1. ඉන්ද්ර යම වරුණ කුවේර යන ලෝකපාලකයන් හෝ සතරවරම්රජුන් සහිත වූ ලෝවැසියා යම් පුරුෂෝත්තමයක්හු පුදා ද, දවරැය නමස්කාරත් කෙරේද, ඒ අග්රපුද්ගල වු නරෝත්තමයාගේ තෙල උතුම්සස්න කර්මඵල හා කුශලාකුශලාදිභේද ධර්මයන් දන්නා නුවණැති මිනිසුන් විසින් දතයුත්තේ යි.
2. ත්රිපිටක පර්ය්යාප්ති සඞ්ඛ්යාත සූත්රය දොළොස්පද වෙයි, සූත්ර යයි කියනලද එ හැම බුද්ධවචනය ව්යඤ්ජන ද අර්ත්ථ ද වෙයි. වාච්ය වාචකභාවයෙන් සම්බන්ධ වූ ඒ අර්ත්ථව්යඤ්ජන දෙක ‘අර්ත්ථ කවරෙ යැ, ව්යඤ්ජන කිමැ’ යි ස්වරූප හෙයින් දතයුත්තේ යි.
3. දේසනාදි සොළොස් හාරයක් ඇති, නන්දියාවත්තාදි නය පසක් ඇති, කුශලාකුශල විසින් ප්රභේද වූ අටළොස් මූලපදයක් ඇති, පර්ය්යාප්තිශාසනයාගේ අර්ත්ථ පර්ය්යෙෂණ වූ, අවිපරීත සූත්රාර්ත්ථාවබෝධයට කාරණ වූ නෙත්තිය පූජ්ය වූ කාත්යායන මහාක්ෂීණාස්රවයන් වහන්සේ විසින් දේශනා කරනලද්දීය.
4. ෂෝඩශහාරයෝ ව්යඤ්ජනද්වාරයෙන් සූත්රයාගේ අර්ත්ථසංවර්ණනා වෙති. නන්දියාවත්ත තිපුක්ඛල සීහවික්කීළිත යන නයත්රය අර්ත්ථද්වාරයෙන් ම සූත්රාර්ත්ථ ප්රතිපාදනා කෙරෙයි. තෙල හාර නය දෙක අර්ත්ථනිශ්චය විසින් පරිගෘහිත වූයේ සුත්රානුරූප කොට නොහොත් සියලු සූත්රය සංවර්ණනා කෙරෙයි.
5. නෙත්තිසංවර්ණනාවිෂය වූ ව්යඤ්ජනප්රබන්ධ සංඛ්යාත යම් දේශනාවක් ඇද්ද, දේශනාර්ත්ථ සංඛ්යාත යම් දේශිතයකුත් ඇද්ද, තෙල දේශනා දේශිත යන දෙක මැ අනුපාදා පරිනිර්වාණය පර්ය්යන්ත කොට ඇති සම්පත්තීනට කාරණ හෙයින් දතයුත්තේය. ඒ විජානනයෙහි ලා මතු කියන හාරනයානුපූර්වය නවාඞ්ගශාසනයාගේ අර්ත්ථපර්ය්යෙෂණය වෙයි.
විභාගවාරය
1. උද්දේසවාරය
එහි සොළොස් හාරයෝ කවරහ: ආස්වාදාදිය විභාග කිරීම ලක්ෂණ කොට ඇති ‘දේශනා’ හාර යැ, සූත්රයෙහි එන පද ප්රශ්නාදිය විමසීම ලක්ෂණ වූ ‘විචය’ හාර යැ, සූත්රාගත අර්ත්ථව්යඤ්ජනයන්ගේ යුක්ත්යයුක්තිවිචාරණා ලක්ෂණ වූ ‘යුක්ති’ හාර යැ, සූත්රාගත කුශලාකුශලාදි ධර්මයන්ගේ පදට්ඨාන (ආසන්නකාරණ) නිර්ධාණ ලක්ෂණ වූ ‘පදට්ඨාන’ හාර යැ, සමාන ලක්ෂණ ධර්මයන් නඟා දක්වන ‘ලක්ෂණ’ හාර යැ, ව්යඤ්ජනද්වාරයෙන් නිර්වචනාදි විභාවන ලක්ෂණ වූ ‘චතුබ්යුහ’ හාර යැ, සභාගවිෂභාග ධර්මයන් ආවර්තන ලක්ෂණ වූ ‘ආවට්ට’ හාර යැ, සඞ්කිලේසවෝදානධර්මයන් විභාග කිරීම ලක්ෂණ වූ ‘විභක්ති’ හාර යැ, කුශලාකුශලධර්මයන්ට ප්රතිපක්ෂ හෙයින් පරිවර්තන ලක්ෂණ වූ ‘පරිවර්තන’ හාර යැ, පර්ය්යායශබ්ද දැක්වීම ලක්ෂණ කොට ඇති ‘වෙවචන’ හාර යැ, එක් ධර්මාර්ත්ථයක් විවිධ ප්රඥප්තීන් විභාවන ලක්ෂණ වූ ‘පඤ්ඤති’ හාර යැ, ප්රතීත්යසමූත්පාදාදිද්වාරයෙන් සූත්රාර්ත්ථයාගේ අවතරණ ලක්ෂණ වූ ‘ඕතරණ’ හාර යැ, සූත්රාගතපදපදාර්ත්ථාදීන්ගේ ශෝධන ලක්ෂණ වූ ‘ශෝධන’ හාර යැ, සූත්රාගතධර්මයන්ගේ සාමාන්ය විශේෂ නිර්ධාරණ ලක්ෂණ වූ ‘අධිට්ඨාන’ හාර යැ, ධර්මයන්ගේ හේතුප්රත්යය නිර්ධාරණ ලක්ෂණ වූ ‘පරික්ඛාර’ හාර යැ, පදට්ඨානාදිමුඛයෙන් ධර්මයන්ගේ සමාරෝපණ ලක්ෂණ වූ ‘සමාරෝපන’ හාර යැ යන මොහු යි.
ඒ හාරෝදෙදසයාගේ සුඛග්රහණ පිණිස මේ අනුගීති යැ:
1. දේසනා යැ විචය යැ යුක්ති යැ පදට්ඨාන යැ ලක්ඛණ යැ චතුඛ්යූභ යැ ආවට්ට යැ විභත්ති යැ පරිවත්තන යැ.
2. වෙවචන යැ පඤ්ඤත්ති යැ ඕතරණ යැ සෝධන යැ අධිට්ඨාන යැ පරික්ඛාර සමාරෝපන යැ යනු සොළොස් හාරයෝ යි.
3. අර්ත්ථ හෙයින් අසඞ්කීර්ණ වූ තෙල සොළොස් හාරයෝ ප්රකාශ කරන ලදහ. මේ සොළොස් හාරයන්ගේ මැ විස්තර හෙයින් නයවිභාගය වේ යයි.
එහි පඤ්චනය කවරේ යැ: තෘෂ්ණා අවිද්යා දෙකින් සංකිලේසපක්ෂයෙහි ද ශමථ විදර්ශනා දෙකින් වෝදානපක්ෂයෙහි ද සූත්රාර්ත්ථය සිව්සස් සමග යෙදීමෙන් වර්ණනා කරන ‘නන්දියාවට්ට’ නය යැ, අකුශලමූලයෙන් හා කුශලමූලයෙන් සංකිලේස වෝදාන පක්ෂයෙහි සූත්රාර්ත්ථ සිව්සස් සමග යොදන ‘තිපුක්ඛල’ නය යැ, විපර්ය්යාසයන්ගෙන් සංකිලේස පක්ෂයෙහි ද ඉන්ද්රියයන්ගෙන් වෝදාන පක්ෂයෙහි ද සූත්රාර්ත්ථ සිව්සස් සමග යොදන ‘සීහවීක්කීළිත’ නය යැ, අර්ත්ථනයත්රයට දිසාභූත ධර්මයන් විමසන ‘දිසාලෝචන’ නය යැ, දිසාභූත කුශලාකුශලයන්ගේ සමානයන ලක්ෂණ වූ ‘අඞ්කුස’ නය යැ යන මොහු යි.
ඒ නයොදේදසයාගේ මේ අනුගීති යැ:
4. සූත්රාර්ත්ථප්රකාශක වූ පළමුවැනි ‘නන්දියාවට්ට’ නය ද දෙවැනි ‘තිපුක්ඛල’ නය ද තුන් වැනි ‘සීහවීක්කීළිත’ නම් නය ද වෙති.