අනුවිජ්ජකස්ස පටිපත්තිවණ්ණනා
චූලසඞ්ග්රාමයෙහි - “සඞ්ගාමාවචරෙන භික්ඛුනා” අධිකරණ විනිශ්චය පිණිස සඞ්ඝසන්නිපාතය සඞ්ග්රාමයි කියනු ලැබේ. එහි තමන්ගේ සතුරෝද, ශාසනයට සතුරෝද ධර්මයෙන් පහවූවක් කොට විනයයෙන් පහවූවක් කොට ශාසනය දක්වමින් රැස්වෙත්. විශාලා නුවරවැසි වජ්ජිපුත්රකයන් මෙනි. ඒ මහණතෙමේ ඒ සතුරන්ගේ ලබ්ධිය මැඩ ස්වකීයවාදය දක්වනු පිණිස එහි හැසිරෙයි. වැද විනිශ්චය පවත්වයි. හෙතෙමේ සඞ්ගාමාවචර නම. යස ස්ථවිරයන් මෙනි. ඒ සඞ්ගාමාවචර මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹෙන්නහු නීච සිතින් සඞ්ඝයා වෙත එළැඹිය යුතුය. “නීච චිත්තෙන” මානද්ධජය හෙළ පහවූ මානය ඇති සිතින්. “රජොහරණ සමෙන” පාපිස්නක් සමව රජස් හරණ පාපිස්නට කිලිටිවූ හෝ නොකිලිටිවූ හෝ පය පිස්නා කල්හි රාගයක් නොමවේද ද්වෙෂයක් නොඋපදීද, එසේ ඉෂ්ටානිෂ්ට වස්තූන්හි නොඇලෙන්නහු විසින් දූෂිත නොවන්නහු විසින්ය යන අර්ත්ථයි. “යථා පතිරූපෙ ආසනෙ” සුදුසු අසුනක් දැන තමාට පැමිණෙන තැන ස්ථවිර භික්ෂූන්ට පිටු නොපා හිඳිය යුතුය. “අනානාකථිකෙන” නන්වැදෑරුම් වූ ඒ ඒ අනර්ත්ථකථා නොකියන්නහු විසින්. “අතිරච්ඡානකථිකෙන” දිට්ඨ-සුත-මුතවූද රාජකථාදිකවූ තිරච්ඡානකථා නොකියන්නහු විසින්. “සාමං වා ධම්මො භාසිතබ්බො” සඞ්ඝසන්නිපාතස්ථානයෙහි කප්පියාකප්පිය නිඃශ්රිත වූ හෝ රූපාරූප පරිච්ඡෙද සමථාචාර විදර්ශනාචාර ස්ථානනිෂද්යා දී නිඃශ්රිතවූ හෝ කථාතොමෝ ධර්ම නම. මෙබඳු වූ ධර්මය තෙමේ තමන් විසින් හෝ බිණිය යුතුය. “පරො වා අජ්ඣෙසිතබ්බො” යම් මහණෙක් තෙමේ එබඳු කථා කියන්නට පොහොනේද, ‘ඇවැත’ සඟමැද ප්රශ්නයක් උපන්කල්හි ඔබ කියව’යි හෙතෙමේ කියයුතුය. “අරියො වා තුණ්හීභාවො නාතිමඤ්ඤිතබ්බො” නොබැණ හිඳින ආර්ය්යයෝ බාලපෘථග්ජනයන් මෙන් නොහිඳිත්. එක්තරා කර්මස්ථානයක් ගෙණම හිඳිත්. මෙසේ කමටහන් මෙනෙහි කිරීම් වසයෙන් තුණ්හීභාවය. ආර්ය්යතුෂ්ණීම්භාව නම. එය ඉක්මවා නොසිතිය යුතුය. ‘කර්මස්ථානානුයොගයෙන් කිමැ’යි අවමන් නොකටයුතුය. තමන්ට සුදුසුවූ කර්මස්ථානයක් ගෙණම හිඳිය යුතුය, යන අර්ත්ථයි.
“න උපජ්ඣායො පුච්ඡිතබ්බො” ‘තාගේ උපාද්ධ්යාය තෙමේ කිනම්දැ’යි නොවිචාළ යුතුය. හැමතන්හි මේනය වේ. “න ජාති” ‘තෝ ක්ෂත්රියජාති ඇතියෙහිද, බ්රාහ්මණජාති ඇතියෙහිදැ’යි මෙසේ ජාතිය නොවිචාළ යුතුය. “න ආගමො” තෝ දීඝභාණකයෙහි ද, මජ්ඣිමභාණකයෙහිදැ’යි මෙසේ ආගම නොවිචාළ යුතුය. “කුලප්පදෙසො” ක්ෂත්රිය කුලාදීන්ගේ වසයෙන් දතයුතුය. “අත්රස්ස පෙමං වා දොසො වා” මේ පුද්ගලයා කෙරෙහි මේ කරුණු අතුරෙහි එක්තරා එකක්හුගේ වසයෙන් ප්රේමය හෝ ද්වෙෂය හෝ වන්නේය.
“නොපරිසකප්පියෙන” පිරිස ගැණ කල්පනා කරන්නකු, පිරිසට අනුව විධාන කරන්නකු නොවිය යුතුය. පිරිසට යමක් රුස්නේද, එයම සිතා කල්පනාකොට නොකියයුතුය යන අර්ත්ථයි. “න හත්ථ මුද්දා දස්සෙතබ්බො” කියයුත්තෙහිද, නොකියයුත්තෙහිද හැඟීම උපදවනු පිණිස හස්තවිකාරය නොකටයුතුය.
“අත්ථං අනුවිධියන්තෙන” විනිශ්චය ප්රතිවෙධයම සලකන්නහු විසින් ‘මේ සූත්රය ලැබේ, මේ විනිශ්චයයෙහි මෙය කියන්නෙමි’යි තීරණය කරන්නහු විසින් හිඳිය යුතුය යන අර්ත්ථයි. “න ච ආසනා වුට්ඨාතබ්බං” අසුනෙන් නැගිට රැස්වන මඩුල්ලෙහි නොහැසිරිය යුතුය. විනයධරයා නැගිටිකල්හි සියලු පිරිස නැගිටියි. “න වීතිහාතබ්බං” විනිශ්චය නොපිරිහෙළිය යුතුය. “න කුමග්ගො සෙවිතබ්බො” ඇවැත නොදැක්විය යුතුය. “අසාහසිකෙන භවිතබ්බං” වහාකරණ සුල්ලකු නොවිය යුතුය. වහා නොමනා වචන නොකිය යුතුය, යන අර්ත්ථයි. “වචනක්ඛමෙන” නොමනා වචන ඉවසන සුල්ලහු විසින් “හිතපරිසඞ්කිතා” හිත සොයන්නහු විසින්, හිතගවෙෂණය කරන්නහු විසින් කරුණාවද කරුණා පූර්වභාගයද එළවිය යුතුය යනු මේ පදදෙක්හිද මේ අභිප්රායය. “අනසුරුත්තෙන” සුදුසු වචන නොකියන්නහු විසින්, විග්රාහික කථා සඞ්ඛ්යාත වූ අයහපත් වචනය අසුරුත්තයි කියනු ලැබේ. එය නොකිය යුතුය යන අර්ත්ථයි. “අත්තා පරිග්ගහෙතබ්බො” ‘විනිශ්චය කරන්නට සන්සිඳවන්නට හැකිවන්නෙම්ද, නොහැකිවන්නෙම්දැ’යි මෙසේ ආත්ම පරිග්රහය කටයුතුය. තමාගේ පමණ දැනගත යුතුය, යන අර්ත්ථයි. “පරො පරිග්ගහෙතබ්බො” මේ පිරිස ලජ්ජීද, හඟවන්නට හැක්කීද, නොහොත් නොහැක්කීදැ’යි මෙසේ අන්ය තෙමේ පරිග්රහ කටයුතුය.
“චොදකො පරිග්ගහෙතබ්බො” ධර්මචොදකයෙක් වේද, නොවේදැ’යි මෙසේ චොදක තෙමේ පරිග්රහ කටයුතුය. “චුදිතකො පරිග්ගහෙතබ්බො” ධර්මචුදිතකයෙක් වේද, නොවේදැ’යි මෙසේ චුදිතකතෙමේ පරිග්රහ කටයුතුය. “අධම්මචොදකා පරිග්ගහෙතබ්බො” යනු ඔහුගේ පමණ දැනගත යුතුය යනුයි. සෙස්සෙහි මේනයම වේ. “වුත්තං අහාපෙන්තෙන” චොදක-චුදිතකයන් විසින් කියන ලද වචනය නොපිරිහෙළන්නහු විසින්. “අවුත්තං අප්පකාසෙන්තෙන” නොබට වස්තුව ප්රකාශ නොකරන්නහු විසින් “මන්දො පහාසෙතබ්බො” මඳවූ මුළාවූ මහණතෙමේ උපස්තම්හ කටයුතුය. ‘යුෂ්මත්තෙමේ කුලපුත්රයෙක් නොවෙහිදැ’යි තෙද ගන්වා අනුයොගවත ඔහු ලවා කියවා ඔහුගේ අනුයොගය ගතයුතුය. “භීරු අස්සාසෙතබ්බො” සඟමැදට හෝ ගණයා මැදට පෙර නොබට බැවින් යමක්හට තැතිගැන්මෙක් උපදීද, එබඳු තෙමේ ‘බිය නොවෙව, නොසැකව කියව, අපි තට උපස්තම්භක වන්නෙමු’යි අනුයොගවත කියවිය යුතුය. “චණ්ඩො නිසෙධෙතබ්බො” චණ්ඩතෙමේ වැළකිය යුතුය, පහකටයුතුය. තැතිගැන්විය යුතුය. “අසුචි විභාවෙ තබ්බො” අලජ්ජියා ප්රකාශකොට ඇවැත දෙසවිය යුතුය. “උජු මද්දවෙන” යම් මහණෙක් තෙමේ සෘජුවේද, සිල්වත් වේද, කායවකාදියෙන් තොර වේද, හෙතෙමේ මොළොක්වූවහු විසින්ම හැසිරිය යුතුය. “ධම්මෙසු ච පුග්ගලෙසු ච” යන මෙහි යමෙක් ධර්මගරුක වේද, පුද්ගලගරුක නොවේද, මෙතෙම ධර්මයෙහිද, පුද්ගලයන් කෙරෙහිද, මැදහත්යයි දතයුතුය.