දුකවාරවණ්ණනා
දුකයන්හි සචිත්තකාපත්ති තොමෝ සංඥාවිමොක්ෂා නම. අචිත්තකාපත්ති තොමෝ නොසංඥාවිමොක්ෂ නම. ලද සමවත් ඇතියහුගේ ආපත්තිය නම් භූතාරොචනාපත්ති නම. නොලද සමවත් ඇතියහුගේ ආපත්තිය නම් අභූතාරොචනාපත්ති නම. පදසොධර්මාදිය සද්ධර්ම ප්රතිසංයුක්තාපත්ති නම. දුට්ඨුල්ලවාචාපත්ති තොමෝ අසද්ධර්ම ප්රතිසංයුක්තාපත්ති නම. නිස්සග්ගිය වස්තූන් නොනිසදා පරිභොගයෙහි, පාසිවුරු ආදිය බොහෝ වේලා අවුකැවීමෙහි, කිලිටිසිවුරු නොසේදීමෙහි, මලහටගත් පාත්රය නොපෑසීමෙහි, පිළිස්සීමෙහියි මෙසේ අයුතු පරිභොගයෙහි ආපත්තිය සපරිෂකාරප්රතිසංයුක්තා නම. සඟසතු ඇඳපුටු ආදිය එලිමහනෙහි ඇතිරීම් නොවිචාරා යෑම් ආදියෙහි පැමිණිය යුතු ආපත්තිය පරපරිෂ්කාර ප්රතිසංයුක්තා නම. ‘මොළොක් පිටු ඇති එල්බෙන අඞ්ගජාතය ඇතියහුගේ අඞ්ගජාතය කලවයෙන් පෙළන්නහුගේ යනාදිනයින් කියූ ආපත්තිය සපුද්ගල ප්රතිසංයුක්තා නම. මෛථුනධර්ම - කායසංසර්ග - ප්රහාරදානාදියෙහි වදාළ ආපත්තිය පරපුද්ගල ප්රතිසංයුක්තා නම. “සිඛරිණීසි” සත්යය කියන්නේ ගරුකාපත්තියට පැමිණේ. “සම්පජානමුසාවාදෙ පාචිත්තියං”යි බොරු කියන්නේ ලහුකාපත්තියට පැමිණේ. අභූතාරොචනයෙහි බොරු කියන්නේ ගරුකාපත්තියට පැමිණේ. භූතාරොචනයෙහි සත්යය කියන්නේ ලහුකාපත්තියට පැමිණේ. භූතාරොචනයෙහි සත්යය කියන්නේ ලහුකාපත්තියට පැමිණේ.
‘සඞ්ඝ කර්මය වග්ර කරන්නෙමි’යි සීමාව තුළ එකත් පසෙක හිඳිනේ භූමිගතව පැමිණේ නම. ඉදින් වනාහි ඇඟිල්ල පමණකුදු අහසෙහි සිටීනම් ඇවතට නොපැමිණෙන්නේය. “නො චෙ වෙහාසගතො”යි එහෙයින් වදාරණ ලදී. අහස් කිළියෙහි ඇඳවත විද පා සවිකර ඇණ නොගැසූ ඇඳක හෝ පුටුවක හෝ හිඳිනේ අහස්ගතව ඇවතට පැමිණේ නම. ඉදින් ඒ අසුන බිම පණවා හොවින්නේ නම් නොපැමිණෙන්නේය. “නො භූමිගතො”යි එහෙයින් වදාරණ ලදී. ගමිය තෙමේ ගමියවත නොපුරා යන්නේ නික්මෙන්නේ පැමිණෙන්නේ නම. පිවිසෙනුයේ නොපැමිණේ. ආගන්තුක තෙමේ ආගන්තුක වත නොපුරා සත් පාවහන් සහිතව පිවිසෙන්නේ, පිවිසෙන්නේ පැමිණේ නම. නොනික්මෙන්නේ ගන්නේ පැමිණේ නම.
මෙහෙණක් තොමෝ ඉතා ගැඹුරු වූ උදකශුද්ධිකය ගන්නී ගනිමින් පැමිණෙන්නී නම. දුර්වණීකරණය නොදී චීවරපරිභොගය කරණුයේ නොගනිමින් පැමිණේ නම. මූග්රව්රතාදී තීර්ථකව්රතයන් සමාදන් වන්නේ සමාදන් වෙමින් පැමිණේ නම. පාරිවාසිකාදීහු තර්ජනීයාදි කර්ම කරණලද්දාහු හෝ තමන්ගේ ව්රතය සමාදන් නොවන්නාහු පැමිණෙත් නම. ඔවුන් සඳහා “අත්ථාපත්ති න සමාදියන්තො ආපජ්ජති”යි වදාරණ ලදී. නොනෑ මෙහෙණකගේ සිවුර මසන්නේ, වෙදකම්, ගිහින්ගේ බඩු තැන්පත් කොට තැබීම්, ස්ත්රී පුරුෂාදි ප්රතිභාන චිත්රකර්ම හෝ කරන්නේ කරමින් පැමිණේ නම. උපාද්ධ්යායවත් ආදිය නොකරන්නේ නොකරමින් පැමිණේ නම. නොනෑ මෙහෙණකට සිවුරක් දෙන්නේ දෙමින් පැමිණේ නම. සද්ධිවිහාරික- අන්තෙවාසිකයන්ට සිවුරු ආදිය නොදෙන්නේ නොදෙමින් පැමිණේ නම. නොනෑ මෙහෙණකගෙන් සිවුරක් ගන්නේ පිළිගනිමින් පැමිණේ නම. “න භික්ඛවෙ ඔවාදෙන ගහෙතබ්බො”යි වදාළ බැවින් අවවාද නොගන්නේ නොපිළිගණිමින් පැමිණේ නම.
නිස්සග්ගිය වස්තුව නොනිසදා පරිභොග කරන්නේ පරිභොගයෙන් පැමිණේ නම. පස්දවසක් සඞ්ගාටිචාරය ඉක්මවන්නේ පරිභොග නොකිරීමෙන් පැමිණේ නම. සහගාරසෙය්යාවට රාත්රියෙහි පැමිණේ නම. දහවල නොපැමිණේ නම. දොර නොවසා සැතපෙන්නේ දහවල පැමිණේ නම. රාත්රියෙහි නොපැමිණේ නම. එක් රැයක් සරැයක් සත් දවසක් දසදවසක් මාසයක් ඉක්මීමෙහි කියනලද ඇවැතට පැමිණෙන්නේ අරුණකෙළවර පැමිණේ නම. පවරා බුදින්නේ අරුණ කෙළවර පැමිණේ නම.
භූතගාමයද අඞ්ගජාතයද සිඳින්නේ සිඳිමින් පැමිණේ නම. කෙසේ හෝ නිය හෝ නොසිඳින්නේ නොසිඳිමින් පැමිණේ නම. ඇවැත වසන්නේ වසමින් පැමිණේ නම. “තිණෙන වා පණ්ණෙනවා පටිච්ඡාදෙත්වා ආගන්තබ්බං, නත්වෙවනග්ගෙන ආගන්තබ්බං යො ආගච්ඡෙය්ය ආපත්ති දුක්කටස්ස” යන මේ ඇවැත නොවසන්නේ නොවසමින් පැමිණේ නම. කුසවැහැරිමුවා සිවුරු ආදිය දරන්නේ දරමින් පැමිණේ නම. “අයන්තෙ භික්ඛු පරිත්තා, යාව භෙදනාය ධාරෙතබ්බො” යන මේ ඇවැත නොදරන්නේ නොදරමින් පැමිණේ නම.