වාසෙට්ඨය, මෙහි වනාහි තෙවිදු බමුණෝ (මඟැ යි වරදවාගෙන) නොමඟට පැමිණ (මඩෙහි සේ) එහි ගැලෙත්. ගැලී නො නොඉවැසියැ හැකි දුකට හෝ පැමිණෙත්. වියැළි නදියෙක අත් පා ගසමින් පිහිනනවුන් සේ වෙහෙසෙත්. එහෙයින් තෙවිදු බමුණන්ගේ මේ ත්රිවිද්යාව මහ අරණෙකැ යි ද කියනු ලැබේ. මේ ත්රිවිද්යාව මහ වනයෙකැ යි ද කියනු ලැබේ. මේ ත්රිවිද්යාව විපතෙකැ යි ද කියනු ලැබේ.
38. මෙසේ වදාළ කල්හි, වාසෙට්ඨ මාණව තෙම “භවද් ගෞතමයිනි, ශ්රමණ ගෞතමයන් වහන්සේ බ්රහ්මයා හා ඒකීභාවයට මඟ දන්නා සේකැ යි මෙය මා විසින් අසන ලදැ” යි කී ය.
[භාග්යවත්හු:] “වාසෙට්ඨය, ඒ කිමැයි සිතහි ද, මනසාකටය මෙයට සමීප තන්හි වේ ද? මනසාකටය මෙයින් නොදුරැ ම වේ ද?
[වාසෙට්ඨ:] “එසේ ය, භවද් ගෞතමයිනි, මනසාකටය මෙයට සමීප තන්හි ය. මනසාකටය මෙයින් දුරැ නො වේ.”
39. වාසෙට්ඨය, එය කිමැයි සිතහි ද, මෙහි මනසාකටයෙහි උපන් මනසාකටයෙහි වැඩුණු පුරුෂයෙක් වේ නම්, එ කෙණෙහි ම එයින් නික්මුණු ඔහු අතින් මනසාකටයට මඟ විචාරන්නාහු නම්, වාසෙට්ඨය, මනසාකටයෙහි උපන්, එහි ම වැඩුණු, මනසාකටයට මඟ විචාරනු ලැබූ ඔහුගේ (සැකයෙන් සිතසිතා) කල් යවන බවෙක් හෝ (උත්තර දිය නොහැකි බැවින් වන) කයැ තද බවෙක් හෝ වන්නේ ද?
[වාසෙට්ඨ:] “මෙය නො වේ ම ය, භවද් ගෞතමයිනි. ඒ කවර හෙයින? භවද් ගෞතමයිනි, ඒ පුරිස් තෙම මනසාකටයෙහි උපන්නේ ද වැඩුණේ ද වේ. ඔහුට මනසාකටයෙහි සියලු මාර්ගයෝ ඉතා ප්රකටයහ. එහෙයිනි.”
40. [භාග්යවත්හු:] “වාසෙට්ඨය, මනසාකටයෙහි උපන්නා වූ ද, වැඩුණා වූ ද, එසේ මඟ විචාරන ලද එ පුරිස්හට උත්තර දීමට කල් යවන බවක් හෝ උත්තර දිය නොහැකි ව කයැ තද බවක් හෝ වතත්, බඹලොවෙහි (බඹලොව ඇරැබැ) හෝ බඹලොවට යන මගෙහි (මඟ ඇරැබැ) හෝ ප්රශ්න කරනු ලැබූ තථාගතයන්ගේ උත්තර දීමට කල් යවන බවෙක් හෝ (ප්රශ්නයෙන්) කයැ තද බවෙක් හෝ නො වේ ම ය. වාසෙට්ඨය, මම බඹහු ද බඹ ලොව ද බඹලෝ යන පිළිවෙත ද දනිමි. යම්සේ පිළිපන්නේ බඹලොවට උප්පත්ති වශයෙන් පැමිණියේ නම් ඔහු ද දනිමි.”
41. මෙසේ වදාළ කලැ වාසෙට්ඨ මාණව තෙම “ඟවද් ගෞතමයිනි, ශ්රමණගෞතමයන් වහන්සේ බ්රහ්මයා හා ඒකීභාවයට මඟ දෙසන සේකැ යි මෙය මා විසින් අසන ලද ය. යාච්ඤා කරමි. භවද් ගෞතමයන් වහන්සේ අපට බ්රහ්මසහභාවය පිණිස මඟ දෙසන සේක් වා. භවද් ගෞතමයන් වහන්සේ බමුණුදරු වූ මා අවාමඟින් ඔසොවා බඹලෝමඟැ පිහිටුවන සේක් වා.”
[භාග්යවත්හු:] “වාසෙට්ඨය, එසේ වී නම් අසව. මොනොවට මෙනෙහි කරච. කියන්නෙමි.”
‘භවත්නි, එසේ යැ’ යි වාසෙට්ඨ මාණව තෙම භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
42. වාසෙට්ඨය, මෙහි අර්හත් වූ සම්යක්සම්බුද්ධ වූ විද්යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිත් වූ නිරුත්තර පුරුෂදම්යසාරථි වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගත තෙමේ ලොවැ පහළ වෙයි. හේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද, මහණබමුණන් සහිත සම්මත දෙවියන් (රජුන්) හා සෙසු මිනිසුන් හා සහිත සත්ත්වප්රජාව ද තෙමේ විශිෂ්ට නුවණින් දැන, ප්රත්යක්ෂ කොට, (ඔවුනට) අවබෝධ කරවයි. හේ දහම් දෙසනුයේ ආදියෙහි භද්රක (නිවරද) කොට, මධ්යයෙහි භද්රක කොට, අවසනැ භද්රක කොට, අර්ත්ථ සහිත කොට, ව්යඤ්ජන සහිත කොට, සර්වප්රකාරයෙන් පරිපූර්ණ කොට, පරිශුද්ධ කොට දහම් දෙසයි. (එසේ දෙසනුයේ ශික්ෂාත්රයයෙන් සංගෘහිත වූ) ශාසනබ්රහ්මචර්ය්යය ප්රකෘශ කෙරෙයි.