රාජපච්චත්ථිකාදිචතුක්කභෙදකථා
යම්හෙයකින් වනාහි භික්ෂුප්රත්යනීකයෝම මෙසේ නොකරත්ද රාජප්රත්යනීකාදීහුත් මෙසේ කරත්ද, එහෙයින් ඒ භෙදය දක්වනසේක් ‘රාජපච්චත්ථිකා’ යනාදිය වදාළ සේක. එහි රජහුම පසමිතුරුවූවාහු රාජපච්චත්ථිකයහ. ඒ රජහු තුමූම ගෙනඑන්නාහුද, අන්හුලවා ගෙන්වන්නාහුද ගෙනඑත්මැයයි දතයුතුය. සොරහුම පසමිතුරු වූවාහු චොරපච්චත්ථිකයහ. ධූර්තයෝ නම් මෙවුන්දම් ඇසුරු කළ කෙළිසෙල්ලම්හි යෙදීගත් නුවර වසන කෛරාටික පුරුෂයෝය. ස්ත්රී ධූර්ත - සුරාධූර්තාදීහු හෝවෙත්. ධූර්තයෝම පසමිතුරුවූවාහු ධුත්තච්චත්ථිකයහ. ගන්ධ යි හෘදය කියනු ලැබේ. ඒ හෘදය උපුටත්නුයි උප්පලගන්ධයහ. උප්පලගන්ධයෝම පසමිතුරුවූවාහු උප්පලගන්ධපච්චත්ථිකයහ. මොවුහු වනාහි සීසෑම්, වෙළඳාම් ආදියෙන් ජීවත්වන්නාහු නොවෙත්. මංපැහැරීම් ගම්පැහැරීම් ආදිය කොට අඹුදරුවන් පෝෂණය කරත්. තමන්ගේ කර්මසිද්ධිය පතන ඔවුහු දෙවියන් යැද ඔවුනට බිලියම් පිණිස මිනිසුන්ගේ හදමස් උපුටා ගනිත්. ඒ පිණිස ඔවුනට හැමදා මිනිස්සු ලබනු නොහැක්කාහුය. වනයෙහි වසන භික්ෂූහු සුලභ වෙත්. එහෙයින් ඔවුහු ‘සිල්වත් මහණුන් අල්ලාගෙන සිල්වතෙකු මැරීම බරපතල පාපයකැ’යි සිතන්නාහු ඒ මහණහුගේ ශීලවිනාශය පිණිස මනුෂ්යස්ත්රී ආදීන් අල්ලාගෙන එත්. මහණහු හෝ ස්ත්රීන් වෙත පමුණුවත්. එහි මේ විශේෂය වේ. සෙස්ස කියූනයින්ම දතයුතුය. භික්ෂුප්රත්යනීකවාරයෙහි කියූපරිදිම මේ සිවුවාරයන්හිද චතුෂ්කයෝ දතයුත්තාහ. පෙළෙහි වනාහි සැකෙවින් කියන ලදහ.
සර්වාකාරයෙන් චතුෂ්කභෙදකථාව නිමි.
ආපත්තානාපත්තිවාරවණ්ණනා
දැන් ‘මනුස්සිත්ථියා තයො මග්ගෙ මෙථුනං ධම්මං පතිසෙවන්තස්ස’ යනාදී වූ යමක් වදාරන ලද්දේද, එහි නොමුළාබව පිණිස ‘මග්ගෙන මග්ගං’ යනාදිය වදාළ සේක. එහි ‘මග්ගෙන මග්ගං’ ස්ත්රියගේ තුන්මග අතුරෙහි එක්තරා මගකින් තමාගේ අඞ්ගජාතය ප්රවෙශ කරයි. තවද මලමග පසමග යන දෙමග භගන්දරාදි රෝගයකින් බිඳීගියකල්හි ඒ දෙමගඅතුරෙහි පසමගින් වසමගට, වසමගින් හෝ පසමගට ප්රවෙශ කරයි. ‘මග්ගෙන අමග්ගං’ පසමග ඈ මගකින් ප්රවෙශකොට එයට සමීප වූ වණයෙන් බැහැරට ඇදගනියි. ‘අමග්ගෙන මග්ගං’ මගට ලංව සිටි වණයෙන් ප්රවෙශකොට, මගින් බැහැරට ඇදගනියි. ‘අමග්ගෙන අමග්ගං’ දෙමග බිඳීගිය කල්හි එක් වණයකින් ප්රවෙශකොට දෙවන වණයෙන් බැහැරට ඇදගනියි. මේ සූත්රයට අනුලොම් වසයෙන් සියලු තන්හි ව්රණසඞ්ක්ෂෙපයෙහි ථුල්ලච්චය වේයයි දතයුතුය.
දැන් ඉදිරියෙහි ‘ආනාපත්ති අජානන්තස්ස අසාදියන්තස්ස’යි යමක් වදාරණ සේක්ද, එහි නොමුළාබව පිණිස ‘භික්ඛු සුත්තභික්ඛුම්හි’ යනාදිය වදාළ සේක. මේ එහි අදහසය: යම් මහණෙක් නින්දෙන් නැගීසිටියේ එය ඉවසාද, හෙතෙමේ ‘මා නිදිගත්කල්හි මෙතෙමේ විපිළිපන්නේය. මම නොදනිමි’යි ඇවැතින් නොමිදෙන්නේය. ‘උභො නාසෙතබ්බා’ යන මෙහි දෙදෙනම ලිඞ්ගනාශනයෙන් නැසිය යුතුය. එහි දූෂකයාගේ ප්රතිඥාකරණයක් හෙවත් ඔහු විචාරා ප්රතිඥා ගෙන නැසීමක් නැත්තේය. දූෂිතදැයි අසා දූෂිත මහණහු විචාරා ප්රතිඥා ගෙන ලිඞ්ගනාශනයෙන් නැසිය යුතුය. ඉදින් නොඉවසානම් නොනැසිය යුතුය. හෙරණහුගේ වාරයෙහිද මේ ක්රමය වේ.
මෙසේ ඒ ඒ තන්හි ඒ ඒ ආපත්තියද අනාපත්තියද දක්වා දැන් අනාපත්තියම දක්වනසේක් ‘අනාපත්ති අජානන්තස්ස’ යනාදිය වදාළ සේක. එහි අජානන්ත නම් යමෙක් මහා නින්දට පැමිණියේ විශාලාමහා වනයෙහි දිවා විහරණයට ගිය මහණහු මෙන් පරහු විසින් කළ උපක්රමය නොදනීද, හෙතෙමේය. මෙබන්දහුට ඇවැත් නොවේ. ‘නාහං භගවා ජානාමීති අනාපත්ති භික්ඛු අජානන්තස්ස’යි මෙද වදාරණ ලද්දේය. අසාදියන්ත නම් යම් මහණක් දැනද නොඉවසානම් ඒ මහණතෙමේය. එහිම වහා නැගීසිටි මහණහු මෙනි. ‘නාහං භගවා සාදියින්ති අනාපත්ති භික්ඛු අසාදියන්තස්ස’යි මෙද වදාරණ ලද්දේය.
උන්මත්තක නම් පිත්තොන්මත්තක තෙමේය. බද්ධපිත්ත - අබද්ධපිත්තයි පිත දෙවැදැරුම්ය. එහි අබද්ධපිත්තය රුධිරයෙන් මුළු සිරුර පැතිර සිටියේය. ඒ අබද්ධපිත්තය කිපීගිය කල්හි සත්ත්වයන්ට කැසීම්, සිරුර වෙවුලීම් ආදි රෝග වේ. ඒ කැසීම් සිරුර වෙවුලීම් ආදිහු බෙහෙත් කිරීමෙන් සන්සිඳීයෙත්. බද්ධපිත්තය වනාහි පිත්තකොෂයෙහි පිහිටියේය. ඒ බද්ධපිත්තය කිපීගිය කල්හි සත්ත්වයෝ උමතුවෙත්. පෙරළීගිය සන්ඇත්තාහු විළිබිය හැරපියා නොසරුප් හැසුරුම්හි හැසිරෙන්නාහ. ලහුක - ගරුක ශික්ෂාපද මඩින්නාහුද නොදනිත්. ඔවුහු බෙහෙත් කිරීමෙනුදු පිළියම් නොකොට හැකියෝවෙත්. මෙබඳු උමතු මහණහුට ඇවැත් නොවේ.
ඛිත්තචිත්ත නම් හළසිත් ඇත්තේය. යක්ෂොන්මත්තක යි කියනු ලැබේ. යක්ෂයෝ වනාහි බිහිසුණු අරමුණු දක්වා මුවෙන් අත ඇතුල්කොට හෘදයරූපය හෝ මඩිමින් සත්ත්වයන් විසුරුණු සිත්ඇත්තවුන්, පෙරළුනු සන්ඇත්තවුන් කෙරෙත්. මෙබඳුවූ විසිරීගිය සිත්ඇති මහණහුට ඇවැත් නොවේ ඒ දෙදෙනාගේ මේ විශෙෂය වේ. පිත්තොන්මත්තකතෙමේ නිතැතින්ම උමතුව සිටුනේය. පියවිසන් නොලබන්නේය. යක්ෂොන්මත්තක තෙමේ අතරතුර පියවිසන් ලබන්නේය. මෙහි වනාහි පිත්තොන්මත්තක හෝ වේවා යක්ෂොන්මත්තක හෝ වේවා යමෙක් මුළුමනින් මුළා සිහි ඇත්තේ කිසිත් නොදනීද, ගිනිද, රන්ද, අශුචිද, සඳුන්ද එක් සමානකොට සලකා මඩිමින් හැසිරේද, මෙබඳු මහණහුට ඇවැත් නොවේ. අතරතුර සන් ලැබ දැන කරන්නහු ඇවැත්මය.
වෙදනට්ට නම් යම් මහණෙක් ඉතා දැඩි දුඃඛවෙදනාවෙන් ආතුරවූයේ කිසිත් නොදනීද, මෙබදු මහණහුට ඇවැත් නොවේ.
ආදිකම්මික නම්, යම් මහණෙක් ඒ ඒ කර්මයෙහි ආදිවූයේද මුල්වූයේද හෙතෙමේය. මෙහිවනාහි සුදින්න ස්ථවිරතෙමේ ආදිකර්මක වූයේය. ඔහුට ඇවැත් නොවේ. සෙසු මර්කටී ශ්රමණ වජ්ජිපුත්රකාදීන්ට ඇවැත්වේමය.