10 දීඝ නිකාය 1 - සූත්‍ර.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 2006
- මුද්‍රිත වර්ෂය :
- 2006
- පිටු ගණන :
- 688
- බාගත කිරීම් ගණන :
- 5,032
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2015-10-18
- ගොනුවේ ප්‍රමාණය :
- 20 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
දීඝනිකාය (ප්‍රථමභාගය - සීලක්ඛන්ධවග්ග) යනු බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ සත්වන වෙළුම මෙන්ම සූත්‍රාන්ත පිටකයේ ප්‍රථම ග්‍රන්ථයයි. බුද්ධ ජයන්ති මණ්ඩලයේ ආරාධනයෙන් විද්‍යොදය විශ්වවිද්‍යාලයේ මහායාන බෞද්ධ ධර්මය පිළිබඳ ප්‍රමුඛාචාර්ය අග්ගමහාපණ්ඩිත බලන්ගොඩ ආනන්දමෛත්රෙය නායක ස්ථවිරයන් වහන්සේ විසින් මෙහි පාලි පෙළ සිංහලයට පරිවර්තනය කොට ඇත.
සීලක්ඛන්ධ වර්ගයට අයත් සූත්‍ර 13ක් පාලි පෙළ සහ සිංහල පරිවර්තනය සහිතව මෙහි අන්තර්ගත වන අතර, බ්‍රහ්මජාල, සාමඤ්ඤඵල ආදී ප්‍රධාන සූත්‍ර මඟින් සීල, සමාධි, ප්‍රඥා ගුණාංග මෙන්ම එකල පැවති දෘෂ්ටිවාද විග්රහ කෙරේ.
- බ්‍රහ්මජාල සූත්‍රය
- සාමඤ්ඤඵල සූත්‍රය
- අම්බට්ඨ සූත්‍රය
- සොණදණ්ඩ සූත්‍රය
- කූටදන්ත සූත්‍රය
- මහාලි සූත්‍රය
- ජාලිය සූත්‍රය
- සීහනාද සූත්‍රය
- පොට්ඨපාද සූත්‍රය
- සුභ සූත්‍රය
- කෙවඩ්ඪ සූත්‍රය
- ලොහිච්ච සූත්‍රය
- තෙවිජ්ජ සූත්‍රය
සංස්කාරක නිවේදනය
සූත්‍රාන්තපිටකයෙහි චතුරාගම විසින් දක්නා ලද සිවුමහ සඟි අතුරෙහි පළමු සඟිය වූ දීඝනිකායෙහි ශීලස්කන්ධවර්ගයෙන් යුත් ප්‍රථමභාගය බුද්ධජයන්ති ත්රිපිටකග්රන්ථමාලා සංඛ්‍යායෙන් සත්වන - සූත්රාන්තපිටක ග්රන්ථසංඛ්යායෙන් පළමු වන ග්‍රන්ථය වේ.
ලංකාබෞද්ධමණ්ඩලය විසින් ආරාධිත වූ - දැනට ශ්‍රීලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලයෙහි මහායාන බෞද්ධධර්මය පිළිබඳ ප්රමුඛාචාර්ය්ය වූ බලන්ගොඩ ආනන්දමෛත්රෙය නායක ස්ථවිරයන් වහන්සේ විසින් මෙහි පාලිය සිංහල භාෂාවෙන් පරිවර්තනය කරන ලදී.
භාෂාන්තර - සමයාන්තර අභ්‍යාසයෙන් දීප්ත වූ බුද්ධිප්රභා ඇති බැවින් තථාගතප්රවේදිත ධර්මවිතානයෙහි දුරවබොධ වූ තැන් සුබොධ කරලීමෙහි සමර්ථතා ඇති අග්ගමහාපණ්ඩිත ආනන්දමෛත්රෙය නායක ස්ථවිරයන් වහන්සේ විසින් දීඝනිකායාගත දිට්ඨිවිනිවෙඨන කථාදිය විෂය කොට ඇති ශීලස්කන්ධවර්ගයෙහි ගම්භීරොභාසයෙන් යුත් පාළිපදයන්ට ලියූ අර්ථව්යාඛ්යානය පුරාතනාචාර්ය්යයන්ගේ ව්යාඛ්යානස්වරූප ගෙණ ඇති බව එය කියවන සුමතීන්ට වැටහෙනු නියතයි.
අපගේ අවසාන සංස්කරණයෙන් මුද්‍රණයට පැමිණි මේ ග්‍රන්ථය මෙසේ ප්‍රකට කරලීම පිළිබඳ සිය යුතුකම් ඉටු කල සියලු පින්වත්හු ධර්මදානමය කුශලමහිමයෙන් සුඛභාගී වෙත්වා.
පරවාහැර වජිරඤාණ ස්ථවිර.
ත්රිපිටකපරිවර්තන කාරක සභාවෙහි ද
සංස්කාරක මණ්ඩලයෙහි ද සභාපති.
බුද්ධවර්ෂ 2505,
ත්රිපිටකකාර්ය්යාලය,
ධර්මදූතාශ්‍රම විද්‍යාලය,
174, දෙමටගොඩ, කොළඹ.
සංඥාපනය
දීඝනිකාය:
මහාසංගීති තුනට නැඟුණු බුද්ධවචනය සූත්‍රය අභිධර්ම විනය විසින් පිටක තුනෙකින් පරිපූර්ණ ය. එහි සූත්‍රපිටකය දීඝාගම (දික්සඟි), මජ්ඣිමාගම (මැදුම්සඟි), සංයුක්තාගම (සංයුක්තසඟි), අංගුත්තරාගම (අඟුතුරු සඟි), ඛුද්දකාගම (කුදුගත්සඟි) යි පංචාගමයෙකින් (සඟි පසෙකින්) යුක්ත ය. එයින් පාඨශොධන පූර්වක වැ සිංහලව්යාඛ්යා සහිත ව මෙහි පලවනුයේ දීඝාගමය ය. ඉතර සිවුසඟියෙහි එන සූත්රයනට වඩා දිගු වූ සූත්‍ර ඇතියෙන් මේ දීඝාගම - දීඝනිකාය නම් විය. එහි වර්ගයෝ සීලක්ඛන්ධවග්ග, මහාවග්ග, පාථිකවග්ග ය යි තුනෙකි. සූත්‍ර ගණන සූතිසෙක. මේ හැම බණවර විසින් සූසැටෙක. සසුන් පිළිවෙතෙහි මුල මැ වූ සිල් පිළිබඳ කථා බහුල වන බැවින් මුල් ම වර්ගය සීලක්ඛන්ධවග්ග නම් විය. ඉතිරි නො කොට හැම දිටු ම ඇතුලත් කොට දිට්ඨිවිනිවෙඨනය කළ බැවින් බ්‍රහ්මජාල සූත්‍රය එහි මුලට තැබිණ. එහෙයින් කියූ පැරණි ටීකායෙහි:
“සීලකථාබහුලත්තා පන සීලක්ඛන්ධවග්ගො පඨමං නික්ඛිත්තො... දිට්ඨිවිනිවෙඨනකථාභාවතො පන සුත්තන්තපිටකස්ස නිරවසෙසදස්සනීයතාය බ්රහ්මජාලං පඨමං නික්ඛිත්තන්ති දට්ඨබ්බං” යි.
බුදුසව්වන් විසින් දෙසූ සූත්‍ර ද මෙහි ඇත. බුදුරජුන්ගේ ඉදිරියෙහි ම සැරියුත් තෙරුන් සියලු බුද්ධවචනය කැටි කොට එකක-දුකාදි නයින් ගලපා දෙසූ දසුත්තරසූත්ත, සංගීතිසූත්ත දෙක මෙහි විශේෂ ස්ථානයක් ගනී. මෙයට අනුව බුද්ධපරිනිර්වාණයෙන් පසු පැවැති සංගීති විධි සකස් වූ බව සිතිය හැකියි.
ත්‍රිපිටකය ම ප්‍රථම සංගීතියෙන් සංගීත වූයේ, බුදු රජුන් ධරමාණ කාලයෙහි ම සව්වන් විසින් අසා සිතැ දරා ගෙන ආ පරිදි ම ය. එය ටීකායෙහි මෙසේ දැක්වෙයි: “යෙභුය්යෙන හි තීණි පිටකානි භගවතො ධරමානකාලෙ සික්ඛානුක්කමෙනෙව සංගීතානි, විසෙසතො විනයාභිධම්මපිටකානීති දට්ඨබ්බං” යි.
දීඝනිකායෙහි හැම සූත්‍රයෙක ම ශීලසමාධිප්රඥාකථාව බෙහෙවින් එයි. එහෙත් අතුරු කථාවන්හි බුද්ධකාලයෙහි මිනිසුන් අතර පැවැති සමාජචාරිත්ර, ඉතිහාසප්රවෘත්ති, නානා දෘෂ්ටිවාද, කුලවාද, ශිල්ප, රාජනීති ආදිය ද සඳහන් වෙයි.
අන්යසම්ප්රදායයෝ:
ථෙරවාදීන්ගෙන් ම බෙදී ගිය සර්වාස්තිවාදීන්ගේ සූත්‍රපිටකයෙහි ද දීර්ඝාගම මධ්යමාගම සංයුක්තාගම එකොත්තරාගම ක්ෂුද්රකාගම යැ යි පස් ආගමයෙක් ඇත. එහි දීර්ඝාගමය මහාවිහාරීය ථෙරවාදීන්ගේ දීඝනිකායට ඇතැම් තැන්හි සමාන වුව ද වෙනස් තැන් බොහෝ වේ. බුද්ධයශස් නම් තෙරුන් විසින් ක්‍රි: ව: 412 - 413 පමණේ දී සකුයෙන් චීනභාෂාවට නඟන ලද දීර්ඝාගමයෙහි සූත්‍ර 30 කි. අපගේ දික්සඟියේ එන මහාලි ජාලිය සුභ මහාසුදස්සන මහාසතිපට්ඨාන පාටික අගඤ්ඤ පාසාදික ලක්ඛණ ආටානාටිය යන සූත්‍ර එහි දක්නට නැත. ඒ වෙනුවට පාලි දික්සඟියේ නැති අන්‍යවූ නමෙකින් හැඳින්වෙන සූත්‍ර කෙනෙක් ඇත.
“එහි පළමු වැන්න චතුෂ්පර්ෂද් පිළිබඳ එකෙකි. දෙවැන්න එකොත්තර ධර්ම පිළිබඳ ය. තෙවැන්න ත්රිසංග්රහධර්ම පිළිබඳ ය. සිවුවැන්න නගර වර්ණනාවෙකි. පස් වැන්න ප්රතිපත්තිගුප්තිය පිළිබඳ ය. සවැනිද ලොකප්රඥප්ති පිළිබඳ ව යැ” යි චීන සර්වාස්තිවාදී දීර්ඝාගමය පිරික්සා බැලූ අනුකූලචන්ද්ර බනර්ජි මහතා කියයි.
පාලි දික්සඟියේ 34 වැන්න වූ දසුත්තර සූත්‍රය සර්වාස්තිවාදීන්ගේ පොතේ 10 වැන්න වී ඇත. පාලි පොතේ 16 වැන්න වූ මහාපරිනිබ්බාණ සූත්‍රය සර්වාස්තිවාදීන්ගේ පොතේ දෙවෙනි සූත්‍රය වෙයි. පාලි පොතේ 15 වැන්න වූ මහානිදාන සූත්‍රය සර්වාස්තිවාදී පොතේ පළමුවැන්න ව සිටී. සංගීති සූත්‍රය පාලි පොතේ 33 වැන්න වුව ද සර්වාස්තිවාදී පොතේ 9 වැන්නයි. සත්විසිවන අගඤ්ඤ සූත්‍රය ඒ පොතේ ම පස් වැන්න ව ද, සූවිසිවන පාටික සූත්‍රය පසලොස් වැන්න ව ද, එකුන්තිස්වන පාසාදික සූත්‍රය එහි සතලොස් වැන්න ව ද එයි.
පාලි දික්සඟියේ 22 වැන්න වූ මහාසතිපට්ඨාන සූත්‍රය සර්වාස්තිවාදීන්ගේ මධ්යමාගමයෙහි 98 සූත්‍රය ව ද, තිස්වන ලක්ඛණ සූත්‍රය එයින් තිස් වැන්න ව ද, බ්‍රහ්මජාල සූත්‍රය එහි එක්විසි වැන්න ව ද සිටී.
චීන පොත්හි එන පිළිවෙලට වඩා පාලි දීඝනිකායේ එන සූත්‍ර පිළිවෙල පිළිගත යුතු යැ යි ආචාර්ය Franke (ප්රාංක) කියයි.
සම්මතිය ආදි අන් නිකායනට අයත් සූත්‍ර ග්රන්ථයන්හි මුල් පිටපත් මෙතෙක් සොයා ගෙන නැත. චීන - ටිබෙට් භාෂාවනට නඟන ලද ඔවුන්ගේ ඇතැම් සූත්‍ර දක්නා ලැබෙතත් ඔවුන්ගේ ආගමයක් සම්පූර්ණයෙන් ඇති නියාවෙක් නො පෙනේ.
සූත්රසංක්ෂෙප:
1. බ්‍රහ්මජාල සූත්‍රයෙහි - තෙරුවනට මෙරමා කරන නිගාවෙහි නොකිපිය යුතු බව ද, තෙරුවන් ගුණ කියනු අසා උදම් නොවිය යුතු බව ද, පුහුදුනන් කරන බුදුගුණවැනුම් සිල් පමණක් අරබයා කරන සුළු දැයක් බව ද දැක්වෙයි. එයට පසු ශීලකථා ද, දෙසැට මිසදිටු ද, දෘෂ්ටිසීමායෙන් ප්‍රතීත්‍යසමුත්පාදය ද, තථාගතයන් වහන්සේ දෘෂ්ටිජාලයෙන් මිදුණු බව ද දැක්වේ.
2. සාමඤ්ඤඵල සූත්‍රයෙහි - නිගණ්ඨනාතපුත්තාදි ශාස්තෘන් සදෙනාගේ ධර්ම ද, සිල් පුරනු පටන් රහත් බව තෙක් ලබන මහණ දම් පල ද දැක්වෙයි.
3. අම්බට්ඨ සූත්‍රයෙහි - බුදු රජුන් අම්බට්ඨයාගේ කුල මන් බිඳුම, බමුණු කුලයට වඩා කැත්කුලය උසස් නියාව, වෛදිකයන්ගේ විද්යාවරණ, ශාසනික විද්යාවරණ, තවුස් පැවිද්ද ශාසනයේ විකාශාභුදය බව යන මෙතෙක් දැ දැක්වේ.
4. සොණදණ්ඩ සූත්‍රයෙහි - සොණදණ්ඩබමුණාගේ බුදුගුණ වැනීම ද, බමුණන්ගේ ජාතිවාදාදියේ නිසරු බව ද, සැබෑ බමුණකු වන සැටි ද, ශීල ප්‍රඥා දෙකේ අගය ද පැවැසේ.
5. කූටදන්ත සූත්‍රයෙහි - දනැමි යාගයේ විස්තර දැක්වේ.
6. මහාලි සූත්‍රයෙහි - දෙව් රූ දැකුම් ආදියට වඩා සමාධියේ තතු ද, මහණ දහමේ පරමාර්ථය ආර්‍ය්‍ය ඵල ලාභය බව ද, රූප ජීව දෙක පිළිබඳ ව ඇති වාදකථා ද එයි.
7. ජාලිය සූත්‍රයෙහි - ජීවයත් රූපයත් එකෙක් ම ද? නැත හොත් දෙකෙක් දැ? යි ප්රශ්නය ද, බුදුදහම ඒ අනන්ත දෙක ම නො ගන්නා බව ද දැක්වෙයි.
8. සීහනාද සූත්‍රයෙහි - බැහැරියන්ගේ තපෝදම් ද, ශාසනික විමුක්ති ක්‍රමය ද, බුදු රජුන්ගේ සීහනාදය ද දැක්වේ.
9. පොට්ඨපාද සූත්‍රයෙහි - සංඥානිරොධය ද, ශීලාදි ස්කන්ධ තුන ද, ආත්මවාද විභාගය ද, බුදුරජුන් වදාල නො වදාල දැ ද, සස්සතාසස්සත, අනන්තානන්තික, අමරාවික්ඛෙපික යන වාද ද, චතුස්සත්‍යය ද, ආත්මභාව ප්රතිලාභ තුන ද දැක්වේ.
10. සුභ සූත්‍රයෙහි - ආර්‍ය්‍ය ශීල, ආර්‍ය්‍ය සමාධි, ආර්‍ය්‍ය ප්‍රඥා තුන දැක්වේ.
11. කෙවඩ්ඪ* සූත්‍රයෙහි - තුන් පෙළහර ද, අනුශාසන ප්රාතිහාර්යයේ උතුම් බව ද, නාම රූප අනුත්පාද නිරොධයට පැමිණෙන තැන ද දැක්වේ.
12. ලොහිච්ච සූත්‍රයෙහි - ‘පරහට දහම් නො දෙසිය යුතු ය’ යන මිසදිටුවේ ආදීනව ද, චොදනාර්හ ශාස්තෲන් තිදෙනාගේ සැටි ද, අචොද්ය ශාස්තෘහුගේ ගුණ ද දැක්වේ.
13. තෙවිජ්ජ සූත්‍රයෙහි - යාග හොම බලිලෙව මහ තොවත බව ද, සතර බඹවෙහෙර තතු ද, බඹා හා එක් වන මඟ ද දැක්වේ.
* බොහෝ පොත්හි ‘කෙවට්ට’ යැයි පෙනේ. මේ පිළිබඳ විවේචනයෙක් මතු උපග්‍රන්ථයෙහි එයි.
මේ සූත්‍ර තෙළෙසින් ශීලස්කන්ධ වර්ගය නිමාවට යෙයි. ඉතර සූත්‍ර පිළිබඳ කථා මී ළඟ කාණ්ඩයෙහි ඇතුලත් වෙයි.
මේ සූත්‍රයන්හි එන අවිශද තැන් පිළිබඳ විවරණ ද, දික්සඟියේ තතු හඟවන ප්‍රස්තාවනාව ද දීඝනිකායේ තුන් වන කාණ්ඩයෙහි ඇතුළත් වෙයි.
මේ ශීලස්කන්ධ වර්ගයේ පෙළ හා ව්‍යාඛ්‍යානය සකස් කිරීමෙහි දර්ශනවිශාරද පරවාහැර වජිරඤාණ, කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ද, පණ්ඩිත ලබුගම ලංකානන්ද, මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහානිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක යතීන්ද්‍රයන් වහන්සේගේ ද උපදෙස් බොහෝ ප්‍රයෝජනවත් වූ බව කෘතඥතා පූර්වක ව සඳහන් කරම්හ.
බලන්ගොඩ ආනන්දමෛත්රෙය ස්ථවිර,
බුද්ධ වර්ෂ 2505 වැන්නෙහි
ඉල් පුරපසළොස්වක් ලත් කුජ දින,
ශ්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලයේ දී යැ.