සන්න සහිත කුදුසික - හරුමල්ගොඩ ශ්රී සුමංගල හිමි 1928.pdf
- කතෘ :
- ධර්මශ්රී හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1928
- මුද්රිත වර්ෂය :
- 1928
- පිටු ගණන :
- 211
- බාගත කිරීම් ගණන :
- 0
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-23
- ගොනුවේ ප්රමාණය :
- 50 MB
වෙනත් සංස්කරණ
- කුදුසික සන්න සහිත - ධර්මශ්රී හිමි 1894
ධර්මශ්රී හිමි · 1894
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සන්න සහිත කුදුසික යනු අනුරාධපුර මහා විහාරවාසී ධර්මශ්රී මහා ස්ථවිරයන් වහන්සේ විසින් රචිත විනය සංග්රහයක් වන ඛුද්දසික්ඛා ප්රකරණය සහ එහි පැරණි සිංහල සන්නය ඇතුළත් ග්රන්ථයකි. උපසම්පදා භික්ෂූන් වහන්සේලාගේ ප්රයෝජනය සඳහා විනය පිටකයේ ශික්ෂාපද සංක්ෂේප කොට ගාථා 467 කින් සහ වාක්ය 52 කින් සමන්විත වන පරිදි මෙම මූල ග්රන්ථය සකස් කර ඇත.
මෙහි අන්තර්ගත පුරාතන සිංහල ව්යාඛ්යානය (ද්විතීය සන්නය) කලුවාමෝදර කල්යාණාරාමවාසී මොරගල්ලේ ඥානෝභාස තිස්ස හිමියන්ගේ ආරාධනයෙන් දොඩන්දූව ශෛලබිම්බාරාමාධිපති හරුමල්ගොඩ ශ්රී සුමංගල මහා ස්ථවිරයන් වහන්සේ විසින් පැරණි පුස්කොළ පිටපත් හා බුරුම මුද්රණ ආශ්රයෙන් සංශෝධනය කර සංස්කරණය කරන ලද්දකි.
මෙම මුද්රණය බුද්ධ වර්ෂ 2471 (ක්රි.ව. 1928) දී අලුත්ගම විද්යාවිලාස යන්ත්රාලයේදී ඩබ්ලිව්. මේලිස් ද සිල්වා මහතා විසින් මුද්රණය කරවා ප්රකාශයට පත් කරන ලද්දකි.
PREFACE.
Kudusika was written about a thousand years ago by Dharmasri Thero, of Maha Vihara in Anuradhapura. All rules of conduct Codified in the Vinayapitaka as laid down by the Master for the guidance of his disciples are dealt with in this work in such a manner as to bring them within the easy comprehension of everyone. This book has therefore always been of invaluable aid to the newly ordained Bhikkhu.
The text consists of as many as 467 Pali stanzas and 52 Vakyas (prose lines)
Two Pali Tikas (Commentaries) and two paraphrases in Sinhalese have been written to this by commentators of old.
On the invitation of Rev. Moragalle Gnanobhasa Tissa Thero of Kalyanarama in Kaluwamodara the present Editor went through the two old paraphrases and selected the better of the two which he carefully revised, adding his own explanations where he found it necessary to do so and get it ready for publication.
That this revised edition of the Kudhusika may be an aid to the members of the Order in bearing the rules of discipline (Vinaya) and thereby conduce to the firm establishment of the religion of Tathagata, the Enlightened One is the earnest wish of the present Editor.
H. Sri Sumangala.
Sailabimbaramaya
Dodanduwa
25 th, June 1928.
සංඥාපනය.
නමඃ ශ්රීඝනාය
කුදුසික
ශ්රීඝන ශාසනගත කුලපුත්රයන් විසින් උපසපන් ලත් තැන් පටන් හික්මිය යුතුවූ අධිශීලාදි ත්රිවිධ ශික්ෂාවන් සංක්ෂෙපනයින් සංගෘහිතහෙයින් මීට කුදුසික හෙවත් ඛුද්දසික්ඛා යන නාමය ව්යවහෘතය. “ඛුද්දා (අප්පිකා) සික්ඛා,—ඛුද්දසික්ඛා,” යනු මෙහි නිර්වචනයි. විනය සූත්රාගත ශික්ෂාවන්ගේ අර්ත්ථසාරය මාතෘකා සංඛ්යාත සමපණ්ණස උද්දෙසපදයෙක්හි ඇතුළත් කොට මෙහි දක්වන ලදී. විනයපාලිඅර්ත්ථකථාටීකාගත ක්රමයන්ට අනුව ඒ ඒ පදයන්ගේ නිර්දේශ සංඛ්යාත විස්තරය කිරීමෙන් ඉතා පැහැදිලි සුගමක්රමයකට මෙය ගළපා තිබේ. මේ සමපණ්ණස උද්දෙස පද විස්තරයෙහි ශාසනික කුලපුත්රයන් විසින් ශ්රවණ ධාරණ ප්රතිපත්ති විසින් නිරන්තර පරිහරණය කටයුතුවූ විනයශික්ෂාවන්ගේ අර්ත්ථසාරය සාකල්යයෙන් ඇතුළත්ය. නිරන්තර ධාරණොපයොගී නොවූ ඇතැම් ශික්ෂාවන් විෂයෙහි ග්රන්ථලාඝවාපෙක්ෂා හෙතුවෙන් උපෙක්ෂිත බැව් ද පෙනේ.
ග්රන්ථප්රමාණය.
මෙහි ප්රමාණය ගාථා 500 කි; හෙවත් බණවර දෙකකි. ඒ බැව් ග්රන්ථාවසානයෙහි:—
“පඤ්චමත්තෙහි ගාථානං සතෙහි පරිමාණතො”
‘පරිමාණහෙයින් පන්සියයක් පමණ ගාථාවෙන්’ යනුයෙන් ප්රකාශිතය. ගාථා හැර චීවරවිකප්පන- නිස්සයසමාදාන- විස්සජ්ජන-භක්තිස්සජ්ජන-ආපත්තිදෙසනා- ඡන්දපාරිසුද්ධි පවාරණ දූතාරොචන- උපොසථ- පවාරණ යනාදි ප්රස්තාවයන්හි උපයොගී වූ වාක්ය බොහෝ ගණනක් ද මෙහි ඇතුළත් ව තිබේ.
අපේ මේ සංස්කරණයෙහි යොදනලද සංඛ්යාවශයෙන් ගාථා 467 කි, වාක්ය 52 කි. මෙහි ගාථාවෙන් ඉතා වැඩිගණනක් අෂ්ටාක්ෂරයෙන් යුත් සතරපදයෙන් ද, 5 ක් ෂට්පදයෙන් ද, 8 ක් පද යුග්මයෙන් ද උපලක්ෂිතය. 23-37-62-132 යන සංඛ්යා දරන ගාථාසතර වංශස්ථාදිවිශෙෂ වෘත්තයෙන් සරිතය. මේ සියල්ල දෙසිස්කුරුගෙන් විසින් ප්රමාණ කොට සැලකීමෙන් ග්රන්ථකර්තෘන් විසින් පඤ්චසතපරිමාණගාථාසංඛ්යාව සඳහන් කරනලදැයි හඟිමු.
මෙහි වාක්යයන් පිළිබඳ දෙපණස් සංඛ්යාව නියමගණනක් නො වේ. යම් සංඛ්යා ඒ ඒ තැන සන්නකොටස් වෙන් කොට දැක්වීම ප්රයෝජන කොට යොදනලදි. එහෙයින් මෙහි නොගැණුනු වාක්ය ද එක එක සංඛ්යාවෙහි ගැණුනු බොහෝ වාක්ය ද සංක්ෂෙපනයින් දක්වනලද වාක්ය ද වෙති. මේ සියල්ල වෙන් කොට ද ගිණුවොත් වාක්යසංඛ්යාව මීට වඩා අතිශයින් අධික වේ.
පුරාතනයන්ගේ සම්භාවනය.
මේ උතුම් විනය ග්රන්ථය පුරාතන පටන් ශාසනික කුලපුත්රයන් විසින් ගණ්යසාර වස්තුවක් සේ සලකනු ලැබේ. ලංකාවේ ද සියම් බුරුමාදි සම්බුද්ධධර්මය නිර්මල ව පවත්නා දේශාන්තරයෙහි ද අත්යන්ත සම්භාවිත ය.
ලක්දිව වළගම්අබා රජදවස පටන් හවුරුදු දහසකට වැඩි කාලයක් භින්නව පැවති සංඝයා සමගියෙහි පිහිටුවීමෙන් නිකායත්රය එක්නිකායක් කරවා මහත් ශාසන සංග්රහයක් සිදුකළාවූ මහාපරාක්රමබාහු මහානරෙන්ද්රයන්ගේ ආරාධනාවෙන් තත්කාල ශාසනානුශාසක දිඹුලාගල ආරණ්යක සංඝරාජ මහාස්වාමිපාදයන් වහන්සේ ප්රධාන කාරක මහා සංඝ සභාව මගින් සම්පාදිත වූ පොළොන්නරු කතිකාවත නමින් ප්රසිද්ධ පුරාතන කතිකාවතෙහි ද කලිකාලසාහිත්ය සර්වඥ පණ්ඩිත පරාක්රමබාහු මහ රජාණන්ගේ ආරාධනාවෙන් තත්කාල ශාසන ශ්රී භාරධාරි ආරණ්යක මෙධංකරසංඝරාජ මහා ස්වාමිපාදයන් වහන්සේ ප්රධාන කාරක මහා සංඝයා වහන්සේ විසින් සම්පාදිතවූ දඹදෙණි කතිකාවත නම් ලත් මහාභික්ෂු කතිකාවතෙහි ද උපසපන් ලත් භික්ෂූන් විසින් වනපොත් කොට දැරිය යුතු ග්රන්ථ සංඛ්යාවෙහි ලා මේ ඛුද්දසික්ඛා ග්රන්ථය ඇතුළත් කොට තිබේ. මහාපරාක්රමබාහු මහානරාධිපතීන්ගේ නිකාය සාමග්රී සංවිධානයෙන් සවෙනි වර්ෂයෙහි බුරුම දේශයෙන් ලක්දිව පැමිණ පැවිදි උපසපන් ලැබ ධම්මවිනය ආදිය ඉගෙන සියරට බලා ගමන්ගත් ඡපට මහතෙරුන් සමග ලක්දිවින් පිටත් ව ගිය ව්යක්තතර ස්ථවිරවරයන් පස්නම අතුරෙන් ව්යක්තතමවූ රාහුල නම් මහ තෙරුන් විසින් මලෙය්යදීපයෙහි මහානරෙශ්වරයන්ට ටීකාව සහිත මේ ඛුද්දසික්ඛා ග්රන්ථය ඉගැන්වීමෙන් සම්පූර්ණ විනය පාලියෙහි අත්ථාවබොධය ඇතිකළ බැව් කල්යාණිශිලා ලිපියෙන් පෙනේ. මේ ආදි චිරන්තන ප්රවෘත්තීන්ගෙන් මේ ඛුද්දසික්ඛාග්රන්ථය පිළිබඳ ව පුරාතන ශාසන සංරක්ෂක උතුමන්ගේ සම්භාවනය පැහැදිලි ය.
කර්තෘ.
මේ ග්රන්ථයෙහි කර්තෘ වරයා වනාහි ධම්මශ්රී නම් මහාස්ථවිරෝත්තමයකු බැව් මෙහි නිගමන ගාථාහි සඳහන් වේ. මේ මහාස්වාමිපාදයාණන් ලෝකයෙහි ව්යාපාරනීතිශ්රීන් විරාජමානවූ මහා ප්රාඥයකු බැව් ද එහිම ප්රකාශිතය. නිකායසංග්රහයෙහි අර්ත්ථකථාව්යාසී බුද්ධඝොස මහාස්වාමි පාදයාණන් පටන් ධම්මවිනයානුගත මහාර්ඝ ධර්මප්රබන්ධයන් නිර්මාණය කළාවූ ආචාර්ය්ය උතුමන්ගේ නාම සංකීර්තනයෙහි ධම්මශ්රී නාමයෙන් සඳහන් වූයේ මේ ඛුද්දසික්ඛා ග්රන්ථකර්තෘ උත්තමයා බැව් පිළිගත යුතු ව පෙනේ. මේ ආදි කරුණු හා ඛුද්දසික්ඛා ග්රන්ථයාගේ මාහැඟිවු අත්ථසාර සුකොමල පදවින්යාසාදි රචනාවිලාසයක් සැලකීමෙන් ධම්මශ්රී මහාස්ථවිර පාදයාණන් අනුරාධපුර මහා විහාරාඛ්යාගත මහාස්ථවිර රත්නමාලාවෙහි අමූල්ය මහාරත්න ශ්රීන් විරාජමානවූ මහොත්තමයකු බැව් පැහැදිලි වේ ම ය.
කාලනිර්ණය.
මේ ග්රන්ථ රත්නය පිළිබඳ රචනා කාලය හෝ ධම්මශ්රී මහාස්වාමිපාදයාණන් ස්වකීය ජීවනශ්රීයෙන් මහා විහාරාර්ය්ය සංඝයා කෙරෙහි වැජඹුණ කාලය හෝ නිශ්චය වශයෙන් සැලකීමට ඉවහල්වු පුරාතන ලිපි ආදියක් නොදක්නා ලැබේ. එහෙත් යට දැක්වූ ග්රන්ථාන්තරාගත කරුණු හා මෙහි පරිවාරග්රන්ථයන්ගේ තත්ත්වයන් සලකා බැලීමේදී බුද්ධඝොසාචාර්ය්යයන්ගේ අර්ත්ථකථා නිර්මාණ කාලයට සමීපකාලයෙක්හි ධම්මශ්රී මහාස්වාමිපාදයාණන් විසින් මේ ග්රන්ථ නිර්මාණයෙන් ශ්රීඝනපවර ශාසනය ශොභා සහිත කළ බැව් හැඟී යයි.
පරිවාර ග්රන්ථ.
මේ ඛුද්දසික්ඛා ග්රන්ථයට පරිවාර වශයෙන් ටීකා දෙකක් හා සිංහලාත්ථව්යාඛ්යාන දෙකක් ද පුරාතනයන් විසින් කලින් කල විරචිත ය. මින් පුරාතන වූ ටීකාග්රන්ථයාගේ සම්පූර්ණ තත්ත්වයක් ප්රකට කිරීමෙහි අපොහොසත් වෙමු. ද්විතීය ටීකාග්රන්ථය වනාහි ජම්බුද්රොණීපුර නිර්මාණය කරවා එහි රජ සිරි පැමිණි වත්හිමි විජයබාහු මහ රජාණන් සමයෙහි ලංකා ශාසන ශ්රී භාරධාරණ යෙහි නියුක්තවූ සංඝරක්ෂිත සංඝරාජ මහාස්ථවිරපාදයන් වහන්සේ විසින් රචනා කරන ලදී. පුරාතනටීකාවෙන් ඛුද්දසික්ඛා ග්රන්ථයාගේ අත්ථාවබොධය සාකල්යයෙන් සිද්ධ නොකළහැකි බැවින් ප්රාඥවූ සුමංගලාභිධානස්ථවිරොත්තමයාගේ ආරාධනාවෙන් මේ ටීකාව කරනලද බැව් එහි ආරම්භයෙහි සඳහන් ව තිබේ. සුමංගලප්පසාදනී නම්වූ මේ ටීකාග්රන්ථය ගාලුපුර ජයවර්ධනාරාමාධිවාසී ගෞරවාර්හ සුමනජොති නායක මහාස්ථවිරපාදයාණන්ගේ සංශොධනයෙන් බුද්ධ වර්ෂ 2441 දී ප්රසිද්ධියට පමුණුවන ලදි. මෙහි සිංහලව්යාඛ්යානයෙන් චිරන්තනතර ව්යාඛ්යානය අපගේ දර්ශනයට විෂය නො වී ය. එහෙත් ද්විතීය ව්යාඛ්යානයෙහි බොහෝ තැන්හි ඒ ව්යාඛ්යාවෙහි පාඨයන් නිදර්ශනය කොට තිබීමෙන් තරමක් දුර එහි තත්ත්වය සලකා ගත හැකි වේ. භාෂාවිලාසාදිය අනුව සැලකීමේදී මීට හවුරුදු දහසකට අධික පුරාතන කාලයෙක්හි එහි නිර්මාණය වූ බැව් සැලකිය හැකි ය.
මෙම ද්විතීය ව්යාඛ්යානය.
කාලානුක්රමයෙන් භාෂාව්යවහාරයාගේ දුර්බොධත්වයට පැමිණීම නිසා හෝ උවමනාප්රමාණ විස්තර ඇතුළත් නොවී තිබීම නිසා හෝ ඛුද්දසික්ඛා ග්රන්ථයාගේ අත්ථාවබොධයට ප්රාක්තනතර ව්යාඛ්යානය ප්රමාණ නොවීම හේතු කොට මේ ද්විතීය ව්යාඛ්යාන නිර්මාණය උවමනා වූ බැව් සිතිය හැකි වේ. මේ ව්යාඛ්යානය ඛුද්දසික්ඛා ග්රන්ථයාගේ සම්පූර්ණ අත්ථාවබොධයට ඉවහල්වන පරිදි සම්පාදිත ව තිබීම ඉතා ප්රයෝජන සහිත ය. මෙහි ගාථාවන්ට සිංහල භාෂාවෙන් පදර්ථ දක්වමින් විස්තර උවමනා තැන්හි නොයෙක් පෙළ අටුවා ටීකා ප්රකරණ පාඨාදිය නිදර්ශිත කෙරෙමින් අර්ථය පැහැදිලි කොට තිබේ. මෙහි නිදර්ශිත පාඨාදිය දැක්වීමේදී නම් සඳහන්වූ ග්රන්ථයන්ගෙන් සමහරක් නම්: විනයපාලිය—විනැ. අටුවාව— විනයටීකාව— විනයවිනිශ්චය— නිස්සන්දෙහ නම් විනය විනිශ්චය සන්නය— විනය සන්නය— කංඛාවිතරණී ගැටපදය— සාරත්ථදීපනී ටීකාව— විසුද්ධිමාර්ගය— විනය අටුවා සන්නය— මෙහි (කුදුසිකෙහි)පුරාතන සන්නය යනාදිය යි. මෙයින් ඉතා බොහෝ කොට නිදසුන් ගෙන තිබෙන්නේ විනය අටුවාව විනය සන්නය හා මෙහි පුරාතන සන්නයෙනුත් ය. ඇතැම් තැන ග්රන්ථනාමය සඳහන් නොවූ නිදර්ශිත පාඨයෝ ද වෙති. මේ ආදිකරුණු අනුව සලකා බැලීමේදී මේ ව්යාඛ්යානය සම්පාදනය කළ කර්තෘවරයා ධර්මවින යෙහි හා නානා භාෂා ශාස්ත්රාදියෙහි ප්රවීණතර බුද්ධිමත් උත්තමයකු බැව් පෙනී යයි.
එහෙත් මේ ග්රන්ථයාගේ නිර්මාතෘනිර්මාණ කාලයන්ගේ නියතියට ප්රමාණවත්වූ චිරන්තනලිපි ආදියක් දක්නට නොලැබිණ. ඇතැම් පුරාතන ග්රන්ථකාරක උතුමන් විසින් ස්වකීය නාමය හා ග්රන්ථනිර්මාණකාලාදිය සවිස්තර ව ස්වකීය ග්රන්ථයන්හි සටහන් කර තැබීම සාර්වික වශයෙන් නොසලකන ලද්දක් මෙන් හැඟේ. එහෙයින් පුරාතන බොහෝ සම්භාවනීය ග්රන්ථයන්ගේ කර්තෘකාල නිර්මාණාදිය දක්වාලීම දුෂ්කර බවට පැමිණ තිබේ. මේ ව්යාඛ්යානය සම්බන්ධයෙන් ද එම දුෂ්කරතාවය යෙදී තිබේ. මෙහි කර්තෘ උතුමා දිඹුලාගල ආරණ්යක මෙධංකර මහාස්වාමි පාදයෝ යයි ඇතැම් අය සලකත්. වත්හිමි විජයබාහු මහ රජාණන් සමයෙහි සංඝරක්ඛිත සංඝරාජ මාහිමියන්ට සමකාලිකව ආරණ්යාවාසයෙහි සංඝසභාවන්සේට ප්රධාන ව මෙකී මාහිමියාණෝ ශාසනාභාරොද්වහනය කලෝය. විජයබාහු වත්හිමියාණන්ගෙන් පසු රජසිරිට පැමිණියා වූ එම නරශ්රෙෂ්ඨයන්ගේ අතිජාත පුත්ර වූ කලිකාල සාහිත්ය සර්වඥ පණ්ඩිත පරාක්රමබාහු මහාරාජයා විසින් විරචිත වූ නිස්සන්දෙහ නම් ලත් විනවිනිස සන්නයෙන් ගන්නා ලද නිදර්ශිත පාඨයෝ මේ ඛුද්දසික්ඛා ව්යාඛ්යානයෙහි පෙනෙති. මෙය යට කී මෙධංකර මාහිමියාණන්ගේ කෘතියක් නම් මෙකී නිස්සන්දෙහයෙහි නිදර්ශනයන් ඇතුළත් වීම සිදුවිය හැකිද? යනු විමසිය යුත්තකි.
සංශොධනය හා මුද්රණය.
මේ ඛුද්දසික්ඛා ග්රන්ථය හා යට දැක්වු එහි ද්විතීය ව්යාඛ්යානයක් බේරුවල සුමෙධංකර ස්ථවිරපාදයන්ගේ සංශොධනයෙන් යුක්තව මීට තෙතිස් වර්ෂයකින් පූර්වයෙහි මුද්රණයෙන් ප්රසිද්ධියට පමුණුවන ලද්දේය. ඉන් විනය පරිසීලනයෙහි නියුක්තවූවන්ට මහත් ප්රයෝජන ලැබුණු බැව් නිසැකය.
කුදුසිකා හා එහි මේ සිංහල පදාර්ථ ව්යාඛ්යානයත් දැනට දුර්ලභව පවත්නා හෙයින් ඒ විශේෂ සංශොධනයෙන් හා සංස්කරණයෙන් යුක්ත කොට ප්රසිද්ධියට පැමිණවීම කාලානුරූප වූ ශාසන සංග්රහයක් බැව් සැලකූ අපගේ ධර්මාන්කෙවාසීවරයෙක් වූ කලුවාමෝදර කල්යාණාරාමාධිවාසී මොරගල්ලේ ඥානොභාසතිස්ස ස්ථවිරයන් විසින් මේ ග්රන්ථය පිළිබඳ සංශොධන සංස්කරණාදිය සඳහා අපවෙත ආරාධනා කර සිටින ලද්දේය. එම ආරාධනය පිළිගත් අපවිසින් පැරණි ලියාපු පිටපත් කීපයකට හා විනය පෙළ අටුවා ටීකා ප්රකරණාදියට ද බුරුමරට මුද්රිත ඛුද්දසික්ඛාග්රන්ථයට ද සම කොට බැලීමෙන් මේ ඛුද්දසික්ඛා ග්රන්ථයෙහි හා සන්නයෙහි ද පාඨශොධනය යථාශක්තින් සම්පූර්ණ කොට සන්නයෙහි නිදර්ශිත වශයෙන් ඒ ඒ තැන දක්වන ලද පාලිගාථා පාඨාදියට පදාර්ථ ව්යාඛ්යානයක් ද ලියා මුද්රණයට පිළියෙල කරන ලද්දේය. අපගේ මේ සදුත්සාහය ශ්රීඝනශාසනයාගේ චිරජීවනයට උපකාරී වේවා.
මෙහිවග,
හරුමල්ගොඩ ශ්රී සුමංගල ස්ථවිරයෝ ය.
2471
වර්ෂ —————
1928 ජූනි මස 25 වෙනි දින
දොඩන්දූව ශෛලබිම්බාරාම මහා විහාරයේදී ය.