අත්ථවසවග්ගාදිවණ්ණනා
දැන් ඒ කර්‍මයන්ට වස්තු වූ යම් ඒ ශික්‍ෂාපදයෝ වෙත්ද, ඔවුන්ගේ ප්‍රඥප්තියෙහි අනුසස් දක්වන්නට “ද්වෙ අත්‍ථවසෙ පටිච්ච” යනාදිය පටන්ගන්නා ලදය. එහි “දිට්ඨධම්මිකානං වෙරානං සංවරාය” පාණාති පාතාදීවූ පඤ්චවිධ දෘෂ්ට ධාර්මික පාපයන්ගේ සංවරය පිණිස වැසීම පිණිස. “සම්පරායිකානං වෙරානං පටිඝාතාය” වෛරොත්පත්ති විපාක දුඃඛසඞ්ඛ්‍යාත සාම්පරායික වෛරයන්ගේ ඝාතනය පිණිස, සිඳීම පිණිස, අනුත්පාදය පිණිස, “දිට්ඨධම්මිකානං වජ්ජානං සංවරාය” ඒ පස්වැදෑරුම් වූ වෛරයන්ගේ සංවරය පිණිස “සම්පරායිකානං වජ්ජානං” ඒ විපාකදුඃඛයන්ගේම විපාකදුඃඛයෝම මෙහි වර්‍ජනය කළයුතු බැවින් වජ්ජයි කියනලදහ. “දිට්ඨධම්මිකානං භයානං” ගර්‍හා-උපවාද තර්‍ජනීයාදිකර්‍ම උපොසථ පවාරණයන්ගේ තැබීම, අකිත්තිපකාසනීය කර්‍මද යන මොවුහු දෘෂ්ටධාර්මික භය නම. මොවුන්ගේ සංවරය පිණිස. සාම්පරායිකභය වනාහි විපාකදුඃඛයෝය. ඔවුන්ගේ නැසීම පිණිස. “දිට්ඨධම්මිකානං අකුසලානං” පඤ්චවෛරදශ අකුශල කර්‍මපථ ප්‍රභෙදවූ අකුශලයන්ගේ සංවරය පිණිස. විපාකදුඃඛයෝම අක්‍ෂෙමාර්‍ත්‍ථයෙන් පරෙලොවදී වින්දයුතු අකුශලයෝයි කියනු ලැබෙත්. ඔවුන්ගේ නැසීම පිණිස. “ගිහීනං අනුකම්පාය” ගිහින්ගේ ශ්‍රද්ධාව රැකීම් වසයෙන් අනුකම්පනය පිණිස. “පාපිච්ඡානං පක්‍ඛුපච්ඡෙදාය” ලාමක අදහස් ඇති පුද්ගලයන්ගේ ගණබන්‍ධනය බිඳීම පිණිස. ගණභොජන ශික්‍ෂාපදයෙහි පණවන ලද්දේය. හැමතන්හි සෙස්ස ප්‍රකටමය. මෙහි යමක් කියයුතු වන්නේද, ඒ සියල්ල ප්‍රථම පාරාජික වර්‍ණනාවෙහිම කියනලද්දේය.
ශික්‍ෂාපදයන්හි අර්‍ත්‍ථ වශයෙන් වර්‍ණනාව නිමි.
ප්‍රාතිමොක්‍ෂාදීන් අතුරෙහි “පාතිමොක්‍ඛුද්දෙසො” ප්‍රාතිමොක්‍ෂොද්දෙශය භික්‍ෂූන්ට පස්වැදෑරුම්ය. භික්‍ෂුණීන්ට සිවුවැදෑරුම්ය. පරිවාසදානාදීන් අතුරෙහි “ඔසාරණීයං පඤ්ඤත්තං” අටළොස් වැදෑරුම් වූ හෝ තෙසාළිස් වැදෑරුම් වූ හෝ වත්හි පවත්නාවූ මහණහුට ඔසාරණීය කර්‍මය පණවන ලද්දේය. යම් කර්‍මයකින් කැඳවනු ලැබේ, ඒ කර්‍මය පණවන ලදය, යන අර්‍ත්‍ථයි. “නිස්සාරණීයං පඤ්ඤත්තං” භණ්ඩන කාරකාදීහු යම් කර්‍මයකින් බැහැර කරණු ලැබෙත්ද, ඒ කර්‍මය පණවන ලදය, යන අර්‍ත්‍ථයි.
“අපඤ්ඤත්තෙ” යනාදි තන්හි “අපඤ්ඤතෙන පඤ්ඤත්තං” යනු සප්තාපත්ති ස්කන්‍ධයෝ කකුසඳ සම්මාසම්බුදුහු කොනාගමන සම්මා සම්බුදුහු කසුප් සම්මාසම්බුදුහු හැර මේ කල්පයෙහි මුලපටන් අප භාග්‍යවතුන් වහන්සේගේ සම්‍යක්සම්බොධි තෙක් අතර කාලයෙහි කිසිවකු විසින් ශික්‍ෂාපද නොපණවනලද කල්හි පණවන ලද්දේ නම. මක්කටීවත්‍ථු ආදී විනීතකථාවෝ ශික්‍ෂාපද පණවනලද කල්හි අනුප්‍රඥප්ති ශික්‍ෂාපදය හැමතන්හි. සෙස්ස ප්‍රකටමය.
ආනිසංස වර්‍ණනාව නිමි.
දැන් සියලු ශික්‍ෂාපදයන්ගේ එක් එක් අයුරෙන් නවාකාරයකින් සඞ්ග්‍රහය දක්වන්නට “නව සඞ්ගහා” යනාදිය කීහ. එහි “වත්‍ථුසඞ්ගාහො” යනු වස්තුව හා සඞ්ග්‍රහය. සෙසුතැන්හිද පදාර්‍ත්‍ථය මෙසේ දතයුතුය. මේ වනාහි මෙහි අර්‍ත්‍ථයෝජනාය. යම් හෙයකින් එක් ශික්‍ෂාපදයකුදු අවස්තුවෙහි පණවන ලද්දේ නැත්තේද, එහෙයින් සියලු ශික්‍ෂාපදයෝ වස්තුව හා සඞ්ග්‍රහ කරණලදහ’යි මෙසේ වනාහි වස්තුසඞ්ග්‍රහය දතයුතුය.
යම්හෙයකින් වනාහි පාරාජික-සඞ්ඝාදිසෙස යන ආපත්තිස්කන්‍ධදෙක සීලවිපත්ති යන වචනයෙන් සඞ්ග්‍රහ කරණලදද, සෙසු පඤ්චාපත්ති ස්කන්‍ධය ආචාරවිපත්ති යන වචනයෙන් සඞ්ග්‍රහ කරණ ලදද, ෂඩ් ශික්‍ෂාපද කෙනෙක් ආජීවවිපත්තියා යන වචනයෙන් සඞ්ග්‍රහ කරණලදද, එහෙයින් සියලුම ශික්‍ෂාපදයෝ විපත්තියා යන වචනයෙන් සඞ්ග්‍රහ කරණලදහ’යි මෙසේ විපත්තිසඞ්ග්‍රහය දතයුතුය.
යම්හෙයකින් ඇවැත් සතින් මිදුනු එක් ශික්‍ෂාපදයෙකුදු නැත්තේද, එහෙයින් සියලු ශික්‍ෂාපදයෝ ආපත්තියා යන වචනයෙන් සඞ්ග්‍රහ කරණලදහ’යි මෙසේ ආපත්තිසඞ්ග්‍රහය දතයුතුය.
සියලු ශික්‍ෂාපදයෝ නගර සතෙක්හිදී පණවන ලදහ, එහෙයින් නිදාන යන වචනයෙන් සඞ්ග්‍රහ කරණලදහ’යි මෙසේ නිදානසඞ්ග්‍රහය දතයුතුය.
යම්හෙයකින් වනාහි ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය කරන පුද්ගලයකු නැති කල්හි, එක් ශික්‍ෂාපදයෙකුදු පණවන ලද්දේ නැත්තේද, එහෙයින් සියලු ශික්‍ෂාපදයෝ පුග්ගල යන වචනයෙන් සඞ්ග්‍රහ කරණලදහ’යි මෙසේ පුග්ගල සඞ්ග්‍රහය දතයුතුය.
යම්හෙයකින් වනාහි ශික්‍ෂාපද ව්‍යතික්‍රමණය කරන පුද්ගලයකු නැතිකල්හි ශික්‍ෂාපදයෙකුදු පණවන ලද්දේ නැත්තේද, එහෙයින් සියලු ශික්‍ෂාපදයෝ පුග්ගල යන වචනයෙන් සඞ්ග්‍රහ කරණලදහ. සියලු ශික්‍ෂාපදයෝ චතුර්විධ අධිකරණයන් අතුරෙහි ආපත්තාධිකරණ යන වචනයෙන් සඞ්ග්‍රහ කරණලදහ. සියලු ශික්‍ෂාපදයෝ සප්තවිධ සමථයෙන් සමථයට යෙත්ය’යි සමථ යන වචනයෙන් සඞ්ග්‍රහ කරණ ලදහ. මෙසේ ඛන්‍ධ - අධිකරණ - සමුට්ඨාන සමථ සඞ්ග්‍රහයෝද දතයුත්තාහ. සෙස්ස පෙර කියූනය ඇත්තේමය.