කුසසඞ්කාමනවත්ථුකථා
එයට අනතුරු වස්තුවෙහි - ‘කුසං සඞ්කාමෙත්වා චීවරං අග්ගහෙසි’ පෙර ‘ආදියෙය්ය’ යන මේ පදයාගේ අර්ත්ථ වර්ණනාවෙහි නාමමාත්රයෙන් දක්වනලද ථෙය්යාවහාර - පසය්හාවහාර - පරිකප්පාවහාර - පටිච්ඡන්නාවහාර - කුසාවහාර යන මේ අතුරෙහි කුසාවහාරයෙන් සොරකම් කෙළේය යන අර්ත්ථයි.
මේ අවහාරයන්ගේ වෙනස වනාහි මෙසේ දතයුතුය. යම්කිසිවෙක් සස්වාමික භාණ්ඩයක් රාත්රි කාලයෙහි හෝ දවල් කාලයෙහි හෝ ගෘහසන්ධි සිඳීම් ආදියකොට නොපෙනෙනුයේ සොරාගනීද කූටමාන කූටකහාපණාදියෙන් හෝ වඤ්චාකොට රවටාගනීද, මෙසේ ගන්නා වූ ඔහුගේ අවහාරය ථෙය්යාවහාරයයි දතයුතුය.
යම් මහණෙක් තෙමේ පරහුමැඩ බලාත්කාරයෙන් යටපත්කොට, නොහොත් තැතිගන්වා භය දක්වා ඔවුන් සතු භාණ්ඩය ගනීද, මංපැහැරීම් ගම්පැහැරීම් ආදිය කරමින් රාජ්යය පතමින් සිටින ප්රකට සොරුන් මෙන්ද, ක්රොධ වශයෙන් අන්හු අයත් ගෘහය නැසීම කරමින් තමන්ට ලැබුනු බලයට වඩා වැඩියක් බලත්කාරයෙන් ගන්නා වූ රාජරාජමහාමාත්යාදීන් මෙන් ගනීද, මෙසේ ගන්නාවූ ඔහුගේ අවහාරය පස්යහාවහාරයයි දතයුතුය.
කල්පනාකොට බලාගන්නහුගේ අවහාරයට පරිකප්පාවහාර යයි කියනු ලැබේ. ඒ අවහාරය භණ්ඩපරිකප්ප - ඔකාසපරිකප්ප වසයෙන් දෙවැදෑරුම් වේ. එහි මේ භණ්ඩපරිකප්පයයි: මෙහි ඇතැම් ඵකෙක් සළුවෙන් ප්රයෝජන ඇත්තේ ගැබ තුළට පිවිස ‘ඉදින් සළුවක් වන්නේනම් ගන්නෙමි, හූ නම් නොගන්නෙමි’යි කල්පනාකොට අඳුරෙහි පසුම්බියක් ගනීද, එහි සළුවක්වේද නගාගැනීමෙහිදීම පාරාජිකය වේ. හුයක්වීනම් රකියි. පිටතට ගෙනගොස් පසුම්බිය ඇරබලා හූය යි දැන නැවත තුබූතැනම තබාද රකීමය. හූය යි දැනද යමක් ලද්දේද, එය ගතයුතුයයියේද, පියවරින් කරවිය යුතුය. බිම තබාගනීද නගා ගැනීමෙහිදී පාරාජිකය වේ. ‘සොරෙක සොරෙකැ’යි හිමියන් විසින් ලුහුබඳින ලද්දේ හැරපියා පලායේද රකියි. හිමියෝ හැරදැමූ එය දැක ගනිත්නම් මැනවි. අන්කිසිවෙක් ගනීනම් භණ්ඩදෙය්ය වේ. නැවත හිමියන් ගමන් නවතාලූ කල්හි තෙමේම එය දැක ‘පළමුකොටම මා විසින් ඒ භාණ්ඩය ගෙන එන ලද්දේය. දැන් මාසතුයයි ගනීද රකියි. භණ්ඩදෙය්ය වේ. ‘ඉදින් හූයක් වන්නේනම්, ගන්නෙමි, සළුවක් වන්නේනම්, නොගන්නෙමි, ඉදින් ගිතෙල් වන්නේනම්, ගන්නෙමි, තෙල් වන්නේනම් නොගන්නෙමි’යි මේ ආදිනයින් කල්පනාකොට ගන්නහුටද මේනයම වේ.
මහාපච්චරී ආදියෙහි වනාහි සළුවෙන් ප්රයෝජන ඇත්තේද සළුපසුම්බියට ගෙන නික්මුණේ පිටත සිට පසුම්බිය ඇර බලා ‘මෙය සළුවකැ’යි දැක යන්නේ පියවරින්ම කරවිය යුතුයයි කියන ලද්දේය. මෙහි ‘සළුවක් වන්නේනම් ගන්නෙමි’යි කල්පනා කළ බැවින් පරිකල්පය දක්නා ලැබේ. දැක ගෙන ගිය බැවින් පරිකප්පාවහාරය නොදක්නා ලැබේ. මහාඅර්ත්ථකථාවෙහි වනාහි යමක් ගැන කල්පනා කරන ලදද, එය නොදක්නා ලද්දේද, පරිකල්පිතභාවයෙහිම සිටියක්ම නගාගන්නහුට අවහාරය කියන ලද්දේය. එහෙයින් එහි පරිකප්පාවහාරය දක්නා ලැබේ. ‘තං මඤ්ඤමානො තං අවහරි’ යන පාළි හාද සමවේ. එහි සළුවක් වන්නේනම්, ගන්නෙමියි මේආදිනයින් පැවති යම් මේ පරිකල්පයක්වේද, මෙය භණ්ඩපරිකප්ප නම්වේ.