චතුප්පදකථා
සිවුපා ඇත්තවුන් අතුරෙහි - පසුකා යන මෙයින් පෙළෙහි ආවාවූ සෙසු සියල්ලෝ සිවුපා ජාතිහයි දතයුත්තාහ. හස්ති ආදීහු ප්රකටයෝමය. එහි සොරසිතින් ඇතෙකු පහසන්නහුට දුක්කටය වේ. සොලවන්නහුට ථුල්ලච්චය වේ. මහත් ශක්ති ඇති යමෙක් බලමදය කරණකොට තරුණ වූ භිඞ්ක, භිඞ්කයි හඬනගන බැවින් එනම්ලද ඇත්පැටවෙකු නැබමුල හිසින් උඩට නගාගන්නේ පාසතර හා සොඬය බිමින් කෙසගක් පමණ නමුදු මුදාද පාරාජිකය වේ. කිසි ඇතෙක් වනාහි ඇත්හලෙහි බැඳ තබන ලද්දේවේද, කිසි ඇතෙක් නොබඳින ලදුවම සිටීද, කිසි ඇතෙක් වත්ත තුළ සිටීද, කිසි ඇතෙක් රජමිදුලෙහි සිටීද, එහි ඇත්හලෙහි බෙල්ලෙන් බැඳතැබූ ඇතුගේ බෙල්ල බැඳීමද පාසතරදැයි පස්තැනක් ලැබේ. බෙල්ලෙන්ද එක් පාදයක් යකඩ හැකිල්ලෙන්ද බඳිනලද ඇතුට සතැනක් ලැබේ. බෙල්ලෙන් හා දෙපාදයෙන් බඳිනලද ඇතුට සත්තැනක් ලැබේ. ඒ ස්ථානයන්ගේ වසයෙන් සෙලවීම් හුන්තැනින් පහකිරීම් ආදිය දතයුතුය. නොබඳිනලද ඇතුට මුළු ඇත්හලම තැන් වේ. ඒ ඇත්හලින් ඉක්මවාද පාරාජිකය වේ. වත්ත තුළ සිටි ඇතුට සියලු ඇතුල්වත්තම තැන් වේ. ඒ ඇතු වත්තදොර ඉක්මීමෙහිදී පාරාජිකය වේ. රජ මිදුලෙහි සිටියහුට සියලු නගරය ස්ථාන වේ. ඒ ඇතු නුවරදොරින් ඉක්මීමෙහිදී පාරාජිකය වේ. පිටනුවරෙහි සිටියහුට සිටිතැනම ස්ථාන වේ. ඔහු ගෙනයන්නේ පදවාරයෙන් කරවිය යුත්තේය. හොත්තහුට එක්ම ස්ථානයක් වේ. ඔහු සොරසිතින් නගාසිටුවන්නහුට නැගීසිටි ඇසිල්ලෙහි පාරාජිකය වේ. අසුකෙරෙහිද මේ විනිශ්චය වේ. ඉදින්වනාහි ඒ අසු පාසතරින් බඳින ලද්දේවේද ඔහු පිළිබඳව අටතැනක් දතයුතුය. ඔටුවා කෙරෙහිද මේ නයම වේ.
කිසි ගොනෙක් ගෙයි බැඳ තබන ලද්දේ වේ. එකෙක් නොබඳින ලදුවම සිටියි. කිසි ගොනෙක් ගාලෙහි බැඳතබන ලද්දේ වේ. කිසි ගොනෙක් නොබඳින ලදුවම සිටියි. එහි ගෙයි බැඳතැබූ ගොනු පිළිබඳව පාසතර හා බැඳීමයි ස්ථාන පසක් වේ. නොබඳිනලද ගොනුට මුළු ගෙයම ස්ථාන වේ. ගාලෙහි බැඳතබන ලද්දාහුට පස්තැනක් ලැබේ. නොබඳින ලද්දහුට මුළු ගාලම ස්ථාන වේ. ඒ ගාල්දොර ඉක්මවාද පාරාජිකය වේ. ගාල බිඳගෙන යන්නේ තමන් කැඩූදොර ඉක්මවාද පාරාජිකය වේ. දොර විවෘතකොට හෝ ගාල බිඳ හෝ පිටත සිටියේ නම කියා කැඳවා නික්මවාද, පාරාජිකය වේ. අතුකඩක් හෝ දක්වා කැඳවන්නහුටද මෙම නයවේ. දොර නොඇර ගාල නොබිඳ හුදෙක් අතුකඩක් සොලවා නොකැඳවාද, ගොනාට බඩසා ඇති බැවින් ගාලෙන් පැන නික්මේද, පාරාජිකයම වේ. ඉදින්වනාහි දොර ඇරියකල්හි, ගාල හෝ බිඳි කල්හි තෙමේම නික්මේද, භණ්ඩදෙය්ය වේ. දොර විවෘත කොට හෝ විවෘත නොකොට හෝ ගාල බිඳ හෝ නොබිඳ හෝ හුදෙක් අතුකඩක් සොලවාද, නොකැඳවාද, ගොන් තෙමේ බඩසා ඇති බැවින් පයින් හෝ උඩපැන හෝ නික්මේද, භණ්ඩදෙය්යම වේ. එක් ගොනෙක් ගමමැද බඳිනලදුව සිටියේවේද, එකෙක් හොත්තේවේද, සිටි ගොන්හට පස්තැනක් ලැබේ. හොත්තහුට දෙතැනක් ලැබේ. ඔවුන්ගේ වසයෙන් සෙලවීම් හුන්තැනින් පහකිරීම් දතයුතුය.
යමෙක් වනාහි හොත්තහු නොනැගුටුවා එතැනදීම නසාද භණ්ඩදෙය්ය වේ. මනාකොට වට කළ දොරකින් යුත් ගමෙහි සිටි ගොන්හට මුළුගම ස්ථාන වේ. වටනොකළ ගමෙහි සිටියහුට හෝ හැසිරෙන්නහුට හෝ පාවලින් පෑගූ තැනම ස්ථාන වේ. කොටලු සිවුපා ආදීන් අතුරෙහිද මේ විදියම වේ.
චතුප්පදකථා නිමි.
බහුප්පදකථා
බොහෝ පා ඇත්තවුන් අතුරෙහි එක් සතපදියක කරණකොට පාරාජික වස්තුව පිරේද, ඔහු පයින් යවන්නහුට නවානූවක් ථුල්ලච්චයෝ වෙත්. එක් පාරාජිකයෙක් වේ. සෙස්ස කියූනය ඇත්තේමය.
බහුප්පදකථා නිමි.
ඔචරකකථා
විමසා බලානුයි ඔවරක නමි. ඒ ඒ තැන ඇතුළට පිවියේනුයි කියන ලද්දේ වේ. ‘ඔවරිත්වා’ සලකා විමසා යන අර්ත්ථයි. ‘ආවික්ඛති’ පරකුලයන්හි හෝ විහාරාරාමාදියෙහි හෝ නොමනාව තැබූ නොකළ රැකුම් ඇති භාණ්ඩයක් සොරකම් කරන්නට ප්රතිබල ඇති අනෙකක්හට සැලකෙරෙයි. ‘ආපත්ති උභින්තං පාරාජිකස්ස’ අවශ්යයෙන් සොරකම්කොට ගතයුතු භාණ්ඩයෙහි ඔත්තු කියන්නහුට අණකළ මොහොතෙහිද, අනෙකාහට ඨානාචාවනයෙහිදැයි මෙසේ දෙදෙනාහට පාරාජිකාපත්තිය වේ. යම් මහණෙක් වනාහි ‘පුරුෂතෙමේ ගෙයි නැත්තේය, භාණ්ඩය අසුවල් පෙදෙසෙහි තබන ලද්දේය, නොකළ රැකුම් ඇත්තේය, දොර නොවසන ලද්දේය, ගිය ඇසිල්ලකින්ම ගන්නට හැක්කේය, පුරුෂයන් විසින් කළයුතු කටයුතුවලින් ජීවත්වන කිසිවෙක් නම් නැත්තේය, යමෙක් ගොස් එය ගන්නේය’ යන මේ ආදි ක්රමයෙන් පරියාය කථාකෙරේද, එද අසා අනෙකෙක් ‘මම දැන් ගෙනයන්නෙමි’යි ගොස් ගණීද, එය ගන්නහුට ඨානාචාවනය නිමිතිකොට පාරාජිකය වේ. අනෙකාට වනාහි ඇවැත් නොවේ. පරියාය කථාවෙන් අදින්නාදානයෙන් මිදෙන්නේය.
ඔචරකකථා නිමි.
ඔණිරක්ඛකථා
ගෙන අවුත් තැබූ බඩු රකින්නේනුයි ඔණිරක්ඛ නම් වේ. යමෙක් අනිකෙකු විසින් තමන්ගේ වාසස්ථානයට ගෙනෙන ලද භාණ්ඩයක් ‘ස්වාමීනි! මම මෙනම් කෘත්යයකොට යම්තාක් එන්නෙම්ද ඒතාක් මොහොතක් මේ භාණ්ඩය බලාගනු මැනවැ’යි කියන ලද්දේවේද, ඒතාක් රකියි. ඔහුට මේ නමෙකි. එහෙයින්ම ‘ඔණිරක්ඛො නාම ආහටං භණ්ඩං ගොපෙන්තො’ යනු වදාළ සේක. එහි ඔණිරක්ඛ තෙමේ බොහෝසෙයින් බැඳ එල්ලා තැබූ භාණ්ඩයක් නොමුදාම යට පසුම්බිය හෝ ගොටුව හෝ කපා ස්වල්පමාත්රයක් ගෙන මැහීම් ආදිය නැවත ප්රකෘතිමත් කෙරේද, ‘මෙසේ ගන්නෙමි’යි පැහැසීම් ආදිය කරන්නහුට සුදුසු වූ ආපත්තීහු දතයුත්තාහ.
ඔණිරක්ඛකථා නිමි.
සංවිදාවහාරකථා
සංවිධානයකොට සොරකම් කිරීම සංවිදාවහාර නම්වේ. ඔවුනොවුන්ගේ ප්රඥප්තිය කරණකොට කළ සොරකමැයි කියන ලද්දේ වේ. ‘සංවිදහිත්වා’’ සමානච්ඡන්දය ඇති බැවින් සමානාද්ධ්යාසය ඇති බැවින් එක්ව මන්ත්රණයකොට යන අර්ත්ථයි. එහි මේ විනිශ්චය වේ: බොහෝ භික්ෂූහු ‘අසුවල් ගෙට ගොස් වහල හෝ බිඳ ගෘහසන්ධි හෝ සිඳ භාණ්ඩය ගන්නෙමු’යි නියමකොට ගෙනයෙත්ද, ඔවුන් අතුරෙහි එකෙක් භාණ්ඩය සොරකම් කරයි. ඒ භාණ්ඩය ඉදිරීම නිමිතිකොට සියල්ලන්ට පාරාජිකය වේ. පරිවාරයෙහි ද වදාරණ ලද්දේය:-