මුසාවාදවග්ගවණ්ණනා
මුසාවාද වර්ගයෙහි - පාරාජිකයට යේනුයි පාරාජිකගාමීය. පාරාජිකාපත්තිභාවයට පැමිණේය, යන අර්ත්ථයි. අන්තන්හිද මෙමනයය. එහි අවිද්යමාන උත්තරිමනුෂ්යධර්මාරොචණ මෘෂාවාදය පාරාජිකගාමීය. අමූලකපාරාජිකාපත්තියෙන් අනුද්ධංසන මෘෂාවාදය සඞ්ඝාදිසෙසගාමීය. “සො තෙ විහාරෙ වසති” යනාදීවූ පරියායෙන් දන්නකුට කියූ මෘෂාවාදය ථූල්ලච්චයගාමීය නොදන්නකුට කියූ මෘෂාවාදය දුක්කටගාමීය. “සම්පජාන මුසාවාදෙ පාචිත්තියං”යි ආයේ පාචිත්තියගාමීය’යි දතයුතුය.
“අදස්සනෙන” විනයධරයාගේ නොදැක්මෙන්. කැප අකැපයන්හි කුකුසක් උපන්කල්හි විනයධරයකු දැක කැප අකැප බව පිළිවිස අකැපය හැර කැපය කරන්නේය. ඒ විනයධරයා නොදක්නේ වනාහි අකැපයද කැපයයි ගෙණ කරන්නේ ඇවැතට පැමිණේ. මෙසේ පැමිණිය යුතු ඇවතට විනයධරයාගේ දැකීමෙන් නොපැමිණේ. නොදැක්මෙන්ම පැමිණේ. “අදස්සනෙන”යි එහෙයින් කියනලදී. “අස්සවණෙන” එක් වෙහෙරෙහිද වසන්නේ විනයධරයාහට උපස්ථානයට ගොස් කැප අකැප විචාරා හෝ අන්යයන්හට කියනලද්ද නොඅසන්නේ ඇවතට පැමිණේමය. “අස්සවණෙන” යනු එහෙයින් කියනලදී. “පසුත්තකතා” නිදනබැවින්. සහාගාර සෙය්යාවට වනාහි නිදන බැවින්ද පැමිණේ. අකැපයෙහි කැපය යන සංඥා ඇතිබැවින් පැමිණෙන්නේ වනාහි එසේ සංඥා ඇත්තේ පැමිණේ. සිහිමුළාවෙන් එක් රැයක් ඉක්මවීම් ආදිවසයෙන් පැමිණිය යුත්තට පැමිණේ. සෙස්ස සියලු තන්හි ප්රකටමය.
මුසාවාදවර්ග වර්ණනාව නිමි.
භික්ඛුනොවාදවග්ගවණ්ණනා
භික්ඛුණී වර්ගයෙහි - “අලාභාය” සිවුපසය නොලැබීම පිණිස. යම්සේ සිවුපසය නොලබත්ද, එසේ උත්සාහ කරයි. වෑයම් කෙරේය’ යන අර්ත්ථයි. “අනත්ථාය” අනර්ත්ථයක් ලාමක හස්නක් නංවමින් උත්සාහ කරයි. “අවාසාය” නොවිසීම පිණිස. යම් ග්රාමක්ෂෙත්රයෙක්හි වසත්ද, එයින් බැහැර කිරීම පිණිස. “සම්පයොජෙති” අසද්ධර්මප්රතිසෙවනය පිණිස යොදයි.
“කතිහි නු ඛො භන්තෙ අඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුණීයා කම්මං කාතබ්බං” සත්වැදෑරුම් වූ කර්මයන්ගෙන් එක්තරා එකක් සඳහා විචාරයි.
“න සාකච්ඡාතබ්බො” කප්පියාකප්පිය නාමරූප පරිච්ඡෙදසමථවිපස්සානාදි භෙද ඇති කථාමාර්ගය නොකියයුතුය. යම්හෙයකින් වනාහි ක්ෂීණාශ්රව භික්ෂුතෙමේ විසංවාදනය නොකෙරේද එබඳුවූ කථාමාර්ගයට ස්වාමියෙක්ව කියාද, අනිකෙක් තෙමේ එසේ නොකියාද, එහෙයින් ප්රථම පඤ්චකයෙහි “න අසෙක්ඛෙන”යි ප්රතික්ෂෙපකොට ද්විතීය පඤ්චකයෙහි “අසෙක්ඛෙන” යනාදිය කියනලදී.
“න අත්ථපටිසම්භිදාප්පත්තො” අර්ත්ථකථාවෙහි ප්රතිසම්භිදාවට පැමිණියේ. ප්රභෙදගතඥානප්රාප්ත වූයේ නොවේ. “න ධම්මපටිසම්භිදාප්පත්තො” පාලි ධර්මයෙහි ප්රතිසම්භිදාවට පැමිණියේ නොවේ. “න නිරුත්තිපටිසම්භිදාප්පත්තො” ව්යවහාර නිරුත්තියෙහි ප්රතිසම්භිදාප්රාප්ත වූයේ නොවේ. “න පටිභානපටිසම්භිදාප්පත්තො” යම් ඒ ප්රතිභානසඞ්ඛ්යාත වූ අර්ත්ථප්රතිසම්භිදාදි ඥානයෝ වෙත්ද, ඔවුන් විෂයයෙහි ප්රතිසම්භිදාප්රාප්ත වූයේ නොවේ. “යථා විමුත්තං චිත්තං න පච්චචෙක්ඛිතා” චතුර්විධ ඵලවිමුත්තීන්ගේ වසයෙන් නිසිසේ මිදුනු සිත එකුත් විසිවැදෑරුම්භෙද ඇති ප්රත්යවෙක්ෂණයෙන් ප්රත්යවෙක්ෂා කරන්නේ වේ. සෙස්ස සියලුතන්හි ප්රකටමය.
භික්ඛුණී වර්ගවර්ණනා තොමෝ නිමි
උබ්බාහිකවග්ගවණ්ණනා
උබ්බාහික වර්ගයෙහි “න අත්ථකුසලො” අර්ත්ථකථාවෙහි දක්ෂ නොවේ. අර්ත්ථොද්ධාරයෙහි දක්ෂ නොවේ. “න ධම්මකුසලො” ආචාර්ය්ය මුඛයෙන් නොඋගත්බැවින් පාලියෙහි දක්ෂ නොවේ. පාලියෙහි ශුර නොවේ. “න නිරුත්තිකුසලො” භාෂාන්තර ව්යවහාරයෙහි දක්ෂ නොවේ. “න බ්යඤ්ජනකුසලො” සිථිල ධනිතාදීන්ගේ වසයෙන් පරිමණ්ඩල ව්යඤ්ජනාරොපණයෙහි දක්ෂ නොවේ. අකුරු පිරිසිඳ දැනීමෙහි දක්ෂ නොවේය, යන අර්ත්ථයි. “න පුබ්බාපරකුසලො” අර්ත්ථපූර්වාපරයෙහි ධර්මාපූර්වාපරයෙහි නිරුක්ති පූර්වාපරයෙහි බ්යඤ්ජන පූර්වාපරයෙහි පූර්වකථා පශ්චිමකථාවන්හි දක්ෂ නොවේ.
“කොධනො” යනාදීහු, යම්හෙයකින් ක්රොධාදියෙන් මඩනා ලද්දේ කරුණු නොකරුණු නොදනීද, විනිශ්චය කරන්නට නොහැකිවේද, එහෙයින් කියන ලදහ. “පසාරෙතා හොති නො සාරෙතා” මුළාකරන්නේ වේ. සිහිය උපදවන්නේ නොවේ. චොදක - වුදිතකයන්ගේ කථාව මුළාකරයි. වසාලයි. සිහි නොකෙරේය’ යන අර්ත්ථයි. මේ උබ්බාහික වර්ගයෙහි සෙස්ස ප්රකටමය.