එකොළොස්වන සිකපද වර්ණනාව
එකාදශම ශික්‍ෂාපදයෙහි - “ගරුපාපුරාණං” සීතකාලයෙහි පොරෝණය. “චතුක්කංසපරමං” මෙහි කංස නම් සතරකහවණු පමණවේ. එහෙයින් පදභාජනයෙහි “සොළසකහාපණග්ඝනකං” සොළොස් කහවණු අගනු එකකැ වදාරණ ලදී
එකොළොස්වන ශික්‍ෂාපදයයි.
දොළොස්වන සිකපද වර්ණනාව
ද්වාදශම ශික්‍ෂාපදයෙහි - ‘ලහුපාපුරණං’ උෂ්ණ කාලයෙහි පොරෝණය ශික්‍ෂාපද දෙක්හිම සෙස්ස ප්‍රකටමය.
ෂඩ්සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
දොළොස්වන ශික්‍ෂාපදයයි.
“උද්දිට්ඨා ඛො අය්‍යායො තිංස නිස්සග්ගියා පාචිත්තියා ධම්මා” මෙහි මහාවිභඞ්ගයෙහි චීවර වර්‍ගයෙන් ධොවන ශික්‍ෂාපදයද, ප්‍රතිග්‍රහණ ශික්‍ෂාපදයද යන ශික්‍ෂාපද දෙක බැහැරකොට අකාලචීවරය කාලචීවරයයි ඉටා බෙදනලද ශික්‍ෂාපදය හා ද පෙරළා අච්ඡින්නචීවර ශික්‍ෂාපදය සමග ප්‍රථම වර්‍ගය පිරවිය යුතුය. නැවැත එළකලොම වර්‍ගයාගේ ආදියෙහි ශික්‍ෂාපද සතක් බැහැරකොට අඤ්ඤදත්‍ථික ශික්‍ෂාපද සත බහා ද්විතීය වර්‍ගය පිරවිය යුතුය. තෘතීය වර්‍ගයෙන් පඨමපත්ත ශික්‍ෂාපදය වස්සිකසාටික ශික්‍ෂාපදය ආරඤ්ඤක ශික්‍ෂාපදය යන මේ තුන බැහැරකොට පත්තසන්නිචය ගරුපාපුරණ ලහුපාපුරණ ශික්‍ෂාපදයන් සමග තෘතීය වර්‍ගය පිරවිය යුතුය. මෙසේ මෙහෙණන්හට එක් පක්‍ෂයෙක්හිලා පනවනලද දොළොස් ශික්‍ෂාපදද දෙපක්‍ෂයෙහිලා පණවන ලද අටළොස් ශික්‍ෂාපදද මෙසේ සියල්ලෝම ප්‍රාතිමොක්‍ෂාද්දෙශ මාර්‍ගයෙන් ‘උද්දිට්ඨා ඛො අය්‍යායො තිංස නිස්සග්ගියා පාචිත්තියා ධම්මා’යි මෙසේ මෙහි අර්‍ත්‍ථ දතයුතුය. සෙස්ස කියූනයමය.
විනයවිවෘති නම්වූ සිංහල සමන්තපාසාදිකාවෙහි භික්‍ඛුණී විභඞ්ගයෙහි තිංසකනිස්සග්ගිය වර්‍ණනාව නිමි.
4. පාචිත්තිය කාණ්ඩය
1. ලසුනවර්‍ගය
පළමු සිකපද වර්ණනාව
“තිංසකානත්තරං ධම්මා - ඡසට්ඨිසතසඞ්ගහා,
සංගීතා යෙ අයංදානි - හොති තෙසම්පි වණ්ණනා”
තිංසනිස්සග්ගිය පාචිත්තීන්ට අනතුරුව එක්සිය සැට සයකින් සඞ්ග්‍රහවූ යම් පාචිත්තිය ධර්‍මකෙනෙක් සඞ්ගායනා කරණ ලද්දාහුද දැන් ඔවුන්ගේ මේ වර්‍ණනා තොමෝ වන්නීය.
එහි ලසුණ වර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - ‘ද්වෙ තයො භණ්ඩිකෙ’ දෙකක් හෝ තුනක් හෝ පොදි බැඳි ලූනු. පිරීගත් මිදුළු ඇති ලූනුවලට මේ නමෙකි. “න මත්තං ජානිත්‍වා” පමණ නොදැන කෙත් රකින්නහු වළකත්, වළකත්, බොහෝ ලූනු සුන්‍දරීනන්‍දාව ගෙන්වූය.
“අඤ්ඤතරං හංසයොනිං” ස්වර්‍ණහංසයොනියය. ‘සො තාසං එකෙකං’ ඒ හංස තෙමේ ජාති සිහිකිරීමෙහි සමර්‍ත්‍ථ වූයේය. එකල්හි පූර්‍වස්නෙහයෙන් අවුත් ඔවුන්ට එක් එක් පත්‍රයක් දෙන්නේය. ඒ පත්‍රය වනාහි තැවීමට තැළීමට සිඳීමට සුදුසුවූ ස්වර්‍ණයක්ම වේ.
“මාගධකං” මගධ රට හටගත්තේය. මගධ රට හටගත් ලූනුම මෙහි ලූනුයයි අදහස් කරනලදී. ඒද පොදිලූනුම වේ. එකක් දෙකක් මිදුලු ඇති ලූනු නොවේ. කුරුන්‍දියෙහි වනාහි හටගත් දෙශය නොකියා ‘මාගධක නම් පොදිලූනුයි කියනලදී. “අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ” මෙහි ඉදින් දෙකක් තුනක් පොදිලූනු එකටම විකා ගිලීද, එක් පාචිත්තියක් වේ. පොදිය කඩා බිඳ එක් එක් මිදුලක් කන්නියට ප්‍රයොග ගණනින් පාචිත්තීහු වෙත්.
පඬු පැහැති ලූනු ආදීන්ගේ පැහැයෙන්ද මිදුලෙන්ද වෙනස්බව දතයුතුය. පැහැයෙන් වනාහි පලණ්ඩුක නම් ලූනු පඬු පැහැති වේ. භඤ්ජනක නම් ලූනු ලේ පැහැති වේ. හරීතක නම් ලූනු නිල්පත් පැහැති වේ. මිදුලෙන් වනාහි පලණ්ඩුකනම් ලූනෙහි එක් මිදුලක් වේ. භඤ්ජනක නම් ලූනෙහි මිදුලු දෙකක් වේ. හරිතක නම් ලූනෙහි මිදුලු තුනක් වේ. චාවල නම් ලූනු මිදුලු නැත්තේය. ඒ චාවල ලූනෙහි අඞ්කුර මාත්‍රයෙක්ම වේ. මහාපච්චරී ආදියෙහි පලණ්ඩුකනම් ලූනෙහි මිදුලු තුනෙක, භඤ්ජණකයෙහි මිදුලු දෙකෙක, හරිතකයෙහි එකෙකැයි කියන ලදී. මේ පණ්ඩුලකාදීහු ස්වභාවයෙන්ම වටිත්. සූපමංසාදිය හා එක්කොට පිසීම් ආදියෙහි වනාහි මාගධක නම් ලූනුද වටියි. ඒ මාගධක ලූනු පැසෙන මුද්ගසූපාදියෙහි හෝ මත්ස්‍යමාංසවිකෘතියෙහි හෝ තෙල් ආදියෙහි හෝ ඩෙබර ගෙඩි වියලා සුණුකොට එයින් කළ ඛාද්‍යවිකෘති ආදියෙහි හෝ ඇඹුල්පලා ආදියෙහි හෝ ව්‍යඤ්ජනාදියෙහි හෝ යන යම්කිසි තැනක යටත්පිරිසෙයින් කැඳබතෙහිද බහලන ලද්දේ වටියි. මෙහි සෙස්ස ප්‍රකටමය.
එළකලොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානිය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
පළමුවන ලසුණශික්‍ෂාපදයයි.
දෙවන සිකපද වර්ණනාව
ද්විතීය ශික්‍ෂාපදයෙහි - “සම්බාධෙ” ප්‍රතිච්ඡන්නාවකාශයෙහි. ඒ අවකාශයෙහි විභාග දක්වනු පිණිස දෙකිසිල්ලය, මුත්‍ර කරණයයි කියනලදී. ‘එකම්පි ලොමං’ කතුරෙන් හෝ අඩුවෙන් හෝ දැළිපිහියෙන් හෝ යන යම් කිසිවකින් එක් ප්‍රයොගයකින් හෝ නොයෙක් ප්‍රයොගයෙන් හෝ එක්ලොමක් හෝ බොහෝ ලොම් හෝ හරවන්නාවූ මෙහෙණට ප්‍රයොග ගණනින් පාචිත්තියයෝ වෙත්. ලොම් ගණනින් නොවෙත්.
“ආබාධප්පච්චයා” කැසීම්, සොරි ආදීවූ ආබාධ හෙතුවෙන් ලොම් හරවන්නියට ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය. චතුස්සමුත්‍ථානිකය. කයින් කය වචනයෙන් කය සිතින් හටගනියි. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
දෙවන ශික්‍ෂාපදයයි.
තෙවන සිකපද වර්ණනාව
තෘතීය ශික්‍ෂාපදයෙහි - “තලඝාතකෙ” මූත්‍රකරණයට පහරදීමෙහි. “අන්තමසො උප්පලපත්තෙන” යන මෙහි පත්‍රය මහත්ය. කෙසුරකින් හෝ පහර දෙන්නියට ඇවැත්මය.