කම්මවග්ගවණ්ණනා
කර්‍මවර්‍ගයෙහි - චතුර්විධ කර්‍මයන්ගේ නානාකරණය සමථක්‍ඛන්‍ධකයෙහි කියන ලද්දේමය. එසේ කියනලද්දේ නමුත් මේ කර්‍ම විනිශ්චය නම් මුලපටන් කියනු ලබන්නේ ප්‍රකට වේ. එහෙයින් මුලපටන්ම මෙහි කියයුත්ත කියන්නෙමු. “චත්තාරි” යන මෙය කර්‍මයන්ගේ ගණන් පිරිසිඳීමෙහි වචනයි. “කම්මානි” යනු පිරිසිඳින ලද කර්‍මයන්ගේ දැක්වීමය. අපලොකනකර්‍ම නම්, සීමාවෙහි සිටි සඞ්ඝයා අත්පසට ගෙන්වීම් වසයෙන් ශුද්ධකොට ඡන්‍දාර්‍හයන්ගේ ඡන්‍දයගෙණ සමගි සඞ්ඝයාගේ අනුමතියෙන් කැමැත්තෙන් තුන්යලක් අස්වා කටයුතු කර්‍මයයි. ඤත්තිකර්‍ම නම්, කියූනයින්ම සමගි සඞ්ඝයාගේ අනුමතියෙන් එක් ඤත්තියකින් කටයුතු කර්‍මයයි. ඤත්තිදුතියකර්‍ම නම් කියූනයින්ම සමගි සඞ්ඝයාගේ අනුමතියෙන් එක් ඤත්තියකින්ද එක් අනුසාවණයකින්දැයි මෙසේ ඤත්තිය දෙවැනිකොට ඇති අනුසාවණයකින් කටයුතු කර්‍මයයි. ඤත්තිචතුත්‍ථකර්‍ම නම් කියූනයින්ම සමගි සඞ්ඝයාගේ අනුමතියෙන් එක් ඤත්තියකින්ද අනුසාවණ තුනකින්දැ’යි මෙසේ ඤත්තිය සතරවැනිකොට ඇති අනුසාවණ තුනකින් කළයුතු කර්‍මයයි.
එහි අපලොකනකර්‍මය අපලොකනයකොටම කටයුතුය. ඤත්ති කර්‍මාදීන්ගේ වසයෙන් නොකටයුතුය. ඤත්තිකර්‍මයද එක් ඤත්තියක් තබාම කටයුතුය. අපලොකන කර්‍මාදීන්ගේ වසයෙන් නොකටයුතුය. ඤත්තිදුතියකර්‍මය වනාහි අපලොකනය කොට කටයුත්තේද ඇත්තේය.
සීමාසම්මුති - සීමාසමූහනය - කඨිනදාන - කඨිනුද්ධාර - කුටිවත්‍ථුදෙසනා - විහාරවත්‍ථුදෙසනා යන මේ කර්‍මසය ගරුකයහ. අපලොකනය කොට කිරීම නොවටිත්. ඤත්තිදුතිය කර්‍මවාක්‍ය අස්වාම කටයුත්තාහ. සෙසු තෙළෙස් සම්මුතීහුද සෙනාසනග්ගාහක. මතකචීවරදානාදි සම්මුතීහුදැයි යන මොවුහු ලහුකකර්‍මයහ. අපලොකනය කොටද කිරීම වටිත්. ඤත්තිකර්‍ම වශයෙන් කරනු ලබන්නේ ඉතා දැඩිවේ. එහෙයින් කටයුතුයයි ඇතැම් කෙනෙක් කියත්. මෙසේ ඇති කල්හි වනාහි කර්‍මසඞ්කර වේ. එහෙයින් නොකටයුතු යයි ප්‍රතික්‍ෂෙප කරන ලද්දේමය. ඉදින් වනාහි අක්‍ෂරයන්ගේ පිරිහීමෙක් හෝ පදයන්ගේ පිරිහීමෙක් හෝ වැරදි ලෙසට කියූ පදයෙක් හෝ වේනම්, එහි ශුද්ධිය පිණිස නැවත නැවත කීම වටියි. මෙය අකොප්‍යකර්‍මයට දළ්හීකර්‍මය වේ. කොප්‍යකර්‍මයෙහි කර්‍මය වී සිටියි.
ඤත්තිචතුර්‍ත්‍ථකර්‍මය ඤත්තියද කර්‍මවාක්‍යතුනද අස්වාම කටයුතුය. අපලොකන කර්‍මාදීන්ගේ වසයෙන් නොකටයුත්තේය. “පඤ්චහාකාරෙහි විපජ්ජන්ති” කරුණු පසකින් විපත්තිය පැමිණේ.
“සම්මුඛා කරණීයං කම්මං අසම්මුඛා කරොති වත්‍ථුවිපන්නං අධම්මකම්මං” යන මෙහි හමුවෙහි කටයුතු කර්‍මයෙක් ඇත්තේය. නොහමුවෙහි කටයුතු කර්‍මයෙක් ඇත්තේය. එහි නොහමුවෙහි කටයුතු කර්‍මනම් දුතෙනුපසම්පදා - පත්තනික්කුජ්ජන - පත්තුක්කුජ්ජන - උමතු මහණහුට දියයුතු උම්මත්තකසම්මුති - සෙඛකුලයන්ට දියයුතු සෙක්‍ඛසම්මුති, ඡන්න භික්‍ෂූහට දෙනලද බ්‍රහ්මදණ්ඩ - දෙව්දත්හටමෙන් පකාසනීය කර්‍මය නොපැහැදියයුත්ත දක්වන මහණහට භික්‍ෂුසඞ්ඝයා විසින් කටයුතු අවන්‍දනීය කර්‍මයයි අටවැදෑරුම් වේ. ඒ සියල්ල ඒ ඒ තන්හි කියූනයින්ම දතයුත්තේය. මේ අටවැදෑරුම්වූද කර්‍මය නො හමුවෙහි කරණලද්දේ මැනැවින් කරන ලද්දේ අකොප්‍ය වේ.
සෙසු සියලු කර්‍මයෝ හමුවෙහිම කටයුත්තාහ. සඞ්ඝසම්මුඛතා - ධම්මසම්මුඛතා - විනයසම්මුඛතා - පුග්ගලසම්මුඛතා යන මේ සිව්වැදෑරුම්වූ සම්මුඛාවිනයට එළවාම කටයුත්තාහ. මෙසේ කරණලද ඒ කර්‍මයෝ වනාහි මනාව කරණලද්දාහු වෙත්. මෙසේ නොකරණලද ඒ කර්‍මයෝ මේ සම්මුඛාවිනය සඞ්ඛ්‍යාත වස්තුව හැර කළ බැවින් වත්‍ථුවිපන්න නම් වෙත්. “සම්මුඛාකරණීයං කම්මං අසම්මුඛා කරොති, වත්‍ථුවිපන්නං අධම්මකම්මං”යි එහෙයින් කියනලදී.