9. “ආනන්‍දය, මෙසේ මේ වේදනාව නිසා තෘෂ්ණාව වේ. තෘෂ්ණාව නිසා පර්‍ය්‍යෙෂණය (අරමුණු සෙවීම) වේ. පර්‍ය්‍යෙෂණය නිසා ලාභය (අරමුණු ලැබීම) වේ. ලාභය නිසා විතර්‍කවිනිශ්චය (අරමුණෙහි ඉටු අනිටු බව විතර්‍කයෙන් නිශ්චය කොට ගැන් ම) වේ. විනිශ්චය නිසා ඡන්‍දරාගය (විතර්කිත වස්තුව කෙරෙහි ඇල්ම) වේ. ඡන්‍දරාගය නිසා අධ්‍යවසානය (මම ය, මගේ යැ යි බලවත් සනිටුහන) වේ. අධ්‍යවසානය නිසා පරිග්‍රහය (තෘෂ්ණා දෘෂ්ටි විසින් මගේ යැ යි අයත් කරැ ගැන්ම) වේ. පරිග්‍රහය නිසා මසුරුබව වේ. මසුරුබව නිසා රැක්ම වේ. රැක්ම කරණකොට ගෙන දඬුමුගුරු දැරුම්, අවි දැරුම්, විග්‍රහ (විරෝධ පෑම්) විවාද, තුවංතුව වාද (ඇනුම් බැණුම්), මුසාබිණුම්, නෙයෙක් ලාමක අකුසල්දහම්හු පහළ වෙත්.
10. “රකවළ කරන කරුණෙන් දඬුමුගුරු දැරුම් අවි දැරුම් කලහ විග්‍රහ විවාද තුවන්තුවංවාද කේලාම් මුසාබස්, නොයෙක් අකුසල් දහම්හු පහළ වෙති යි මෙය මෙසේ ම කියන ලද්දේ ය. ආනන්‍දය, රකවළ කරන කරුණින් දඬුමුගුරු දැරුම් අවිදැරුම් කලහ විග්‍රහ විවාද තුවන්තුවංවාද කේලාම් මුසාමිණුම්, නොයෙක් අකුසල් දහම්හු යම්සේ පහළ වෙත් ද, එය මේ කරුණෙන් ද දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගෙත් කිසි තැනෙක්හිත් හැම අයුරින් ම හැම ලෙසින් ම රකවළෙක් නො වී නම්, හැම අයුරින් රකවළක් නැති කල්හි, රකවළ නැති බැවින් දඬුමුගුරු දැරුම් අවිදැරුම් කලහ විග්‍රහ විවාද තුවන්තුවංවාද කේලාම් මුසාබිණුම්, නොයෙක් අකුසල් දහම්හු පහළ වන්නාහු ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් දඬුමුගුරු දැරුම් අවිදැරුම් කලහ විග්‍රහ විවාද තුවන්තුවංවාද කේලාම් මුසා බිණුම් යන මොවුන්ගේ, නොයෙක් අකුසල් දහමුන්ගේ හට ගැන්මට වස්තුව රැක ගැන්ම යන මෙය ම හේතු ය. මෙය ම නිදානය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
11. “මසුරුබව නිසා රැක ගැන්ම වේ යැ යි මෙසේ මෙය කියන ලද්දේ ම ය. ආනන්‍දය, මසුරුබව නිසා රැක ගැන්ම යම්සේ වේ ද, එය මේ කරුණිනුදු දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසි තැනෙක හැම අයුරින් හැම ලෙසින් මසුරු බවෙක් නො වී නම්, හැම අයුරින් ම මසුරු බව නැති කල්හි, මසුරු බව නැති වීමෙන් වස්තු රැක ගැන්මෙක් පැණෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් මසුරුබවය යන මෙය ම වස්තුව රැක ගැන්මට හේතු ය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
12. “පරිග්‍රහය (අයත් කොට ගැනීම) නිසා මසුරුබව වේ යැ යි මෙසේ මෙය කියන ලද්දේ ම ය. ආනන්‍දය, පරිග්‍රහය නිසා මසුරුබව යම්සේ වේ ද, එය මේ අයුරින් ද දත යුතු: ආනන්‍දය කිසිවක්හුගේ කිසි තැනෙකත් හැම අයුරින් හැම ලෙසින් ම පරිග්‍රහයෙක් නො වී නම්, හැම අයුරින් ම පරිග්‍රහයෙක් නැති කල්හි, පරිග්‍රහනිරෝධයෙන් මසුරුබවෙක් පැණෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් මසුරුබවට පරිග්‍රහය යන මෙය නිදානය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
13. “අධ්‍යවසානය (මම ය, මාගේ ය යි බලවත් සේ සනිටුහන් කිරීම) නිසා වස්තුපරිග්‍රහය වේ යැ යි මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්‍දය, අධ්‍යවසානය නිසා වස්තුපරිග්‍රහය යම්සේ වේ ද, එය මෙ කරුණෙන් ද දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසි ද තැනෙක අධ්‍යවසානයෙක් හැම අයුරින් හැම ලෙසින් නො වී නම්, හැම අයුරින් අධ්‍යවසානය නැති කල්හි, අධ්‍යවසානනිරෝධයෙන් වස්තුපරිග්‍රහයෙක් පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් අධ්‍යවසානය යන යමෙක් ඇද්ද, පරිග්‍රහහයට මෙය ම හේතු ය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
14. “ඡන්‍දරාගය නිසා අධ්‍යවසානය වේ යැ යි මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්‍දය, ඡන්‍දරාගය නිසා අධ්‍යවසානය යම්සේ වේ ද, එය මේ කරුණින් ද දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසිතැනෙක හැම අයුරින් හැම ලෙසින් ම ඡන්‍දරාගයෙක් නො වී නම්, හැම අයුරින් ඡන්‍දරාගය නැති කල්හි, ඡන්‍දරාගනිරෝධයෙන් අධ්‍යවසානයෙක් පැනේනේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් ඡන්‍දරාගය යන මෙය ම අධ්‍යවසානයට හේතු ය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
15. “විනිශ්චය ය නිසා ඡන්‍දරාගය වේ යැ යි මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්‍දය, යම්සේ විනිශ්චය නිසා ඡන්‍දරාගය වේ ද, එය මේ කාරණයෙනුදු දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසිතැනෙක හැම අයුරින් හැම ලෙසින් ම විනිශ්චයයෙක් නො වී නම්, හැම අයුරින් විනිශ්චයයක් නැති කල්හි, විනිශ්චයයාගේ අභාවයෙන් ඡන්‍දරාගයෙක් පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් විනිශ්චය යන යමෙක් වේ නම්, මෙය ම ඡන්‍දරාගයට හේතුය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍ය ය.”
16. “ලාභය නිසා විනිශ්චයය වේයැ යි මෙසේ ම මෙය කියන ලදී. ආනන්‍දය, ලාභය නිසා විනිශ්චය යම්සේ වේ ද, එය මේ කරුණිනුත් දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසි ද තැනෙක හැම අයුරින් හැම ලෙසින් ලාභයෙක් නො වී නම්, හැම අයුරින් ලාභයෙක් නැති කල්හි, ලාභයාගේ අභාවයෙන් විනිශ්චයයෙක් පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“එහෙයින් ආනන්‍දය, යම් ලාභයෙක් ඇත් නම්, මෙය ම විනිශ්චයට හේතුය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
17. “පර්‍ය්‍යෙෂණය නිසා ලාභය වේ යැ යි මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්‍දය, යම්සේ පර්‍ය්‍යෙෂණය නිසා ලාභය වේ ද, එය මේ කරුණිනුත් දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසි ද තැනෙක හැම අයුරින් හැම ලෙසින් ම පර්‍ය්‍යෙෂණයෙක් නොවී නම්, හැම අයුරින් ම පර්‍ය්‍යෙෂණයක් නැති කලැ, පර්‍ය්‍යෙෂණයාගේ අභාවයෙන් ලාභයෙක් පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් පර්‍ය්‍යෙෂණ නම් වූ යමෙක් ඇද්ද, ලාභයට මෙය ම හේතුය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍ය ය.”