11 දීඝ නිකාය 2 - සූත්‍ර.pdf

කතෘ :
බලන්ගොඩ ආනන්දමෛත්‍රෙය හිමි
ප්‍රකාශිත වර්ෂය :
2006
මුද්‍රිත වර්ෂය :
2006
පිටු ගණන :
612
බාගත කිරීම් ගණන :
3,558
වෙබ් අඩවියට එක් කළ දිනය :
2015-10-18
ගොනුවේ ප්‍රමාණය :
16 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 307

බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ 8 වන වෙළුම වන මෙම කෘතිය, සූත්‍රාන්ත පිටකයට අයත් දීඝ නිකායේ දෙවන කොටස හෙවත් මහාවග්ග පාළිය හා එහි සිංහල පරිවර්තනය ඇතුළත් වේ. මෙහි පාලි පෙළ සහ සිංහල අනුවාදය අග්ගමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදනය කර ඇත.

මෙහි මහාපදාන සූත්‍රය, මහාපරිනිබ්බාණ සූත්‍රය, මහාසතිපට්ඨාන සූත්‍රය ආදී දීඝ නිකායේ ප්‍රකට සූත්‍ර දේශනා දහයක් අන්තර්ගත වන අතර, පොත අවසානයේ ගාථාපාද සූචි, ස්ථාන හා පුද්ගල නාම සූචි සහ පදානුක්කමණිකාවක් ද අඩංගු කර තිබේ.

  • මහාපදාන සූත්‍රය
  • මහානිදාන සූත්‍රය
  • මහාපරිනිබ්බාණ සූත්‍රය
  • මහාසුදස්සන සූත්‍රය
  • ජනවසභ සූත්‍රය
  • මහාගොවින්ද සූත්‍රය
  • මහාසමය සූත්‍රය
  • සක්කපඤ්හ සූත්‍රය
  • මහාසතිපට්ඨාන සූත්‍රය
  • පායාසිරාජඤ්ඤ සූත්‍රය

සංස්කාරක නිවේදනය

සූත්‍රාන්ත පිටකයට අයත් ආගමග්‍රන්ථයන් අතුරෙහි පළමු වැන්න වූ දීඝනිකායයෙහි ද්විතීය භාගය වන මහාවර්‍ගය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙහි අටවැනි ග්‍රන්ථය වෙයි.

ලංකා බෞද්ධ මණ්ඩලය විසින් ආරාධිත වූ සබරගමු සද්ධම්මවංසික නිකායාන්තර්ගත රාස්සගල විහාරගණයෙහි, මහානායක ධුරීණ අග්ගමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්දමෛත්‍රෙය ස්වාමීන්ද්‍රයෝ දික්සඟි පෙළ සිංහල භාෂාවෙන් සපුරා පරිවර්තන කළහ. එහි ප්‍රථම භාගය වූ ශීලස්කන්ධ වර්ගය 1962 දී මුද්‍රිත වී ඇත.

ශ්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලයෙහි උපකුලපති ව සිටි සමස්ත ලංකා අමරපුර මහානිකායෙහි මහානායක ධුරය ද දැරූ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්ථවිරපාදයන් වහන්සේ භාෂාන්තරයෙහි හා සමයාන්තරයෙහි ද බුද්ධි විශදතා ඇති කෙනෙකි. ඔබ මේ ද්විතීය භාගයෙහි අනුවාදය ද මැනැවින් සිදු කොට ඇත. දුර්බොධාර්ථ ඇති ඇතැම් ධර්මපදයන් සඳහා අර්ථකථාගත විවරණ ද වරහන් තුළ දක්වමින් ධර්මව්‍යවස්ථානය නිපදවා ඇති සැටි ද, ඒ සඳහා ඔබට හුරු වූ සුගම භාෂාස්වරූපය මැනැවින් හසුරුවා ඇති සැටි ද, සුධීන්ගේ පැසසීමට ලක් වෙතැයි සිතම් හ.

මුද්‍රණකාර්යය ඉක්මනින් නිමවාලීම සඳහා ත්‍රිපිටක මණ්ඩලයේ ස්ථවිරවරුන්ගේ සහාය ඇති වැ අප දු හට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවූ බව ද කියැ යුතු ය.

තවද ශ්‍රී ලංකාජනරජයේ ගරු අග්‍රාමාත්‍ය උත්තමාවගේ අනුග්‍රහය ද ගරු සංස්කෘතික ඇමැතිතුමා ප්‍රමුඛ තදධිකාරීන්ගේ උද්‍යෝගය ද විශේෂයෙන් සංස්කෘතික සහකාර අධ්‍යක්ෂ සෝමපාල ජයවර්ධන මහතාණන්ගේ ක්‍රියාශීලීභාවයද කෘතඥතා පූර්වක වැ සඳහන් කරම්හ.

දෙහිවල තිසර මුද්‍රණාලයාධිකාරීන් ඇතුළු මේ සද්ධර්ම ප්‍රකාශනයෙහි සහාය වූ හැම පින්වත්හු මැ මේ හේතුවෙන් සුඛභාගී වෙත්වා’යි ආශංසනය කරම්හ.

ශාසනෝදයකාරී, ලබුගම ලංකානන්ද ස්ථවිර (ත්‍රිපිටක මණ්ඩලයේ ප්‍රධාන සම්පාදක), 1976 නොවැම්බර් 10 දින, ත්‍රිපිටක කාර්යාලය, මහානායක චාරිකාරාමය, 115, විජේරාම මාවත, කොළඹ 7.

සංක්‍ෂෙපනය

දීඝනිකාය හෙවත් දීඝාගමය වනාහි සංගීතියට නැගූ ථෙරවාද ත්‍රිපිටකයෙහි සූත්‍ර පිටකයෙහි පළමුවන පොතය. මෙය පිළිබඳව විශේෂයෙන් කිය යුතු දෑ මෙහි මුද්‍රිත වූ පළමු වන කාණ්ඩයෙහි (සීලක්ඛන්ධවග්ගයෙහි) මුල ම සඳහන් ව ඇත.

එහි සීලක්ඛන්ධවග්ගයේ සූත්‍රවල අදහස සැකෙවින් දැක්විණ. මේ දීඝනිකායයේ දෙවෙනි භාගය යැ. මෙහි එන සූත්‍රයන් ගේ සංක්ෂේප අදහස් පහත දැක්වේ.

1. මහාපදාන සූත්‍රයෙහි - විපස්සී බුදුරජුන් පටන් කොට පහළ වූ අප බුදුරජුන් ඇතුළු සත් බුදුවරුන් ගේ චරිත දැක්වේ.

2. මහානිදාන සූත්‍රයෙහි - පටිච්චසමුප්පාදය සවිස්තර ව දැක්වේ.

3. මහාපරිනිබ්බාණ සූත්‍රයෙහි - බුදුරජුන් පිරිනිවන් පානු පිණිස කුසිනාරාවට වැඩි ගමන ද ඒ අතර දෙසූ ධර්ම ද දැක්වෙත්.

4. මහාසුදස්සන සූත්‍රයෙහි - බුදුරජුන් කුසිනාරා නුවර උපවත්තන සල්වෙනෙහි යමා සල් රුක් අතර පැනැවුණු යහනෙහි වැඩහිඳ කුසිනාරාපුරයේ ඉතා පෙර මහාසුදස්සන නම් සක්විති රජ සමයෙහි පැවැති ශ්‍රී විභූතිය ද පසු කලැ ඒ සියල්ල පිරිහී ගිය සැටි ද වදාරා ලොව සියල්ලෙහි අනිත්‍යතාව ද ශ්‍රාවකයන් ආත්ම දීපිත ව විසිය යුතු බව ද වදාළ නියා දැක්වේ.

5. ජනවසභ සූත්‍රයෙහි - කලුරිය කළ ඇතැම් ශ්‍රාවකයන්ගේ පරලෝගතිය බුදුරජුන් පැවැසීම ද, කලුරිය කළ බිම්බිසාර රජ ජනවසභ නම් දෙවියකු ව ඉපිද සිට බුදුරජුන් දක්නට අවුත් දෙව්ලො වැ දෙවියන් තුණුරුවන් කෙරෙහි ඇති භක්තිය ද, සනත් කුමාර බඹහු බුදුරජුන් ගෙන් අසා දැන ගත් සප්ත සමාධි පරිෂ්කාර ධර්ම දෙවියනට පැවැසූ අයුරු ද දැක්වෙත්.

6. මහාගොවින්ද සූත්‍රයෙහි - පන්සිළු දෙව්පුත් අවුත් තව්තිසාහි දේවසභාවක පැවැති කථාවක් පැවැසීම දැක්වේ. මෙහි සක්දෙවිඳු බුදුගුණ අටක් පැවැසීම, සනත්කුමාර බඹහු බුදුරජුන් බොහෝ පෙර ජෝතිපාල නම් මාණවක ව ඉපිද මහාගොවින්ද නමින් ප්‍රසිද්ධ ව රජුන් සදෙනකුට ගුරු තත්හි සිට අනුශාසනා කොට ඔවුනට සුගති ගමනට මග පෙන්වූ සැටි පැවැසීම, ඔහුගේ කථාව ඇසූ බුදුරජුන් පන්සිළුහට මහාගොවින්දානුශාසනය නෛය්‍යාණික නොවන බව ද මේ අරි අටඟිමග දුක්නසන මග බව පැවැසීම යන මෙතෙක් දෑ දැක්වේ.

7. මහාසමය සූත්‍රයෙහි - කිඹුල්වත් නුවර අසල මහවෙනෙහි වැඩහුන් බුදුරජුන් හා මහා සංඝයා දක්නට රැස්වූ දෙව්බඹුන් මුළුව ගැන සඳහන් වේ. ඔවුන් ගේ නම් වැල ද දැක්වේ.

8. සක්කපඤ්හ සූත්‍රයෙහි - පන්සිළු බුදුරජුන් ඉදිරියෙහි ගී ගැයීම හා වැයීම, සක්දෙව් පැමිණ ප්‍රශ්න විචාරීම, සක්දෙව් සෝවාන් වීම දැක්වේ.

9. මහාසතිපට්ඨාන සූත්‍රයෙහි - සතර සතිපට්ඨාන භාවනා විස්තර වේ.

10. පායාසිරාජඤ්ඤ සූත්‍රයෙහි - කුමාරකස්සප මහතෙරුන් ද පායාසිරාජඤ්ඤයා ද අතර පරලොවක් ඇතිනැතිබව පිළිබඳ ව පැවැති ධර්ම සංවාදය දැක්වේ.

මෙසේ දීඝනිකායයේ මේ මහාවර්ගය සූත්‍ර දශයකින් පරිමිතය.

මෙය සකස් කිරීමෙහි දී මෙම ත්‍රිපිටක ග්‍රන්ථපරිවර්තක මණ්ඩලයෙහි සභාපතිවූ පණ්ඩිත කෝදාගොඩ ඥානාලෝක ප්‍රධානසංඝනායක ස්ථවිරයන් වහන්සේගේ ද සම්පාදක වූ පණ්ඩිත ලබුගම ලංකානන්ද නායක ස්ථවිරයන් වහන්සේගේ ද ශෝධ්‍යපත්‍ර බැලීම හා ග්‍රන්ථ සූචිය සකස් කිරීමෙහි ත්‍රිපිටක සංස්කාරක මණ්ඩලයේ සෙසු මහතෙරවරුන් කිහිප නම ගේ ද සහයෝගය ලද බව ස්තුතිපෙරටුව සඳහන් කරම්හ.

බලන්ගොඩ ආනන්දමෛත්‍රෙය ස්ථවිර, මහරගම වටයවත්ත පාර, ශ්‍රී චන්ද්‍රශේඛරාරාමය. 1976.11.04.