දිට්ඨාවිකම්මවග්ගවණ්ණනා
දෘෂ්ටාවිෂ්කර්ම වර්ගයෙහි - “දිට්ඨාවිකම්මා” දෘෂ්ටීන්ගේ ප්රකාශ කිරීමය. ලබ්ධිය ප්රකාශ කරන්නාවූ ආපත්තිදෙශනා සඞ්ඛ්යාත විනයකර්මයන්ට මේ නමෙකි. “අනාපත්තියා දිට්ඨිං ආවීකරොති” අනාපත්තියම ආපත්තියයි දෙසාය යන අර්ත්ථයි. “අදෙසනාගාමිනියා” ගරුකාපත්තිය පිළිබඳ දෘෂ්ටිය පවසයි. සඞ්ඝාදිසෙසයද පාරාජිකයද දෙසාය යන අර්ත්ථයි. “දෙසිතාය” ලහුකාපත්තිය දෙසූකල්හි දෘෂ්ටිය පවසයි. දෙසූ ඇවැත නැවැත දෙසාය, යන අර්ත්ථයි.
“චතුහි පඤ්චහි දිට්ඨිහි” යම්සේ පැවසූ කල්හි එක්වූ සතරපස්දෙනකුන් විසින් එක් පුද්ගලයක්හුගේ සමීපයෙහි ඇවැත දෙසන ලද්දී වේ. මෙසේ පවසා නම් සතර පස්දෙනෙක් එක්ව ඇවැත් දෙසත්ය, යන අර්ත්ථයි. “මනො මානසෙන” මනසඞ්ඛ්යාත වූ මානසින් දෘෂ්ටිය ප්රකාශ කරයි. වාග්භෙද නොකොට සිතින්ම ඇවැත දෙසාය, යන අර්ත්ථයි.
“නානාසංවාසකස්ස” ලබ්ධිනානාසංවාසකයාගේ හෝ කර්මනානාසංවාසකයාගේ හෝ සමීපයෙහි දෘෂ්ටිය ප්රකාශ කරයි. ඇවැත දෙසාය, යන අර්ත්ථයි. “නානාසීමාය” නානාසංවාසකවූද නානාසීමාවක සිටියක්හුගේ සමීපයෙහි ප්රකාශ කෙරෙයි. බද්ධසීමාවක සිටියකු විසින් සීමන්තරිකයෙහි සිටියක්හුගේ සීමන්තරිකයෙහි හෝ සිටියකු විසින් මහා සීමාවෙහි සිටියක්හුගේ සමීපයෙහි ඇවැත දෙසීම නොවටියි. “අපකතත්තස්ස” උත්ක්ෂිප්තයාගේ හෝ යමක්හුගේ හෝ උපෞෂථ පවාරණයෝ තබනලද්දාහු වෙත්ද, ඔහුගේ සමීපයෙහි හෝ දෙසාය, යන අර්ත්ථයි.
“නාලං ඔකාසකම්මං කාතුං” ප්රමාණවත් නොකරන්නට. නොකටයුතුය යන අර්ත්ථයි. මෙහිද පියවිසැහැවි නැත්තේ හෝ උත්ක්ෂිත වූයේ හෝ තබනලද පොහෝපවුරුණු ඇත්තේ හෝ වේද, හේය. “වාචනාධිප්පායො” සසුනෙන් ච්යුත කරවනු කැමැත්තේය.
“මන්දන්තා මොමූහන්තා” මන්දභාවයෙන් මොමූහභාවයෙන් විසඳන ලද්ද දැනගන්නට අසමර්ත්ථ වූයේ, හුදෙක් තමන්ගේ මුළාබව පවසමින්ම උමතු එකකුමෙන් විචාරයි. “පාපිච්ඡො” ජනතෙමේ මෙසේ කල්හිම සම්භාවනා කරන්නේයයි පාපෙප්සාවෙන් විචාරයි. “පරිභවා” පරිභවය නගනු කැමැතියෙක්ව විචාරයි. රහත්බව පැවසීමෙහිද මේනයම වේ. සෙස්ස සියලු තන්හි ප්රකටමය.අත්තාදාන වර්ගයෙහිද ධුතඞ්ග වර්ගයෙහිද යමක් කියයුතු වන්නේ නම් ඒ සියල්ල යටකියන ලද්දේමය.
දිට්ඨාවිකම්ම වර්ණනාව නිමි
මුසාවාදවග්ගවණ්ණනා
මුසාවාද වර්ගයෙහි - පාරාජිකයට යේනුයි පාරාජිකගාමීය. පාරාජිකාපත්තිභාවයට පැමිණේය, යන අර්ත්ථයි. අන්තන්හිද මෙමනයය. එහි අවිද්යමාන උත්තරිමනුෂ්යධර්මාරොචණ මෘෂාවාදය පාරාජිකගාමීය. අමූලකපාරාජිකාපත්තියෙන් අනුද්ධංසන මෘෂාවාදය සඞ්ඝාදිසෙසගාමීය. “සො තෙ විහාරෙ වසති” යනාදීවූ පරියායෙන් දන්නකුට කියූ මෘෂාවාදය ථූල්ලච්චයගාමීය නොදන්නකුට කියූ මෘෂාවාදය දුක්කටගාමීය. “සම්පජාන මුසාවාදෙ පාචිත්තියං”යි ආයේ පාචිත්තියගාමීය’යි දතයුතුය.
“අදස්සනෙන” විනයධරයාගේ නොදැක්මෙන්. කැප අකැපයන්හි කුකුසක් උපන්කල්හි විනයධරයකු දැක කැප අකැප බව පිළිවිස අකැපය හැර කැපය කරන්නේය. ඒ විනයධරයා නොදක්නේ වනාහි අකැපයද කැපයයි ගෙණ කරන්නේ ඇවැතට පැමිණේ. මෙසේ පැමිණිය යුතු ඇවතට විනයධරයාගේ දැකීමෙන් නොපැමිණේ. නොදැක්මෙන්ම පැමිණේ. “අදස්සනෙන”යි එහෙයින් කියනලදී. “අස්සවණෙන” එක් වෙහෙරෙහිද වසන්නේ විනයධරයාහට උපස්ථානයට ගොස් කැප අකැප විචාරා හෝ අන්යයන්හට කියනලද්ද නොඅසන්නේ ඇවතට පැමිණේමය. “අස්සවණෙන” යනු එහෙයින් කියනලදී. “පසුත්තකතා” නිදනබැවින්. සහාගාර සෙය්යාවට වනාහි නිදන බැවින්ද පැමිණේ. අකැපයෙහි කැපය යන සංඥා ඇතිබැවින් පැමිණෙන්නේ වනාහි එසේ සංඥා ඇත්තේ පැමිණේ. සිහිමුළාවෙන් එක් රැයක් ඉක්මවීම් ආදිවසයෙන් පැමිණිය යුත්තට පැමිණේ. සෙස්ස සියලු තන්හි ප්රකටමය.