33. මහණෙනි, මේ ධර්‍මතා යි: උපන් නොබෝ වේලෙහි ම දෙව්සේසත් දරුනු ලබත් ම බෝසත්තෙම සම පියෙන් පොළොවැ පිහිටා උතුරු දෙසට මුහුණ ලා සත් පියවරක් යෙති. හැම දිගුන් අනුව බලති. “මම් ලොවට අග්‍ර වෙමි. මම් ලොවට දෙටු වෙමි. මම් ලොවට සෙට වෙමි. මේ අන්තිම ඉපැත්ම ය. දැන් මට මතු භවයෙක් නැතැ” යි උතුම් බස් පවසත්. මේ මෙහි ධර්‍මතා යි.
34. මහණෙනි, මේ ධර්‍මතා යි: යම් විටෙක බෝසත්හු මව කුසින් නික්මෙත් ද, එකල්හි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවෙහි, මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්මුළුයෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්මැ ම පමණ කට නොහැකි මහත් එළියෙක් පහළ වෙයි. (රුක් ඈ කිසිවෙක) ගැටුම් නැති, කිසිවෙකින් නොවැසුණු, අඳුරු වූ, ගනඳුරු ඇති, මේ සා මහත් ඉදුහ ඇති මහත් තෙද ඇති මේ සඳහිරුන් සිය එළියෙන් බබුලුවනු නොහැකි යම් ලෝඇඳිරි නිරයෝ වෙත් ද, එහි දු දෙවියන්ගේ දේවානුභාවය ඉක්මැ ම අපමණ වූ මහත් එළියෙක් පහළ වෙයි. එහි යම් සත් කෙනෙක් උපන්නාහු නම් ඔහු ද ඒ එළියෙන් භවත්නි, මෙහි උපන් අන් සත්හු ද ඇතැ’ යි උනුන් හැඳින ගනිත්. මේ දසදහසක් ලෝදා ද සැලෙයි, වෙසෙසින් සැලෙයි, වෙවුලයි. දේවානුභාවය ඉක්මැ ම අපමණ වූ ම මහත් එළියෙක් ලොවැ පහළ වෙයි. මේ මෙහි ධර්‍මතා යි.
35. මහණෙනි, විපස්සී කුමරුන් උපන් කල්හි ‘දේවයිනි, ඔබට පුතෙක් උපන. දේවයන් වහන්සේ ඔහු දකින සේක්වා’ යි බන්‍ධුමත් රජුට දැන්වූහ. මහණෙනි, බන්‍ධුමත් රජ විපස්සී කුමරුන් දුටුයේ ම ය, දැක නිමිත්තපාඨක බමුණන් කැඳවා
“භවත් නෛමිත්තිකබ්‍රාහ්මණයෝ කුමාරයා දකිත්ව” යි මෙ බස් පැවැසී ය: නෛමිත්තික බ්‍රාහ්මණයෝ විපස්සී කුමරහු දුටුවාහු ම ය. දැක බන්‍ධුමත් රජුට ‘දේවයිනි, සතුටු වන්න, ඔබට මහත් යශස් ඇති පුතෙක් උපන. මහරජුනි, යම්බඳු ඔබගේ කුලයෙහි මෙබඳු පුතෙක් උපන්නේ ද, ඒ ඔබට ලාභ ය. මහරජුනි, ඒ ඔබ විසින් ලබන ලද මනා ලාභයෙකි.’
36. “දේවයිනි, යමෙකින් සමන්‍විත මහපුරිස්හට නිෂ්ඨා (නිෂ්පත්ති) දෙකෙක් ම වේ ද, අන් නිෂ්ඨාවෙක් නැද්ද, මේ කුමර එසේ වූ දෙතිස් මහපුරිස්ලකුණින් සමන්‍විත ය. ඉදින් මේ තෙම ගිහිගෙහි වෙසේ නම්, සිවුසමුදුර හිම් කොටැති පොළොවට අධිපති, දිනූ යුද ඇති, දනව්හි තහවුරුබවට පැමිණි, සත්රුවනින් සමන්‍විත, දැහැමි වූ ධර්‍මරාජ වූ සක්විත්තෙක් වෙයි.
චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මණිරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය, සත්වනු පරිණායකරත්නය යන මේ සත්රුවන් කෙනෙක් ඔහුට වෙත්. ඔහුට ශූර වූ වීර්‍ය්‍යප්‍රකෘතික (වීර්‍ය්‍යමය) වූ සතුරු සෙන් මැඩලනුයෙහි සමත් වූ දහසකට වැඩි පුත්තු වෙත්. හේ සයුර හිම් කොටැති මේ පොළෙව දංඩෙන් තොර වැ සැතින් තොර වැ දැහැමින් දිනා එහි අධිපති ව වෙසෙයි. ඉදින් ගිහිගෙන් නික්මැ පැවිදි වදී නම් ලොවැ බැහැර කරන ලද කෙලෙස් සෙවෙනි ඇති රහත් සම්මාසම්බුදුවරයෙක් වෙයි.
37. යමෙකින් සමන්‍විත මහ පුරිස්හට නිෂ්ඨා දෙකෙක් ම වේ ද, අන් නිෂ්ඨාවෙක් නැද්ද - ඉදින් ගිහි ගෙහි වෙසේ නම්, සිවුසමුදුර හිම් කොටැති පොළොවට අධිපති, දිනූ යුද ඇති, දනවුහි තහවුරුබවට පැමිණි, සත්රුවනින් සමන්‍විත, දැහැමි වූ දහම්රජ වූ සක්විත්තෙක් වේ ද, යමකුහට චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මණිරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය, සත්වනු පරිණායකරත්නය යන මේ සත් රුවන් කෙනෙක් වෙත් ද, යමකුට අභීත වූ වීර්‍ය්‍යප්‍රකෘතික වූ සතුරු සෙන් මැඩ ලනුයෙහි සමත් වූ දහසකට වැඩි පුත්තු වෙත් ද, යමෙකින් සමන්‍විතයෙක් සයුර හිම් කොටැති මේ පෙළොව දංඩෙන් සැතින් තොර වැ දැහැමින් දිනා එහි අධිපති වැ වෙසේ ද, ඉදින් ගිහි ගෙන් නික්මැ පැවිදි වදී නම් ලොවැ බැහැරැ කළ කෙලෙස් සෙවෙනි ඇති රහත් සම්මාසම්බුදුවරයෙක් වේ ද, ඒ කවර දෙතිස් මහපුරිස්ලකුණින් මෙ කුමර සමන්‍විත වේ ද යත්:
දේවයිනි, මෙ කුමර සුපිහිටි පා (එක පැහැර බිම පහස්නා පතුල්) ඇත්තේ ය. දේවයිනි, මෙකුමර සුපිහිටි පා ඇත්තේ ය යන යමෙක් ඇද්ද, මෙ ද මේ මහපුරිස්හුගේ මහපුරිස් ලකුණෙක් වෙයි.
දේවයිනි, මේ කුමරුහුගේ යැටි පතුල්හි දහසක් අර ඇති, නිම්වළලු සහිත, නැබ සහිත, හැම සැටියෙන් පිරිපුන් චක්‍රයෝ හටගත්තාහු වෙත්. දේවයිනි, මෙ කුමරුගේ යැටි පතුල්හි දහසක් අර ඇති, නිම්වළලු සහිත, නැබ සහිත, හැම අයුරින් පිරිපුන් චත්‍රයෝ හටගත්තාහු වෙත් ද, මේත් මේ මහපුරිස්හුගේ මහපුරිස් ලකුණෙක් වේ.
දේවයිනි, මෙ කුමර (පිරිපුන්) දික් විළුම් ඇත්තේ ය. දේවයිනි, මේ කුමර දික් විළුම් ඇතියේ වේද, මේද මේ මහපුරිස්හුගේ මහපුරිස් ලකුණෙක් වෙයි.
දේවයිනි, මෙ කුමර (මුලින් දළ අගින් සිහින්) දික් ඇඟිලි ඇත්තේ ය.
දේවයිනි, මෙ කුමර මොළොක් තුරුණු අත්පා ඇතියේ ය ...
දේවයිනි, මෙ කුමර (අත සතර ඇඟිලි පය පස් ඇඟිලි ඒකප්‍රමාණ වැ ඇති බැවින් ජාල කවුළුවක්) බඳු අත් පා ඇත්තේ ය ...
දේවයිනි, මෙ කුමර උස් (නැඟී පිහිටි) බොලට ඇත්තේ ය ...
දේවයිනි, මේ කුමර ඒණිමුවන්ගේ බඳු කෙංඩා ඇත්තේ ය ...