සතිපට්ඨාන විපස්සනා භාවනා - දෙවිනුවර ඤාණාවාස හිමි 1995.pdf
- කතෘ :
- දෙවිනුවර ඤාණාවාස නාහිමි
- ප්රකාශිත වර්ෂය :
- 1995
- මුද්රිත වර්ෂය :
- 1995
- පිටු ගණන :
- 324
- බාගත කිරීම් ගණන :
- 1
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2026-10-14
- ගොනුවේ ප්රමාණය :
- 17 MB
වෙනත් සංස්කරණ
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සතිපට්ඨාන විපස්සනා භාවනා යනු ශ්රී ලංකා ශ්වේජින් නිකායේ මහානායක ධුරය හෙබවූ අතිපූජ්ය දෙවිනුවර ඤාණාවාස මහා නායක ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත ප්රශස්ත භාවනා මාර්ගෝපදේශ ග්රන්ථයකි. බුරුමයේ මහාසී සයාඩෝ මහා තෙරුන් වහන්සේගේ සතිපට්ඨාන සන්නය සහ අටුවා ටීකා ඇසුරු කරමින් විපස්සනා භාවනා ක්රමය ප්රායෝගිකව පුහුණු වීමට කැමති යෝගාවචරයන් උදෙසා මෙම කෘතිය රචනා කර ඇත.
මෙම ග්රන්ථයේ මූලාරම්භය 1966-1967 වකවානුවේ කොළඹ තරුණ බෞද්ධ සමිති ශාලාවේදී පවත්වන ලද සතිපට්ඨාන ධර්ම සාකච්ඡා පන්තිය හා බැඳී පවතින අතර, පසුව සැදැහැවතුන්ගේ ඉල්ලීම පරිදි විස්තරාත්මක ග්රන්ථයක් වශයෙන් සකස් කරන ලදී. බලන්ගොඩ ආනන්ද මෛත්රෙය මහ නාහිමියන් විසින් මෙම කෘතිය සඳහා අගනා පෙරවදනක් සපයමින්, භාවනානුයෝගීන්ට මෙන්ම ධර්මාභිලාෂීන්ට ද මහත් ප්රතිඵලදායක එකක් ලෙස මෙය අගය කොට ඇත.
මෙම දෙවන මුද්රණය 1995 (බු.ව. 2539) වසරේදී කොළඹ ප්රින්ටින් හවුස් ආයතනයෙන් මුද්රණය කර පළකරවා ඇත.
ආචාර්ය්ය පූජා
කොළඹ දෙමටගොඩ මහා විසුද්ධාරාම ත්රිපිටක විද්යාලයාධිපතිව වැඩ වෙසෙමින් මහඟු ශාසනික සේවාවක් සිදු කොට අපවත්වී වදාළ - ශ්රී ලංකා ශ්වේජින් නිකායේ ආදි කර්තෘභූත ත්රිපිටක පරියත්ථිධර ආචාර්ය්ය අරංගල සිරිධම්මාභිධාන අස්මදාචාර්ය්ය මාහිමියන්ගේ ශ්රී නාමයට මෙම පුස්තකය පූජෝපහාරයක් වේවා!
දෙවිනුවර ඤාණාවාස.
දෙවිනුවර ඤාණාවාස.
පෙර වදන
මිහිඳු මහ රහතුන් වහන්සේ මෙ හෙළ දිවැ බුදු සස්න පිහිටුවූ තැන් සිට, කලක් ම මෙ රටැ භාවනානු යෝගීන් ගණනින් වැඩි ගිය ද කලකට පසු විදර්ශනා ධුරයට වඩා ග්රන්ථධුරය නැඟී ගියේ ය. එහෙත් විදර්ශනාධුරය මුළු මනින් හෙළ දිවින් අතුරුදහන් වූයේ නැත. සීතාවක රාජසිංහ රජු දවසැ වූ ශාසන විනාශයෙන් පසු එය අතුරුදහන්ම විය.
වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ ගේ උපදේශයෙන් මෙයින් සියවස් දෙකකට පමණ පෙර යළිදු මෙහි සස්න පිහිටුවන ලදින් භාවනානු යෝගීහු මෙහි මද වශයෙන් ඇති වූහ. ඔවුන් අතුරෙහි කෙතෙක් ශමථය, වැඩූහ. ඉතා ටික දෙනෙක් විදර්ශනා වැඩූහ.
බොහෝ පෙර සිට ම බුරුම රටැ ශමථයානික විදර්ශනායානික යෝගි පරම්පරාවෝ අවිච්ඡින්න වැ පැවැත්තා හ. පෙර බොහෝ සෙයින් සඟයින් පරීක්ෂය වැනි අරණ්ය ශයනාසනයන්හි පැවැති යථෝක්ත යෝගාවචර පරම්පරාවෝ ක්රමයෙන් පැතිර ගොස් අද ග්රාමාන්තරශයනාසනයන්හි ද දියුණු වෙමින් පවතිත්.
අද බුරුමරටැ විදර්ශනාකර්මස්ථානාචාර්යයන් අතුරෙහි උපරිම ස්ථානයෙහි වැජඹෙන කෙනෙකි, රැන්ගුන් නුවරට නොදුරෙහි ශාසනයෙයික්තා යෝගාශ්රමයෙහි අධිපති අග්ගමහාපණ්ඩිත මහාසීසෙය්යාඩෝ නමින් ප්රකට මහ තෙරණුවෝ. අද ධර්මධරයන් අතරැ ත්රිපිටකධාරි යැයි කිව යුතු තරමට අටුවා ටීකා සහිත තෙවළා දහම්හි හසල බුද්ධියක් ඇති දුර්ලභ ගණයේ මහාධර්මධරයෙකු වූ, විදර්ශනාභාවනාවෙහි බොහෝ ඉහළට මුහුකුරා ගිය භාවනාමය පුහුදු ඇති මෙකි මහතෙරණුවන් විසින් විදර්ශනා භාවනාව පිළිබඳ රැසැයුනු ග්රන්ථ කිහිපයෙක් ද වෙති. මෙකි තෙරුන් වෙතින් කමටහන් උගත් සුජාත ජවන ආදි තෙරවරුන් මෙ හෙළදිව වැඩ ඇරඹූ සතිපට්ඨාන භාවනා ක්රමය අද මෙරටැ නොයෙක් තැන්හි සැදැහැවත් ගිහි පැවිදි බොහෝ දෙනා විසින් පුරුදු කරනු ලැබේ. කලක් ම මෙ රටැ පිරිහෙමින් පැවැති විදර්ශනාධුරය මෙසේ මහාසී මහතෙරුන් ගේ සිසු පිරිස මගින් මෙහි හිස ඔසොවා නැඟී සිටින්නට විය.
මේ සතිපට්ඨාන භාවනා ක්රමය පිළිබඳ වැ වර්ෂයක් පාසා ලොකු කුඩා නොයෙක් පොත පත පළ වෙයි. මෑතෙක සිට මේ හෙළදිවැ ද විදර්ශනා භාවනාව පිළිබඳ පොත් පළවන්නට වී ඇත.
ආචාර්ය්ය, දෙවිනුවර ඤාණාවාස මහ තෙරුන් විසින් ලියන ලද මේ ම සතිපට්ඨාන විපස්සනාභාවනා පොත මෙයට පළමුවෙන් මෙහි පහළ වූ භාවනෝපදේශ පොත් අතුරෙහි උසස් ම තැනක් ගන්නා එකකැ යි කියතොත් එය අතිමාත්ර වර්ණනාවක් නොවේ යැ යි මගේ හැඟීම යි.
මහාසීමහතෙරුන් විසින් සතිපට්ඨාන භාවනාව පිළිබඳ ව බුරුම බසින් ලියා පළ කරවන ලද විශාල කාණ්ඩ දෙකෙකින් පරිමිත මහඟු මහා ග්රන්ථයෙක් ඇත. එය ද ඇසුරු කොට, තවත් පෙළ අටුවා ටීකා ආදියෙන් ද කරුණු ගෙන මෙම පොත ආචාර්ය්ය ඤාණාවාස මහ තෙරුන් විසින් රචිත ව ඇත. බුද්ධ ධර්මයෙහි යථාතත්වය දැනගනු රිසියවුනට ද භාවනානුයෝගීනට ද මේ පොත විපුල අර්ථයක් ගෙන දෙනු ඇත. පොත් නම් බොහෝ පහළ වෙයි. එහෙත් මෙබඳු පොතක් පහළ වනුයේ කලාතුරෙකිනි. මේ පොත රැසැයූ ආචාර්ය්ය දෙවිනුවර ඤාණාවාස මහ තෙරණුවෝ මෙයින් හෙළදිවට මහදර්ථයක් සිදු කෙරෙති.
දැන් මේ මහඟු ග්රන්ථයේ කර්තෘ ඇරැඹ ද යමක් කිය යුතු වැ ඇත.
යටැ කී පරිදි වැලිවිට සරණංකර සංඝරාජයන් ගේ ශාසන සංග්රහයෙන් සූත්රපිටක විනයපිටක දෙක්හි ද ව්යාකරණ ඡන්දෝලංකාර ශාස්ත්රයන්හි ද දැනීම මෙ රටැ කෙමෙන් වැඩි ගියේ ය. ඇතැම් ගිහි පැවැදි පඬි කෙනෙක් මහදුත්සාහයෙන් අභිධර්ම පිටකය අතේ දැනීම ද තරමක් දියුණු කැරැ ගත්තාහු ද එය පැතිරැවීමෙහි එතරම් උනන්දු නොවූහ. එදු සූත්ර විනය දෙකට ම ප්රධාන තැන ලැබී තුබුණේ ය. මෙසේ පවත්නා අතරැ අන්තිම බුරුම රජුන් ගේ සමයෙහි බුරුමරටට ගොස් ත්රිපිටකධාරී මහතෙරුන් පස් නමක් වෙතින් අටුවා ටීකා සහිත ව ත්රිපිටකය බොහෝ කලක් ඉගෙන මෙරටට පැමිණ බොහෝ ගිහිපැවිද්දනට විශේෂයෙන් අභිධර්මය ඉගැන්වූ ලක්මිණිපහන් පතේ සකසුවූ ධර්මරත්න පඬිතුමා නිසා අභිධර්මය හදාරනුයෙහි උනන්දුව මෙහි ඇති විය.
එයින් කලකට පසු බුරුම රට වැඩ එහි දී ම උපසම්පදාව ලබා, මහාධර්මධර තෙරුන් ඇසුරින් සාර්ථකථා ත්රිපිටකධර්මය ඉගෙන, ඉක්බිති ආචාර්යත්වයෙන් ද පුහුණු ලැබ මෙසේ සොළොස් වසක් බුරුම රටැ වැස, මෙහි වැඩ කොළොඹැ මහා විසුද්ධාරාමය ඇති කොට ගත සංඛ්යාත ගිහිපැවිදි ජනයාට ත්රිපිටක ධර්මය ඉගැන්වීමෙන් මහත් ශාසනසේවාවක් කළ අරංගල සිරිධම්ම මහ නාහිමිපාණන් ගෙන් වූ ශාසනෝද්දීප්තිය ඉතා මහත් ය.
උන් වහන්සේ වෙත දහම් විනය හදාරා බොහෝ පැවිදි නමන් අතුරෙහි දෙවිනුවර ඤාණාවාස මහා නායක මහ තෙරණුවෝ උච්චස්ථානයක් ගත්තෝ ය. උන් වහන්සේ බුරුම රට ද වැඩ කලක් එහි ද දහම් විනය ඉගෙන ධර්ම පරීක්ෂණ කිහිපයෙකින් ම සාමර්ථ්යය ලැබ පෙරළා මෙහි වැඩ, ඒ සිරිධම්ම මහ නාහිමිඳුන් ඇරඹූ ත්රිපිටක විද්යාලයේ ඉගැන්වීමෙහි අදත් නිරත ව ඉඳිති.
මෙසේ වූ මහා ධර්මධර පණ්ඩිතවරයකු විසින් ම විනා සාමාන්ය උගතකු විසින් මෙ බඳු ග්රන්ථයක් නිපදවනු දුෂ්කර ය.
මේ පොත බොහෝ දුරට කියවා බැලූ මට මේ ග්රන්ථයෙහි අගය පමණ කළ නොහැකි සේ වැටහිණ.
මේ වටිනා ග්රන්ථය භාවනානු යෝගීන් ගේ ත් ධර්මඥානාභිලාෂීන්ගේත් මනදොළ පිරීමෙහි හැමලෙසින් ම සමර්ථ වේ වා.
බලන්ගොඩ ආනන්ද මෛත්රෙය ස්ථවිර (සිරිලංකා අමරපුර මහානිකායේ මහානායක) 1970. 10. 13 බලන්ගොඩ, බුලත්ගම, උඩුමුල්ලේ ශ්රී නන්දාරාමයේ දීය.
බලන්ගොඩ ආනන්ද මෛත්රෙය ස්ථවිර (සිරිලංකා අමරපුර මහානිකායේ මහානායක), 1970. 10. 13, බලන්ගොඩ, බුලත්ගම, උඩුමුල්ලේ ශ්රී නන්දාරාමයේ දීය.
මේ පොත
අප විසින් 1966 දෙසැම්බර් මාසයේ සිට 1967 මැයි මාසය දක්වා බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේදී ‘’සතිපට්ඨාන ධර්ම සාකච්ඡාපන්තියක්’’ පවත්වන ලදී. එහිදී විදසුන් වඩන පින්වතුන්ගේ පහසුව පිණිස විදසුන් වඩන ක්රමය හැකිතාක් දුරට පැහැදිලි වනසේ කරුණු ඉදිරිපත් කරමින් ඒ සාකච්ඡාව පැවැත්වීමට උත්සාහ කෙළෙමි. මේ කරුණ මැනවින් ඉටු කිරීමට බුරුම රට රැංගුන් නුවර ‘’සාසනයෙයික්තා’’ භාවනා මධ්යස්ථානයේ අධිපති ‘’මහාසී සයාඩෝ’’ නමින් හැඳින්වෙන අග්ගමහා පණ්ඩිත භදන්ත සෝභන මහා ස්ථවිරයන් විසින් බුරුම බසින් ලියන ලද ‘’සතිපට්ඨාන සන්නය’’ ඇතුළු බුරුම පොත් බෙහෙවින් උපකාරී විය. විශේෂයෙන් විදර්ශනා භාවනාව පැහැදිලි කිරීමේදී උන්වහන්සේගේ පොත්වලින් කරුණු ගෙන හැර දැක්වීමි. එසේම මේ භාවනාව සම්බන්ධ වෙනත් පාලි අටුවා හා ටීකාවලින් ද කරුණු ඉදිරිපත් කරමින් මේ සාකච්ඡාව පැවැත්වීමි. ඒ ඒ දිනවල සාකච්ඡා වුණු කොටස් තරුණ බෞද්ධ සමිතිය මගින් මුද්රණය කොට බෙදා දෙන ලදී.
එම ධර්ම පත්රිකා කියවූ සැදැහැවත් පින්වතුන්ගෙන් ඇතැම් කෙනෙක් විදසුන් වඩන අයගේ පහසුව පිණිස එම දහම් කොටස සංග්රහ කොට පොතක් මුද්රණය කරවන මෙන් ඉල්ලා සිටියහ. සතිපට්ඨානය ගැන ලියවුණු පොත් කොතෙකුත් ඇතත් මේ භාවනා ක්රමය එමගින් විස්තර නොවන හෙයින් පොතක් වශයෙන් සකස් වුව හොත් බොහෝ දෙනෙකුගේ යහපත පිණිස හේතුවෙතැයි මට ද සිතුනි. එහෙත් මෙකල මෙබඳු පොතක් මුද්රණය කරවීමට සෑහෙන මුදලක් යටකළ යුතුය. අපට එබඳු හැකියාවක් නැති හෙයින් එය මෙතෙක් කල් අතපසු විය. ඒ අතර සැදැහැවතුන් කීප දෙනෙක් සෑහෙන මුදලක් ද පරිත්යාග කොට මෙම කටයුත්තෙහි ලා අපව උත්සුක කළහ. මේ ‘’සතිපට්ඨාන විපස්සනා භාවනා’’ නමැති පොත පළවූයේ එහි ප්රතිඵලයක් වශයෙනි.
සතිපට්ඨානය වනාහි සියළු ම බුදුවරයන් විසින් අත් නොහැර නිතර භාවිත කරණ ලද්දකි. ‘’සබ්බ බුද්ධානං අවිජහිතං සතිපට්ඨානං’’ යන්නෙන් එය පැහැදිලි කරයි. පසේ බුදුවරයන් හා සියලු බුදු සවවෝ ද දුක් කෙළවර කොට නිවණට පැමිණියෝ මේ භාවනා මාර්ගයෙන් ම ය. නිවන් කැමති සියළු උවසු උවැසියන් විසින් ද වැඩිය යුතු - ගමන් කළ යුතු එකම නිවන් මග මේ භාවනා ක්රමය යි. මේ භාවනාව වැඩීමෙන් මේ ආත්මයේ දීම මගඵල හා නිවන් ලැබිය හැකිය.
එසේම භාවනා වැඩීමේ දී නිවන් දැකීමට පෙරාතුව ම භාවනාව තරමක් දියුණු වූ තැන් සිට පිළිවෙළින් කෙලෙස් මළ දුරුවී යෑමෙන් දුක් දොම්නස් ආදිය සංසිඳවිය හැකිය. දිනපතා මුහුණ පෑමට සිදුවන දහසක් දුක් කම්කටොළුවලින් තාවකාලිකව නමුත් අස්වැසිල්ලක් ලද හැක්කේ මෙවැනි භාවනාවක් වැඩීමෙනි. එහෙයින් ම සිල් සමාදන් වන - භාවනා කරන හැම කෙනෙකු ළඟම සතිපට්ඨාන පොතක් දක්නට ලැබීම ඉතා අගනා දර්ශනයකි. ඇතැම් අය මරණාසන්න මොහොතේ දී පවා සතිපට්ඨානය අස්වති. ඈත අතීතයේ සිට ම මේ සිරිත පැවති බවක් ධම්මික උපාසක තුමාගේ කථා ප්රවෘත්ති ද පැහැදිලි වේ. මෙවැනි නොයෙක් කරුණු ගැන සලකා මේ පොත සකස් කිරීමට අදහස් කෙළෙමි.
අවිවේකීව හා රෝගාතුරව සිටිමින් ලිවීමට හා මුද්රණය කරවීමට සිදුවූ හෙයින් ප්රමාද දෝෂ ද විය හැකිය. එබඳු තැන් ඇතොත් නැවත මුද්රණය කිරීමේ දී සංශෝධනය කිරීමට සැදැහැවත් ධර්මධර පාඨකයින්ගේ පිටුවහල බලාපොරොත්තු වෙමි.
කෘතඥතා සැලකීම
කොල්ලුපිටියේ ඇඩ්වඩ් පවු මාවතේ අංක 52, නිවසේ ඇස්. ද ඇස්. වික්රමරත්න මහත්මයා සහ එම මහත්මිය ද, හැව්ලොක්ටවුහි පොලිස්පාක් පෙදෙසේ අංක 6, නිවසේ ගුණසේන ද සොයිසා මහත්මිය ද, කොල්ලුපිටියේ රයිලන්ඩ පෙදෙසේ අංක 17, නිවසේ දැල්ෆ්රිඩා ද සොයිසා මහත්මිය ද යන මේ සැදැහැතියන් විසින් තම තමන්ගේ අභාවප්රාප්ත ඥාතීන්ට පින් පිණිස පොත් දහක් මුද්රණය කරවීමේ වියදම දරන ලදී. ඒ අයට සහ ඔවුන්ගේ මලගිය ඥායනට ද උතුම් නිවන් සුව අත් වේවා. මේ පොත සම්පාදනයෙන් ලත් කුශලය ද ඔවුන්ට අනුමෝදන් කරවමි.
එසේම පොත මුද්රණය කරවීම සම්බන්ධ හැම කටයුත්තකදීම අතිශයින් උද්යෝගිමත්ව ක්රියා කළ අපගේ ප්රිය ශිෂ්ය ශාස්ත්රවේදී පත්බේරියේ සිරිනිවාස ස්ථවිර නම ද, බ්ලොක් එක සපයා දුන් බී. සුමනදාස පෙරේරා මහත්මයා ද, පොතේ මුද්රණ කටයුතු හොඳින් කර දුන් ඩබ්ලිව්. ඩී. ජේ. රත්නායක අප්පුහාමි මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලය ද කෘතඥතා පූර්වකව පින් දෙමින් සිහිපත් කරමි.
දෙවිනුවර ඤාණාවාස ස්ථවිර (ශ්රී ලංකා ශ්වේජින් නිකායේ මහානායක)
මහා විසුද්ධාරාම ත්රිපිටක විද්යාලය දෙමටගොඩ, කොළඹ 10. 2514 වප් මස 1970 ඔක්තෝම්බ්ර 10 දින.
දෙවිනුවර ඤාණාවාස ස්ථවිර (ශ්රී ලංකා ශ්වේජින් නිකායේ මහානායක), මහා විසුද්ධාරාම ත්රිපිටක විද්යාලය දෙමටගොඩ, කොළඹ 10. 2514 වප් මස 1970 ඔක්තෝම්බ්ර 10 දින.