පළමු සිකපද වර්ණනාව
චිත්තාගාර වර්ගය පිළිබඳ ප්රථම ශික්ෂාපදයෙහි - “රාජාගාරං” රජුගේ ක්රීඩාගෘහය. “චිත්තාගාරං” ක්රීඩාකරන විසිතුරු සාලාවය. “ආරාමං” ක්රීඩාකරන සමීපවනය. “උය්යානං” ක්රීඩාකරන උයනය. “පොක්ඛරණීං” ක්රීඩාකරන පොකුණය. එහෙයින්ම පදභාජනයෙහි “යත්ථ කත්ථචි රඤ්ඤො කීළිතුං” යනාදිය වදාරණ ලදී. “දස්සනාය ගච්ඡති ආපත්ති දුක්කටස්ස” මෙහි පියවර ගණනින් දුක්කටය වේ. “යත්ථ ඨිතා පස්සති” ඉදින් මෙහි එක්ම තැනක සිටින්නී පිය නොඋදුරමින් ඒ පසම දකීද එක්ම පාචිත්තියක් වේ. ඒ ඒ දිසා කොටස් බලා බලන්නියට වෙන් වෙන් ඇවැත්හු වෙත්. මහණහට වනාහි සියලු තන්හි දුක්කටය වේ.
“ආරාමෙ ඨිතා” ආරාමය තුළ රාජගෘහාදිය කෙරෙත්ද ඒ රාජගෘහාදිය බලන්නියට ඇවැත් නොවේ. “ගච්ඡන්තී වා ආගච්ඡන්තී වා” පිණ්ඩපාතාදිය පිණිස යන්නියට මාර්ගයවේද, ඒ රාජගෘහාදිය දකීද, ඇවැත් නොවේ. “සති කරණීයෙ ගනත්වා” රජුගේ සමීපයට කිසි කටයුත්තක් හෙතුකොට ගොස් බලාද, ඇවැත් නොවේ. “ආපදාසු” කිසිවකු විසින් පීඩාකරණ ලද්දී පිවිස බලාද ඇවැත් නොවේ. සෙස්ස ප්රකටමය.
එළකලොම සමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. අකුශලචිත්තයි. ත්රිවෙදනයි.
පළමු ශික්ෂාපදයයි
දෙවන සිකපද වර්ණනාව
ද්විතීය ශික්ෂාපදයෙහි - හිඳීමි හොවීම්හි ප්රයොග ගණනින් ඇවැත්හු දතයුත්තාහුය. සෙස්ස ප්රකටමය.
එළකලොම සමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
දෙවන ශික්ෂාපදයයි
තෙවන සිකපද වර්ණනාව
තෘතීය ශික්ෂාපදයෙහි “උජ්ජවුජ්ජුවෙ” යම් පමණක් අතින් අඳින ලද්දේ වේද, එපමණ පෙදෙසක් වෙළු කල්හි එක් ඇවැතක් වේ. කැටීමට පෙර කපු සෙවීම් ආදිකොට සියලු ප්රයොගයන්හි අත්වර ගණනින් දුක්කට වේ.
“කන්තිතසුත්තං” දාහු ආදිය ගටා කටියි, නොමනාව කටින ලද්දක් හෝ නැවැත කටියි. සෙස්ස ප්රකටමය. එළකලොම සමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
තෙවන ශික්ෂාපදයයි
සිවුවන සිකපද වර්ණනාව
චතුර්ත්ථ ශික්ෂාපදයෙහි - “යාගුං වා” යනාදිතන්හි සහල් කෙටීම ආදිකොට සියලු ප්රයොගයන්හි ප්රයොග ගණනින් දුක්කටය වේ. කෑයුතු දෑ ආදීන් අතුරෙහි රූප ගණනින් පාචිත්තීහු වෙත්.
“යාගුපානෙ” මිනිසුන් විසින් සඞ්ඝයාට වැඩ පිණිස කරනු ලබන්නාවූ කැඳ බීමෙහි හෝ සඟබතෙහි හෝ ඔවුන්ට සභාග බැවින් යම් කිසිවක් පිසන්නියට ඇවැත් නොවේ. සෑයට පිදීම පිණිස යහලුව සුවඳ ආදියෙන් පුදාද, වටියි. “අත්තනො වෙය්යාවච්චකරස්ස” ඉදිනුදු මවුපියෝ එත්ද, යම්කිසි විජනියක් හෝ මුසුන්දණ්ඩක් හෝ කරවා වතාවත් කරන තැන තබාම යම් කිසිවක් කිරීම වටියි. සෙස්ස ප්රකටමය. සමුත්ථානාදීහු තෘතීය ශික්ෂාපදය හා සමානම වෙත්.
සිවුවන ශික්ෂාපදයයි.
පස්වන සිකපද වර්ණනාව
පඤ්චම ශික්ෂාපදයෙහි - “අසති අන්තරායෙ” දසවිධ අන්තරාය නැති කල්හි ධුරනික්ෂෙපයකොට පසුව විනිශ්චය කරන්නී ඇවතට පැමිණම විනිශ්චය කරයි.
“පරියෙසිත්වා න ලභති” යහලු මෙහෙණන් නොලබයි. සෙස්ස ප්රකටමය. ධුරනික්ෂෙප සමුත්ථානිකය. අක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
පස්වන ශික්ෂාපදයයි
සවන සිකපද වර්ණනාව
ෂෂ්ඨ ශික්ෂාපදයෙහි - සියල්ල නග්න වර්ගයෙහි අගාරික ශික්ෂාපදයෙහි කියූනයින්ම දතයුතුය. මේ වනාහි විශේෂය වේ. එය ෂඩ්සමුත්ථානිකය. මෙය සහත්ථායි කියූ බැවින් එළකලොමසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
සවන ශික්ෂාපදයයි
සත්වන සිකපද වර්ණනාව
සප්තම ශික්ෂාපදයෙහි - “පුන පරියායෙන” නැවැත වරෙක්හි “ආපදාසු” මහගි සිවුරක් සිරුරෙන් මුදා මොනවට තැන්පත් කරණලද්ද, සොරු පැහැර ගෙණයෙත්. මෙබඳු ආපදාවන්හි නොනිසදා හඳින්නියට ඇවැත් නොවේ. සෙස්ස ප්රකටමය.
කඨිනසමුත්ථානිකය. කායවාචායෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගනියි. කි්රයාක්රියසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
සත්වන ශික්ෂාපදයයි
අටවන සිකපද වර්ණනාව
අෂ්ටම ශික්ෂාපදයෙහි - “අනිස්සජිත්වා” රැකීම පිණිස නොදී, ‘මේ ආවාසය ගොපනය කරව’යි මෙසේ නොවිචාරා’යි යන අර්ත්ථයි.
“පරියෙසිත්වා න ලභති” පිළිදැගුම් කරන්නියක නොලබයි. “ගිලානාය” වාග්භෙදය කරන්නට අසමර්ත්ථ වූවහුට. “ආපදාසු” රට බිඳෙන කල්හි ආවාසයන් හැරදමා යෙත්. මෙබඳු ආපදාවන්හි ඇවැත් නොවේ. සෙස්ස ප්රකටමය. සමුත්ථානාදීහු අනතුරු ශික්ෂාපදය සමානම වෙත්.
අටවන ශික්ෂාපදයයි.
නවවන සිකපද වර්ණනාව
නවම ශික්ෂාපදයෙහි - “බාහිරකං අනත්ථසංහිතං” ඇත්, අස් රිය දුනු කඩු ශිල්ප, පරූපඝාතකරමන්ත්ර- සතුරන් මරණු පිණිස හරදැවින් කළ හුල් ජපකොට පොළොවෙහි සිටුවන මන්ත්ර, වසඟ කරණ මන්ත්ර, වියලවන මන්ත්ර, විසබෙහෙත් යෙදීම් ආදිවාසයෙන් ප්රභෙද වූ අන්හු නසන යමක්. “පරිත්තං” යක්ඛපරිත්ත - නාගමණ්ඩලබන්ධනාදී වසයෙන් ප්රභෙදවූ සියල්ලම වටියි. සෙස්ස ප්රකටමය.