සන්න සහිත ආලවක සූත්‍රය - කුරේ 1910.pdf
- කතෘ :
- ආර්. ඒ. කුරේ
- ප්‍රකාශිත වර්ෂය :
- 1910
- මුද්‍රිත වර්ෂය :
- 1910
- පිටු ගණන :
- 64
- බාගත කිරීම් ගණන :
- 572
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2024-04-23
- ගොනුවේ ප්‍රමාණය :
- 16 MB
වෙනත් සංස්කරණ
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
සන්නසහිත ආලවක සූත්‍රය යනු සංයුක්ත නිකායට ඇතුළත් ආලවක සූත්‍රයේ පාලි පාඨය, පුරාණ සිංහල සන්නයක් හා අටුවා කථා පුවත සමඟ පළ කළ ග්රන්ථයකි. මෙය 4 වෙනි වර කොළඹ මාදම්පිටියේ අංක 7 දරන සුදර්ශන යන්ත්‍රාලයේ දී ආර්. ඒ. කුරේ විසින් මුද්‍රණය කරවා ශ්‍රී බුද්ධ වර්ෂ 2454 (ක්‍රි. ව. 1910) දී පළ කරන ලදී. මාතෘකා පිටුවට අනුව මුලින් අච්චු ගැසුවේ කුරේ අප්පුහාමි කෙනෙකු විසිනි. මෙම මුද්‍රණය ශාස්ත්රාගමධාර පණ්ඩිත ස්ථවිර නමක ලවා සුද්ධ කරවන ලද්දකි.
ආර්. ඒ. කුරේ ලියූ ‘සංඥාපනය’ට අනුව, බුදුරජාණන් වහන්සේ ආලවක කුමරුගේ අනාගාමිඵල ප්‍රාප්තියට හේතුසම්පත් ඇති බවත්, ආලවක යක්ෂයාගේ සෝවාන් ඵල ප්‍රාප්තියට උපනිශ්‍රය සම්පත් ඇති බවත් දැක, ආලවක යක්ෂයාගේ විමනට වැඩ මේ සූත්‍රය දේශනා කළ සේක. ප්‍රතිග්‍රාහකයා අනුව ‘ආලවක සූත්‍රය’ යන නම ලැබුණු බවත්, එහි උත්පත්තිය ‘පුච්ඡාවසික’ (ප්‍රශ්න විසඳීම නිසා වූ) වර්ගයට අයත් බවත් එහි පැහැදිලි කෙරේ.
සන්නය පුරාණ පඬිවරයෙකු විසින් කරන ලද්දකි. ඔහුගේ නම නිශ්චිත නැතත්, සන්නයේ අවසානයේ බුද්ධ වර්ෂ 2312 යන කාලය සඳහන් වේ. පිටපත් කීපයක් එකට ගෙන අටුවාව සමඟ සසඳා සංස්කරණය කළ බවත්, මුලට පාලි සූත්‍ර පාඨය යොදා ඇති බවත් සංස්කාරක සඳහන් කරයි.
පොතට ඇතුළත් වන්නේ තෙරුවන් වැඳීමේ පාලි ගාථා, ‘ආලවක සුත්තං’ පාලි පාඨය, ‘ආලවක සූත්‍ර සන්නය’ සහ සූත්‍රයේ නිදාන කථාව යි. නිදාන කථාවේ අලව් රජු, ආලවක යක්ෂයා හා අලව් කුමරු පිළිබඳ පුවත, පාලි පද අර්ථ සහිතව විස්තර කෙරේ. පොත ‘ආලවකසූත්ර ව්‍යාඛ්‍යානය නිමි’ යනුවෙන් අවසන් වේ.
සංඥාපනය. ආලවක සූත්‍රය සහ සන්නය.
අප බුදුරජානන්වහන්සේ මීට සාරසඞ්ඛ්යකප් සුවහසෙකින් මතුයෙහි කුළුණු නුවණැති සුමෙධ නම් මහාතාපස දිවකුරු බුදුන් හමුවැ අතටපත් නිවන් සසරසේ හැර අපරිමිත සතන් වෙත පතළ නතදයාවෙන් ඒ බුදුන්ගෙන් නියතවිවරණසිරිලැබ සසරට වැද එතැන්පටන් ලෝපහළවූ සියලු බුදුවරයන්ගෙන්ම ලබනලද විවරණ ඇතිසේක් සමතිස් පෙරුම්පුරා තුසිපුර ඉපිද දිවසිරි විඳිනකලැ දසදහසක් ලෝදැහි දෙව්බඹුන් විසින් කරණලද අයදුමෙන් එයින්සැව කිඹුල්වත් පුරවරෙහි සකකුල තිලක වන් සුදොවුන් මහරදුන්නිසා මහමායාබිසෝ කුසපිළිසිඳ දසළු කඩම්සෙකින් මවුකුසින් බිහිව පුන්සඳලෙස කෙමෙන් වැඩිවිය පැමිණ එකුන්තිස්වනවයෙහි ගිහිසැපත්හැර මහබිනික්මන්කොට පැවිදිව සවසක් මහපදන් විරියකොට ඇසතු බෝතුරුමුලැ නැගි විදුරසුන් අරාහිඳ නෙකතුරිරු අවිදුරු සපිරිවර මරදෙව් පරදවා බුදුව සත්සතියවා මහබඹහු අයදුමෙන් බරණැස ඉසිපතන්හි දම්සක්පවත්වා පසුවද දහම්දෙසමින් විනෙදනන් අමාමහනිවන් දක්වනුවෝ, සැවැත්නුවර දෙව්රම්වෙහෙර වැඩවසනසේක. එසමයෙහි අපමුනිඳු එක්දිනක් අළුයම මහකුළුණු සමවතින් නැගිසිට මුලුලොව බලා වදාරණසේක්, ආලවක කුමරයාගේ අනාගාමිඵල ප්‍රාප්තියට හෙතුසම්පත් ඇතිබව හා ආලවක යක්ෂයාගේ ශ්රොතාපත්තිඵල ප්‍රාප්තියට උපනිශ්‍රය සම්පත් ඇතිබවද යනාදිය දිවැසින් දැක එදවස් පහන්වූකලැ පෙරවරු කළමනා බුදුකිස නිමවා පස්වරු එක්සිය විසිගවුපමණ මගගෙවා අලව්රට සමීපයෙහිවූ අලව්යකුගේ විමනටවැඩ ඔහු දමනයකොට ඔහුටහා එහි රැස්වූ අනෙක දෙවතාවන්ටද මේ සූත්‍රය ප්‍රථමකොට වදාළසේක. අලව්රටදී අලව්රජ ප්රමුඛකොට ඇති ඒ නුවර වැසියන්ට දෙවැනිව දෙශනාකළසේක. නැවතද බුදුහු දෙව්රමටවැඩ අනඳමහතෙරිඳුට තෙවැනිව දෙශනාකළසේක. එසේහෙයින් මේ සූත්‍රය සකලසුරනර කර්ණරසායනවිය. සූත්‍රයෝ වනාහි දෙශ දෙසක පටිග්ගාහක අර්ථගුණ යන පඤ්චප්රකාරයන්ගේ වශයෙන් නම් ලබති—හේ කෙසේදයත්? අප සර්වඥයන්වහන්සේ යම් ප්රදෙශයකදී යම් සූත්‍රයක් දෙශනාකළසේක්ද ඒ ප්‍රදෙශ වශයෙන් නම් ලබයි, යම් රහත්කෙණෙකුන් විසින් යම් සුතුරක් දෙසනලදද හේ දෙසක වශයෙන් නම් ලබයි, යම් සුතුරක් දෙසූකලැ යමෙකු විසින් ඒ දහම පිළිගන්නාලදනම් ඒ ප්‍රතිග්‍රාහකයාගේ වශයෙන්නම් ලබයි, යම් අර්ථයක් මුල්කොටගෙණ යම් සුතුරක් දෙශනාකරණලදනම් ඒ අර්ථ වශයෙන් නම් ලබයි, යමක් ගුණකොට ගෙණ යම් සුතුරක් දෙසනලද නම් හේ ගුණවශයෙන් නම් ලබයි, ඉන් සූත්‍රාදිය දෙශවශයෙන්ද, අම්බට්ඨ සූත්‍රාදිය දෙශක වශයෙන්ද, සිගාලොවාද සූත්‍රාදිය පටිග්ගාහක වශයෙන්ද, මඞ්ගලසූත්රාදිය අර්ථවශයෙන්ද මධුපිණ්ඩික සූත්‍රාදිය ගුණවශයෙන්ද නම්ලදහ, මේ පඤ්චප්‍රකාරයෙන් මේවූකලී ප්‍රතිග්‍රාහක වශයෙන් ආලවක සූත්‍ර යයි නම් විය. තවද සියලුම සූත්‍රයන්ගේ උත්පත්තිතොම අත්තජ්ඣාසය, පරජ්ඣාසය, අට්ඨුප්පත්තිකය, පුච්ඡාවසිකයයි සතරවැදෑරුම්වේ, අනුන් විසින් අනුනොදන්නාලදුව බුදුහු තමන්වහන්සේගේම අදහසින් දෙශනාකළ දෙව්දූත සූත්රාදීන්ගේ උත්පත්තිය අත්තජ්ඣාසය නම්, සෙසසන්ගේ අදහසද අවබොධයද දැනවදාළාවූ චූලරාහුලොවාද සූත්රාදීන්ගේ උපත පරජ්ඣාසය නම්, පැමිනි කරුණු අරබයා වදාළාවූ දක්ඛිණවිභඞ්ග සූත්රාදීන්ගේ උපත අට්ඨුප්පත්තික නම්, යම්කෙණෙකුන් විසින් අසනලද පැන විසඳීම්වශයෙන් දෙශනාකළ මඞ්ගල සූත්රාදීන්ගේ උපත පුච්ඡාවසිකනම්, උක්ත චතුර්ප්රකාරයෙන් මේ සූත්‍රයාගේ උත්පත්තිය පුච්ඡාවසික වශයෙනැයි දතයුතු.
තවද මෙම සූත්රයවනාහි බුදුරජානන්වහන්සේගේ පරිනිර්වාණයෙන්පසු ධර්මසඞ්ගීති කාරක අර්හතුන් විසින් සඞ්ගායනාකොට සංයුක්තනිකායෙහි අන්තර්ගත කරණලදී. හේ මේ සූත්‍රයට පුරාණ පඬිතුමෙකු විසින් කරණලද බොහෝවූ ධර්මකාරණයන්ගෙන් යුත් විස්තර සන්නයක්ද තිබේ. ඒ සන්නකතෘ මෙනම් ඇත්තෙකැයි යනු සැකසහිත නමුත් කාලය බුද්ධවර්ෂ 2312 වනවර්ෂයයි අවසානයෙහි පෙණේ. ගිහි පැවිදි බොහෝ උදවියට මහොපකාරීවූ මෙම සූත්‍ර සන්නය පිටපත් කීපයක් එකොකාට අටුවාවටත් සමකර බලා අපවිසින් යථාශක්තීන් සංස්කරණලද නමුදු අප ප්රමාදදීන් ජනිතවූද, අච්චුගැසීමේදී සිදුවියයි හැඟෙන්නාවූද, යම් යම් අක්ෂර ඌනාතිරෙකාදි දෙස් ඇතත් එහි පණ්ඩිතයෝ සමාධි කටයුතු. තවද මෙහි පෙලවශයෙන් මුලට සූත්‍රයද යොදා ඇත, එහිදු යම් අක්ෂරෞනාධිකාදි දෙසැත්නම් ඒ සන්නය සමග සමකර බැලීමෙන් තේරුම්ගන්ට හැකිබවත් දතයුතු—තවද මෙය නැවත අච්චුගැසීමේ බලය අපවෙත තබාගනිමි.
ආර්. ඒ. කුරේ.