහියද සමාප්ත වේ.

ලංකාබෞද්ධමණ්ඩලයේ ආරාධනය පරිදි මෙහි සිංහල පරිවර්තනය භාර ගෙන සිටි පණ්ඩිත ස්ථවිරයන් වහන්සේ යථාකාලයෙහි එම පරිවර්තනය ත්‍රිපිටකමණ්ඩලය වෙත පත් නො කළ හෙයින් ත්‍රිපිටක පරිවර්තන සංස්කාරකමණ්ඩලයේ සම්මතය පරිදි, වර්තමාන බුද්ධශ්‍රාවකධර්මපීඨාධිපති කොදගොඩ සිරි ඤාණාලොකාභිධාන දක්ෂිණලංකාවේ ප්‍රධාන සංඝනායකස්ථවිරයන් වහන්සේ යැ, දෙමටගොඩ පධානඝරවිහාරාධිපති පරවාහැර සිරි පඤ්ඤානන්ද කොළඹ නවකෝරළයේ ප්‍රධාන නායකස්ථවිරයන් වහන්සේ යැ, කොළඹ කුප්පියාවත්තේ ජයශෙඛරාරාමාධිපති තලල්ලේ සිරි ධම්මානන්ද නායකස්ථවිරයන්වහන්සේ යැ යන අඞ්ගුත්තරනිකාය සංශෝධක මණ්ඩලය විසින් මෙහි සිංහල පරිවර්තනය ද කරන ලද්දේ ය. මුද්‍රණ අවස්ථාවට පැමිණි වර්තමාන ත්‍රිපිටක සම්පාදකමණ්ඩලයේ ශාස්ත්‍රාගමධර මහතෙරවරුන්ගේ මහත් පරිශ්‍රමයෙන් ශොධ්‍යස්ථාන හා බොහෝ තැන්හි පරිවර්තන ද සංස්කරණය කරනලද වෙයි. එහෙත් ප්‍රමාණය ඉක්මවාගිය මුද්‍රණවේගය නිසා නො වළහාලියැ හෙන යම් ඌනතාවයක් වියයුතු නම් එයිනුදු අපරිමුක්ත බව කියැ යුතු ඇත. ශොධ්‍යපත්‍රයෙන් එයට පිළියම් යෙදේ.

පුස්කොළ පොත්වල මතු නොවැ මුද්‍රිත අඞ්ගුත්තරනිකායග්‍රන්ථයන්හි පවා පද–වාක්‍ය සංකලනයෙන් ව්‍යාකූල වැ පැවැති පාලිප්‍රදෙශයන් අර්ථාවබොධයට පහසුවන සේ පද බෙදීම හා වාක්‍යවිච්ඡේදය ද කොට දක්වන පතිත පෙය්‍යාලයන් ද මේ සංස්කරණයෙහි ලා නිසිසේ තබන ලද්දේ ය. කිසිතැනෙක පෙය්‍යාලය සඳහා ‘–’ මෙබඳු රෙඛා ද යොදා ඇත. තවද ඒ ඒ සූත්‍රයන්හි වදාළ දසකාදි අඞ්ගයනුදු වෙන් කොට ගත හැකි වන සේ අවශ්‍යයෙන් දක්වාලියැ යුතු තැන්හි ඡෙදයක් පාසා අංක යොදා ඇත. එකකනිපාතාදියෙහිදු එසේ අංක යොදා ඇති සැටි සලකනු මැනැවි.

තවද ඉතා අල්පකාලයක් තුළ ත්‍රිපිටක ග්‍රන්ථ බොහෝ ගණනක් පළකරවාලීමට අවස්ථාව ලැබීමෙන් මේ වන විට ‘දීඝනිකාය, මජ්ඣිමනිකාය, හා අඞ්ගුත්තරනිකාය’ ද අවසාන කරන්නට ලැබීම ත්‍රිපිටක සම්පාදකමණ්ඩලයේ අමන්දානන්දයට හේතු වෙයි. ධර්මකාමී සජ්ජනයන්ගේ ද ප්‍රමොදයට හේතු වනු නියත යැ. මෙසේ බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව අප්‍රමාදව පළ කරවාලීම සඳහා ආවශ්‍යක විධිවිධාන සලසාලූ ගරු අග්‍රාමාත්‍ය තැන්පත් සිරිමාවෝ බණ්ඩාරනායක උත්තමාවට ද, මෙහි ලා ක්‍රියාකාරී ප්‍රයත්නයක යෙදෙන ගරු සංස්කෘතික අමාත්‍යවර ටී. බී. තෙන්නකෝන් මැතිතුමාණන්ට ද, සංස්කෘතික ලේකම් එච්. ඇම්. සුමතිපාල මහතාණන්ට හා පී. ඒ. අභයවික්‍රම අධ්‍යක්ෂ තුමාට ද විශේෂයෙන් ස්වකීය විවේකය ද නොතකා මේ අධිකාරයෙහි නතු ව ක්‍රියාකරන සහකාර අධ්‍යක්ෂ සෝමපාල ජයවර්ධන මහතාණන්ට ද බෞද්ධලෝකයාගේ ආශීර්වාදය හිමිවිය යුතුය.

දෙහිවල තිසර මුද්‍රණාලයාධිකාරී තුමා ඇතුළු තත් සේවක මණ්ඩලය ද මහානායක චාරිකාරාමයේ භාරකාර ඒ. ඇම්. පී. සමරසිංහ මහතා ද ආශීර්වාදමුඛයෙන් සඳහන් කරම්හ. ශාසනායු වර්ධනයට කාරණ වූ මේ සත්ක්‍රියාවලියෙන් හැමදෙනම සුබභාගී වෙත්වයි ආශංසනය කරම්හ.

ලබුගම ලංකානන්ද ස්ථවිර, ත්‍රිපිටක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක, 10. 7. 1977 ත්‍රිපිටක කාර්යාලය, 115, විජේරාම මාවත, කොළඹ 7.

ත්‍රිපිටක සම්පාදක මණ්ඩලය

උපදෙශක: මහරගම වටැද්දවත්තාරා–ශ්‍රී චන්ද්‍රශෙඛරාරාමාධිපති අග්ගමහාපණ්ඩිත බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහානායක මහාස්ථවිරපාදයන් වහන්සේ.

සභාපති: අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්මපීඨයෙහි (භික්ෂු විශ්වවිද්‍යාලයෙහි) අධිපති ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය්‍ය, රාජකීය පණ්ඩිත කෝදාගොඩ ශ්‍රී ඤාණාලොක දක්ෂිණ ලංකාවෙහි ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේ.

ප්‍රධාන සම්පාදක: මොල්ලිගොඩ, ප්‍රවචනොදය පිරිවෙන්හි උපප්‍රධානාචාර්ය්‍ය, ත්‍රිපිටක වාගීශ්වර, විමලකීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත, ලබුගම ලංකානන්ද ශ්‍රී කල්‍යාණී සාමග්‍රීධර්ම මහාසංඝසභාවෙහි අනුනායක ස්ථවිරයන් වහන්සේ.

සම්පාදක: කිරුළපන පූර්වාරාම, නාරාහේන්පිට අභයාරාම යන විහාරාධ්‍යාධිපති ශාස්ත්‍රපති, විද්‍යාවිශාරද, රාජකීය පණ්ඩිත, රද්දැල්ලේ සිරි පඤ්ඤාලොක ශ්‍රී කල්‍යාණීසාමග්‍රීධර්ම මහාසංඝසභාවෙහි අනුනායක ස්ථවිරයන් වහන්සේ.

හෙරලියාවල, සුදර්ශනාරාමාධිපති ශාස්ත්‍රපති, විද්‍යාවිශාරද, රාජකීය පණ්ඩිත, වෙඬරුවේ සිරි අනොමදස්සී බටහිර දිශාවෙහි ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේ.

හිඟුලේ – මාකඩවර විහාරාධිපති රාජකීය පණ්ඩිත, කරහම්පිටිගොඩ සිරි සුමනසාර ස්ථවිරයන් වහන්සේ.

කොළඹ තිඹිරිගස්යායේ අශොකාරාමාධිපති රාජකීය පණ්ඩිත කරඳන සිරි පඤ්ඤාසාර නායක ස්ථවිරයන් වහන්සේ.

ලේඛකාධිකාරී: කොළඹ, බෞද්ධාලෝක මාවතෙහි බෞද්ධාලෝක විහාරාධිපති, පණ්ඩිත, දෙරංගමුවේ සිරි ධම්මපාල – කොළඹ පළාතේ ප්‍රධානසංඝනායක ස්ථවිරයන් වහන්සේ.

සංඥාපනය

අප බුදුරදුන් ‘සුමෙධ’ නම් මහතවුස් වැ දිවකුරු බුදුන් පා මුලැ දිවි පුදා හෙව නියතවිවරණසිරි ලත් තැන් පටන් වෙස්සන්තර අත්බැව දක්වා සියලු බුදුකුරු දහම් සපුරා තුසීපුර ඉපැද එහි ආපමණික් සිට අවසන් පිළිසිඳැ විසින මිනිස් ලොවැ ඉපැද මහභිනික්මන් කොටින් සාවුරුද්දක් දවස් මහා-ප්‍රධන්වීර්‍ය්‍ය කොට බෝමුලැ විදුරසුන් අරා වැඩහිඳ සවාසන සකල ක්ලෙශයන් බිඳැ බුදුවැ සත්ත්‍වයන්ට පත්තනක්‍ෂෙත්‍ර වූ බරණැස මිගදායෙහි දහම්සක් පැවැත්වූ තැන් පටන් කොට සුභද්‍ර පිරිවැජියා විනයනය කළ තැන් හිම කොට පන්සාලිස් හවුරුද්දක් දවස් මුළුල්ලෙහි කාර්තෘක මහා මෙඝයක් සෙයින් දහම් අමාවැසි වස්වා පිරිනිවන් පෑවදා කලැ ආදාහ-නොත්සව පූජායෙහි මුළුහුන් සත්ලක්‍ෂයක් භික්‍ෂූන්ට සංඝ ස්ථවිර වූ බුදු රදුන් පාංශුකූල මහාචීවරයෙහි සාධාරණ පරිභොගයෙන් අනුග්‍රහ කළ අනුබුදු මහසුප් මහරහතුන් වහන්සේ ප්‍රමුඛ පන්සියක් මහරහතුන් විසින් පිටක නිකායාදි විසින් සංගීත වැ දෙවැනි තෙවැනි සංගීතීන්හි දී අනුසංගීත වැ පවත්නා ධර්මවිනය සංඛ්‍යාත නවාංග ශාස්තෘශාසනය සදෙව සබ්‍රහ්මක ලොකයට නිවන්මඟවත් හෙළිකරමින් මෙ දවස පවා නිර්මල වැ පවත්නේයැ.

බුදුන් පිරිනිවි මුල් සියවස ඉක්මැ යත්ම නිකායාන්තරවාසීහු පෙළ දහම් ගෙන විවිධ දුර්මත උපදවාලූහ. ඒ හැම දුර්වාද ඛණ්ඩනය කරමින් මොගගලී පුත්ත තිස්ස මහරහතුන් වහන්සේ කථාවස්තු දෙශනා කළ පවත ශාසනයෙහි පළට වැ ඇත. පෙළ පොත් හා අටුවා හා සංගීති කථාදිය ද ගෙන මෙ දවස දක්වා පරවාදීන් හා විතණ්ඩවාදීන් විසින්දු පවසාලන නිසරු වාදයන්ට නිසි පිළිතුරු සපයමින් ත්‍රිපිටක මණ්ඩලයෙහි ප්‍රධාන සම්පාදක ධුරය දැරූ තෙවළා දහමෙහි කළ පරිචය ඇති දර්ශන විශාරද පරවාහැර සිරි වජිරඤාණ නාහිමිපාණන් වහන්සේ බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි මහා වංශ පාළියට ලියූ සංඥාපනය බලන්නේ මැනැවි.

අංගුත්තර මහා නිකාය පිළිබඳ කොට එහි ධර්මතාව සඳහා දතයුතු දැය අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්මපීඨාධිපති කෝදාගොඩ සිරි ඤාණාලොක දක්ෂිණ ලංකාවෙහි ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේ අංගුත්තර නිකාය ප්‍රථම භාගයට ලියූ සංඥාපනයෙහි පළව ඇත.

භාණකසම්ප්‍රදාය

යළි ධර්මකථික ප්‍රබොධයනට විචිත්‍ර ප්‍රතිභාන දනවන ආගමග්‍රන්ථය සේ බුද්ධඝොෂාචාරීන් විසින් පසස්නා ලද අඞ්ගොත්තර සහිය පරිශීලනය කරනු-වන් විසින් විමසුවමනා කතිපයස්ථානයක් ගෙන මෙහි ලා පවසම්හ: අඞ්ගුත්තර නිකාය සංගීතියට නැඟුණු අවස්ථාවෙහි “මෙය ඔබගේ ආශ්‍රිතයන්ට උගන්වාලුව මැනැවැ”යි දිවැස් ලද්දවුන් කෙරෙහි අග්‍රපැමිණි අනුරුද්ධ තෙරණුවනට දක්වා දුන්හ. එයින් ඔබ ඇසිරී කලෝ ‘අංගුත්තර භාණක’ නම් වූහ. යමෙක් අංගුත්තර භාණක වී නම් ඔහුට අංගුත්තර නිකාය පෙළ විසින් අටුවා විසින් සපුරා ග්‍රහණ ධාරණයෙන් එහි ප්‍රතිෂඨිත නොවන තාක් දීඝාගමාදි අන්‍යත් ග්‍රන්ථයක් ප්‍රගුණ කිරීමට අවසර නැතිවිය. ශක්ති ඇතියනට අනුක්‍රමයෙන් තෙවළාදර වීමට ද බාධාවක් නො තිබිණි. ග්‍රන්ථලෙඛන සංගීතිය තෙක් නිර්මල වැ පැවැති මේ භාණක සම්ප්‍රදාය එයින් පසුව ද කාලාන්තරයක් පැවැති සේ සිතියැ හෙයි.

ඒ ඒ භාණකයන්ගේ වාචනාමාර්ගයෙහි කිසි තැනෙක පද වර්ණයන්ගේ නානාත්වය ද දක්නට ලැබේ. මෙ විමසන්ත: අඞ්ගුත්තරනිකාය – තික නිපාත සාරිපුත්ත සූත්‍රයෙහි අර්හත් ඵල සමාධිය වදාරණ තැන බුදුරදුන් විසින් “ඉදං ව පන මෙතං සාරිපුත්ත, සන්ධාය භාසිතං පාරායනෙ උදය පඤ්හෙ”යි පාරායන උදය සූත්‍රයෙහි එන පළමුවන විස්සජ්ජන ගාථා දෙක වදාරණ ලද්දේය. එය අලුවිහාර - ග්‍රන්ථලෙඛන සඞ්ගායනාවේ දී අඞ්ගුත්තර භාණකයෝ–

“පහානං කාම සඤ්ඤානං - දොමනස්සාන චූ භයං ථිනස්ස ච පනුදනානං - කුක්කුච්චානං නිවාරණං”

(අංගුත්තර - ප්‍රථම භාග 246 පිට)

යනාදි විසින් ලෙබන ගත කළහ. එහෙත් සුත්තනිපාත (340 පිට) හා නිද්දෙස (334 පිට) පරිහරණය කළ ආචාර්ය්‍යවරයෝ “පහානං කාමච්ඡන්දනං-” යනාදි විසින් ඒ ගය හදාළහ. අටුවා ඇදුරෝ “උදය පඤ්හෙ ච පන එතං පදං පහානං කාමච්ඡන්දනන්ති ආගතං, ඉධ පන අංගුත්තර භාණකෙහි කාමසඤ්ඤානන්ති ආරොපිතං තඤ්ච ව්‍යඤ්ජනමෙව නානං, අථො පන එකො යෙව”යි ‘කාමච්ඡන්ද, කාම සඤ්ඤා’ යන පදයන්ගේ ව්‍යඤ්ජනයෙහි විනා අර්ථයෙහි නානාත්වයක් නැති සේ දක්වා ලූහ. අද පවා භාණක සම්ප්‍රදාය එලෙසින් ම දක්නා ලැබෙන කරුණෙන් ථෙරිය වංශයෙහි ඇදුරුවරයෝ ජිනවචන පාළිය කෙතරම් සුරක්ෂිත ව ගෙන ආවාහු දැ’යි නිශ්චය කළ හැකිය.

තවද, බුදුරදුන් විසින් තිකංගුත්තර ආනන්ද සූත්‍රයෙහි චෙතොවිමුක්ති පඤ්ඤාවිමුක්ති වදාළ තැන “ඉදං ව පන මෙතං ආනන්ද සන්ධාය භාසිතං පාරායනෙ පුණ්ණකපඤ්හෙ” යි (අං: නි: 346 පිට) සුත්තනිපාත–පුණ්ණක සූත්‍රයෙහි වදාළ “සඛාය ලොකස්මිං පරොවරානි” (සු. නි. 320 පිට) යනාදි ගාථාව මැ වදාරණ ලද්දේය. දසක නිපාත - කාළී සූත්‍රයෙහි (අ: ෂට්භාග 86 පිට) කුරරඝරවාසී කාළී උපාසිකා මහකච්චාන තෙරුන් කරා එළඹ “වුත්තමිදං භන්තෙ භගවතා කුමාරී පඤ්හෙසු: ‘අත්‍ථස්ස පත්තිං හදයස්ස සන්තිං - පෙ - කථං විත්‍ථාරෙන අත්‍ථො දට්ඨබ්බො’” යි විචාරන ලද්දවු සංයුක්තසහියැ මාරසංයුක්තයෙහි එන මාරධීතු සූත්‍රයෙහි යට කී ගාථාව මහකච්චාන තෙරණුවෝ කාළී සූත්‍රයෙහි විස්තර කොට වදාළහ. එය අඞ්ගුත්තරභාණකයන් කුමාරීපඤ්හ යයි හදාරන ලද්දේය. මෙපරිදි සහිපොත්වල එන භාණකයන්ගේ වාචනාමාර්ගය විමසන්නේ මැනැවි.

අඞ්ගුත්තර සූත්‍ර සංඛ්‍යා

අඞ්ගුත්තරාගමයෙහි සූත්‍ර නව දහස් පන්සිය සත්පණසක් (9557) ඇතැයි සද්ධම්ම කථාවෙහි ලා පවසන ලද්දේය. සවිපරිශ්‍රමයෙන් බලත් මැ අපට හමුවූ සූත්‍ර සංඛ්‍යා මෙසේය:

1. එකක නිපාතයෙහි සූත්‍ර 1000 2. දුක නිපාතයෙහි සූත්‍ර 753 3. තික නිපාතයෙහි සූත්‍ර 359 4. චතුක්ක නිපාතයෙහි සූත්‍ර 752 5. පඤ්චක නිපාතයෙහි සූත්‍ර 1167 6. ඡක්ක නිපාතයෙහි සූත්‍ර 662 7. සත්තක නිපාතයෙහි සූත්‍ර 1124 8. අට්ඨක නිපාතයෙහි සූත්‍ර 627 9. නවක නිපාතයෙහි සූත්‍ර 432 10. දසක නිපාතයෙහි සූත්‍ර 756 11. එකාදසක නිපාතයෙහි සූත්‍ර 1151 එකතුව: 8777

මෙහි සූත්‍ර 780 ක ඌනත්වයක් ඇතිබව පෙනේ. මෙසේ සූත්‍ර බොහෝ ගණනක් ම ගිලිහී යෑමට හේතු කිමැ යි විමසත් හොත්: දුක තිකාදි නිපාතාවසානයෙහි පෙය්‍යාල මුඛයෙන් සිය ගණන් සූත්‍ර සංග්‍රහ කොට ඇත. යම් හෙයකින් කිසියම් නිපාතයක පෙය්‍යාල කීපයක් ලෙඛකයන් අතින් ගිලිහී ගියානම් මේ ඌනත්වය සිදුවිය හැක්කේ මැය. මෙ ද විමසනු මැනවි:

චතුක්ක නිපාතයේ තුන්වැනි පණ්ණාසකයේ පළමුවැනි වලාහක වර්ගයේ සවැනි සූත්‍රය කිසිදු පිටපතෙක මේතාක් හමු නොවීය. අටුවා කථාවෙහි “ඡට්ඨං උත්තානත්‍ථමෙව” යි සවැනි සූත්‍රය නොගැඹුරු අරුත් ඇතැයි පවසමින් එක පදයක්දු උද්ධරණය කොට නැත. එහෙයින් මේ සූත්‍රයෙහි කෙබඳු දහමක් තිබිණි දැයි සිතනු පවා නො හැකිය. වග්ගාවසානයෙහි උද්දාන ගාථාවකදු නො වූයෙන් ගිලිහී ගිය සූත්‍රය කිනම් වී දැයි සිතනු ද නො හැකිය. මෙසේ ලෙඛකයන්ගේ ප්‍රමාදයෙන් යට දැක්වු සූත්‍ර සංඛ්‍යාව නො පෙනී ගිය බව සිතිය යුතු ය.

සමාන සූත්‍ර :

අංගුත්තර නිකායෙහි බුදුරදුන්ගේ දෙශනා කෞශල්‍යය නිසා අත්තජ්ඣාසය වශයෙන් ද ශ්‍රොතෲනයන්ගේ අධ්‍යාශයානුරූප කොට පරජ්ඣාසය වශයෙන් ද වදාරනලද එක දෙශයකින් සමානකම් ඇති බොහෝ සූත්‍ර දැක්ක හැකි ය. නිපාතාවසානයෙහි සංගෘහිත වූ රාගපෙය්‍යාලාදියෙහි එන සිය ගණන් සූත්‍රයන් තබා අෂ්ටකනිපාතයෙහි ද එකාදසකනිපාතයෙහි ද වදාළ මෙත්තා සූත්‍ර වැනි සූත්‍රයන් විමසුව මැනැවි. විශේෂයෙන් එකකනිපාතයෙහි ද (6. 1. 5. 2) දසකනිපාතයෙහි ද (10. 2. 3. 5) ‘මිගසාලා’ නමින් සූත්‍ර දෙකක් ඇත. ඒ සූත්‍රදෙක ම මිගසාලා උපාසිකා විසින් බුදුරදුන්ගේ ඉන්ද්‍රියපරොපරඤ්ඤාණයෙහි ගටා අනඳතෙරණුවන්ගෙන් විචාළ ප්‍රශ්නයක් සඳහා එක් මැ අවස්ථාවක වදාළ දෙශනාවක් බව සිතිය යුතුය. එයින් එකකනිපාතයෙහි භානගාමී පුඟුලන් තිදෙනකු හා විසෙසගාමී පුඟුලන් තිදෙනකු ද, දසකනිපාතයෙහි භානගාමී පුඟුලන් පස්දෙනකු හා විසෙසගාමී පුඟුලන් පස්දෙනකු ද වදාළහ. මෙබඳු සූත්‍ර ද මැනැවින් අවබොධ කළ යුතු ය.

ධර්මකථිකයෝ:

ප්‍රශංසා වූ ධර්මකථිකයනට විචිත්‍ර වූ ප්‍රතිභාන ජනනය කරන ආගම වරය ලෙස පසස්නාලද අංගුත්තරනිකාය ගිහි පැවිදි දෙපක්ෂයෙහි මැ වූ වනට උභය ලෝකාර්ථසිද්ධියට ඉවහල් වූ විමුක්ති පරිපාචනීය මඟෝපදේශක වූ ලෞකික ලොකොත්තරාර්ථප්‍රකාශක අනෙකශත සූත්‍රයෙන් ප්‍රතිමණ්ඩිත වූයේ ය. එහෙයින් ධර්මදෙශකයන්ට විචිත්‍ර ප්‍රතිභාන දනවන සේ අංගුත්තර සහිය පසස්නා ලද වෙයි. දහම් දෙසනුවන් ඇතැ ද පරහට දහම් දෙසනු පහසු කරුණෙක් නොවේ යයි බුදුරදුන් විසින් ම වදාරන ලද්දේයැ: “න ඛො ආනන්ද සුකරං පරෙසං ධම්මං දෙසෙතුං පරෙසං ආනන්ද ධම්මං දෙසෙන්තෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරෙසං ධම්මො දෙසෙතබ්බො” (පඤ්චකඅංගුත්තර – 5. 4. 1. 9) දෙශකයා විසින් අනුපූර්වී කථාව - මාතෘකා කළ සූත්‍ර පදයට හෝ ගාථාවට අනුරූප කථාව කියයුතු වෙයි. ඒ ඒ අර්ථය පැහැදිලි කිරීමට කරුණු දැක්විය යුතුය. අනුකම්පා