සවන සිකපද වර්ණනාව
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - “ඡන්‍දකං” මෙනම් දහම් කිස කරන්නෙමු, යමක් දෙන්නට හැක්කහුද, එය දෙවු’යි මෙසේ අන්හට ඡන්‍දයද රුචියද උපදවා ගත් පිරිකරට මේ නමෙකි. “අඤ්ඤදත්‍ථිකෙන” අනිකක්හට ප්‍රයොජනය පිණිස දෙනලද. “අඤ්ඤුද්දිස්සිකෙන” අනිකක්හු උදෙසා දෙනලද. “සඞ්ඝිකෙන” සඞ්ඝයා හට පරිත්‍යාග කරණලද.
“සෙසකං උපනෙති” යමක් පිණිස දෙන ලද්දේද. එය මිල කරවා සෙස්ස අනිකක්හු පිණිස එළවයි. “සාමිකෙ අපලොකෙත්‍වා” තොප විසින් සිවුරු පිණිස දෙන ලද්දේ ද, අපටද සිවුරු ඇත්තේය, තෙල් ආදියෙන් ප්‍රයෝජන ඇත්තේය’යි මෙසේ විචාරා එළවයි. “ආපදාසු” එබඳු උවදුරුවලදී මෙහෙණෝ වෙහෙර හැරදමා යෙත්ද, මෙබඳු ආපදාවන්හි. යම්බඳු වූවක් හෝ ප්‍රයොජනද එබඳු වූවක් පරිවර්‍තනය කරවන්නට වටියි. සෙස්ස ප්‍රකටමය.
ෂඩ්සමුත්‍ථානිකය. ක්‍රියාක්‍රියසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
සවන ශික්‍ෂාපදයයි
සත්වන සිකපද වර්ණනාව
සප්තම ශික්‍ෂාපදයෙහි - “සඤ්ඤාචිකෙන” තමන් විසින් ඉල්ලාගත් යමකින්. මෙපමණෙක්ම මෙහි වෙනසය. සෙස්ස සවන ශික්‍ෂාපදය සමානම වේ.
සත්වන ශික්‍ෂාපදයයි
අටවන සිකපද වර්ණනාව
අෂ්ටම ශික්‍ෂාපදයෙහි - “මහාජනිකෙන” ගණයකට පරිත්‍යාග කරණ ලද්දෙන්, මෙපමණෙක්ම මෙහි වෙනස්ය.
අටවන ශික්‍ෂාපදයයි
නවවන සිකපද වර්ණනාව
නවම ශික්‍ෂාපදයෙහි - ‘සඤ්ඤාචිකෙන’ මේ පදය මෙයින් ඉතා අධික වේ.
නවවන ශික්‍ෂාපදයයි
දසවන සිකපද වර්ණනාව
දශම ශික්‍ෂාපදයෙහි - “පරිවෙණං උද්‍රියති” පිරිවෙණ වැනසෙන්නේය. ඇද වැටේය යන අර්‍ත්‍ථයි. ‘පරිපතති’ යන මේ පදයද ‘පුග්ගලිකෙ සඤ්ඤාචිකෙන’ යන මේ පදයද මෙපමණෙක්ම වෙනසය. සෙස්ස පූර්‍වය හා සමානම වේ.
දසවන ශික්‍ෂාපදයයි
එකොළොස්වන සිකපද වර්ණනාව
එකාදශම ශික්‍ෂාපදයෙහි - “ගරුපාපුරාණං” සීතකාලයෙහි පොරෝණය. “චතුක්කංසපරමං” මෙහි කංස නම් සතරකහවණු පමණවේ. එහෙයින් පදභාජනයෙහි “සොළසකහාපණග්ඝනකං” සොළොස් කහවණු අගනු එකකැ වදාරණ ලදී
එකොළොස්වන ශික්‍ෂාපදයයි.
දොළොස්වන සිකපද වර්ණනාව
ද්වාදශම ශික්‍ෂාපදයෙහි - ‘ලහුපාපුරණං’ උෂ්ණ කාලයෙහි පොරෝණය ශික්‍ෂාපද දෙක්හිම සෙස්ස ප්‍රකටමය.
ෂඩ්සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
දොළොස්වන ශික්‍ෂාපදයයි.
“උද්දිට්ඨා ඛො අය්‍යායො තිංස නිස්සග්ගියා පාචිත්තියා ධම්මා” මෙහි මහාවිභඞ්ගයෙහි චීවර වර්‍ගයෙන් ධොවන ශික්‍ෂාපදයද, ප්‍රතිග්‍රහණ ශික්‍ෂාපදයද යන ශික්‍ෂාපද දෙක බැහැරකොට අකාලචීවරය කාලචීවරයයි ඉටා බෙදනලද ශික්‍ෂාපදය හා ද පෙරළා අච්ඡින්නචීවර ශික්‍ෂාපදය සමග ප්‍රථම වර්‍ගය පිරවිය යුතුය. නැවැත එළකලොම වර්‍ගයාගේ ආදියෙහි ශික්‍ෂාපද සතක් බැහැරකොට අඤ්ඤදත්‍ථික ශික්‍ෂාපද සත බහා ද්විතීය වර්‍ගය පිරවිය යුතුය. තෘතීය වර්‍ගයෙන් පඨමපත්ත ශික්‍ෂාපදය වස්සිකසාටික ශික්‍ෂාපදය ආරඤ්ඤක ශික්‍ෂාපදය යන මේ තුන බැහැරකොට පත්තසන්නිචය ගරුපාපුරණ ලහුපාපුරණ ශික්‍ෂාපදයන් සමග තෘතීය වර්‍ගය පිරවිය යුතුය. මෙසේ මෙහෙණන්හට එක් පක්‍ෂයෙක්හිලා පනවනලද දොළොස් ශික්‍ෂාපදද දෙපක්‍ෂයෙහිලා පණවන ලද අටළොස් ශික්‍ෂාපදද මෙසේ සියල්ලෝම ප්‍රාතිමොක්‍ෂාද්දෙශ මාර්‍ගයෙන් ‘උද්දිට්ඨා ඛො අය්‍යායො තිංස නිස්සග්ගියා පාචිත්තියා ධම්මා’යි මෙසේ මෙහි අර්‍ත්‍ථ දතයුතුය. සෙස්ස කියූනයමය.
විනයවිවෘති නම්වූ සිංහල සමන්තපාසාදිකාවෙහි භික්‍ඛුණී විභඞ්ගයෙහි තිංසකනිස්සග්ගිය වර්‍ණනාව නිමි.
4. පාචිත්තිය කාණ්ඩය
1. ලසුනවර්‍ගය
පළමු සිකපද වර්ණනාව
“තිංසකානත්තරං ධම්මා - ඡසට්ඨිසතසඞ්ගහා,
සංගීතා යෙ අයංදානි - හොති තෙසම්පි වණ්ණනා”
තිංසනිස්සග්ගිය පාචිත්තීන්ට අනතුරුව එක්සිය සැට සයකින් සඞ්ග්‍රහවූ යම් පාචිත්තිය ධර්‍මකෙනෙක් සඞ්ගායනා කරණ ලද්දාහුද දැන් ඔවුන්ගේ මේ වර්‍ණනා තොමෝ වන්නීය.
එහි ලසුණ වර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - ‘ද්වෙ තයො භණ්ඩිකෙ’ දෙකක් හෝ තුනක් හෝ පොදි බැඳි ලූනු. පිරීගත් මිදුළු ඇති ලූනුවලට මේ නමෙකි. “න මත්තං ජානිත්‍වා” පමණ නොදැන කෙත් රකින්නහු වළකත්, වළකත්, බොහෝ ලූනු සුන්‍දරීනන්‍දාව ගෙන්වූය.
“අඤ්ඤතරං හංසයොනිං” ස්වර්‍ණහංසයොනියය. ‘සො තාසං එකෙකං’ ඒ හංස තෙමේ ජාති සිහිකිරීමෙහි සමර්‍ත්‍ථ වූයේය. එකල්හි පූර්‍වස්නෙහයෙන් අවුත් ඔවුන්ට එක් එක් පත්‍රයක් දෙන්නේය. ඒ පත්‍රය වනාහි තැවීමට තැළීමට සිඳීමට සුදුසුවූ ස්වර්‍ණයක්ම වේ.