නිගමනවණ්ණනා
‘උද්දිට්ඨා ඛො ආයස්මන්තො චත්තාරො පාරාජිකා ධම්මා’ මෙය මෙහි උදෙසූ පාරාජිකාවන්ගේ දැක්වීම වේ. සියල්ල එක් කොට සූවිසි පාරාජිකයෝ දතයුත්තාහ. කවර සූවිස්සක් ද යත්:- පෙළෙහි ආවා වූ භික්‍ෂූන් පිළිබඳ සතරය. භික්‍ෂූන් හා අසාධාරණ වූ භික්‍ෂුණීන් පිළිබඳ උබ්භජාණුමණ්ඩලිකා - වජ්ජපටිච්ඡාදිකා - උක්‍ඛිත්තානුවත්තිකා - අට්ඨවත්‍ථුකා යන සතර දැයි යන අටය. එකොළොස් අභව්‍ය පුද්ගලයෝය. ඔවුන් අතුරෙහි පණ්ඩක - තිරච්ඡානගත - උභතොබ්‍යඤ්ජනක යන තිදෙන පැවිද්දට හා උපසම්පදාවට වස්තු නො වන බැවින් වස්තු විපන්නයෝය. පැවිදි - උපසම්පදාවෙහි සිට උපරිමාර්‍ග හෙතුව සැපයීම නොකටහැකි බැවින් අහෙතුකප්‍රතිසන්‍ධිකයෝය. ඔවුන්ට ස්වර්‍ගය නො වළකන ලද්දේය. මාර්‍ගය වනාහි වළකන ලද්දේය. වස්තු විපන්න බැවින් ඔවුහු මාර්‍ගප්‍රතිලාභය පිණිස අභව්‍යයෝමය. ඔවුන්ට පැවිද්ද වළකන ලදය. එහෙයින් ඔවුහු ද පාරාජිකයෝය. ථෙය්‍යසංවාසක තෙමේ ය, තිත්‍ථියපක්කන්තක තෙමේ ය, මාතුඝාතක තෙමේ ය, පිතුඝාතක තෙමේ ය, අරහන්තඝාතක තෙමේ ය, භික්‍‍‍ඛුනීදූසක තෙමේ ය, රුහිරුප්පාදක තෙමේ ය, සඞ්ඝභෙදක තෙමේ ය යන මොවුහු අට දෙන තම තමන්ගේ ක්‍රියා හේතුවෙන් විපතට පැමිණි බැවින් අභව්‍යස්ථානයට පැමිණියහයි පාරාජිකයෝම වෙති. ඔවුන් අතුරෙහි ථෙය්‍යසංවාසක තෙමේ ය, තිත්‍ථියපක්කන්තක තෙමේ ය, භික්‍‍‍ඛුනීදූසක තෙමේ ය යන මොවුන් තිදෙනාහට ස්වර්‍ගය නො වළකන ලදය. මාර්‍ගය වනාහි වළකන ලද්දේමය. අන්හු පස්දෙනාහට ස්වර්‍ගමොක්‍ෂ දෙකම වළකන ලද්දේය. ඔවුහු වනාහි අතර නොතබා ම නිරයෙහි උපදින සත්ත්‍වයෝය. මෙසේ මේ එකොළොස්දෙන ද, පළමු අටදෙන දැ යි එකුන්විසිදෙන වෙති. ඔවුහු ගිහි වෙස් දැරීමෙහි ආශා උපදවා ගිහීනිවාසනය හැන්දා වූ භික්‍ෂුණිය සමග විසිදෙනෙක් වෙති. ඕ තොමෝ වනාහි අද්ධ්‍යාචාරව්‍යතික්‍රමයක් නො කොට ද මෙපමණකින් අශ්‍රමණී වූය. මේ වනාහි විසි පාරාජිකයෝය.
එල්බෙන දිග් වූ අඞ්ගජාතය ඇති බැවින් තමන්ගේ මුවමග හෝ වසමග ප්‍රවෙශ කරන්නේය. මුදුපිට ඇති බැවින් තම නිමිත්ත මුවෙන් ගන්නේය. අනුන්ගේ අඞ්ගජාතය මුවෙන් ගන්නේය. අන්හුගේ කර්‍මණ්‍ය අඞ්ගජාතය මතුවෙහි තමනගේ වසමග යොදා හිඳින්නේය. යන මොවුන් සිවුදෙනාගේ වසයෙන් අනුලොම පාරාජිකයෝ සතරකැයි කියත්. මේ පාරාජිකයෝ යම්හෙයකින් රාග වසයෙන් සමාන බවට ගියා වූ දෙදෙනක්හුගේ ධර්‍මය, මෛථුන ධර්‍මැයි කියනු ලැබේ ද, එහෙයින් මේ ක්‍රමයෙන් මෙවුන්දම් සෙවුම් නො කොට හුදෙක් මගින් මග ප්‍රවෙශ කිරීම් වසයෙන් පැමිණිය යුතු බැවින් මෛථුන පාරාජිකයට අනුලොම් වෙත්නුයි අනුලොම පාරාජිකයෝ යයි කියනු ලැබෙත්. මෙසේ මේ සතර ද පළමු දැක්වූ විස්ස ද එක්කොට සියල්ලෝම සූවිසි පාරාජිකයෝ යයි දත යුත්තාහ.
‘න ලභති භික්‍‍‍ඛූහි සද්ධි සංවාසං’ භික්‍ෂූන් සමග උපොසථ - පවාරණ - පාතිමොක්‍ඛුද්දෙස - සඞ්ඝකම්ම වසයෙන් ප්‍රභෙදවත් වූ සංවාසය නො ලබයි. ‘යථා පුරෙ තථා පච්ඡා’ පෙර ගිහි කාලයෙහි හා අනුපසම්පන්නකාලයෙහි යම්සේ නම්, පසුව පාරාජිකයට පැමිණියේ ද, එසේම සංවාසයක් නැත්තේ වේ. ඔහුට භික්‍ෂූන් සමග උපොසථ - පවාරණ - පාතිමොක්‍ඛුද්දෙස - සඞ්ඝකම්ම යි ප්‍රභෙදයට ගියා වූ සංවාසය නැත්තේ යයි භික්‍ෂූන් සමග සංවාසය නො ලබයි. ‘තත්‍ථායසමන්තෙ පුච්ඡාමි’ ඒ සිවුපාරාජිකා අතුරෙහි ආයුෂ්මත්හු මෙහිලා කිම? පිරිසිදු වහු දැ යි විචාරමි. ‘කච්චිත්‍ථ’ කිම මෙහි? මේ සිවු පාරාජිකා අතුරෙහි කිම? පිරිසිදු වහු දැ යි යන අර්‍ත්‍ථයි. නොහොත් ‘කච්චිත්‍ථ පරිසුද්ධා’ කිම? පිරිසිදු වහු, වහු ද යන අර්‍ත්‍ථයි. සෙස්ස සියලු තන්හි පැහැදිලි අර්‍ත්‍ථ ඇත්තේමය.
විනයවිවෘති නම් වූ සිංහලසමන්තපාසාදිකාවෙහි චතුර්‍ත්‍ථපාරාජිකවර්‍ණනාව නිමි.
පාරාජිකකාණ්ඩය නිමියේය.