එකකවාරවණ්ණනා
“ආපත්තිකරා ධම්මා ජානිතබ්බා” යනාදීවූ එකුත්තරිකනයෙහි ආපත්තිකර ධර්මයෝ නම් ෂඩ් ආපත්තිසමුට්ඨානයෝය. යම්හෙයකින් මේ ෂඩ් ආපත්ති සමුට්ඨානයන්ගේ වසයෙන් පුද්ගලතෙමේ ඇවැතට පැමිණේද, එහෙයින් ආපත්තිකරැයි කියනලදහ. අනාපත්තිකරධර්මයෝ නම් සප්තශමථයෝය. “ආපත්ති ජානිතබ්බා” ඒ ශික්ෂාපදයෙහිද විභඞ්ගයෙහිද වදාරණ ලද ඇවැත් දැනගතයුතුය. “අනාපත්ති” “අනාපත්තිභික්ඛු අසාදියන්තස්ස” යනාදි නයින් අනාපත්ති දැනගතයුතුය. “ලහුකා” ලහුකවිනය කර්මයෙන් පිරිසිදුවන බැවින් පඤ්චවිධ ආපත්තීහු ලහුකයහ. “ගරුකා” ගරුකවිනය කර්මයෙන් පිරිසිදුවන බැවින් සඞ්ඝාදිසෙසාපත්තිය ගරුක නම. කිසි අයුරකින් නිරාපත්තිභාවයට පමුණුවන්නට නොහැකි බැවින් පාරාජිකාපත්තියද ගරුකනම. “සාවසෙසා” පාරාජිකාපත්තිය හැර සෙසු ආපත්තීහුය. “අනවසෙසා” පාරාජිකාපත්තියය. පාරාජික-සඞ්ඝාදිසෙස ආපත්තිස්කන්ධ දෙක දුට්ඨුල්ල නම. සෙසු පඤ්චාපත්තිස්කන්ධය අදුට්ඨුල්ල නම. සප්පටිකම්මදුකය, සාවසෙසදුකය සමානය. දෙසනාගාමිදුකය ලහුකදුකයෙහි සඞ්ග්රහකරණ ලද්දේය.
“අන්තරායිකා” සප්තාපත්තීහුම දැන සිතා ඉක්මවූවාහු ස්වර්ගාන්තරයද මොක්ෂාන්තරයද කරති’යි අන්තරායික නම්වෙත්. නොදන්නහු විසින් ඉක්මවූ ප්රඥප්තිවද්ය ආපත්ති තොමෝ ස්වර්ගාන්තරාය නොකරන්නීමය. මොක්ෂාන්තරාය නොකරන්නීය’යි අනන්තරායිකා නම. අන්තරායික ආපත්තියට පැමිණි දෙසනාගාමිනී ඇවැත දෙසා වුට්ඨානගාමිනී ඇවැතින් නැගිට ශුද්ධියට පැමිණියහුටද, සාමණේර භූමියෙහි සිටියහුටද ස්වර්ගමොක්ෂමාර්ගය නොවළකන ලද්දේය. “සාවජ්ජපඤ්ඤත්ති” ලොකවද්යප්රඥප්තිය. “අනවජ්ජපඤ්ඤත්ති” ප්රඥප්තිවද්යය. කිරියතො සමුට්ඨිතා නම්, කරන්නේ යම් ඇවැතකට පැමිණේ නම් ඕ තොමෝය. පාරාජිකාපත්තිය මෙනි. “අකිරියතො” නොකරන්නේ යම් ඇවතකට පැමිණේ නම් ඕ තොමෝය. සිවුරු නොඉටීමෙන් වන ඇවැත මෙහි “කිරියාකිරියතො” කරන්නේද නොකරන්නේද යම් ඇවැතකට පැමිණේ නම් ඕතොමෝය. කුටිකාරාපත්තිය මෙනි.
පුබ්බාපත්ති පළමු පැමිණි ඇවැතය. “අපරාපත්ති” පරිවාසිකාදීන් විසින් පසුව පැමිණි ඇවැතය. ‘මූලාය ප්රතිකර්ක්ෂණ විශුද්ධියෙහි අතර පැමිණි ඇවැත පුබ්බාපත්තීනං අන්තරාපත්ති නම. අග්ගසමොධාන විශුද්ධියෙහි අතර පැමිණි ඇවැත අන්තරාපත්තීනං අන්තරාපත්ති නම. කුරුන්දියෙහි වනාහි ‘පළමු පැමිණි ඇවැත පුබ්බාපත්ති නමැයිද, මානතට සුදුසු කාලයෙහි පැමිණි ඇවත අපරාපත්තීනං අන්තරාපත්ති නමැ’යිද කියන ලදී. මෙය එක් අයුරකින් යෙදේ.
යම් ඇවතක් නැවැත නොපැමිණෙන්නෙමියි ධුරනික්ෂෙපකොට දෙසන ලද්දීවේද, ඕතොමෝ දෙසිතා ගණනූපගා නම. යම් ඇවැතක් ධුරනික්ෂෙප නොකොට අපිරිසිදුවූ නැවැතද පැමිණෙන්නෙමි’යි උත්සාහසහිත සිතින්ම දෙසන ලද්දීවේද, ඕතොමෝ අගණනූපගා නම. මේ ඇවැත වනාහි දෙසන ලද්දී ද දෙසූ ගණනට නොපැමිණෙන්නීය. අටවැනි වස්තුවෙහි මෙහෙණට පරිජිම වේ. “පඤ්ඤත්ති ජානිතබ්බා” යනාදී වූ නව පදයන්හි ප්රථම පාරාජික පෘච්ඡාවෙහි කියූනයින්ම විනිශ්චය දතයුතුය.
ථුල්ලවජ්ජා මහා දොෂයෙහි පණවනලද ගරුකාපත්තිය. “අථුල්ලවජ්ජා” ලහුකාපත්තිය. “ගිහිපටිසංයුත්තා” සුධම්ම තෙරහුගේ ආපත්තිය. දැහැමිවූ වැඩිහිටියන් කෙරෙහි යටත් පැවැතුම් ඇතියහුගේ අසත්යාපනයෙහි යම් ආපත්තියක් වේද, ඕතොමෝය. සෙසු ආපත්තීහු ගිහිප්රතිසංයුක්ත නොවෙති. පඤ්චානන්තර්ය්ය කර්මාපත්තීහු නියතයහ. සෙසු ආපත්තීහු අනියතයහ. “ආදිකරො” සුදින්නස්ථවිර ආදිකොට සිටි ආදිකර්මක තෙමේ. “අනාදිකරො” මක්කටී සමණාදීවූ අනුප්රඥප්තිකාරක තෙමේ. යමෙක් තෙමේ කිසිකලෙක්හි ඇවැතට පැමිණේද, හෙතෙමේ අධිච්චාපත්තික නම. යමෙක් තෙමේ නිතර ඇවතට පැමිණේද, හෙතෙමේ අභිණ්හාපත්තික නම.