16 සංයුත්ත නිකාය 1 - සූත්‍ර.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 2006
- මුද්‍රිත වර්ෂය :
- 2006
- පිටු ගණන :
- 531
- බාගත කිරීම් ගණන :
- 4,420
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2015-10-18
- ගොනුවේ ප්‍රමාණය :
- 14 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ 13 වන වෙළුම ලෙස මුද්‍රිත සූත්‍රාන්ත පිටකයට අයත් සංයුත්තනිකාය ප්‍රථම භාගය (සගාථ වර්ගය) පාලි පෙළ සහ සිංහල පරිවර්තනය මෙහි ඇතුළත් වේ. බුද්ධ වර්ෂ 2550 (ක්‍රි.ව. 2006) දී ප්‍රකාශිත මෙම කෘතිය, ලංකා බෞද්ධ මණ්ඩලයේ ආරාධනයෙන් සංයුක්තනිකාය සංශෝධක මණ්ඩලය මගින් සංස්කරණය කර සකස් කරන ලද්දකි.
දේවතා සංයුත්තය, දේවපුත්ත සංයුත්තය ආදී සංයුක්ත 11 කින් සහ වර්ග 28 කින් යුත් සගාථ වර්ගයේ සියලු සූත්‍ර මෙහි ගැබ් වේ. පාලි පාඨය සහ ඊට අදාළ සිංහල පරිවර්තනය මුහුණට මුහුණ ලා මුද්‍රණය කර ඇති අතර, ගාථාපාදානුක්රමණිකා, සඤ්ඤානාමානුක්රමණිකා හා පදානුක්රමණිකා ආදී පරිශිෂ්ටයන්ගෙන් ද සමන්විතය.
- සංස්කාරක නිවේදනය හා සංඥාපනය
- සගාථ වර්ගය (පෙළ හා සිංහල පරිවර්තනය)
- ගාථාපාදානුක්රමණිකාව
- සඤ්ඤානාමානුක්රමණිකාව
- පදානුක්රමණිකාව
සංස්කාරක නිවේදනය
ත්රිපිටකපාලියෙහි සූත්රාන්තපිටකයට අයත් සංයුක්තසංගීතයෙහි සගාථවග්ගපාලිය සිංහලභාෂාවට පරිවර්තනය කරණු සඳහා ලංකා බෞද්ධමණ්ඩලය විසින් - දැනට විද්‍යොදය විශ්වවිද්‍යාලයෙහි බුද්ධධර්මාධ්යයනපීඨයෙහි පීඨෙතෘ වූ පණ්ඩිත පලන්නොරුවේ විමලධම්ම නායකස්ථවිරයන් වහන්සේ වෙත පවරණලදී. එහෙත් ඒ කාර්ය්යය නිමගැම් නො වූ බැවින් ත්රිපිටකපරිවර්තනසංස්කාරක සභාවේ සංයුක්තනිකාය සංශොධක මණ්ඩලයට ඇතුළත් පණ්ඩිත හෑගොඩ ධම්මදින්න නායකස්ථවිරයන්වහන්සේ, පණ්ඩිත වතුහෙදර අමරසීහ ස්ථවිරයන් වහන්සේ, පණ්ඩිත ගලගම සරණංකර ස්ථවිරයන් වහන්සේ යන තෙකම විසින් ඒ කොටස පරිවර්තනය කොට පෙළත් සමග මැනවින් ලියා මුද්‍රණයට සකස් කරණ ලදී.
ත්රිපිටකපරිවර්තන සංස්කරණය පිළිබඳ උත්තරීතර මණ්ඩලය විසින් සම්මතවූ පරිදි පණ්ඩිත කෝදාගොඩ ඤාණාලෝක නායක ස්ථවිරයන් වහන්සේ විසින් මුද්රණාවස්ථාවෙහි සංශෝධිත වූ මේ ග්‍රන්ථය අපගේ සංවිධානයෙන් හා අවසාන සංස්කරණයෙන් මෙසේ මුද්‍රණයට පමුණුවන ලදී.
ධර්මශාස්ත්රවිෂයෙහි නිපුණ වූ ආශුබොධබුද්ධිප්රභා ඇති කෝදාගොඩ ඤාණාලෝක යතීන්ද්‍රයන් වහන්සේ විසින් ත්රිපිටකපාල්යාගත පඤ්චමහානිකායාංගය සංක්ෂිප්ත කොට මෙයට ලියූ සංඥාපනය ග්රන්ථගෞරවාතිරේකය කරණු පිණිස පර්‍ය්‍යාප්ත වේ මැයි. එහෙයින් ග්රන්ථතත්වය පිළිබඳ අමෘතූ ප්රපඤ්චකථා මෙහි නොයොදේ.
පරිවර්තක ස්ථවිරවරුන් විසින් සම්පාදිත ගාථාදිපාද - සංඥානාම - පදානුක්රමණිකා සහිත වූ මේ ග්‍රන්ථය පිළිබඳ මූලිකශොධ්යපත්ර බැලීමෙන් පණ්ඩිත ගලගම සරණංකර ස්ථවිරයන් වහන්සේ ද අතිරේක වශයෙන් සහාය වූහ.
සිංහල ජාතිය මුද්‍රණාලයෙහි අධිකාරී වූ සීමාසහිත ස්වදේශී ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ මහතුන්ගේ උත්සාහයෙන් නො බෝකලකින් මුද්‍රිත වූ සංයුක්තසංගීතියේ සගාථවර්‍ගය අවසන් කොට ඇති මේ ප්‍රථම භාගය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 13 වන ග්‍රන්ථය වශයෙන් ප්‍රසිද්ධියට පැමිණ වූ ලංකා ආණ්ඩුව හා එහි සාංස්කෘතික කාර්ය්යාංශයේ අධිකාරී මහතුන් ද, මෙහි පරිවර්තන - සංශෝධන - සංස්කරණ කාර්‍ය්‍යයන්හි යෙදුනු මහතෙරුන් ද ශාසන සංස්ථාපනාධිකාරයට හා ශ්‍රේෂ්ඨ වූ ධර්මදානමය පුණ්යසම්භාරයට භාගී වන බව මෙහි ලා ප්‍රකාශ කරම්හ.
පරවාහැර වජිරඤාණ ස්ථවිර.
ත්‍රිපිටක පරිවර්තන කාරක සභාවෙහි ද සංස්කාරක මණ්ඩලයෙහි ද සම්පාදක.
සංඥාපනය
1. සංයුත්තනිකාය:
අප බුදුන් පන්සාලිස් අවුරුද්දක් දවස් සිට දහම් අමාවැහැරෙ වස්වමින් සූවිසි අසංඛ්‍යයක් දෙවිමිනිසුන් අමාමහනිවන් දක්වා පිරිනිවිසඳ, මහාකාශ්‍යප මහාරහතුන් ආදි සවිඥානකශ්රාවකයෝ පන්සියක් දෙනාවහන්සේ දේශ - කාල - නිදාන ආදි විසින් විසිරැ සිටි ඒ ඒ දහම්මල් මල්වැළක් සෙයින් සගන්මින් පළමු වන සංගීතිය කළහ.
ඒ සංගායෙහිදී දීඝ - මජ්ඣිම - සංයුත්ත - අංගුත්තර - ඛුද්දක විසින් ආගම පසෙකින් සූතන්තපිටකය බෙදා තැබූහ. එහි දීර්ඝප්රමාණ සූත්‍රයන් මුළු කොට ගෙතු ගත් ‘දීඝාගම’ නම් වෙයි. මධ්‍යම ප්‍රමාණ සූත්‍රයන් මුළු කොට ගෙතු ගත් ‘මජ්ඣිමාගම’ නම් වෙයි. උත්තරොත්තරයෙහි එකකදුකාදි විසින් අධික නැඟැ ගත් සූත්‍රයන් මුළු කොට ගෙතු ගත් ‘අංගුත්තරාගම’ නම් වෙයි.
මෙහි පමණින් කියන තනන පිණිසැ හැඳින්ගත් තෙල මාතෘකායෙහි නො බැසියැහෙත සූත්‍රයෝ සත්දහස් සත්සිය දෙසැට දෙනෙක් ඇත. ඒ සූත්‍රයෝ දීඝාගමයෙහිදු මජ්ඣිමාගමයෙහි දු අංගුත්තරාගමයෙහි දු නොබැස ගනිති. ඔවුන් එක්රැස් කොට ගෙතු ගත් සංයුත්තාගම නම් වෙයි. එද, සගාථවග්ග යැ නිදානවග්ග යැ ඛන්ධකවග්ග යැ සළායතනවග්ග යැ මහාවග්ග යැයි වර්ග විසින් පසෙක් වෙයි. සගාථවග්ගයෙහි එකොළොස් දෙනෙකා, නිදානවග්ගයෙහි නවදෙනෙකා, ඛන්ධකවග්ගයෙහි තෙළෙස් දෙනෙකා, සළායතනවග්ගයෙහි නවදෙනෙකා, මහාවග්ගයෙහි දොළොස්දෙනෙකා යි, සංයුක්තයෝ සුපනස්දෙනෙක් වෙති. ඒ සංයුක්තයෝ සුපනස් දෙනා ගොස් අනන්තරවර්ග විසින් දෙසිය අටවිසිදෙනෙක් වෙති. ඒ අනන්තර වර්ගයෝ දෙසිය අටවිසිදෙනා ගොස් සූත්‍ර විසින් සත්දහස් සත්සියදෙසැටදෙනෙක් වෙති. ඒ සූත්‍රයෝ සත්දහස්සත්සියදෙසැටදෙනා ගොස් අක්ෂර විසින් ලක්ෂයෝ අටදෙනෙක් වෙති. බණවරෙක් නම් අකුරු අටදහසෙක් වේනුයි මෙ හැම බණවර විසින් සියෙකි. මෙසැ සංයුත්තාගම නම්.
“ආගමිය්යන්ති එතෙනා’ති ආගමො”යි ඇතුළු ‘ගම්’ ධාතුයෙන් කරණසාධනයෙහි ලා නිරුක්ති කියත් මැ, ආත්මාර්ථපරාර්ථදිය එයින් ලබත් නුයි මෙහි ‘ආගම’ ශබ්දය අවිශේෂයෙහි කරණභාවය හෙළි කරන්නේ යැ. ඛන්ධකගණාදි සූත්රරාශිය වැලඳගෙනැ සිටුනා දෙවතාසංයුක්තාදි සංයුක්තයන් යථොක්තථානියෙහි කරණ වන බැවිනුදු, වර්ග වශයෙන් සංයුක්ත වන බැවිනුදු, දීඝාගමාදිය සෙයින් ‘සංයුත්තාගම’ යනු අන්වර්ථසංඥායෙකි.
“සංයුත්තනිකාය” ආදි විසින් එන ශාසනව්යවහාර පිණිසැ මහාවග්ගයට ලියූ ප්‍රස්තාවනාව බලන්නේ යැ. තෙවළාවෙහි වසැපැදි, ගණපාමොක්, ආචාර්ය පරවාහැර වජිරඤාණ හිමිපාණෝ ඒ ඒ සපුත් වහර ගෙනැ ඒ ප්රස්තාවනාවෙහි ලා මිදුරු අරුත් දක්වති. ඒ ප්‍රස්තාවනාව පරවාද මට්ටනය කරන්නේ මතු නොවෙයි. ත්‍රිපිටකයෙහි ග්රන්ථ පිළිබඳ හැම පවත් ද විගද කරන්නේ යැ. එයින් ලැබියැහෙත එලිය තිබියැ දී නව නව කරුණු කියනු නිෂ්ප්රයෝජන වෙයි. සඟි පිණිසැ විසිරුණු අරුත් දනු කැමැතියන් ඒ ප්‍රස්තාවනාව බලන්නේ යැ.
2. විශිෂ්ටතා:
සංයුක්තාගමයෙහි විශිෂ්ටතා කියනු කැමැතියනට බුද්ධඝොෂාචාරින් වහන්සේගේ පදයෙදුම්හු උපදෙස් එලවති. ඔබ දීඝාගමයට අටුවා කරනුමෝ-
“දීඝස්ස දීඝසුත්තන්ධකිතස්ස නිපුණස්ස ආගමවරස්ස බුද්ධානුබුද්ධසංවණ්ණිතස්ස සද්ධාවහගුණස්ස”
යනු කියති.
මජ්ඣිමාගමයට අටුවා කරනුමෝ-
“මජ්ඣිමපමාණ සුත්තන්ධකිතස්ස ඉධ මජ්ඣිමාගම වරස්ස බුද්ධානුබුද්ධ සංවණ්ණිතස්ස පරවාදමථනස්ස”
යනු කියති.
සංයුක්තාගමයට අටුවා කරනුමෝ-
“සංයුත්තවග්ග පතිමණ්ඩිතස්ස සංයුත්ත - ආගමවරස්ස බුද්ධානුබුද්ධසංවණ්ණිතස්ස ඤාණප්පභෙදජනනස්ස”
යනු කියති.
අංගුත්තරාගමයට අටුවා කරනුමෝ-
“එකකදුකාදි පතිමණ්ඩිතස්ස අංගුත්තරාගමවරස්ස ධම්මකථිකප්පභාවනානං විචිත්තපටිභාණජනනස්ස”
යනු කියති.
මෙහි දී ශ්‍රද්ධාවහගුණය ගෙනැ දීර්ඝාගමයත්, පරවාදමථනය ගෙනැ මජ්ඣිමාගමයත්, ඥානප්රභෙදජනනය ගෙනැ සංයුක්තාගමයත්, ධර්මකථිකයනට විචිත්‍ර ප්රතිභාජනනය ගෙනැ අංගුත්තරාගමයත් වර්ණිත කෙරෙති.
එයින් සංයුක්තාගමය ප්රභෙදගතඥානසම්පත් උදාකරණසෙ දක්වති. ලෞකික ලොකොත්තරාර්ථයන් ඇසිරි කොට සිටුනා තත් පැන පිළිවිසුම් හා විසඳුම් තෙල ආගමයෙහි බෙහෙවින් එන හෙයින් ඥානප්රභෙද දෙනසෙ තොස්නා කරනු අත්‍යර්ථයෙන් මැ සතත වෙයි. බුද්ධඝොෂාචාරින් වහන්සේගේ ප්‍රඥායෙහි පාටවය විමසන්නට සිතු මහවෙහෙර අධිවැසි තෙවළාධර මහතෙරහු දු සංයුක්තසඟියෙන් ගත් ගයක් දී ඔබගේ පැහැවෙසෙස් විමසූහ. තෙවළා මැදුරෙහි නො නිවෙන පහන් වන විසුද්ධිමාර්ගය ඒ දුන් ගයෙහි ඵලය වෙයි. මහාසාංඝිකාදි සප්තදශනිකායවාසීන් හා හෙමවතාදි නවනිකායවාසීන්ගේ ප්රවාදප්රහාර වළහමින් මහවෙහෙරට රකවලට ගත් බලකොටු වන ‘විශුද්ධිමාර්ග’ය සංයුක්තසඟියෙහි එක් ගයෙකින් මතුකොට දුන් ධර්මවිෂයක ඥානප්රභේදදර්ශනශක්තිවිශෙෂයක් සේ කියැහෙන්නේ යැ. එයින් තෙල සඟියෙන් උදාවෙන ඥානප්‍රභේද නම් විදග්ධතා මතු නොවෙයි. එයින් තත්ත්වත්කාරණයෙහි විචිත්රප්රභා ද සලසන්නේ යැ. මේ සංයුක්තාගමයෙහි විශිෂ්ටතා වෙයි.
බෙහෙවින් කිම! ප්රථමසංගීතියෙහි ලා ප්රමුඛ වැ සිටි මහාසුභද්ර මහා රහත්නට ‘සංයුක්තාගමය’ දක්වා දුන්හ: ඔබගේ ශිෂ්යානුශිෂ්යයෝ සංයුක්තසඟිය වත්පොත් කරමින් ඇදුරෙල් නො විහිඳ අරුත් බරමින් රැකැගත්හ. සංගීතිය අවසන්හි සර්වඥමහාකෘපාශ්රාවකසංගීතියෙහි පෙරට වැ සිට ප්‍රථම සංගීතිය නිමනම් කළ මහාපුරුෂායනනට ප්රථමභාග විසින් වෙන් කොට ගෙනැ පිරිනමනු පිණිසැ සංයුක්තසඟිය පමණිවියැ. එ ද මෙහි විශිෂ්ටතා කියන්නේ යැ.
3. ප්රයෝජනවිශෙෂ:
බුද්ධභාෂිත යැ, ශ්‍රාවකභාෂිත යැ, දෙවතාභාෂිත යැ, සෘෂිභාෂිත යැ යන මෙයින් ආප්තවචනයක් වුවමනා වත් මැ සංයුක්තසඟිය එහි නිධානයක් වැන්නැ. ඒ ඒ කරුණෙහි ලා චතුර්භාෂිතයෝ මැ මෙහි බැසැ සිටුති. ලෞකිකයන් හා ශාස්ත්රිකයනට ආත්මාර්ථපරාර්ථසංසිද්ධිය පිණිසැ තැබූව මනා උපදේශරත්නයෝ සියදහස් විසින් මෙහි ඇත. ස්කන්ධධාතුආයතන ඉන්ද්රියබලබොධ්යංග ආර්‍ය්‍යසත්‍ය ප්‍රත්‍යයාකාර ආදි ධර්මමාර්ගයන් ආගම සතරෙහිම එනුදු සුගම උපදේශ අතින් බලත් මැ සංයුක්තාගමය ආශ්‍රය වන්නේ යැ. තුරාපැල සහවූ ගුවන්තල සෙයින් උපදේශරත්නජාතයෙන් සංයුක්තසඟිය සැදුණේ යැ. එයින් මැ දේශකයන් කෙරෙහිදු උපදේශකයන් කෙරෙහි දු තෙල සඟිය රන්සරක් විසින් නරතුරු තෙවුනේ වෙයි. ව්‍යාස වශයෙන් පරිකථා කරන්ට නිසි ගැඹුරු අරුත් ගැබ් කොට සිටුනා, මනෝහර පදවැලෙන් සැදි ගාථා දේශනා විමසත් මැ, පමණින් අබලක් සා වුව ද වියරියෙන් පැතිරැ සිටුනා භේෂජයක් සෙයින් ධර්මදේශකයන්ට වෙසෙසින් හැමදා වැඩැදා වෙයි.
4. ව්‍යාඛ්‍යානය:
නිකායාන්තරවාසීන් සංයුක්තාගමය වෛදිකභාෂායෙන් ලියූසෙ ලොව පළට වෙයි. ඒ මූලායනවාදීන් කිසිතැනෙක අර්ත්ථවිපරීත කොට ලියූ සංයුක්තයන් චීනදේශවාසීන් සියබසින් අර්ත්ථාවබොධ බවද පළට වෙයි. චීනබසින් ලියූ ‘සගාථවර්‍ගය’ අදත් එරට ඇතිබව කියති. ඒ ව්‍යාඛ්‍යාන පෙළපොත හා සසඳත් මැ අළු විසින් භෙදකර තැන් ඇත යනු අසිරි නොවෙයි. මිහිඳු මාහිමිහු බුදුකැළි අටුවා හා තෙවළා හෙළදිවට පළහ. මගධබසින් වැටෙමින් ආ බුදුකැළි අටුවා හෙළදිව ඇදුරෝ හෙළබසින් තැබූහ. ඇදුරු බුදුගොස්මහතෙරහු ද්වීපාන්තරවාසීන්ගේ ප්‍රයෝජනය පිණිසැ ඒ අටුවා යළිදු පෙළබසින් තැබූහ. අද හෙළටුවා නැත ද පෙළෙහි අර්ත්ථාවබෝධය පිණිසැ පාලිඅටුවා වහල් වෙයි. ඒ වහලින් තෙවළාදහම සියබසින් අර්ත්ථාවබොධ තබන මෙ දවස තෙල සංයුක්තසඟිය පිණිසැ ද ඒ වහල මිසැ වෙන නැත. එයින් වහල් ලැබ කරන තෙල ව්‍යාඛ්‍යානය මුළා ගිය නිකායාන්තරවාසීන්ගේ ව්‍යාඛ්‍යාන සෙයින් විපරීතාර්ත්ථ ඇයියේ නොවෙයි. මහා විහාරවාසීන්ගේ වාචනාමාර්ගය නිශ්‍රය කොට සිටියෙන් අළු විසින් මෙහි පරම්පරාශුද්ධි ඇත.
මේ වර පළකරන ‘සගාථවර්ග’ යෙහි සංයුක්තයෝ එකොළොස්දෙනෙකි. වර්ගයෝ අටවිසිදෙනෙකි. සූත්‍රයෝ දෙසියඑක්සැත්තැ දෙනෙකි. මෙ හැම මෙහි සියබසින් අර්ත්ථාවබොධ තබන ලදී. යටගිය දවස සූත්‍රපිටකය සියබසින් ලියූබව පළට වැ ඇත ද, අද ඒ කිසිදු දක්නට නැත. එයින් එහි භාෂාප්රයොග ගැන කිසිදු නොකියැහෙන්නේ යැ. තෙල ව්‍යාඛ්‍යානය භාවොපධාන කොට ගෙන ව්යාකෘතභාෂායෙන් සැපයිණ. කිසි තැනෙක පැරැණි හෙළවදන් යොදනු ‘සිංහලසාහිත්ය’ය දියුණු කරනු පිණිසැ වෙයි. එයින් තෙල ව්‍යාඛ්‍යානය ධර්මඥානය පිණිසැ ද සියබස සදනු පිණිසැ ද වෙයි.
තෙවළා දහම සියබසින් තබනුයේ හෙළදිව් වැසියනට වැඩ සඳහා මැ වෙයි. බුදුන් පිරිනිවී දෙවාදහස් පන්සියක් ගිය ද මෙතෙක් දවස් කිසිවක්හු විසින්දු තෙල ශාසනකාර්ය්යය සපුරා නොකරන ලදී. දැන් එය සම්පූර්ණ වනසේ පෙනේ. එයින් හැමදෙන මේ ව්‍යාඛ්‍යාන මාර්ගයෙන් දහම් දැන ඉගෙන කුසල්දහම්හි යෙදෙමින් උභයලෝකාර්ථසිද්ධිය හා අමාමහනිවන් සිදුකර ගනිත්වයි පතම්හ.
කෝදාගොඩ ඤාණාලොක ස්ථවිර.
විද්‍යාවංශ පිරිවෙන,
අහංගම.