සංක්ෂිප්ත භික්ෂු ශීලය - නාඋයනේ අරියධම්ම හිමි 1977.pdf

කතෘ :
උඩුගම්පොල සුවර්ණජෝති හිමි
ප්‍රකාශිත වර්ෂය :
2025
මුද්‍රිත වර්ෂය :
2025
පිටු ගණන :
214
බාගත කිරීම් ගණන :
482
වෙබ් අඩවියට එක් කළ දිනය :
2025-05-02
ගොනුවේ ප්‍රමාණය :
1.8 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

වෙනත් සංස්කරණ

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 108

සංක්ෂිප්ත භික්ෂු ශීලය යනු දොඩන්දූවේ සද්ධර්මගුප්ත පිරිවෙන්පති සිරිපවර ධර්මකීර්ති ශ්‍රී උඩුගම්පොල සුවර්ණජෝති (ධම්මසේන) මහානායක හිමියන් විසින් 1893 (බු.ව. 2436) දී සම්පාදිත විනය ග්‍රන්ථයකි. එකල අති දීර්ඝ වාක්‍ය සංක්ෂිප්ත කරමින්, බුද්ධ පුත්‍රයන්ගේ පහසුව පිණිස 1977 දී අතිපූජ්‍ය නාඋයනේ ශ්‍රී අරියධම්ම මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සංස්කරණය කරන ලදුව, වර්තමානයේ 2025 දී මුද්‍රණ දෝෂ නිවැරදි කරමින් නව මුද්‍රණයක් ලෙස එළිදක්වා ඇත.

භික්ෂු විනය, ප්‍රාතිමෝක්ෂ ශික්ෂාපද, ශීලස්කන්ධය ආරක්ෂා කරගන්නා ආකාරය සහ විනය නීති පිළිබඳ සවිස්තරාත්මක මඟපෙන්වීමක් මෙම කෘතියෙන් සපයයි.

පිළිගැන්වීම

මෙම ‘භික්ෂුශීලය’ නමැති ග්‍රන්ථය මීතිරිගල නිශ්ශරණ වනයෙහි අතිගරු කම්මට්ඨානාචාර්‍ය්‍ය අනුශාසකවූද, ශ්‍රී කල්‍යාණී යොගාශ්‍රමීය භික්ෂු සංස්ථාවෙහි ප්‍රධාන අනුශාසකවූද අතිපූජ්‍ය මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ඤාණාරාම මාහිමිපාණන් වහන්සේ වෙතැ අතිමහත් භක්තිප්‍රසාදයෙන් හා නමස්කාර පූජාවෙන් යුතුව පිළිගන්වනු ලැබේ.

වචනයක්

වසර 131 කට පෙර සාසනාභිවෘද්ධිය පතා ග්‍රන්ථ කර්තෘවරයන් වහන්සේ විසින් විනය හස්තසාර ග්‍රන්ථයක් වශයෙන් බුදුපුතුනට එළිදක්වන ලද මේ මා හැඟි ‘සංක්ෂිප්ත භික්ෂු ශීලය’ නම් වූ විනය ග්‍රන්ථය වත්මන් බුදුපුතුන් අතට මුද්‍රණ දෝෂාන්ධකාර හරණය කොට පිරිනමන්නට කටයුතු කරන ලද්දේ බුදුසසුනේ චිරස්ථිතිය සඳහාම ය.

එය මල්පල ගැන්වීම සඳහා සුවිසල් ධන පරිත්‍යාගයක් කරමින් සහය දැක්වූ ගීතික කොළඹගේ මැතිතුමා ප්‍රමුඛ ඒ වෙනුවෙන් දිවා රෑ කාලය ගතකරමින් කටයුතු කළ රුවන්ගිරිකන්ද ආරණ්‍ය සේනාසන වාසී මාතලේ වජිරබුද්ධි, රුවන්ගිරියේ සද්ධින්ද්‍රිය යන ස්වාමීන් වහන්සේලාට ද කුරුණෑගල සුදිල ප්‍රින්ටර්ස් අධිපතිතුමා ඇතුලු කාර්ය මණ්ඩලයට ද, මේ උතුම් පුණ්‍යකර්මය නිවන්සුව පිණිස වෙත්වා!

අනුමත කොට වදාළ වූ මහා ලේඛකාධිකාරී කහගොල්ලේ සෝමවංස නායක ස්වාමීන් වහන්සේ ට ද සියලු ආචාර්ය්‍ය උපාධ්‍යාය මාහිමියන් වහන්සේලා සැමට ද මේ උතුම් වූ පුණ්‍යකර්මය පාරමී පූජාවක් වේවා!

ප්‍රතිපත්ති මූලිකව ගුණදම් පුරමින් මොක්මගට පිලිපන් සකල බුදුපුතුන්ට සහ දැක සිත් පහන් කරගන්නා වූ සැමට ද නිවන්සුව පිණිස වෙත්වා

ශාසනස්ථිතිකාමී
බුත්තල බුද්ධදත්ත ස්ථවිර
රුවන්ගිරිකන්ද ආරණ්‍ය සේනාසනය
කරගහගෙදර, නාරම්මල.
2025.03.01

විශේෂ පුණ්‍යානුමෝදනාව

මෙම පොත් වහන්සේගේ ප්‍රථම මුද්‍රණයේ ඇති දෝෂ නිවැරදි කර නැවත මුද්‍රණය කළ යුතුවග අප වෙත කරුණාවෙන් දැනුම් දුන් බුත්තල බුද්ධදත්ත අප නායක ස්වාමීන් වහන්සේට ප්‍රථමයෙන් පුණ්‍යානුමෝදනා කරමි.

තම වටිනා කාලය සහ දැනුම ලබා දෙමින් පොත් වහන්සේ මුද්‍රණය කිරීමට ප්‍රථම සෝදුපත් කියවීම භාරගත් රුවන්ගිරියේ සද්ධින්ද්‍රිය ස්වාමීන් වහන්සේටත්, වසරක පමණ කාලයක් තිස්සේ සියළුම කටයුතු සම්බන්ධීකරණයට උපකාර කළ මාතලේ වජිරබුද්ධි ස්වාමීන් වහන්සේටත් මෙම පොත් වහන්සේ පූජා කිරීමෙන් ලැබෙන පින අනුමෝදන් වෙත්වා!

මාගේ සහ මගේ බිරිඳ වන ක්‍රිෂානි රණතුංග ගේ සුජීවත් සිටින දෙමාපියන්ට දීර්ඝායුෂය සහ නිරෝගී සුවය පතමු.

මෙම පොත් වහන්සේ මුද්‍රණය කරන බව දැනගත් මොහොතේ පටන් අතට හසුවන සෑම මුදල් නෝට්ටුවක් හෝ කාසියක් පවා එකතු කරමින් සැලකිය යුතු මුදලක් එකතු කර දී ඉතා සතුටින් මෙම කටයුත්තට දායක වූ අප දෙදෙනාගේ පුතනුවන් තිනුග කොළඹගේ සහ දියණිය රිෂ්ලි කොළඹගේ හට මේ පින අනුමෝදන් වෙත්වා!

එසේම මෙම කටයුතුවලදී නන් අයුරින් සහය දුන් මාගේ සහ බිරිඳගේ සහෝදර සහෝදරියන් හට ද ඔවුන්ගේ ජීවිතයට සම්බන්ධ ඥාති සමූහයාට ද, අප කරන මේ මහඟු පුණ්‍යකර්මය දැනගෙන සතුටු වී සාදුකාර දුන් සැමටත් මේ පින අනුමෝදන් වෙත්වා!

මේ පොත් වහන්සේ මුද්‍රණය කිරීමට පටන්ගත් දිනයේ පටන් කිසිඳු බාධාවකින් තොරව මෙම කටයුත්ත සාර්ථකව නිමකිරීමට ආශිර්වාද කළ සම්‍යදෘෂ්ටික දෙවියන් ද මේ පින අනුමෝදන් වෙත්වා!

සියලු දෙනාට මේ පින නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා

ගීතික කොළඹගේ.

අපගේ සංස්කරණය

තථාගතප්පවෙදිතො ධම්මවිනයො විවටො විරොචති (තථාගත දේශිත ධර්ම විනය විවෘතවූයේ බබළයි)

සූර්ය්‍යාලෝකය විවෘතවූයේ ම ආලෝකයෙන් වැඩ ඇත්තවුනට ප්‍රයෝජන වන්නේ ය. සම්බුද්ධ දේශිත ධර්ම විනයද විවෘත වූයේම ධර්මයෙන් විනයයෙන් වැඩ ඇත්තවුන්ට ප්‍රයෝජන වන්නේය.

භික්‍ෂුශීලය නම් වූ මෙම ග්‍රන්ථය ද තථාගත විනය විවෘත කරන්නකි. මෙම ග්‍රන්ථයේ කතෘන් වහන්සේ ධර්මවිනය ධර සම්භාවනීය මහා ස්ථවිරයාණන් වහන්සේ නමකි. එතුමන් වහන්සේ විසින් විනය පිටකය ප්‍රධාන ව ත්‍රිපිටකයේ අතිසාරවත් විනයකරුණු එක්තැන් කොට මෙය සම්පාදනයෙන් බුද්ධවර්ෂ 2436 නොහොත් ක්‍රි:ව: 1893 දී ප්‍රසිද්ධ කර තිබේ.

ප්‍රතිවේධශාසනය බැබළීමට ප්‍රතිපත්තිය අත්‍යාවශ්‍යක ය. ප්‍රතිපත්තිය බැබළීමට පර්‍ය්‍යාප්තිය මුල කාරණය යි. නිශ්ශරණාද්‍යාශයෙන් ශාසනගත වන බුද්ධපුත්‍රයන් වහන්සේගේ පර්‍ය්‍යාප්ති විනයඥානය විසද කරවාලීමේ ශාසන ගෞරවයෙන් භික්‍ෂුශීලය නමැති මෙ විනය ග්‍රන්ථය සංස්කරණය කිරීමට ආරාධනා කළේ, ජීවිත පරිත්‍යාගයෙන් යුතු ව ශාසනාභිවෘද්ධියට ධෛර්‍ය්‍යප්‍රදානය කරන තබ්බෝවේ ඩබ්ලිව්.ඇල්. දාබරේ මහත්මා විසිනි.

ශ්‍රී කල්‍යාණී යොගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක තැන්පත් ආචාර්ය්‍යොත්තම රාජකීය පණ්ඩිත කඩවැද්දූව ශ්‍රී ජිනවංශ මහා ස්ථවිර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රණීතාධ්‍යාශය සමග ලත් අනුමතය පරිදි, අප හිතවත් පල්ලේගම මහින්ද ආයුෂ්මතුන් වහන්සේ සමග මෙය අවසානය තෙක් සංස්කරණය කරන ලද බව සතුටෙන් සඳහන් කරමු.

අති දීර්ඝ වාක්‍ය කෙටි කරමින් අර්ථාවබෝධයට පහසුවන පරිදි මෙය සකස් කිරීමට සිදුවිය. ප්‍රථමයෙන් ම භික්‍ෂුශීලය නම් ග්‍රන්ථය සම්පාදනය කරන ලද දොඩන්දූවෙ සද්ධර්මගුප්ත පිරිවෙන් පති සිරිපවර ධර්මකීර්ති ශ්‍රී උඩුගම්පොල සුවර්‍ණජොත්‍යභිධාන මහාස්ථවිරපාදයන් වහන්සේට මෙහි සම්පූර්ණ ගෞරවය පිරිනමමින් ශ්‍රද්ධා ප්‍රව්‍රජිත බුද්ධපුත්‍රයන් වහන්සේට ශීලස්කන්ධපූරණයට මෙය මහෝපකාර හස්තසාර වස්තුවක් වේවායි ප්‍රාර්ථනය කරමු.

මේ භික්ෂුශීල සංස්කරණය මුලසිට අගතෙක් සංශෝධනය කොට ශාසනනීතිය නමින් පෙරවදනක් සපයා අනුග්‍රහය කළ අතිගරු ආචාර්ය්‍යොත්තම පූජ්‍ය පණ්ඩිත කඩවැද්දූව ශ්‍රී ජිනවංශ මහාස්ථවිර ස්වාමීන්ද්‍රයන් වහන්සේටත්, සාරවත් ප්‍රස්තාවනාවක් සම්පාදනයෙන් ග්‍රන්ථගෞරවය හා උපදේශය ප්‍රදානය කළ අතිගරු රාජකීය පණ්ඩිත විද්‍යාවිශාරද ඉඳුරුවේ උත්තරානන්ද අධිකරණ නායක මහාස්ථවිර ස්වාමීන්ද්‍රොත්තමයන් වහන්සේටත් දීර්ඝායුඃශ්‍රී ප්‍රාර්ථනා කරමින් වැඳ නමස්කාර කරමු.

ධ්‍යාන විදර්ශනා මාර්ගඵල ලාභී ආර්ය්‍ය බුද්ධ පුත්‍රයන්වහන්සේලා පහළවී සම්බුද්ධ ශාසනාම්බරය හිරු දහසක් සඳ දහසක් නැගියා සේ අතිශයින් සෝභමානව බැබළීමට පත්වේවා.

ශාසනස්ථිතිකාමී,
නාඋයනේ අරියධම්ම ස්ථවිර
ගුණවර්ධන යොගාශ්‍රමය
ගල්දූව - කහව.
2520 / 1977 අප්‍රියෙල් 10

ශාසන නීතිය

නීතිය විවිධ යි. භාෂාවක් නිවැරදි ව පැවතීමට උපකාරවන උපදේශ මාර්ගය ශබ්දනීති නමින් දන්නා ලැබේ. ඒ ව්‍යාකරණය යි. ශබ්දනීති සංඛ්‍යාත ව්‍යාකරණය භාෂා විනය වශයෙන්ද, භාෂාවක ආණ්ඩුව වශයෙන්ද සැලකීම සුදුසු ය. එයට පටහැනි අනුවෝ භාෂා දූෂකයෝ වෙති. ඔවුන්ගෙන් සිදුවනුයේ භාෂාවක් උම්මත්තක පසිබ්බකයක් (පිස්සිගෙ පලාමල්ලක්) බවට පත්වනු පමණක් නොවේ. භාෂාවක රසය, භාෂාවක ජීවය මිරිකී තැලී වනසට පත්වනු ද යෙදේ මැ යි.

භාෂාවක නිරාකුල පැවැත්මට ශබ්දනීති නමින් හැඳින්වෙන ව්‍යාකරණය වහල්වන්නාක් මෙන් ත්‍රිශික්‍ෂා (සීල - සමාධි පඤ්ඤා) සංඛ්‍යාත බුද්ධශාසනයාගේ නිරාකුල පැවැත්මට උපයෝගීවන ශික්‍ෂා ප්‍රඥප්ති සමුදාය ශාසනනීතිය වශයෙන් තේරුම් ගතයුත්තේ ය. ශාසනවිනය වශයෙන්ද, ශාසනයේ ආණ්ඩුව වශයෙන්ද ගිණිය යුත්තේ ශික්‍ෂා ප්‍රඥප්ති සංඛ්‍යාත මේ ශාසනනීතිය මැයි. මේ ශාසනනීතිය මැනැවින් රකිතොත් ශාසන පාලනයට නිල බලයෙන් පත්වන පාලකයෙක් - අමුතු ආණ්ඩුකාරයෙක් අවශ්‍ය නැත. ශාසන පාලනයට නායකයන් කාරකයන් අවශ්‍ය නැත. ශීල භාවනා ප්‍රතිපත්ති මාර්ගය දක්වන කල්‍යාණශීලී අනුශාසකයන් - මාර්ගදේශකයන් මිස ශාසනයට නායක - කාරකයන් අවශ්‍ය දැයි සිතා බලනු මැනැවි.

බුදුරජාණන් වහන්සේ විසින් දේශිතවූ ප්‍රඥප්තවූ ධර්මය ම විනය ම ශාසනය පාලනයවීමේ අභෙද්‍ය බලමහිමයෙන් යුක්ත ය. හැම බුදුවදනක් පාසා, හැම බුදුපැණවුමක් පාසා බුදුරජාණන් වහන්සේ ශාස්තෲත්වයෙන් ජීවමාන වන සැටි, “යො වො ආනන්ද මයා ධම්මොච විනයොච දෙසිතො පඤ්ඤත්තො සො වො මමච්චයෙන සත්ථා”

ආනන්දය! මාවිසින් දෙසනලද පණවනලද යම් ධර්මයක් විනයක් වේද ඒ ධර්මවිනය මගේ ඇවෑමෙන් ඔබට ශාස්තෘ වන්නේ ය යන මේ අස්වැසිලි දේශනයෙන් වටහාගතහැකි ය. මේ අස්වැසිල්ල, මේ මෙහෙයවීම අනඳහිමියන්ට පමණක් නො වේ, අප හැමටය. නිරාමිස සංකල්පයෙන් නිශ්ශරණාර්ථීව සසුන් පිළිවෙත් මගට බැසගත් බුදුපුත් සඟපිරිස ප්‍රාණපරිත්‍යාගයෙන් බුදු අණ රක්නා වගට බුදුරජාණන් වහන්සේ ම සහතික කළසේක. “යං පහාරාද මයා සාවකානං සිකඛාපදං පඤ්ඤත්තං තං මම සාවකා ජීවිතහෙතුපි නාතිවත්තනති. (පහාරාදසූත්ත) පහාරාදය! මා විසින් මගේ ශ්‍රාවකයන්ට පණවනලද විනයශික්‍ෂා ජීවිතය නිසාවත් කඩනොකරන්නාහ යි සහතික කොට වදාළේ හැබෑ බුදුපුතුන්ගේ සසුන් සුරතලයෙන් ලොව සැනසේවා යන මහා කරුණා බැල්මෙනි. මේ බුදුසහතිකයෙන් පණගැන්වී ඔද තෙද ගැන්වී ජීවිතය නො තකා සිල්ගුණ පිරූ බුද්ධශ්‍රාවක උතුමන්ගේ අසිරිමත් ජීවිත සටහන් ශාසන ඉතිහාසයේ දීප්තව පවත්නේ සසුන් පෙරහැරට එක්වන අනුයාතයන්ට එලියදෙන නො නිවෙන පහන් ලෙසිනි.

අම්බඛාදකතිස්ස හිමියන් මේ ජාතියේ උපන් සිංහල උපාසක තුමකුගේ කරඋඩදී ආත්ම සීලගුණ ප්‍රත්‍යවේක්‍ෂණයෙන් රහත්වූසැටි සිහිකළමැනැවි. අනුරාධපුරයේ සිට රුහුණ බලා වඩින තිස්සහිමියන් ආහාරනැති අහේනියෙන් කලාන්තව අතරමග අඹගසක් යට වැතිරගත්තේ පණයන තරම් අමාරුවෙනි. බඩගිනි වේදනාව බලවත්ව පැවැති නමුත් ගසයට වැටීතිබූ ඉදුණු අඹ වැළඳීමට උන්වහන්සේ සිත යෙදුවේ නැත. ශික්‍ෂා ගෞරවයෙන්, නොපිළිගෙන වැළඳීමෙන් සිල් කෙලෙසෙන හෙයිනි. දිවිරැකීමට වඩා සිල්රැකීම අගය කොට උතුම් කොට ඒ සුළු ඇවැතට පවා පත් නො වී තිස්ස හිමියන් එදා පරම

සුසිල්වත්බැවින් සංයතවූයේ වෙන මොනම බලපෑමකටවත් යටත්ව නොවේයි. මගේ සව්දරුවෝ පණගියත් සිකපද නොබිඳිතියි වදාළ ඒ බුදු සහතිකය සිහිකිරීමෙනි. ශාසන නීතිය වූ විනය ශික්‍ෂාව නියාමක ස්වරූපයෙන් ගෙන සිල්ගුණ සපුරා සසුන් මගට පහන් වූ ශාන්ත වීර සඟරුවනට නමස්කාර වේවා.

විනයසංග්‍රහයක් වූ මේ භික්‍ෂුශීලය මෙයින් අවුරුදු සූවාසූවකට පෙර වැඩසිටි විනයවිශාරදවූ ශාසනහිතකාරී උත්තමයාණ කෙනෙකුන් විසින් ප්‍රතිපාදිත ව පළවූ අගනා ග්‍රන්ථයෙකි. මේ පිළිබඳ සියලු විස්තර මෙයට එකවන ප්‍රස්තාවනාවෙන් හෙළි පෙහෙළිවනු ඇත. ශාසන පරිහානිය ගැන අතිශයින් දුක්වන, ශාසන පරමාර්ථයෙහි හසළ බුද්ධි ප්‍රභාවයක් ඇති, ශාසනය නගා සිටුවීමේ ඡන්මාන්තරීය ප්‍රාර්ථනාබද්ධ තබ්බෝවේ පින්වත් ඩබ්ලිව්.ඇල්. දාබරේ මහත්මා මේ විනය ග්‍රන්ථය තවත් වරක් පළකිරීමට අදහස්කොට එය සුදුසු පරිදි සකසා දෙන ලෙස අපේ අරියධම්ම ස්ථවිර නමට ආරාධිතවූයේ අපගේ ද අනුමතය ඇතිව ය. නිවීයන සසුන් පහනට මෙය තෙල් එකතුවක් වේවා.

නිබ්බාණපච්චයො හොතු

මෙයට-ශාසනසප්‍රීතිකාමී,
කඩවැද්දූවේ ජිනවංශ ස්ථවිර
ගුණවර්ධන යොගාශ්‍රමය
ගල්දූව - කහව.

ප්‍රස්තාවනා

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

විනයශබ්දාර්ථය

ශ්‍රීමත් සුගත තථාගතයන් වහන්සේ විසින් වදාළ ධම්ම-විනය දෙකින් විනය ශබ්දයාගේ අර්ථය ද ඉතා විචිත්‍ර ය. විනය ශබ්දයෙහි ශික්‍ෂණාර්ථය ද විවිධවිශේෂ න්‍යායාර්ථයද ව්‍යුපශමාර්ථය ද දක්නට ලැබෙයි. “විනෙති සික්ඛාපීති = විනයො” යන නිරුක්ති විසින් ගත් කල්හි ශික්‍ෂණාර්ථය ලැබෙයි. “විනයනතො චෙව කායවාචානං” යන්නෙන් මේ අර්ථය දක්වන ලද බව සැලකිය යුතුයි. කය-වචන දෙදෙනාගේ හික්මවීම ඇතිවන බැවින් විනය නම් වේ යන අර්ථය මෙයින් දෙයි. කාය ද්වාරයෙන් සිදුවන යම් තරම් වැරදි ඇත්නම් ඒ වැරදි සිදුවන්නට ඉඩ නොදී කයින් සංවරවීමත් වාග්ද්වාරයෙන් සිදුවන යම්තරම් වැරදි ඇත්නම් ඒ වැරදි සිදුවන්නට ඉඩ නොදී වචනයෙන් සංවර වීමත් හික්මීමක් ම වන බැවින් විනය නම් වන බව මෙයින් දත යුතු යි. “විවිධ නය විසෙසනය මෙතස්සාති විනයො” යන වාක්‍යය ගත් කල්හි විවිධ ක්‍රම විශේෂ ක්‍රම මෙහි ඇතියි විනය නම් වේ යනු සිද්ධයි. මේ විනය ශබ්දයෙන් විවිධ නය විශේෂ න්‍යායාර්ථය ලැබෙයි. විවිධ නය නම් ප්‍රාතිමොක්‍ෂොද්දෙස ආපත්ති ස්කන්ධ මාතෘකාවිභගාදි ප්‍රභේද ක්‍රමයි. විශේෂ නය නම් සිකපද දැඩිකිරීම හෝ ලිහිල් කිරීම හෝ ප්‍රයෝජන කොට ඇති අනුප්‍රඥප්ති ක්‍රමයයි. “විවිධ විසෙස නයතතා” යන්නෙන් මේ අර්ථය දක්වන ලද බව සැලකියයුතු යි. මෙසේ කය - වචන දෙක හික්මවීම නම් වූ කායවාග්ජප්තියෙන් හා වාග්විඥප්තියෙන් සිදුවන අධ්‍යාචාරයන් වළක්වාලීමෙන් කෙරෙන කායවාචාවිනයනයත් ප්‍රාතිමොක්‍ෂොද්දෙසාදි විවිධනයත් අනුප්‍රඥප්ති මාර්ගයෙන් කෙරෙන දැඩිකිරීම හෝ ලිහිල් කිරීම හෝ ප්‍රයෝජන කොට ඇති විශේෂනයත් විනය නම් වන බව පවසන ලද්දේමැ යි. මේ අර්ථය විනය මහ අටුවාහි මෙසේ දක්වන ලද මැයි.