3. නග්නවර්ගය
පළමු සිකපද වර්ණනාව
නග්ග වර්ගය පිළිබඳ ප්රථම ශික්ෂාපදයෙහි - “බ්රහ්මචරියං චිණ්ණෙන” පුරුදු කළ බ්රහ්මචර්ය්යයෙන්. නොහොත් බ්රහ්මචර්ය්යයෙහි හැසිරීමෙන්ය. මෙසේ කරණාර්ත්ථයෙහි හෝ සම්බන්ධාර්ත්ථයෙහි හෝ ද්විතීයා වචනය දතයුතුය. “අච්ඡින්නචීවරිකාය” මෙය දියසළුව සඳහා කියනලදී. අන්සිවුරක් සඳහා නොකියන ලදය. එහෙයින් දියසළුව පැහැරගත්කල්හි හෝ නැසුනු කල්හි හෝ නග්නව ස්නානය කරන්නියට ඇවැත් නොවේ. ඉදිනුදු දියසඑසිවුර මාහැඟි වේද, හැඳ පිටතයන්නට නොහැක්කීද, මෙසේ ඇතිකල්හිද නග්නව ස්නානය කරන්නට වටියි. මෙහි සෙස්ස ප්රකටමය.
එළකලොම සමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
පළමුවන ශික්ෂාපදයයි
දෙවන සිකපද වර්ණනාව
ද්විතීය ශික්ෂාපදයෙහි - සියල්ල ප්රකටමය. ෂඩ්සමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
දෙවන ශික්ෂාපදයයි
තෙවන සිකපද වර්ණනාව
තෘතීය ශික්ෂාපදයහි - “අනන්තරායකිනි” දශවිධ අන්තරායයන් අතුරෙහි එකද අන්තරායයකින් අන්තරාය නැත්තී. “ධුරං නික්ඛිත්තමත්තෙ” ධුරනික්ෂෙපයකොට පසුව මසානම් ඇවැත්මවේය, යන අර්ත්ථයි. සෙස්ස ප්රකටමය.
ධුරනික්ෂෙප සමුත්ථානිකය. අක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
තෙවන ශික්ෂාපදයයි
සතරවන සිකපද වර්ණනාව
චතුර්ත්ථ ශික්ෂාපදයෙහි - පස්දවස පඤ්චාහ නම. පඤ්චාහයම පඤ්චාහික නම. පංචවිධ චීවරයන්ගේ පරිභොග වසයෙන් හෝ අඩු කැවීම් වසයෙන් හෝ පෙරළීම සඞ්ඝාටිචාර නම. පරිභොග වසයෙන් හෝ අවුවෙහිලා වියලීම් වසයෙන් හෝ සඞ්ඝටිතාර්ත්ථයෙන් සඞ්ඝාටියි ලැබූ නම් ඇති පංචවිධචීවරයන්ගේ පරිවර්තනය යන අර්ත්ථයි. එහෙයින්ම පදභාජනයෙහි “පඤ්චමං දිවසං පඤ්ච චීවරානි” යනාදිය වදාළ සේක. “ආපත්ති පාචිත්තියස්ස” මෙහිද එක් සිවුරක් නිමිතිකොට එක් ඇවැතක් වේ. සිවුරුපස නිමිතිකොට ඇවැත් පසෙක් වේ.
“ආපදාසු” සොරබිය ආදියෙහිදී එක් සිවුරක් පරිභොග කරන්නට නොහැක්කේ වේද, මෙබඳු උවදුරක් ඇතිකල්හි ඇවැත් නොවේ. සෙස්ස ප්රකටමය. කඨිනසමුත්ථානිකය. අක්රියසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
සිවුවන ශික්ෂාපදයයි
පස්වන සිකපද වර්ණනාව
පඤ්චම ශික්ෂාපදයෙහි - “චීවරසඞ්කමනීයං” දෙවන දියයුතු සිවුරක්. අන් මෙහෙණක සතු සිවුරක් නොවිචාරා ගන්නාලදුව නැවත දියයුතු සිවුරක්ය යන අර්ත්ථයි.
“ආපදාසු” ඉදින් නොපොරොවන ලද්දක් හෝ නොහඳින ලද්දක් හෝ සොරු පැහැර ගණිත්ද, මෙබඳු විපත් ඇති කල්හි ඇයට ඇවැත් නොවේ. සෙස්ස ප්රකටමය. කඨිනමසමුත්ථානිකය. ක්රියාක්රියසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කාරකර්මය. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
පස්වන ශික්ෂාපදයයි
සවන සිකපද වර්ණනාව
ෂෂ්ඨ ශික්ෂාපදයහි - “අඤ්ඤං පරික්ඛාරං” තලිය ආදී පිරිකර අතුරෙහි හෝ ගිතෙල් තෙල් ආදීන් අතුරෙහි යම්කිසි එක්තරා එකක් “ආනිසංසං” ‘කෙතෙක් අගනා එකක් දෙනු කැමැත්තහුදැ’යි විචාරයි. එකල්හි ‘මෙතෙක් අගනා එකක්’යි කියත්. ඒතාක් කල් බලාපොරොත්තු වවු, දැන් වස්ත්රය මහගි වේ. කීපදවසකින් කපු ලැබුනු කල්හි සම අගිනා එකක් වන්නේය’යි මෙසේ කියා වළකින්නියට ඇවැත් නොවේ. සෙස්ස ප්රකටමය.
ත්රිසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. ත්රිවෙදනයි.
සවන ශික්ෂාපදයයි
සත්වන සිකපද වර්ණනාව
සප්තම ශික්ෂාපදයෙහි - “පක්කමිංසු” අනික් මෙහෙණන්ගේද ඊම බලන්නී ‘එකාන්තයෙන් අප ගැණද බලන්නාහුයයි ඒ ඒ තැන ගියහ. “පටිබාහෙය්ය” වළකන්නී නම්,
“ආනිසංසං” එක් මෙහෙණක්හට එක් සළුවක් නොපොහෝනේද ඒතාක් බලාපොරොත්තුවනු මැනැවි. කිහිපදවසකින් ලැබෙන්නේය. ඉන්පසු බෙදන්නෙමු’යි මෙසේ අනුසස් දක්වා වළකන්නියට ඇවැත් නොවේ. සෙස්ස ප්රකටමය.
ත්රිසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
සත්වන ශික්ෂාපදයයි
අටවන සිකපද වර්ණනාව
අෂ්ටම ශික්ෂාපදයෙහි - නටා නාම නටයෝ නම් යම් කෙනෙක් නැටුම් නටවත්ද ඔවුහුය. නටකා නාම නටකයෝ නම් යම් කෙනෙක් නටත්ද, ඔවුහුය. ලඞ්ඝනකා ලඞ්ඝනකයෝ නම් කෙනෙක් හුණදඬු වරපට ආදියෙන් පිනුම් ගැසීම කෙරෙත්ද, ඔවුහුය. සොකසායිකයෝ නම් මායාකාරයෝය. කුම්හථූනිකයෝ නම් කළයෙන් සෙල්ලම් කරන්නෝය. ඇතුළත සිදුර තබා රුක්හර ආදියෙන් කළ සිවුපස සමින් වැසූ වාදිත භාණ්ඩය වයන්නෝ කුම්භථූනික නම්වෙත්. බිම්බිසක වාදකැයිද කියත්. “දෙති ආපත්ති පාචිත්තියස්ස” මෙහි සිවුරු ගණනින් ඇවැත් දතයුතුය. සෙස්ස ප්රකටමය.