ශමථ විදර්ශනා භාවනා මාර්ගය - මාතර ඥාණාරාම හිමි.pdf

කතෘ :
මාතර ඥානාරාම හිමි
පිටු ගණන :
278
බාගත කිරීම් ගණන :
1,041
වෙබ් අඩවියට එක් කළ දිනය :
2024-02-18
ගොනුවේ ප්‍රමාණය :
663 KB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 140

ශමථ විදර්ශනා භාවනා මාර්ගය යනු මීතිරිගල නිස්සරණ වන සේනාසනාධිපතිව වැඩවිසු ප්‍රවීණ කර්මස්ථානාචාර්ය අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදිත ප්‍රමුඛ පෙළේ භාවනා අත්පොතකි.

මෙහි ශමථ හා විදර්ශනා භාවනාවන්හි ආරම්භයේ සිට නිර්වාණාවබෝධය දක්වා වූ පිළිවෙත් මග සවිස්තරාත්මකව හා ප්‍රායෝගික අත්දැකීම් සහිතව විග්‍රහ කෙරේ. විශුද්ධිමාර්ගය ආදී ප්‍රමුඛ ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් කරුණු ද ඇසුරු කරගනිමින්, ආධුනික මෙන්ම ප්‍රගුණ යෝගාවචරයන්ට ද මගපෙන්වන අයුරින් මෙය රචනා වී ඇත.

  • ශාසන සම්පත්තිය හා ක්ෂණ සම්පත්තිය
  • භාවනාරම්භය
  • ධ්‍යාන භාවනා හා මාර්ග භාවනා
  • විදර්ශනා කාණ්ඩය
  • නිවන

පුණ්‍යානුමෝදනාව

සබ්බ දානං ධම්ම දානං ජිනාති - සියලු දානයන් අභිබවා ධර්ම දානය ජයගනී

මහ පෙළෝ තලය සමතලා කොට අසුන් පනවා බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වඩා හිඳුවා ප්‍රණීත ම සිවුපසයෙන් උපස්ථාන කරනවාටත් වඩා, ලෝවාමහාපාය, සුවාසූ දහසක් වෙහෙර විහාර, ජේතවනාරාම, පූර්වාරාම වැනි විහාර ගොඩනැගීමටත් වඩා සතරපද ගාථාවකින් තරම්වත් කෙරෙන ධර්ම දානමය පින්කම අති උතුම්යයි බුද්ධ වචනය මුදුනින් පිළිගත් අප මේ දහම් පොත මුද්‍රණය කරවා ධර්ම දාන වශයෙන් පිරිනමනුයේ අසීමිත ශ්‍රද්ධාවෙනි.

මේ වස් සමයේ මීතිරිගල ධර්මායතනයේ වස් වසන අති පූජනීය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන්ටත් මෙම ධර්ම දානමය කුසලය උතුම් බුදුබව ලැබීම පිණිස හේතු වේවා! උන්වහන්සේට කායිකව හා මානසිකව පීඩාදෙන සියලුම කර්ම රෝග දුරු වේවා! කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් ලැබෙන්නා වූ භාවනාමය ආශිර්වාදය තව තවත් යෝගාවචර ප්‍රතිපදාව රැක ගනිමින් අනුශාසනා කරමින් ශතවර්ෂාධික කාලයක් ආයු වළඳා, සුවසේ පාරමී පූර්ණ කර ගැනීමට හේතු වේවා! වාසනා වේවා!

අති පූජනීය මාතර ශ්‍රී ඥාණාරාම මාහිමිපාණන්ගේ සෙවනේ වැඩහිඳ සමථ විදර්ශනා භාවනා ප්‍රගුණ කර ප්‍රතිපත්ති ශාසනය නගා සිටුවීමට ලොව පුරා බෞද්ධ අබෞද්ධ පිරිසට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් (කමටහන් දේශනා) තමන්ගේ විවේකය ගැන නොසලකා හුදී ජනයා නිවන් මගට යොමු කරන අති පූජනීය උඩ ඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේට මෙම ධර්ම දානමය පුන්‍ය සම්භාරය නිරෝගී චිර ජීවනය ලැබීම පිණිසත්, විවේක සුවයෙන් පාරමී පුරා නිවනෙන් සැනසීම ලැබීම පිණිසත් හේතු වේවා! වාසනා වේවා!

තමන්ගේ විවේකය ගැන නොසලකා කෙතරම් බාධක තිබුනත් මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය හොඳින් කියවා බලා නිවැරදි කර අප අතට පත් කරදුන්නේ මහත් ධර්ම ගෞරවයකිනුයි. අති පූජනීය උඩුගම්පොළ ධම්මරංසි හිමිපාණන් වහන්සේට මෙම කුසලය නිවන් අවබෝධ වීම පිණිස හේතු වේවා! කායික මානසික පීඩා දුරු වී උතුම් වූ ප්‍රාර්ථනා බෝධියකින් නිවන් අරමුණු වේවා! යි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.

සම්බුද්ධ ශාසනය රක්නා වූත්, බබළවන්නාවූත් සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා ද, සියලු භික්ෂූන් වහන්සේලා ද, මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් වෙත්වා!

එසේම, මෙම ධර්ම දානානිසංශ පුණ්‍යසම්භාරය අප නමින් මිය පරලොව ගිය දෙමාපියන් ඇතුළු ඥාති බන්දු වර්ගයාට නිවන් අවබෝධ වීම පිණිස ම හේතු වේවා! අපගේ දෙමාපියන් දෙපළටත්, මාගේ ආදරණීය බිරිඳ ඇතුළු දරුවන්ටත් නිදුක් නිරෝගී සැප ලැබ සුවසේ පාරමිතා පූරණය කර නිවන අරමුණු කර ගැනීමට මෙම ධර්ම දානමය කුසලය හේතු වේවා! අනන්ත අප්‍රමාණ දෙව්මිනිසුන් සහිත ලෝකයාට නිවන් සුව පිණිස හේතු වූවා වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළා වූ ශ්‍රී සද්ධර්මය මුළු මහත් ලෝක ධාතුව තුල බැබළේවා!

රුවන් රාජපක්ෂ 2013.07.17

රුවන් රාජපක්ෂ
2013.07.17

සංඥාපනය (ප්‍රථම මුද්‍රණය)

හැඳින්වීම

ශමථ භාවනා සහ විදර්ශනා භාවනා ක්‍රමය පිළිබඳ ඉතාමත් ආවශ්‍යක වූ උපදෙස් පෙළක් පහදා දෙන මේ ග්‍රන්ථය “ශමථ විදර්ශනා භාවනා මාර්ගය” නම් වේ.

ග්‍රන්ථ තත්ත්වය

නීවරණාදී ප්‍රත්‍යනීක උපක්ලේශයන් දවන-තවන-උපතාපනය කරන - සංසිඳුවන චිත්තභාවනාව ශමථ යයි. සම්මුතිය බිඳ සෑම අරමුණකම ඇති නාමරූප-ස්කන්ධ-ආයතන-ධාතු-සත්‍ය-ප්‍රතීත්‍යසමුත්පාදා දි පරමාර්ථයන් සහ අනිත්‍ය-දුක්ඛ-අනාත්ම ලක්ෂණත්‍රය ද විවිධාකාරයෙන් විශේෂාකාරයෙන් දක්නා වූ ප්‍රඥා භාවනාව විදර්ශනාවයි.

ශමථයෙන් චිත්තේකාග්‍රතාවත් විදර්ශනාවෙන් යාථාභූත ඥානාදර්ශනයත් උපදවා ගැනීමේ උපාය මාර්ගය මේ භාවනා ග්‍රන්ථයෙන් මතුකොට දෙනු ලැබේ. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ඇතිව ජාතිප්‍රඥාවෙන් සමන්විත වූ සසර භය දක්නා වූ නැණවත් කෙනකුන් හට සිහියත්- වීර්ය්‍යයත්-නුවණත් පෙරටුකොට සිවු පිරිසුදු සීලයෙහි පිහිටා, ශමථ විදර්ශනා භාවනා වැඩීමෙන් ම මාර්ග ඵල හා අසංඛත ධාතු සංඛ්‍යාත නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරගත හැකි වන්නේය. ඒ අත්‍යුත්තම වූ ශාන්ත පද නිර්වාණයට සැපත්වීමේ අනුපූර්ව ප්‍රතිපත්ති ක්‍රමය සාර්ථක ලෙස අනුගමනය කිරීමට කල්‍යාණමිත්‍ර සම්පත්තිය ඒකාන්තයෙන් ම ආවශ්‍යක වන්නේය.

මෙකල භාවනා වැඩීමේ අභිලාෂය ඇත්තවුන් දවසින් දවස වැඩි වන බව පෙනෙන්නට තිබේ. භාවනාවෙන් අධ්‍යාත්මික සන්තානයට ලැබෙන නිරාමිෂ වූ ලොවුතුරු සුවය ගැන බොහෝ දෙනාට වැටහී ඇත. සඳමඩල තෙක් අවකාශය තරණය කළ නමුත් එයින් නොලද හැකි ලොවුතුරු අමා සුවයක් භාවනාවෙන් ලද හැකි බව ඇතැම් බටහිර පණ්ඩිතවරයන් පවා පිළිගෙන ඇත්තේය. භාවනාව ගැන මෙතරම් උනන්දුවක් ඇතිවීමට එය ද එක් හේතුවෙකි. සාම්පරායික වශයෙන් පරලොව දී පමණක් නොව, සාන්දෘෂ්ටික වශයෙන් මෙලොවදීම ආධ්‍යාත්මික වූ සැනසිල්ල අත්කර ගැනීමට වැර වඩන නිශ්ශරණාධ්‍යාශය ඇති යෝගාවචරයනට නිවන් මග පහදා දෙනු පිණිස ම මේ “ශමථ විදර්ශනා භාවනා මාර්ගය” නමැති ග්‍රන්ථය සම්පදනය කර ඇත්තේය.

සම්පාදකයන් වහන්සේ

මීතිරිගල නිස්සරණවන ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කර්මස්ථානාචාර්ය්‍ය අතිපූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාමාභිධාන මහෝපාධ්‍යාය ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ භාවනා ග්‍රන්ථයේ කර්තෲන් වහන්සේ වෙති. ව්‍යවහාර වර්ෂ 1951 ජුනි 18 වෙනි දිනට යෙදී තිබුණු පොසොන් පුර පසළොස්වක පොහෝ දින සම්බුද්ධශාසනය රැක ගැනීම පිණිස ම අති පූජ්‍ය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සමාරබ්ධ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානාචාර්ය්‍ය සංඝ පීතෘන්වහන්සේ බවට පත් කරගනු ලැබුයේ ද මෙම සම්භාවනීය මහෝපාධ්‍යායන් වහන්සේය. චිරරාත්‍රඥ අතිපූජ්‍ය මහෝපාධ්‍යායන් වහන්සේ වනාහි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ප්‍රථම සංඥාලේඛකාවරිය මහෝපාධ්‍යාය අතිපූජ්‍ය මාතලේ අග්ගධම්මාලංකාර මහා ස්වාමිපාදයන් වහන්සේගේ අතිශ්‍රේෂ්ඨතම ශිෂ්‍ය රත්නයෙකි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ හිටපු අධිකරණ නායක ධුරන්ධර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය්‍ය අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මහා ස්වාමිපාදයන් වහන්සේගේ අද්විතීය ධර්මාන්තේවාසී ශිෂ්‍යරත්නයෙකි. සර්වඥ දේශිත විනය සූත්‍ර අභිධර්ම පිටකත්‍රය පිළිබඳ කුශාග්‍ර බුද්ධිමතෙකි. එළු-මගධ-සකු ඈ භාෂාවන් පිළිබඳ හා ඉතිහාස පුරාවිද්‍යා තර්ක න්‍යාය, කාව්‍ය ඡන්දොලංකාර විෂයයන්හි ද ස්වසමය සමයාන්තරයන්හි ද තෙරපත් විශද ඥානප්‍රභාවයෙන් ප්‍රභාවිත අති උත්තම බුද්ධිමතෙකි.

දීර්ඝකාලීන ආරණ්‍ය වාසයෙන් කාය විවේකය හා චිත්ත විවේකය වළඳන උත්තමයාණන් වහන්සේ නමෙකි. ශමථ විදර්ශනා භාවනා පිළිබඳ විශේෂ අත්දැකීම් සහිතව කර්මස්ථාන භාවනා පුහුණු කරවන අති දුර්ලභ කර්මස්ථානාචාර්ය්‍යයන් වහන්සේ නමෙකි. ශීලාදී ගුණයෙන් ප්‍රියවූ ද, එසේ හෙයින් ම ගරු සම්භාවනීය වූ ද, අවවාද අනුශාසනා දෙන්නා වූ ද, නපුරු වචන ඉවසන සුළුවූ ද, ගැඹුරු දහම් පැහැදිලි කර දෙන්නා වූ ද, අස්ථානයෙහි නොයොදවා නිර්වාණ මාර්ගයෙහිම යොදවන්නා වූ ද ශ්‍රේෂ්ඨතම කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමෙකි.

පොත සැකසුණු අයුරු

මේ ආත්මභාවයේ දීම ධ්‍යාන-අභිඥා-මාර්ග-ඵල උපදවා නිර්වාණයට පැමිණීමේ උත්තමාධ්‍යාශය ඇත්තාවූ යෝගාවචරයන් වහන්සේලා උදෙසා ම ව්‍යවහාර වර්ෂ 1967 දී ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරික අශෝක වීරරත්න මහතා (පසුව පූජ්‍ය මීතිරිගල ධම්මනිසන්ති හිමි) විසින් ආරම්භකොට පවත්වනු ලබන මීතිරිගල නිස්සරණවන අරණ්‍ය සේනාසනයේ ප්‍රධාන කර්මස්ථානාචාර්ය්‍ය මහෝපාධ්‍යාය අතිපූජ්‍ය පණ්ඩිත මාතර සිරි ඥාණාරාමාභිධාන මාහිමිපාණන් වහන්සේ අතින් සම්පාදිත මේ භාවනා ග්‍රන්ථය වනාහි භාවනාභිලාෂී යෝගාවචර සැමදෙනාහටම සඳ හිරු ගමන්ගත් ගුවන් තලය සේ භාවනා මාර්ගය අතිශයින් පිරිසුදුව පැහැදිලි කරන්නේය.

ව්‍යවහාර වර්ෂ 1981 දෙසැම්බර් මස 11 වෙනිදාට අතිපූජ්‍ය මීතිරිගල මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේට සම අසූවිය සපිරීම නිමිත්තෙන් 1981 අගෝස්තු මස 30 වෙනිදා පටන් නොවැම්බර් මස 15 වෙනිදා තෙක් සති අන්තයේ ඉරු දිනයන්හි මීතිරිගල නිස්සරණවන සේනාසනයේ දී අතිශයින් විසිතුරු වූ සෙත් පැතීමේ පින්කම් පෙළක් පවත්වනු ලැබීය. විවේක සුවයෙන් භාවනානුයෝගීව ගත කරන යෝගාවචරයන් වහන්සේලාට බින්දුමාත්‍රයකුදු පලිබෝධයක් නොවන ලෙස ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රමීය ආරණ්‍ය හා විවේක සේනාසන සියල්ල ම නියෝජනය වන පරිදි පවත්වනු ලැබූ ඒ පින්කම් පෙළ අතිශයින් ම ආදර්ශ සම්පන්න විය. ඒ විසිතුරු සෙත්පැතීමේ අසිරිමත් පින්කම් පෙළ පිළිබඳ සිහිවටනයක් වශයෙන් අතිපූජ්‍ය මහෝපාධ්‍යායන් වහන්සේ අතින් සම්පාදිත විවිධාකාර, ධර්මශාස්ත්‍රීය ග්‍රන්ථ-ලිපි ලේඛන-ගාථා කාව්‍ය ශ්ලෝක නිබන්ධ රාශියක් එක්තැන් කොට විශේෂ ග්‍රන්ථයක් මුද්‍රණය කරවා උපහාර පූජාවක් පැවැත්වීමට යෝජනා කෙළෙමු. අතිපූජ්‍ය මහෝපාධ්‍යායන් වහන්සේගේ කාරුණික අවසරය ද ඉතා අපහසුවෙන් ලබා ගතිමු.

යථෝක්ත කාරණය පිළිබඳ සාතිශය ප්‍රමෝදයට පත් අස්මදාචාර්ය්‍ය අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලිපි ලේඛණාදිය සපයා දීමෙන් අපව දිරි ගැන්වූහ. අතිපූජ්‍ය ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය්‍ය විද්‍යාවිශාරද රාජකීය පණ්ඩිත ඉඳුරුවේ ශ්‍රී උත්තරානන්දාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මාහිමියන් වහන්සේ ද දහසක් ශාසනික කටයුතු මධ්‍යයේ අතිපූජ්‍ය මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේගේ ජීවන චරිතය විදහාපාන මනස්කාන්ත ප්‍රස්ථාවනාවක් සම්පාදනය කළහ.

ග්‍රන්ථයේ වැඩ කටයුතු නිමවා මුද්‍රණයට දීමට ඉතාමත් ආසන්නව තිබියදී පැවිදි ගිහි යෝගාවචරයන්ගේ ප්‍රයෝජනය පිණිස අවශ්‍ය ම වන්නාවූ “ශමථ විදර්ශනා භාවනාමාර්ගය” පළමු වරට මුද්‍රණය කරවිය යුතුය යනු අතිපූජ්‍ය මහෝපාධ්‍යාය මාහිමියන්ගේ බලවත් අදහස විය. එබැවින් යට සඳහන් ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ මතුපිට තබා මෙම භාවනා ග්‍රන්ථය පළමුවෙන් මුද්‍රණය කරවීමට ඉදිරිපත් වූ බව; ඒ සඳහා මහත් උනන්දුවෙන් සහාය දුන් පැවිදි ගිහි සත්පුරුෂ මණ්ඩලයට කෘතඥතා පූර්වකව ඉතා සැලකිල්ලෙන් සිහිපත් කරවමු.

මෙම භාවනා උපදෙස් පිළිබඳ ග්‍රන්ථය වනාහි අතිපූජ්‍ය මහෝපාධ්‍යායන් වහන්සේගේ සටහන් පොත්වල වරින් වර සටහන් කරන ලද කරුණු, භාවනා පිළිබඳ ලියා තබන ලද විශේෂ ලිපි, කමටහන් වඩන යෝගාවචරයන් උදෙසා පිළිවෙළින් දෙන ලද අවවාද අනුශාසනා හා තමන් වහන්සේ ම ලත් අත්දැකීම් ආදී කරුණු රාශියක එකතුවෙකි. භාවනා කිරීමේ අවශ්‍යතාව, භාවනා නොවැඩීමේ හේතු, ගුරුපදේශ රහිතව භාවනා කිරීමෙන් නොමග යාම හා අතරමං වීම ආදිය පිළිබඳ අතිශයින් වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කරමින් ශමථ විදර්ශනා භාවනා වැඩීමේ ආරම්භයේ පටන් මග-පල-නිවන-පලසමවත් සුවය තෙක් ඉතාමත් අවශ්‍ය උපදෙස් මග පැහැදිලි කරමින් සම්පාදනය කර තිබේ.

මීට වසර කීපයකට පෙර අති පූජ්‍ය මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේ අතින් සම්පාදිත (විදර්ශනා ඥාන හා සප්තවිසුද්ධිය) නමැති භාවනා ග්‍රන්ථය උගත් බහුශ්‍රැත යෝගාවචරයනට සහ බොහෝ කලක් භාවනා පුරුදු කළ යෝගාවචරයනට ද මහර්ඝ හස්ත සාර වස්තුවක් බවට පත්විය. භාවනා කිරීමට පටන් ගන්නා ආදිකාර්මික යෝගාවචරයන්ගේ පටන් භාවනා ප්‍රගුණ කළ උගත් බහුශ්‍රැත යෝගාවචරයන් දක්වා සෑම දෙනාට ම මේ ශමථ විදර්ශනා භාවනා මාර්ගය අතිශයින් ප්‍රයෝජනවත් වන්නේය. භාවනා සුවඳ ඔස්සේ එන පෙර-අපර දෙදිග විදේශීය යෝගාවචරයනට ද ප්‍රයෝජනවත් ලෙස මේ ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවෙන් ද මුද්‍රණය කරවීමට වැඩිකල් ගත නොවේවා. ධ්‍යාන විදර්ශනා ක්‍රමය ඉතාමත් පුළුල් ලෙසින් දක්වන විශුද්ධිමාර්ග ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් ලබාගත යුතු වන භාවනා ක්‍රමය පිළිබඳ අවබෝධය මේ ග්‍රන්ථයෙන් යෝගාවචරයනට ලැබිය හැකි වනු ඒකාන්තය. එය එසේම වේවා.

උපකාරානුස්මෘති

විවිධ ශාස්ත්‍රීය විෂයයන්හි ප්‍රවීණ එහෙත් අද යෝගී ජීවිත ගතකරන ඇතැම් යෝගාවචරයන් වහන්සේලා සිය විවේකය ද රැකගෙන මෙම මාහැඟි කර්තව්‍යය සඳහා ලිපි කොපිකර දීමෙන් හා ටයිප් කර දීමෙන් ද විශේෂ උපදෙස් දීමෙන් ද සහාය වූ බව කෘතඥතා පූර්වකව සඳහන් කරම්හ.

විශේෂයෙන් පූර්වෝක්ත මහා ග්‍රන්ථය සම්පාදනය කිරීම සඳහා ලිපි ලේඛන සැපයීමෙන් හා අවශ්‍ය කඩදාසි ආදී හැම උපකරණයක් කලට වේලාවට සැපයීමෙන් මීතිරිගල නිස්සරණ වන සංරක්ෂණ මණ්ඩලය සහාය වූ බව සිහිපත් කරන අතර ඒ පින්වත්හු ද තම තමන්ගේ සියලු පැතුම් සපුරා ගෙන අමාමහ නිවනින් සැනසෙත්වා.

මේ භාවනා ග්‍රන්ථය මුද්‍රණය කරවා ධර්මදාන වශයෙන් බෙදාදීමට ඉමහත් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ඉදිරිපත් වූ කොළඹ 5, උද්‍යාන පාරේ, අංක 12, නිවැසි ශාසන හිතෛෂී සැදැහැවත් හේමා ප්‍රේමදාස බෞද්ධ මහෝපාසිකා මාතාව සහිත දරුපිරිස ගැන විශේෂයෙන් කෘතඥතා පූර්වකව පින්දෙන අතර තෙරුවන් සරණින් ඒ සැමටම ආයුරාරෝග්‍ය සම්පත් හා ශාන්ත නිර්වාණ සම්පත් අත්වේවා යි ඉතසිතින් ප්‍රාර්ථනා කරමු. මේ භාවනා ග්‍රන්ථය සංස්කරණයේදී නන්ලෙසින් උපකාර වූ හිතෛෂී සැම දෙනාටත් ශෝභන ලෙස මුද්‍රණය කරවූ තිසර මුද්‍රණාලයේ අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපේ අවංක ස්තුතිය හිමි වේ.

අපගේ විශේෂ ප්‍රාර්ථනය

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ යථාර්ථය අත්කර ගැනීමේ භාවනා මාර්ගය එළි දැක්වීමෙන් උදාරතම ශාසනාරක්ෂාව සලසා වදාරණ චිරන්තන භාවනා කර්මස්ථාන භාවිතයෙන් පරිභාවිත සන්තාන ඇති අති දුර්ලභ ගණයේ ශාසනභාරධාරී චිරරාත්‍රඥ සංඝපීතෘ - සංඝනේතෘ - සංඝ පරිනායක වූ අතිපූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාමාභිධාන ප්‍රධාන කර්මස්ථානාචාර්ය්‍ය මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේ අනන්ත තරුගණ මැද බබළන සොළොස් කලාවෙන් පිරිපුන් සරත් පුන්සඳ මඩල මෙන් සම්බුදු සසුන