දැන් යම් හෙයකින් ඔහු විසින් යම් පාපකර්මයක් කරන ලද්දේද, ඒ පාපකර්මය පැසෙනුයේ දැඩි දුක්විපාක ඇත්තේද, එහෙයින් ඔහුට ඒ දුක්විපාකය දක්වාලනු පිණිස, කළ අපරාධ ඇති පුතාට අනුකම්පා කරන මවුපියන් මෙන් කරුණා බහුල වූ සිතින් සුදින්න හට ගරහනසේක් ‘වරං තෙ මොඝපුරිස’ යනාදිය වදාළ සේක. එහි මොහුගේ විෂය වහා වේගයෙන් දෂ්ට කරන ලද්දහු කරා නැග ඒනුයි ආසීවිස නම. මොහුගේ විෂය ඝෝරය, චණ්ඩයයි ඝෝර විස නම. ඒ ආසීවිස ඇත්තහුගේය. ඝෝර විස ඇත්තහුගේය. ‘පක්ඛිත්තං’ යන මේ පාදයාගේ ‘වරං’ යන මේ පදය හා සම්බන්ධය වේ. මෙබඳු ඝෝරවිස ඇති ආසීවිසයක්හුගේ මුඛයෙහි අඞ්ගජාතය බහාලන ලද්දේ උතුම් වේ. ඉදින් බැහූයේ වන්නේනම් එය උතුම් වන්නේය. සොඳුරු වන්නේය. යහපත් වන්නේය. මනා වන්නේය යන අර්‍ත්‍ථයි. ‘නත්වෙ’ උතුම් නොවේමය. සොඳුරු නොවේමය. යහපත් නොවේමය. මනා නොවේමය. සියලු තන්හි මේ ක්‍රමය වේ. ‘කණ්හසප්පස්ස’ කළුනයකුගේ. ‘අඞ්ගාරකාසුයා’ අඟුරින් පිරුණු වළෙක. අඟුරු රැසෙක හෝ ‘ආදිත්තාය’ තදින් ඇවිළගත්. ගන්නාලද ගිනි පැහැති ‘සම්පජ්ජලිතාය’ හාත්පසින් තදින් දැල්වෙන. ගිනිදැල් මුදන. ‘සජොතිභූතාය’ ප්‍රභාසහිත වූ හාත්පසින් නැගුනු ගිනිදැලින් එක්ම ගිනිදැල් සමූහයක්වූයි කියන ලද්දේ වේ.
‘තං කිස්ස හෙතු’ මා විසින් උතුමියි යමක් කියන ලදද, එය කුමක් හෙතුකොට කවර කරුණකින්දයත්: ‘මරණං වා නිගච්ඡෙය්ය’ යමෙක් එහි අඞ්ගජාතය බහන්නේද, හෙතෙමේ මරණයට හෝ පැමිණෙන්නේය. ‘ඉතො නිදානඤ්ච ඛො -පෙ- උප්පජ්ජෙය්ය’ මාගමකගේ අඞ්ගජාතයෙහි යම් මේ අඞ්ගජාතය බැහීමක්වේද, මේ හෙතුකොට ඒ පාපකර්මය කළ පුද්ගලතෙමේ නිරයෙහි උපදින්නේය. මෙසේ මේ කර්මයාගේ මහාසාවද්යභාවය දක්නාසේක් ඔහුට ගැරහූ සේක. ඔහුට දුක් ඉපදවීම කැමතිවෙමින් මේ ගැරහීම නොකළසේක. ‘තත්ථ නාම ත්වං’ මෙසේ මහාසාවද්‍ය වූ ඒ මෙබඳු කර්මයෙහිද තෝ. ‘යං ත්වං’ යන මෙහි ‘යං’ යනු නින්දාර්ත්ථයෙහි නිපාතයි. ත්වං යනු තං ශබ්දයාගේ වෙවචනයි. යං කියා හෝ තං කියා යන දෙකින්ම හෝ ගැරහීම වේ. ලාමක කොට දන්නා ලද්දේය’යි වදාරණ ලද්දේය. ‘අසද්ධම්මං’ නොසන්සුන් වූ නීචජනයන්ගේ ධර්මයෙකි. ඒ නීචජනයන් විසින් සෙවිය යුතුය යන අර්‍ත්‍ථයි. ‘ගාමධම්මො’ ගම්වැස්සන්ගේ ධර්මයෙකි. ගම්වැසි මිනිසුන්ගේ ධර්මයයි වදාරණ ලද්දේ වේ. ‘වසලධම්මං’ පාපධර්ම වස්වති, වගුරුවතීයි වසලයහ. ඒ වසල ලාමක පුරුෂයන්ගේ ධර්මයකි. වසලවූ හෝ කෙලෙස් වගුරණ ධර්මයකි. ‘දුට්ඨුල්ලං’ දුෂ්ටද වේ. කෙලෙසුන්ගෙන් තදින් දූෂිතද වේ. තරද වේ. නොසියුම්ද වේ. අනිපුණදැයි වදාරණ ලදය. ‘ඔදකන්තිකං’ දියකිස මෙයට කෙළවරය. අන්තිකය. අවසානයි ඔදකන්තික නමි. ඒ ඔදකන්තිකය. ‘රහස්සං’ රහස්හි වන. පිළිසන් අවකාශයෙහි උපදින. මේ ධර්මය වනාහි පිළිකුල් කටයුතු බැවින් ප්රකටව අන්හුගේ ඇස් හමුවෙහි කරන්නට නොහැක්කේය. ‘රහස්සං’යි එහෙයින් වදාරණ ලදී. ‘ද්වයං ද්වයසමාපත්තිං’ දෙදෙනෙකු දෙදෙනෙකු විසින් පැමිණිය යුතුය. ‘ද්වයං ද්වයං සමාපත්තිං’යිද පාඨයක් වේ. ‘දයං දයසමාපත්තිං’යිද හදාරත්. එය නොමැනවි. ‘සමාපජ්ජිස්සසි’ යන මෙය ‘තත්ථ නාම ත්වං’ යි මෙහි කියූ නාම ශබ්දය සමග ‘සමාපජ්ජිස්සසි නාම’යි යෙදිය යුතුය.
‘බහුන්තං ඛො පෙ- ආදිකත්තා පුබ්බඞ්ගමො’ යනු ශාසනය සඳහා වදාරණ සේක. ‘තෝ මේ ශාසනයෙහි බොහෝ පුද්ගලයන්ගේ අකුශල ධර්මයන්ට ආදිකර්තෘ වෙහිය. සියල්ලන්ට පළමුකොට කිරීමෙන් පූර්වඞ්ගම වෙහිය. සියල්ලන්ට පළමුකොට මේ මගට පිළිපන් බැවින් දොර ඇරදුන්නේ වෙහිය. උපාය දැක්වූයේ වෙහියයි වදාරණ ලද්දේය. මේ මද ඉඩක් ලැබ තට අනුව හික්මෙන බොහෝ පුද්ගලයෝ නන්වැදෑරුම් වූ වැඳිරියක හා මෙවුන්දම් සෙවුම් ආදීවූ අකුශල ධර්මයන් කරන්නාහ යනු මෙහි අදහස වේ.
‘අනෙකපරියායෙන’ ‘අනනුච්ඡවියං’ යනාදි ක්‍රමයෙන් කියු බොහෝ කරුණුවලිනි. ‘දුභරතාය -පෙ- කොසජ්ජස්ස අවණ්ණං භාසිත්වා’ දුර්භරභාවාදියට වස්තු වූ අසංවරයාගේ නොපැසසීම -නින්දාව - ගැරහීම වදාරා යන අර්‍ත්‍ථයි. යම්හෙයකින් අසංවරයෙහි සිටි පුද්ගලයාගේ සිත දුක සේ ඉසිලිය යුතුබවට හා දුකසේ පෝෂණය කළයුතු බවට පැමිණේද, එහෙයින් අසංවරය දුභරතා - දුප්පොසතායි කියනු ලැබේ. යම්හෙයකින් වනාහි අසංවරයෙහි සිටියහුගේ සිත සිවුපසයෙහි මහත් ආශා ඇතිබවට මහමෙර තරම් සිවුපසය ලබාද නොසතුටුබවට පැමිණේද, එහෙයින් අසංවරය මහිච්ඡතා අසන්තුට්ඨිතායි කියනු ලැබේ. යම්හෙයකින් අසංවරයෙහි සිටියහුගේ සිත ගණයා හා එක්වීමෙහිද කෙලෙසුන් හා එක්වීමෙහිද රැදීසිටීද කුසීත භාවයට අනුව ගියේවේද, කුසීතභාවයට කරුණු වූ අෂ්ටකුසීත වස්තූන් පිරීමෙහි පවත්නේද එහෙයින් අසංවරය සඞ්ගණිකාකොසජ්ජයි කියනු ලැබේ.
‘සුභරතාය -පෙ- විරියාරම්හස්ස වණ්ණං භාසිත්වා’ සුභරභාවාදියට වස්තු වූ සංවරයාගේ ගුණ වදාරා යන අර්‍ත්‍ථයි. යම්හෙයකින් අසංවරය හැරපියා සංවරයෙහි සිටි පුද්ගලයාගේ සිත සුවසේ ඉසිලිය හැකිවේද, සුවසේ පෝෂණය කළ හැකිවේද, සිවුපසයෙහි අල්පෙච්ඡ භාවයට තෘෂ්ණාරහිතභාවයට පැමිණේද, එක් එක් ප්‍රත්‍යයයෙහි යථාලාභ - යථාබල - යථාසාරුප්ප වසයෙන් තෙවැදෑරුම් වූ භෙදඇති සන්තුෂ්ටියෙහි පවත්නේද, එහෙයින් සංවරය සුභරතාය, සුප්පොසතාය, අප්පිච්ඡය - සන්තුට්ඨයි කියනු ලැබේ.
යම්හෙයකින් වනාහි අසංවරය හැරපියා සංවරයෙහි සිටියහුගේ සිත කෙලෙස් කපාලීමෙහි හා කෙලෙස් කම්පනයෙහි පවත්නේද, එහෙයින් සංවරය සල්ලෙඛ යිද ධුත යිදැයි කියනු ලැබේ.
යම්හෙයකින් අසංවරය හැරපියා සංවරයෙහි සිටියහුගේ සිත කය වචන පිළිබඳ නොපැහැදුම් එළවන නොපැහැදුමට කරුණු වූ අශාන්ත වූ අසාරුප්‍ය වූ කාය වාග් දුශ්චරිතයටද, සිතෙහි නොපැහැදුම් එළවන නොපැහැදුමට කරුණු වූ අශාන්ත වූ අසාරුප්‍ය වූ කාම - ව්‍යාපාද - විහිංසා යන අකුශල විතර්ක තුනට ද නොපැමිණ. තත් විපරීත වූ පැහැදුම් එළවන පැහැදුමට කරුණු වූ ශාන්ත වූ සාරුප්‍ය වූ කායවාක් සුචරිතයාගේද, නෛෂ්ක්‍රම්‍ය - අව්‍යාපාද - අවිහිංසා යන කුශල විතර්ක තුනෙහි පාරිපූරිය පිණිස පවතීද, එහෙයින් සංවරය පාසාදිකයි කියනු ලැබේ.