ඔණිරක්ඛකථා
ගෙන අවුත් තැබූ බඩු රකින්නේනුයි ඔණිරක්ඛ නම් වේ. යමෙක් අනිකෙකු විසින් තමන්ගේ වාසස්ථානයට ගෙනෙන ලද භාණ්ඩයක් ‘ස්වාමීනි! මම මෙනම් කෘත්යයකොට යම්තාක් එන්නෙම්ද ඒතාක් මොහොතක් මේ භාණ්ඩය බලාගනු මැනවැ’යි කියන ලද්දේවේද, ඒතාක් රකියි. ඔහුට මේ නමෙකි. එහෙයින්ම ‘ඔණිරක්ඛො නාම ආහටං භණ්ඩං ගොපෙන්තො’ යනු වදාළ සේක. එහි ඔණිරක්ඛ තෙමේ බොහෝසෙයින් බැඳ එල්ලා තැබූ භාණ්ඩයක් නොමුදාම යට පසුම්බිය හෝ ගොටුව හෝ කපා ස්වල්පමාත්රයක් ගෙන මැහීම් ආදිය නැවත ප්රකෘතිමත් කෙරේද, ‘මෙසේ ගන්නෙමි’යි පැහැසීම් ආදිය කරන්නහුට සුදුසු වූ ආපත්තීහු දතයුත්තාහ.
ඔණිරක්ඛකථා නිමි.
සංවිදාවහාරකථා
සංවිධානයකොට සොරකම් කිරීම සංවිදාවහාර නම්වේ. ඔවුනොවුන්ගේ ප්රඥප්තිය කරණකොට කළ සොරකමැයි කියන ලද්දේ වේ. ‘සංවිදහිත්වා’’ සමානච්ඡන්දය ඇති බැවින් සමානාද්ධ්යාසය ඇති බැවින් එක්ව මන්ත්රණයකොට යන අර්ත්ථයි. එහි මේ විනිශ්චය වේ: බොහෝ භික්ෂූහු ‘අසුවල් ගෙට ගොස් වහල හෝ බිඳ ගෘහසන්ධි හෝ සිඳ භාණ්ඩය ගන්නෙමු’යි නියමකොට ගෙනයෙත්ද, ඔවුන් අතුරෙහි එකෙක් භාණ්ඩය සොරකම් කරයි. ඒ භාණ්ඩය ඉදිරීම නිමිතිකොට සියල්ලන්ට පාරාජිකය වේ. පරිවාරයෙහි ද වදාරණ ලද්දේය:-
‘චතුරො ජනා සංවිධාය ගරුභණ්ඩං අවාහරුං,
තයො පාරාජිකා වුත්තා එකො ච න පාරාජිකො,
පඤ්හා මෙසා කුසලෙහි වින්තිතා’යි
තයො පාරාජිකා වුත්තා එකො ච න පාරාජිකො,
පඤ්හා මෙසා කුසලෙහි වින්තිතා’යි
‘සිවුදෙනෙක් තුළ සමානච්ඡන්දයෙන් මන්ත්රණයකොට ගරුභාණ්ඩයක් සොරකම් කළහ. එහිදී තිදෙනෙක් පාරාජිකාවට පැමිණියාහුයයි කියන ලදහ. එකෙක් නොද පාරාජික වූයේය. මේ ප්රශ්නය විඥයන් විසින් සිතන ලදය,
ඒ ප්රශ්නයෙහි මේ අර්ත්ථය වේ: ආචාර්ය්ය - අන්තෙවාසිකයෝ සිවුදෙනෙක් සමස්සක් වටිනා ගරුභාණ්ඩයක් සොරකම් කොටගනු කැමැත්තෝ වූහ. එහි ආචාර්ය්යතෙමේ ‘තෝ එක්මස්සක් ගනුව, තෝ එක් මස්සක් ගනුව, තෝ එක් මස්සක් ගනුව, මම තුන් මසක් ගන්නෙමි’යි කීයේය. අන්තෙවාසිකයන් අතර පළමුවැන්නා ‘ස්වාමීනි! ඔබවහන්සේ මසුතුනක් ගනුමැනව, තෝ එක්මස්සක් ගනුව, තෝ එක්මස්සක් ගනුව, මම එක්මස්සක් ගන්නෙමි’යි කීයේය. අනික් දෙදෙනද මෙපරිද්දෙන්ම කීහ. එහි අතවැසියන් අතුරෙන් එකක් එකක්හට එක් එක් මස්සෙක් සාහර්ත්ථික වේ. එයින් ඔවුන්ට දුක්කටාපත්ති වේ. පසෙක් ආණත්තික වේ. එයින් තිදෙනකුටම පාරාජිකාපත්තිය වේ. ආචාර්ය්යයා හටවනාහි තුනක් සාහර්ත්ථික වේ. එයින් මොහුට ථුල්ලච්චය වේ. තුනක් ආණත්තික වේ. එයිනුදු ථුල්ලච්චයම වේ. මේ අදින්නාදාන ශික්ෂාපදයෙහි සාහර්ත්ථිකයට ආණත්තිය හෝ ආණත්තියට සාහර්ත්ථිකය හෝ අඞ්ග නොවේ. සාහර්ත්ථිකය වනාහි සාහර්ත්ථිකයෙන්ම කරවිය යුතුය. ආණත්තිකය ආණත්තිකයෙන්ම කරවිය යුතුය. එහෙයින්, ‘චතුරො ජනා සංවිධාය -පෙ- පඤ්හා මෙසා කුසලෙහි චින්තිතා’යි කියන ලදී.
තවද සංවිදාවහාරයෙහි නොමුළාබව පිණිස ‘එකං භණ්ඩං එකට්ඨානං, එකං භණ්ඩං නානාට්ඨානං, නානාභණ්ඩං එකට්ඨානං, නානාභණ්ඩං නානාට්ඨානං’ යන මේ චතුෂ්කයද අර්ත්ථ වශයෙන් සැලකිය යුතුය. එහි ‘එකං භණ්ඩං එකට්ඨානං’ එක් කුලයකට අයත් කඩලෑල්ලක නොමනාව තබනලද පස්මස්සක් වටින භාණ්ඩයක් දැක බොහෝ භික්ෂූහු, එකක්හට ‘යව, මේ භාණ්ඩය ගෙන එව’යි අණ කෙරෙත්ද, එය නගාගැනීම නිමිතිකොට සියල්ලන්ට පාරාජිකය වේයනුයි. ‘එකං භණ්ඩං නානාට්ඨානං’ එක් කුලයකට අයත් කඩලෑලි පසෙක්හි නොමනාව තබනලද එක් එක් මස්ස දැක බොහෝ භික්ෂූහු එකක්හට ‘යව මේ මසුගෙන එව’යි අණ කෙරෙත්ද, පස්වනමස්ස නගාගැනීම නිමිතිකොට සියල්ලන්ට පාරාජිකය වේ යනුයි. ‘නානාභණ්ඩං එකට්ඨානං’ බොහෝදෙනෙකුන් සතු වූ එක්තැනක නොමනාව තබනලද පස්මස්සකට හෝ පස්මස්සකට වැඩිතරම් වූ වටින්නා වූ භාණ්ඩයක් දැක බොහෝභික්ෂූහු එකක්හට ‘යව, මේ භාණ්ඩය ගෙනඑව’යි අණ කෙරෙත්. ඒ භාණ්ඩය නගාගැනීම නිමිතිකොට සියල්ලන්ට පාරාජික වේයනුයි. ‘නානාභණ්ඩං නානාට්ඨානං’ කුලපසකට අයත් වූ කඩලෑලි පසෙක නොමනාව තබනලද එක් එක් මස්ස දැක බොහෝ භික්ෂූහු, එකක්හට ‘යව, මේ මසු ගෙන එව’යි අණ කෙරෙත්. පස්වනමස්ස උදුරා ගැනීම නිමිතිකොට සියල්ලන්ට පාරාජිකය වේ යනුයි.
සංවිදාවහාරකථා නිමි.
සඞ්කෙතකම්මකථා
‘සඞ්කෙතං කම්මං’ හැඳින ගැනීම පිණිස කරන කර්මයයි. කාලපරිච්ඡෙද වසයෙන් සලකුණු කිරීමය යන අර්ත්ථයි. මෙහිදී ‘පෙරබත සොරකම්කොට ගෙන එව’යි කියන ලද්දේ, අද හෝ පෙරබත ගෙන ඒවා, හෙට හෝ අනාගත සංවත්සරයෙහි හෝ ගෙන ඒවායි කියන ලද්දේද කාලයාගේ පිරිසිඳීම් වසයෙන් සලකුණු කිරීමෙහි විසඞ්කෙතයක් නැත්තේය. දෙදෙනාහටම ඔවරක කථාවෙහි කියූනයින්ම පාරාජිකය වේ. ඉදින්වනාහි ‘අද පෙරබත ගෙනඑව’යි කියන ලද්දේ, හෙට ගෙනඒද, ‘අද’යි නියම කරනලද ඒ සලකුණ ඉක්මවා පසුව ගෙනඑන ලද්දේවේද, ඉදින් ‘හෙට පෙරබත ගෙනඑව’යි කියන ලද්දේ, හෙටගෙන ඒද, ‘අද’යි නියමකරනලද ඒ සලකුණ ඉක්මවා පසුව ගෙන එන ලද්දේවේද, ඉදින් ‘හෙට පෙරබත ගෙන එව’යි කියන ලද්දේ අද පෙරබත ගෙන ඒද, ‘සෙටැ’යි නියමකරනලද ඒ සලකුණට නොපැමිණ එයට පෙර ගෙනඑන ලද්දේවේද, මෙසේ අවහරණය කරන අවහාරකයාහටම පාරාජිකය වේ. ඇණවූවහුට ඇවැත් නොවේ. ‘හෙට පෙරබතැ’යි කියූකල්හි එදවසම හෝ හෙට පසුබත හෝ ගන්නේද, ඒ සලකුණට පෙරද පසුද ගෙනේයයි දතයුතුය. පසුබත රෑදාවලද මෙම නයවේ. පෙරයම මැදුම්යම පැසුළුයම අවපුර දෙපස මාස උතු අවුරුදු යනාදීන්ගේ වසයෙන්ද මෙහි කාලය පිරිසිඳීම් වසයෙන් සඞ්කෙත විසඞ්කෙත භාවය දතයුතුය. ‘පෙරබත ගෙන එව’යි කියූ කල්හි ‘පෙරබතම ගන්නෙමි’යි ව්යායාම කරන්නහුට පසු බතවේද, යන මෙහිලා කෙසේවේද යන ප්රශ්නයෙහි මහාසුම්ම ස්ථවිරයන් වහන්සේ මෙය පුරෙභත්තප්රයොගයම වේ. එහෙයින් මූලස්ථතෙමේ නොමිදේයයි කීහ. මහාපදුම ස්ථවිරයන් වහන්සේ වනාහි කාලයාගේ පිරිසිඳීම ඉක්මවූ බැවින් විසඞ්කෙතය වේ. එහෙයින් මූලස්ථතෙමේ මිදේයයි කීහ.