“ආනන්‍දය, යම් ආකාර - ලිංග - නිමිත්ත - උද්දේසයන්ගෙන් නාමකායයාගේ හා රූපකායයාගේ හා පැනවීම වේ ද, ඒ ආකාර - ලිංග - නිමිත්ත - උද්දේසයන් නැති කල්හි අධිවචනසංස්පර්‍ශය (මනෝද්වාරිකස්පර්‍ශය) හෝ ප්‍රතිඝ සංස්පර්‍ශය (පඤ්චද්වාරිකස්පර්‍ශය) හෝ පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, යම් ආකාර - ලිඞ්ග - නිමිත්ත - උද්දේසයන්ගෙන් නාමරූපයා ගේ පැණවීම වේද, ඒ ආකාර - ලිංග - නිමිත්ත - උද්දේසයන් නැති කල්හි ස්පර්‍ශයක් පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් මේ නාමරූප නම් වූ යමක් ඇද්ද, ස්පර්‍ශයට මෙය ම හේතු ය, මෙය ම නිදානය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍ය ය.”
21. “විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ යැ යි මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්‍දය, යම්සේ විඥානප්‍රත්‍යයයෙන් නාමරූපය වේ ද, එය මේ කරුණෙන් ද දත යුතු: ආනන්‍දය, විඥානය ද මව්කුසට නො බස්නේ නම් (මව්කුසැ ප්‍රතිසන්‍ධි වශයෙන් නො පහළ වන්නේ නම්) හුදු නාමරූපය (කලලාදිවශයෙන්මිශ්‍ර ව) මව්කුසැ පහළ වන්නේ ද?”’
“වහන්ස, මෙය නොවන්නේ ම ය.”
“ආනන්‍දය, විඥානය මවුකුසකට බැස (ප්‍රතිසන්‍ධිවශයෙන් පහළ වැ) පහ වන්නේ නම් (නිරුද්ධ වන්නේ නම්) නාමරූපය මෙබඳු (පරිපූර්‍ණ ස්කන්‍ධ) බව පිණිස වන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, ළදරු වූ ම කුමරක්හුගේ හෝ කුමරියකගේ හෝ විඥානය සිඳෙන්නේ නම්, නාමරූපය වැඩීමට නැඟීමට විපුලබවට පැමිණෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් විඥානය, යන මෙය ම නාමරූපයට හේතු වේ, මෙය ම නිදානය වේ, මෙය ම සමුදය වේ, මෙයම ප්‍රත්‍යය වේ.”
22. “නාමරූපප්‍රත්‍යයයෙන් විඥානය වේ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්‍දය, යම්සේ නාමරූපප්‍රත්‍යයයෙන් විඥානය වේ ද, මේ කරුණෙනුත් එය දත යුතු: ආනන්‍දය, විඥානය ද නාමරූපයෙහි පිහිට නො ලබන්නේ නම්, මතු ජාතිජරාමරණ දුක්රැසේ හටගැන්ම පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් මේ නාමරූප යැ යි යමෙක් ඇද්ද, විඥානයට මෙය ම හේතු ය, මෙය ම නිදාන ය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
“ආනන්‍දය, යම් නාමරූපයෙක් විඥානය හා උනුනට ප්‍රත්‍යයභාවයෙන් පවත්නේ ද, මෙතෙකින් ම උපදනේ යැ යි හෝ දිරන්නේ යැ යි හෝ මැරෙන්නේ යැ යි හෝ ච්‍යුත වන්නේ යැ යි හෝ ච්‍යුත ව උපදනේ යැ යි හෝ පැනෙන්නේ ය, මෙතෙකින් (සිරිවඩ්ඩකාදී) ආරූඩ නාම ව්‍යවහාරයට මාර්‍ග (විෂය) වේ. මෙතෙකින් නිරුක්තියට (අර්‍ත්‍ථානුගත වශයෙන් පැවැති ව්‍යවහාරයට) මාර්‍ග වේ. මෙතෙකින් ප්‍රඥප්තියට (පණ්ඩිතයා ය, ව්‍යක්තයා ය, යන ආදීන් ගුණ හඟවනු විසින් පැවැති ව්‍යවහාරයට) මාර්‍ගය වේ. මෙතෙකින් ප්‍රඥායෙන් දතයුතු ස්කන්‍ධ පඤ්චකය වේ. මෙතෙකින් (කර්‍ම ක්ලේශ විපාක යන) සසරවට වැටෙයි. මෙතෙකින් (වේදනාසංඥාදි) නාමප්‍රඥප්තිය පිණිස ඉත්‍ථම්භාවය හෙවත් පඤ්චස්කන්‍ධය වේ.”
23. “ආනන්‍දය, ආත්මය පනවන තැනැත්තේ කොතෙකින් එය පනවා ද යත්: ආනන්‍දය, රූපවත් වූ හෝ සූක්‍ෂම ආත්මයක් පනවන්නේ (නො වැඩූ පරිත්ත කසිණ රූපය සූක්‍ෂම ආත්ම යැ යි ගන්නේ) ‘මගේ ආත්මය රූපවත් ය, සූක්‍ෂම යැ’ යි පනවයි. ආනන්‍දය, රූපවත් වූ හෝ අනන්ත ආත්මයක් පනවන්නේ (වැඩූ කසිණ රූපය අනන්තාත්ම යැ යි ගන්නේ) ‘මගේ ආත්මය රූපවත් ය, අනන්ත යැ’ යි පනවයි. ආනන්‍දය, අරූපී වූ හෝ සූක්‍ෂම ආත්මයක් පනවන්නේ (නො වැඩු කසිණ නිමිත්ත ඉඟුළු අහස් හි පැවැති අරූපස්කන්‍ධ ආත්මය යි ගෙන) ‘මගේ ආත්මය අරූපී ය සූක්‍ෂම යැ’ යි පනවයි. ආනන්‍දය, අරූපී වූ හෝ අනන්ත ආත්මයක් පනවන්නේ (වැඩූ කසිණ නිමිත්ත ඉඟුළු අහස්හි පැවැති අරූපස්කන්‍ධය ආත්මය යි ගෙන) ‘මගේ ආත්මය අරූපී ය, අනන්ත යැ’ යි පනවයි.
24. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් රූපී වූ සූක්‍ෂම ආත්මයක් පනවන්නේ පනවා ද, හෙතෙම මේ අත්බව්හි පමණක් පවත්නා වූ (මරණින් සිඳී යන) හෝ සියුම් ආත්මයක් පනවයි. එහි (ශාස්වත විසින් පරලොවෙහිත්) වන්නාවූ හෝ සියුම් වූ ආත්මයක් පනවනුයේ පණවයි. ‘අතථ වූ(පරවාදියා කියන ශාස්වත නො වූ ම) ආත්මය තථත්‍වය පිණිස (එහි යථාස්භාවය ඔහුට පිළිගැනෙන පිණිස) සමර්‍ත්‍ථනය කරන්නෙමි’ යි මෙසේ හෝ ඔහුට සිතෙක් වෙයි. ආනන්‍දය, මෙසේ වූ ම රූපකසිණලාභියා කෙරෙහි සූක්‍ෂමාත්මානුදෘෂ්ටිය වැදහේ යැ යි (සන්තානානුගත වැ හෝනේ යැ යි) මෙසේ කියන්නට සුදුසු ය.”
25. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් රූපී වූ අනන්ත ආත්මයක් පනවනුයේ පනවා ද, හෙතෙම මේ අත්බව්හි පමණක් පවත්නා හෝ අනන්ත ආත්මයක් පනවනුයේ පනවයි. පරලොව්හිත් වන්නාවූ හෝ අනන්ත ආත්මයක් පනවනුයේ පනවයි. ‘අතථ වූ ම (පරවාදියා කියනා අවිද්‍යමාන වූ ම) ආත්මය තථත්‍වය පිණිස (ඇති සැටිය ඔහුට පිළිගැනෙනු පිණිස) සමර්‍ත්‍ථනය කරන්නෙමි’ යි මෙසේ හෝ සිතෙක් ඔහුට වෙයි. ආනන්‍දය, මෙසේ වූ ම රූපකසිණලාභියා කෙරෙහි අනන්තාත්මානුදෘෂ්ටිය වැදැ හෝනේ යැ යි (සන්තානානුගත ව පවත්නේ යැ යි) මෙසේ කියන්නට සුදුසු ය.”