1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ අනුපියනුවර අඹවෙනෙහි වැඩ වසන සේක. එසමයෙහි කාළිගෝධාවගේ පුත්ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ වනයට ගියාහු ද, රුක්මුලට ගියාහු ද, ශූන්යාගාරයට ගියාහු ද, හැම විට ම “අහෝ සුවයෙක අහෝ සුවයෙකැ”යි උදන් අනන සේක. බොහෝ භික්ෂූහු වනයට ගියාවූ ද, රුක්මුලට ගියාහු ද ශූන්යාගාරයට ගියාවූ ද කාළිගෝධාවගේ පුත්ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේගේ නිතර “අහෝ සුවයෙකි අහෝ සුවයෙකැ”යි පහළ කරන උදානය ඇසූහ. අසා ඔවුනට “ඇවැත්නි නිසැකයෙන් ම කාළිගෝධාවගේ පුත්ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ (ශාසනයෙහි) නො ඇලුණාහු බඹසර හැසිරෙති. පෙර ගිහිගෙයි සිටි ඔහුට යම් රජසුවයෙක් වී නම් හෙ තෙමේ එය සිහි කරන්නේ වනයට ගියේ ද රුක්මුලට ගියේ ද ශූන්යාගාරයට ගියේ ද “අහෝ සුවයෙකි, අහෝ සුවයෙකැයි උදන් පහළ කෙරේ යැ”යි මෙබඳු සිතෙක් විය.
2. ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියෝ ය. එළැඹැ භාග්යවතුන් වහන්සේ මනා කොට වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට “වහන්ස, කාළිගෝධාවගේ පුත්ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිර තෙමේ වනයට ගිය ද, රුක්මුලට ගිය ද, ශූන්යාගාරයට ගිය ද, නිතර “අහෝ සුවයෙකි, අහෝ සුවයෙකැ”යි උදන් අනයි. වහන්ස, නිසැකයෙන් ම කාළිගෝධාවගේ පුත්ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිර තෙමේ ශාසනයෙහි නො ඇලුණේ බඹසර හැසිරෙයි. පෙර ගිහිගෙයි සිටි ඔහුට යම් රජසුවයෙක් වී නම් හේ එය සිහි කරමින් වනයට ගියේ ද රුක්මුලට ගියේ ද ශූන්යාගාරයට ගියේ ද නිතරම “අහෝ සුවයෙක, අහෝ සුවයෙකැ”යි උදන් අනායි කීහ.
3. ඉක්බිති භාග්යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමැතූ සේක. “මහණ තෝ (මෙහි) එ. ‘ඇවැත, භද්දියය, ශාස්තෲන් වහන්සේ තා අමතති’යි මාගේ වචනයෙන් භද්දිය භික්ෂු කැඳව”යි වදාළ සේක.
“වහන්ස, එසේ යැ”යි ඒ මහණ භාග්යවතුන් වහන්සේට පිළිවදන් දී කාළිගෝධාවගේ පුත්ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ කාළිගෝධාවගේ පුත්ර වූ භද්දිය ස්ථවිරයන් වහන්සේට “ඇවැත භද්දිය ය, ශාස්තෘන් වහන්සේ තා කැඳවන සේකැ”යි කීය.
“ඇවැත් එසේ යැ”යි කාළිගෝධාවගේ පුත්ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂුහට පිළිවදන් දී භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්යවතුන් වහන්සේ මනා කොට වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන්නාවූ කාළිගෝධාවගේ පුත්ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන්ට භාග්යවතුන් වහන්සේ - “සැබව, භද්දිය ය, වනයට ගිය ද, රුක්මුලට ගිය ද, ශූන්යාගාරයට ගිය ද තෝ නිතර ‘අහෝ සුවයෙකි අහෝ සුවයෙකැ’යි උදන් අනයි? වදාළහ. “එසේය වහන්ස”යි හේ කී ය. “භද්දිය ය, වනයට ගිය ද, රුක්මුලට ගිය ද, ශූන්යාගාරයට ගිය ද තෝ කවර ප්රයෝජනයක් දකිමින් නිතර ම “අහෝ සුවයෙක අහෝ සුවයෙකැයි උදන් අනයි දැ”යි භාග්යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“වහන්ස, පෙර ගිහිගෙයි සිටි රජය කරන මට අන්තඃපුරයෙහි ඇතුළත ද ආරක්ෂාව සලසන ලද්දේ විය. අන්තඃපුරයෙහි පිටත ද ආරක්ෂාව සලසන ලද්දේ විය. නගරයෙහි ඇතුළත ද ආරක්ෂාව සලසන ලද්දේ විය. නගරයෙහි පිටත ද ආරක්ෂාව සලසන ලද්දේ විය. ජනපදයෙහි ඇතුළත ද ආරක්ෂාව සලසන ලද්දේ විය. ජනපදයෙහි පිටත ද ආරක්ෂාව සලසන ලද්දේ විය. වහන්ස, ඒ මම් මෙසේ රක්ෂිත ගෝපිත වූයෙම් ම බිය වූයෙම් බියෙන් සැලුනෙම් නැගුණු සැක ඇත්තෙම් තැති ගැනුම් ඇත්තෙම් වාසය කළෙමි. වහන්ස, දැන් වනාහි මම වනයට ගියෙම් ද, රුක්මුලට ගියෙම් ද, ශූන්යාගාරයට ගියෙම් ද, හුදකලා වූයෙම් ද, බිය නොවූයෙම් බියෙන් නො සැලුනෙම් නැගුණු සැක නැතියෙම් තැතිගැනුම් නැතියෙම් ලොමුදහ නැතියෙම් අනුන් විසින් දෙන ලද චීවරාදියෙන් යැපෙන්නෙම්, මුවාගේ සිත වැනි (කිසිවක් කෙරෙහි අපේක්ෂා නැති) සිතෙකින් (යුක්ත ව) වසමි. වහන්ස, මම මේ කාරණය බලමින් වනයට ගියෙම් ද, රුක්මුලට ගියෙම් ද, ශූන්යාගාරයට ගියෙම් ද, ‘අහෝ සුවයෙකි අහෝ සුවයෙකැ’යි උදන් පහළ කෙරෙමි”යි තෙරණුවෝ කීහ.
4. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
“යමෙකුගේ අභ්යන්තරයෙහි කෝපයෝ නැත් ද, යම් හෙයෙකින් සම්පත් විපත් ආදි භවාභවතාව ඉක්මැ සිටියේ ද, මෙබඳු වූ පහ ව ගිය භය ඇති, සුඛිත වූ, ශෝක නැති, ක්ෂීණාස්රවයා දකින්නට දෙවියෝ අසමර්ත්ථ වෙත්.”
දෙවෙනි මුචලින්ද වර්ගය යි.
එහි උද්දානය:
මුචලින්ද, රාජ, දණ්ඩ, සක්කාර, උපාසක, ගබ්භීනි, ඒකපුත්ත, සුප්පවාසා, විසාඛා, භද්දිය යී සූත්ර දශයෙකි.