සතිපට්ඨාන විපස්සනා භාවනා - දෙවිනුවර ඤාණාවාස හිමි.pdf

scanned

කතෘ :
දෙවිනුවර ඤාණාවාස හිමි
ප්‍රකාශිත වර්ෂය :
2025
මුද්‍රිත වර්ෂය :
2025
පිටු ගණන :
266
බාගත කිරීම් ගණන :
1,935
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-03-27
ගොනුවේ ප්‍රමාණය :
10 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

වෙනත් සංස්කරණ

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 134

සතිපට්ඨාන විපස්සනා භාවනා යනු ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහානායක ධුරය හෙබවූ අතිපූජ්‍ය දෙවිනුවර ඤාණාවාස මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත ප්‍රකට භාවනා ග්‍රන්ථයකි. 1966-1967 වකවානුවේ බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශාලාවේදී පවත්වන ලද සතිපට්ඨාන ධර්ම සාකච්ඡා පන්තියේ කරුණු සහ බුරුමයේ මහාසී සයාඩෝ හිමියන්ගේ සතිපට්ඨාන සන්නය ආශ්‍රයෙන් මෙම ග්‍රන්ථය මුල්වරට 1970 දී රචනා කර ඇත.

මහා සතිපට්ඨාන සූත්‍රය ගැඹුරින් විග්‍රහ කරමින් විපස්සනා භාවනාව ප්‍රායෝගිකව වඩන ආකාරය, පාලි අටුවා ටීකා සහ බුරුම භාවනා සම්ප්‍රදායේ අත්දැකීම් පදනම් කරගෙන මෙහි විස්තර කෙරේ. බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ සහ රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ විශේෂ ඇගයීම් පෙරවදන් වලින් ද මෙම කෘතිය සමන්විත වේ.

මෙම හත්වන මුද්‍රණය 2025 වසරේදී ශ්‍රී චන්දවිමල ධර්‍මපුස්තක සංරක්‍ෂණ මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර මුද්‍රණය සිකුරු ප්‍රින්ටර්ස් ආයතනය විසිනි.

ලේකම්ගේ සටහන් ...

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ ‘පෞරාණික සතිපට්ඨාන භාවනා ක්‍රමය’, බුරුම භික්‍ෂූන් වහන්සේ විසින් කලක් භාවිත කර ඉක්මණින් ප්‍රතිඵල ලැබිය හැකි භාවනාවක් ලෙස හඳුනාගත් උදරයේ පිම්බීම හැකිළීම අරමුණු කරමින් ලියන ලද පොතකි. මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒකදේශයක් විශේෂයෙන් අරමුණු කර ලියූ එම ග්‍රන්ථයෙන් පසු උන්වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රය අලලා තවත් පොතක් ලියන්නට ආරම්භ කර තිබුණි. එහෙත් මෙම ‘සතිපට්ඨාන විපස්සනා භාවනා’ පොත අතිපූජ්‍ය දෙවිනුවර ඤාණාවාස මහනාහිමියන් ලියන බව දැනගත් උන්වහන්සේ සමාන වූ තවත් පොතක් අනවශ්‍ය ය යි කල්පනා කර තම කටයුත්ත අතරමග අත්හළහ. දෙදෙනා වහන්සේ තුළ තිබූ එකිනෙකාගේ දැනුම පිළිබඳ අවබෝධය ඉන් වටහා ගතහැකිය.

මෙහි කතෘන් වහන්සේ ද ශ්වේජින් නිකායේ මහා නායකධූරය හෙබවූහ. තම ආචාර්යවරයා වූ අරංගල සිරිධම්ම නාහිමියන් පවත්වාගෙන ගිය දෙමටගොඩ විසුද්ධාරාම ත්‍රිපිටක විද්‍යාලයේ ආචාර්යත්වය හා රාජගිරිය ත්‍රිපිටක විද්‍යාලයේ නිර්මාතෘත්වය උන්වහන්සේ දැරූහ. බුරුමයේ ඡට්ඨ සංගායනාවට ද උන්වහන්සේ සහභාගි වූහ.

‘සතිපට්ඨාන විපස්සනා භාවනා’ එකල බෞද්ධ ජනතාව අතර ප්‍රචලිත පොතකි. ශ්වේජින් නිකායේ ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙන් පවත්වාගෙන ගිය කොළඹ පරමාර්ථ ධර්ම සභාවේ බොහෝ දෙනා ඉන් ප්‍රයෝජන ගත් අතර දෙවන මුද්‍රණයක් ද එළිදක්වා තිබුණි.

තම ගුරුවරයාණන්ට ඇති ගෞරවය උදෙසාත්, බෞද්ධයන්ගේ ප්‍රයෝජනය උදෙසාත් මේ පොත තවදුරටත් සංරක්‍ෂණයවීම අපේක්‍ෂා කළ මෙහි කතු හිමියන්ගේ ශිෂ්‍ය පූජ්‍යපාද පත්බේරියේ සිරිනිවාස අනුනාහිමියෝ මෙහි මුද්‍රණ කටයුතු අප මණ්ඩලය වෙත පත්කළහ.

ඉක්මණින් මග ඵල ලැබීමේ ආශාව මෙකල සමාජගත වී ඇති සංකල්පයකි. එය හොඳ වුවත් හදිසියේ සමත් වියහැකි විභාගයක් නම් නො වේ. ක්‍රමානුකූල වැඩ පිළිවෙළක් ඒ සඳහා අනුගමනය කළයුතු ය. තමන් තුළ ඇති ශක්තිය කළඹා ගැන්වුවහොත් නොපමාව මග ඵල ලැබියහැකි බව මේ පොතෙන් ද ප්‍රකට කර ඇත.

ශ්‍රී චන්දවිමල ධර්‍ම පුස්තක සංරක්‍ෂණ මණ්ඩලයට තෙවන මුද්‍රණයේ සිට පොත සංරක්‍ෂණය සඳහා භාර කළ පූජ්‍යපාද පත්බේරියේ සිරිනිවාස අනුනාහිමියන්ට සමස්ත බෞද්ධයන්ගේ ප්‍රණාමය හිමිවේ. ඒ ආර්ථික ගැටළු නිසා ශාසනාභිවෘද්ධියට හේතු වන මෙවැනි පොතක් මගහැරෙන්නට තිබූ ඉඩ ඇහිරූ නිසාය. ශ්වේජින් නිකායේ ලේඛකාධිකාරී ධුරය කලක් හෙබවූ උන්වහන්සේ වර්තමාන ශ්වේජින් නිකායේ ලේඛකාධිකාරී, සංරක්‍ෂණ මණ්ඩලයේ ගරු සභාපති, පූජ්‍යපාද කිරිඔරුවේ ධම්මානන්ද නාහිමිපාණන් වෙත තැබූ විශ්වාසය කර්තෘන් වහන්සේලා අතර තිබූ අවබෝධය උන්වහන්සේලාගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා අතර ද ඇති බවට සාධකයකි.

මෙහි සෝදුපත් සැසඳීමේදී ගරු සභාපති පූජ්‍යපාද කිරිඔරුවේ ධම්මානන්ද නාහිමියන් සමඟම කරන්නට හැකිවීම විශ්වසනීය බව තවදුරටත් තහවුරු කරයි. මෙම මුද්‍රණයේ සංශෝධිත පරිගණකසටහන් අරුණ තලගල සහෘදයන්ගේ සහායෙන් සිදුවිය. තම පියා මෙන්ම සැදැහැ සිතින් මුද්‍රණ කාර්යයේ රැඳී සිටින ගිහාන් ජයවර්ධන පුතණුවන් මණ්ඩලයට ශක්තියකි. ගරු සභාපති පූජ්‍යපාද ධම්මානන්ද නාහිමියන්ගේ මගපෙන්වීමත්, පූජ්‍ය කලුතර පදුම, කලුතර වනරතන හිමිවරුන් ප්‍රමුඛ විහාරස්ථ ස්වාමීන් වහන්සේලාගේ සබැඳියාවත් නිසා කුළුණු සිතින් ශාසනාභිවෘද්ධියට සහභාගී වීම් යි ප්‍රසන්න සිතක් මා කෙරෙහි පවතියි. ආධාර අනුබල දීමෙන්, කියවීමෙන් හා ඒ අනුව ප්‍රායෝගික පුහුණුව ලැබීමෙන් සියලු දෙනාට දුකින් නිදහස්ව ලබන නිවන් අවබෝධයට මේ පින පාදක වේවා!

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්දවිමල ධර්‍මපුස්තක සංරක්‍ෂණ මණ්ඩලය
2025 ජනවාරි මස 06 වන දින
පොකුණුවිටදී ය.

ප්‍රස්තාවනා

අප විසින් 1966 දෙසැම්බර් මාසයේ සිට 1967 මැයි මාසය දක්වා බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේදී ‘සතිපට්ඨාන ධර්ම සාකච්ඡා පන්තියක්’ පවත්වන ලදී. එහිදී විදසුන් වඩන පින්වතුන්ගේ පහසුව පිණිස විදසුන් වඩන ක්‍රමය හැකිතාක් දුරට පැහැදිලි වන සේ කරුණු ඉදිරිපත් කරමින් ඒ සාකච්ඡාව පැවැත්වීමට උත්සාහ කළෙමි. මේ කරුණු මැනවින් ඉටු කිරීමට බුරුම රට රංගුන් නුවර සාසනයේක්තා භාවනා මධ්‍යස්ථානයේ අධිපති මහාසී සයාඩෝ නමින් හැඳින්වෙන අග්ගමහා පණ්ඩිත භදන්ත සෝභන මහා ස්ථවිරයන් විසින් බුරුම බසින් ලියන ලද ‘සතිපට්ඨාන සන්නය’ ඇතුළු බුරුම පොත් බෙහෙවින් උපකාරී විය. විශේෂයෙන් විදර්ශනා භාවනාව පැහැදිලි කිරීමේදී උන්වහන්සේගේ පොත් වලින් කරුණු ගෙන හැර දැක්වීමි. එසේ ම මේ භාවනාව සම්බන්ධ වෙනත් පාලි අටුවා හා ටීකාවලින් ද කරුණු ඉදිරිපත් කරමින් මේ සාකච්ඡාව පැවැත්වීමි. ඒ ඒ දිනවල සාකච්ඡා වුණු කොටස් තරුණ බෞද්ධ සමිතිය මගින් මුද්‍රණය කොට බෙදා දෙන ලදී.

එම ධර්ම පත්‍රිකා කියවූ සැදැහැවත් පින්වතුන්ගෙන් ඇතැම් කෙනෙක් විදසුන් වඩන අයගේ පහසුව පිණිස එම දහම් කොටස සංග්‍රහ කොට පොතක් මුද්‍රණය කරවන මෙන් ඉල්ලා සිටියහ. සතිපට්ඨානය ගැන ලියවුණු පොත් කොතෙකුත් ඇතත් මේ භාවනා ක්‍රමය එමගින් විස්තර නොවන හෙයින් පොතක් වශයෙන් සකස් වුවහොත් බොහෝ දෙනකුගේ යහපත පිණිස හේතුවෙතැයි මට ද සිතුනි. එහෙත් මෙකල මෙබඳු පොතක් මුද්‍රණය කරවීමට සෑහෙන මුදලක් යටකළ යුතු ය. අපට එබඳු හැකියාවක් නැති හෙයින් එය මෙතෙක් කල් අතපසු විය. ඒ අතර සැදැහැවතුන් කීප දෙනෙක් සෑහෙන මුදලක් ද පරිත්‍යාග කොට මෙම කටයුත්තෙහි ලා අපව උත්සුක කළහ. මේ ‘සතිපට්ඨාන විපස්සනා භාවනා’ නමැති පොත පළවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

සතිපට්ඨානය වනාහි සියළු ම බුදුවරයන් විසින් අත් නොහැර නිතර භාවිත කරන ලද්දකි. “සබ්බ බුද්ධානං අවිජහිතං සතිපට්ඨානං” යන්නෙන් එය පැහැදිලි කරයි. පසේ බුදුවරයන් හා සියලු බුදු සව්වෝ ද දුක් කෙළවර කොට නිවණට පැමිණියේ මේ භාවනා මාර්ගයෙන් ම ය. නිවන් කැමති සියළු උවසු උවැසියන් විසින් ද වැඩිය යුතු - ගමන් කළ යුතු එකම නිවන් මග මේ භාවනා ක්‍රමය යි. මේ භාවනාව වැඩීමෙන් මේ ආත්මයේදී ම මගඵල හා නිවන් ලැබිය හැකිය.

එසේ ම භාවනා වැඩීමේදී නිවන් දැකීමට පෙරාතුව ම භාවනාව තරමක් දියුණු වූ තැන් සිට පිළිවෙළින් කෙලෙස් මළ දුරුවී යෑමෙන් දුක් දොම්නස් ආදිය සංසිඳවිය හැකිය. දිනපතා මුහුණ පෑමට සිදුවන දහසක් දුක් කම්කටොළු වලින් තාවකාලිකව නමුත් අස්වැසිල්ලක් ලද හැක්කේ මෙවැනි භාවනාවක් වැඩීමෙනි. එහෙයින්ම සිල් සමාදන් වන - භාවනා කරන හැම කෙනකු ලඟම සතිපට්ඨාන පොතක් දන්නට ලැබීම ඉතා අගනා දර්ශනයකි. ඇතැම් අය මරණාසන්න මොහොතේදී දී පවා සතිපට්ඨානය අස්වති. ඈත අතීතයේ සිට ම මේ සිරිත පැවති බවක් ධම්මික උපාසක තුමාගේ කථා ප්‍රවෘත්ති ද පැහැදිලි වේ. මෙවැනි නොයෙක් කරුණු ගැන සලකා මේ පොත සකස් කිරීමට අදහස් කළෙමි.

අවිවේකීව හා රෝගාතුරව සිටිමින් ලිවීමට හා මුද්‍රණය කරවීමට සිදුවූ හෙයින් ප්‍රමාද දෝෂ ද විය හැකිය. එබඳු තැන් ඇතොත් නැවත මුද්‍රණය කිරීමේදී සංශෝධනය කිරීමට සැදැහැවත් ධර්මධර පාඨකයින්ගේ පිටුවහල බලාපොරොත්තු වෙමි.

කොල්ලුපිටියේ ඇඩ්වර්ඩ් පටු මාවතේ අංක 52, නිවසේ ඇස්. ද ඇස්. වික්‍රමරත්න මහත්මයා සහ එම මහත්මිය ද, හැව්ලොක්ටවුන්හි පොලිස්පාර්ක් පෙදෙසේ අංක 6, නිවසේ ගුණසේන ද සොයිසා මහත්මිය ද, කොල්ලුපිටියේ රයිලන්ඩ් පෙදෙසේ අංක 17, නිවසේ ඇල්ෆ්‍රඩ් ද සොයිසා මහත්මිය ද යන මේ සැදැහැතියන් විසින් තම තමන්ගේ අභාවප්‍රාප්ත ඥාතීන්ට පින් පිණිස පොත් දාහක් මුද්‍රණය කරවීමේ වියදම් දරන ලදී. ඒ අයට සහ ඔවුන්ගේ මලගිය නෑයනට ද උතුම් නිවන් සුව අත් වේවා. මේ පොත සම්පාදනයෙන් ලත් කුශලය ද ඔවුන්ට අනුමෝදන් කරවමි.

එසේ ම පොත මුද්‍රණය කරවීම සම්බන්ධ හැම කටයුත්තකදී ම අතිශයින් උද්‍යෝගිමත්ව ක්‍රියා කළ අපගේ ප්‍රිය ශිෂ්‍ය ශාස්ත්‍රවේදී පත්බේරියේ සිරිනිවාස ස්ථවිර නම ද, බ්ලොක් එක සපයා දුන් බී. සුමනදාස පෙරේරා මහත්මයා ද, පොතේ මුද්‍රණ කටයුතු හොඳින් කර දුන් මරදාන අතුල මුද්‍රණාලයේ ඩබ්ලිව්. ජේ. රත්නායක අප්පුහාමි මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලය ද කෘතඥතා පූර්වකව පින් දෙමින් සිහිපත් කරමි.

දෙවිනුවර ඤාණාවාස ස්ථවිර
(ශ්‍රී ලංකා ශ්වේජිං නිකායේ මහානායක)
මහා විසුද්ධාරාම ත්‍රිපිටක විද්‍යාලය,
දෙමටගොඩ, කොළඹ 10.
2514 වප් මස
1970 ඔක්තෝම්බර් 10 දින.

ආචාර්ය පූජා

කොළඹ දෙමටගොඩ මහා විසුද්ධාරාම ත්‍රිපිටක විද්‍යාලයාධිපතිව වැඩ වෙසෙමින් මහඟු ශාසනික සේවාවක් සිදු කොට අපවත් වී වදාළ ශ්‍රී ලංකා ශ්වේජිං නිකායේ ආදිකතෘභූත ත්‍රිපිටක පර්යාප්තිධර ආචාර්ය අරංගල සිරිධම්මාභිධාන අස්මදාචාර්ය මාහිමියන්ගේ ශ්‍රී නාමයට මෙම පුස්තකය පූජෝපහාරයක් වේවා!

දෙවිනුවර ඤාණාවාස

අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිගේ ආශිංසනය

මිහිඳු මහ රහතුන් වහන්සේ මේ හෙළ දිවට බුදු සස්න පිහිටුවූ තැන් සිට කලක් ම මෙ රට භාවනානුයෝගීන් ගණනින් වැඩි ගිය ද කලකට පසු විදර්ශනා ධුරයට වඩා ග්‍රන්ථධුරය නැඟී ගියේ ය. එහෙත් විදර්ශනාධුරය මුළුමනින් හෙළ දිවින් අතුරුදහන් වූයේ නැත. සීතාවක රාජසිංහ රජු දවසැ වූ ශාසන විනාශයෙන් පසු එය අතුරුදහන් ම වී ය.

වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේගේ උපදේශයෙන් මෙයින් සියවස් දෙකකට පමණ පෙර යළිඳු මෙහි සස්න පිහිටුවන ලදින් භාවනානුයෝගීහු මෙහි මඳ වශයෙන් ඇති වූහ. ඔවුන් අතුරෙහි කෙනෙක් ශමථය වැඩූහ. ඉතා ටික දෙනෙක් විදර්ශනා වැඩූහ.

බොහෝ පෙර සිට ම බුරුම රටැ ශමථායානික විදර්ශනායානික යෝගී පරම්පරාවෝ අවිච්ඡින්න වැ පැවැත්තාහ. පෙරැ බොහෝ සෙයින් සඟයින් පවත්වය වැනි අරණ්‍ය ශයනාසනයන්හි පැවැති යථෝක්ත යෝගාවචර පරම්පරාවෝ ක්‍රමයෙන් පැතිර ගොස් අද ග්‍රාමාන්තරශයනාසනයන්හි ද දියුණු වෙමින් පවතිත්.

අද බුරුමරටැ විදර්ශනාකම්මට්ඨානාචාර්යයන් අතුරෙහි උපරිම ස්ථානයෙහි වැජඹෙන කෙනෙකි, රන්ගුන් නුවරට නොදුරෙහි ශාසනයෙයික්තා යෝගාශ්‍රමයෙහි අධිපති අග්ගමහාපණ්ඩිත මහාසී සයාඩෝ නමින් ප්‍රකට මහ තෙරණුවෝ අද ධර්මධරයන් අතරැ ත්‍රිපිටකධාරී යැ යි කිව යුතු තරමට අටුවා ටීකා සහිත තෙවළා දහම්හි හසළ බුද්ධියක් ඇති දුර්ලභ ගණයේ මහාධර්මධරයකු වූ, විදර්ශනාභාවනායෙහි බොහෝ ඉහළට මුහුකුරා ගිය භාවනාමය ප්‍රඥා ඇති මේ මහතෙරණුවන් විසින් විදර්ශනා භාවනාව පිළිබඳව රැස්කැරුණු ග්‍රන්ථ කිහිපයෙක් ද වෙති. මෙ කී තෙරුන් වෙතින් කමටහන් උගත් සුජාත ජවන ආදී තෙරවරුන් මෙ හෙළදිව් වැඩ ඇරඹූ සතිපට්ඨාන භාවනා ක්‍රමය අද මෙරටැ නොයෙක් තන්හි සැදැහැවත් ගිහි පැවිදි බොහෝ දෙනා විසින් පුරුදු කරනු ලැබේ. කලක් ම මෙ රටැ පිරිහෙමින් පැවති විදර්ශනාධූරය මෙසේ මහාසී මහතෙරුන්ගේ සිසු පිරිස මගින් මෙහි හිස ඔසොවා නැඟී සිටින්නට විය.

මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය පිළිබඳ වැ වර්ෂයක් පාසා ලොකු කුඩා නොයෙක් පොත පත පළ වෙයි. මැද තෙක සිට මේ හෙළදිවැ ද විදර්ශනා භාවනාව පිළිබඳ පොත් පළවන්නට වී ඇත.

ආචාර්ය දෙවිනුවර ඤාණාවාස මහ තෙරුන් විසින් ලියන ලද මෙම සතිපට්ඨාන විපස්සනා භාවනා පොත මෙයට පළමුවෙන් මෙහි පහළ වූ භාවනෝපදේශ පොත් අතුරෙහි උසස් ම තැනක් ගන්නා එකකැ යි කියතොත් එය අතිමාත්‍ර වර්ණනාවෙක් නොවේ යැ යි මගේ හැඟීම යි.

මහාසී මහතෙරුන් විසින් සතිපට්ඨාන භාවනාව පිළිබඳ ව බුරුම බසින් ලියා පළ කරවන ලද විශාල කාණ්ඩ දෙකෙකින් පරිමිත මහඟු මහා ග්‍රන්ථයෙක් ඇත. එය ද ඇසුරු කොට, තවත් පෙළ අටුවා ටීකා ආදියෙන් ද කරුණු ගෙන මෙම පොත ආචාර්ය ඤාණාවාස මහ තෙරුන් විසින් රචිත ව ඇත. බුද්ධ ධර්මයෙහි යථාතත්ත්වය දැනගනු රිසියවුනට ද භාවනානුයෝගීනට ද මේ පොත විපුල අර්ථයක් ගෙන දෙනු ඇත. පොත් නම් බොහෝ පහළ වෙයි. එහෙත් මෙබඳු පොතක් පහළ වනුයේ කලාතුරෙකිනි. මේ පොත රැස්කැරූ ආචාර්ය දෙවිනුවර ඤාණාවාස මහ තෙරණුවෝ මෙයින් හෙළදිවට මහදර්ථයක් සිදු කෙරෙති.

දැන් මේ මහඟු ග්‍රන්ථයේ කර්තෘ ඇරඹ ද යමක් කිය යුතු වැ ඇත.

යටකී පරිදි වැලිවිට සරණංකර සඟරජුන් ගේ ශාසන සංග්‍රහයෙන් සූත්‍රපිටක විනයපිටක දෙක්හි ද ව්‍යාකරණ ඡන්දෝලංකාර ශාස්ත්‍රයන්හි ද දැනීම මෙ රටැ කෙමෙන් වැඩි ගියේ ය. ඇතැම් ගිහි පැවැදි පඬි කෙනෙක් මහඋත්සාහයෙන් අභිධර්ම පිටකය අළලා දැනීම ද තරමක් දියුණු කැරු ගත්තාහු ද එය පැතිරවීමෙහි එතරම් උනන්දු නොවූහ. එදා සූත්‍ර විනය දෙකට ම ප්‍රධාන තැන ලැබී තුබුණේ ය. මෙසේ පවත්නා අතර අන්තිම බුරුම රජුන් ගේ සමයෙහි බුරුම රටට ගොස් ත්‍රිපිටකධාරී මහ තෙරුන් පස් නමක් වෙතින් අටුවා ටීකා සහිත ව ත්‍රිපිටකය බොහෝ කලක් ඉගෙන මෙරටට පැමිණ බොහෝ ගිහිපැවිද්දනට විශේෂයෙන් අභිධර්මය ඉගැන්වූ ලක්මිණිපහන් පතේ සකසු වූ ධර්මරත්න පඬිතුමා නිසා අභිධර්මය හදාරනුයෙහි උනන්දුව මෙහි ඇති විය.

එයින් කලකට පසු බුරුම රට වැඩ එහිදී ම උපසපුව ලබා, මහාධර්මධර තෙරුන් ඇසුරින් සාට්ඨකථා ත්‍රිපිටකධර්මය ඉගෙන, ඉක්බිති ආචාර්යත්වයෙන් ද පුදනු ලැබ මෙසේ සොළොස් වසක් බුරුම රටැ වැස, මෙහි වැඩ කොළොඹැ මහා විසුද්ධාරාමය ඇතිකොට ශත සංඛ්‍යාත ගිහිපැවිදි ජනයාට ත්‍රිපිටක ධර්මය ඉගැන්වීමෙන් මහත් ශාසනසේවාවක් කළ අරංගල සිරිධම්ම මහ නාහිමිපාණන්ගෙන් වූ ශාසනෝද්දීප්තිය ඉතා මහත් ය.

උන් වහන්සේ වෙත දහම් විනය හදාළ බොහෝ පැවිදි තැන් අතුරෙහි දෙවිනුවර ඤාණාවාස මහා නායක මහ තෙරණුවෝ උච්චස්ථානයක් ගත්තෝ ය. උන් වහන්සේ බුරුම රට ද වැඩ කලක් එහි ද දහම් විනය ඉගෙන ධර්ම පරීක්‍ෂණ කිහිපයෙකින් ම සාමාර්ථ්‍යය ලැබ පෙරළා මෙහි වැඩ, ඒ සිරිධම්ම මහ නාහිමිඳුන් ඇරඹූ ත්‍රිපිටක විද්‍යාලයේ ඉගැන්වීමෙහි අදත් නිරත ව ඉඳිති.

මෙසේ වූ මහා ධර්මධර පණ්ඩිතවරයකු විසින් ම විනා සාමාන්‍ය උගතකු විසින් මෙ බඳු ග්‍රන්ථයක් නිපදවනු දුෂ්කර ය. මේ පොත බොහෝ දුරට කියවා බැලූ මට මේ ග්‍රන්ථයෙහි අගය පමණ කළ නොහැකි සේ වැටහිණ. මේ වටිනා ග්‍රන්ථය භාවනානුයෝගීන් ගේ ත් ධර්මඥානාභිලාෂීන්ගේත් මනදොළ පිරීමෙහි හැමලෙසින් ම සමර්ථ වේ වා.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ස්ථවිර
(සිරිලංකා අමරපුර මහානිකායේ මහානායක)
1970. 10. 13
බළන්ගොඩ, බුලත්ගම,
උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයේ දීය.

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නා හිමියන්ගේ අදහස් දැක්වීම

සතිපට්ඨාන විපස්සනා භාවනා නැමැති මේ පොත බෞද්ධයන් අතීතයේ පටන් බෙහෙවින් භාවිත කරන ගරු කරන මහා සතිපට්ඨාන සූත්‍රයේ විවරණයකි. මහා සතිපට්ඨාන සූත්‍රය වනාහි මෙහි අර්ථය එසේ ද මෙසේ දැයි මෙයින් දැක්වෙන්නේ මෙය ද අනිකක් දැ කියා උගතුන්ට පවා සැක පහළ කරවන නිශ්චයකට පැමිණීමට දුෂ්කර ස්ථාන බොහෝ ඇති ඉතා ගැඹුරු සූත්‍ර ධර්මයෙකි. භාෂා ශාස්ත්‍ර උගෙන ඇති පමණින් සතිපට්ඨාන සූත්‍රය තේරුම් ගත නො හැකි ය. මේ සූත්‍රයට පිරිසිදු පැහැදිලි අර්ථ විවරණයක් කළ හැකි වීමට භාෂා ශාස්ත්‍ර දැනුමක් තිබිය යුතු ය. අභිධර්මය පිළිබඳව උසස් දැනුමක් ද තිබිය යුතු ය. චිරකාලයක් පවත්වන ලද යෝගාභ්‍යාසයක් තිබිය යුතු ය. බොහෝ යෝගීන් ඇසුරු කර තිබිය යුතු ය. ඔවුන් හා නොයෙක් වර සාකච්ඡා පවත්වා තිබිය යුතු ය. ධර්ම ගරුකයකු විය යුතු ය.

ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහා නායක ධුරන්ධර ආචාර්ය දෙවිනුවර ඤාණාවාස ස්ථවිරයන් වහන්සේ කියන ලද සකලාංගයන්ගෙන් ම පරිපූර්ණ මහා ස්ථවිර නමකි. උන් වහන්සේ පාලි සංස්කෘත බුරුම ආදී භාෂා පිළිබඳ උසස් දැනුමක් ඇතියෙකි. අභිධර්මය පිළිබඳ විශේෂ දැනුමක් ඇතියෙකි. ත්‍රිපිටක ධර්මය ගිහි පැවිදි බොහෝ සිසුන්ට දීර්ඝ කාලයක් උගන්වා ඇති ධර්මාචාර්ය වරයෙකි. දීර්ඝ කාලයක් කරන ලද යෝගාභ්‍යාසය ඇතියෙකි. කර්මස්ථානාචාර්යවරයෙකි. බුරුමයේ හා තවත් රටවල අති ප්‍රසිද්ධ අග්ග මහා පණ්ඩිත මහාසී සයාඩෝ නමැති කර්මස්ථානාචාර්ය මහා ස්ථවිරයන් වහන්සේ ආදී බොහෝ යෝගාවචරයන් ඇසුරු කර ඇතියෙකි. ඔවුන් හා සාකච්ඡා පවත්වා ඇතියෙකි. විදර්ශනා භාවනාව පිළිබඳ වූ පාලි සිංහල පොත් පමණක් නොව බොහෝ බුරුම පොත් ද භාවිතා කර ඇත්තෙකි. භාවනා ක්‍රම පිළිබඳ පරීක්‍ෂණ පවත්වා ඇතියෙකි. භාවනා ගැන අත්දැකීම් ඇතියෙකි.