පාදුකා වර්‍ගය
“අක්කන්තස්ස” ඡත්‍රදණ්ඩ ඇඟිලි අතරට ප්‍රවෙශ නොකොට හුදෙක් පාදුකාව මැඩසිටියක්හට. “පටිමුක්කස්ස” පාදුකාවලා (දමා) සිටියක්හට. පාවහන්හිද මේනයම වේ. “ඔමුක්තො” යන මෙහි විලුම් වැටිය මුදා සිටියේ කියනු ලැබේ.
“යානගතස්ස” යන මෙහි දෙදෙනකු විසින් අත්පුටුවෙන් ගන්නා ලදුයේ නොහොත් සළුවක තබා හුණදඩුවකින් උසුලන ලැබේද, නොයොදන ලද්දාවූ හෝ සකපමණක් ගලවා තැබූ වය්හාදී වූ යානයෙක හුන්නේද, යහන්ගතමැයි ගිණීමට යන්නේය. ඉදින් දහම් දෙසන, දහම් අසන දෙදෙනම එක් යානයෙක්හි හුන්නාහුම වෙත් නම් දහම් දෙසීමෙහි වරද නැත. වෙන්ව හුන්කල්හිද, උස් යානයෙහි හුන්නහු විසින් මිටියානයෙහි හුන්නහුට දහම් දෙසීම වටියි. සම පමණකල්හිද වරද නැත. ඉදිරි යානයෙහි පසු යානයෙහි හුන්නහුට දහම් දෙසීම වටියි. ඉතා උස්වූ පසු යානයෙහිද හුන්නහු විසින් දහම් දෙසීම වරද සහිතය.
“සයනගතස්ස” යටත් පිරිසයින් බිම එලාලූ කළලයක හෝ පියවිබිම හෝ හොත්තහුට උස් ඇඳක හෝ පුටුවක හෝ බිම හෝ සිටියහු විසින් හෝ හුන්නහු විසින් හෝ දහම් දෙසීම නොවටියි. ඉතාඋස්වූ හෝ සමපමණ වූ හෝ යහනෙක හොත්තහු විසින් යහන්ගතයාහට දහම් දෙසීම වරදෙක් නොවේ. හුන්නහු විසින්ද සිටියහුටද හුන්නහුටද දහම් දෙසීම සුදුසුය. හුන්නහු විසින්ද සිටියහුටද හුන්නහුටද වටියි. සිටියහු විසින් සිටියහුටම වටියි.
“පල්ලතථිකාය” ගිලන්පටියෙන් අකවටු අවුළුවා හිඳීමෙන් හෝ, දෙඅතින් අකවටු අවුළුවා හිඳීමෙන් හෝ, වස්ත්‍රයෙන් අකවටු අවුළුවා හිඳීමෙන් හෝ යන යම්කිසි පල්ලත්‍ථිකයකින් යුක්තව හුන් නොගිලනක්හට දහම් දෙසීම නොවටියි.
“වෙඨිතසීසස්ස” රෙදි වෙළුමකින් හෝ, මොලි ආදියකින් හෝ කෙසාන්තය යම්සේ නොපෙනේද, මෙසේ වෙළුහිස් ඇතියක්හට.
“ඔගුණ්ඨිතසීසස්ස” හිස වසා පෙරවියක්හට.
“ඡමාය නිසින්නෙන” බිම හුන්නහු විසින්. “ආසනෙ නිසින්නස්ස” යටත් පිරිසයින් වස්ත්‍රයක් නමුත් තෘණ නමුත් අතුරා හුන්නහුට
“ඡපකස්ස” සැඩොලකුගේ. ‘ඡපකී’ සැඩොලිය. “නිලීනො” සැඟවුනෙක්ව. “යත්‍ර හි නාම” යමෙක් තෙමේ නම් “සබ්බමිදඤ්ච මරිගතන්ති තත්‍ථෙව පරිපති” මේ සියලු ලෝවැසි තෙමේ සංකරත්‍වයට ගියේය. ආචාරසීමාව නැත්තේයයි මේ වචනය අසා එහිම මන්ත්‍ර ඉගෙනීම පිණිස එම අඹරුක වෙත උස් අසුනෙහි උන් රජුද ඉගැන්වීම පිණිස මිටි අසුනෙහි හුන් පුරෝහිත බමුණාද යන දෙදෙන අතර ඒ සැඩොල් තෙමේ එල්බ සිටි අත්ත බිඳගෙණ රුකෙන් වැටුනේය. වැටීද රජු පෙරවි යන දෙදෙන ඉදිරියෙහි සිට,
“උභො අත්‍ථං න ජානන්ති - උභො ධම්මං න පස්සරෙ
යො චායං මන්තං වාචෙති - අස්මා කුම්භමිවාභිදා” යන මේ ගාථාව කීයේය.
එහි “උභො අත්‍ථං නජානන්ති” රජු හා පෙරවි බමුණුද යන දෙදෙනම තමන්ගේ ආචාර ප්‍රකාශක ග්‍රන්‍ථයෙහි අර්‍ත්‍ථය නොදනිත්. “ධම්මං න පස්සරෙ” පෙල නොදනිත්. ඔවුහු දෙදෙන කවරහුද, යත්: මේ යමෙක් උස් අසුනෙහි හිඳ මන්ත්‍රය හදාරවාද, යමෙක් මිටි අසුනෙහි හිඳ හදාරාද, මොවුහු දෙදෙනය. මෙසේ බමුණුද රජුද යන දෙදෙනම නොදැහැමි බැව්හි තැබීය.
ඉන්පසු බමුණු තෙමේ “සාලීනං” යන ගාථාව කීයේය. ඒ ගාථාවෙහි අර්‍ත්‍ථය: ‘පින්වත’ මම මේ ධර්‍මැයි දනිමි, එතකුදුවුවත් මා විසින් බොහෝ කලක් මුළුල්ලෙහි අඹුදරුවන් සහිත පිරිවර දෙනා සමග රජු සතුවූ හැල්බත අනුභව කරන ලද්දේය. “සුචිමංසූපසෙවතො” නානාප්‍රකාර වූ විකෘතියෙන් සැපයූ පිවිතුරුමස් සෙවුම, මුසු කිරීම මොහුටනුයි. “සුචිමංසූපසෙවන” නම. (නානාප්‍රකාර මාංස විකෘතියෙන් යුක්ත වූ පිරිසිදු බොජුන් අනුභව කෙරෙමි) යන අර්‍ත්‍ථයි. ‘තස්මා ධම්මෙ න වත්තාමි’ යම්හෙයකින් මෙසේ මා විසින් රජුගේ බත අනුභව කරන ලද්දේ ද, අන්‍යවූ බොහෝ ලාභයෝ ලබන ලද්දාහුද, එහෙයින් මම ධර්‍මයෙහි නොපවතිමි. උදරයෙහි බැදුනෙක්ව හෙවත් උදරපොෂණය කරුණුකොට ධර්‍මය නොදන්නේ ‘මේ ආචාරධර්‍මය තෙමේ ආර්‍ය්‍යයන් විසින් වර්‍ණනා කරන ලද්දේය. පසසන ලද්දේය. ස්තුති කරන ලද්දේයයි දනිමි.
ඉක්බිති ඒ පෙරවිහට සැඩොල් තෙමේ “ධිරන්‍ථු” යනාදි ගාථා දෙකින් කීයේය. ඒ ගාථාවෙහි අර්‍ත්‍ථය: බමුණ ‘තා විසින් යම් ධන ලාභයෙක් යම් යශස් ලාභයෙක් ලදද, ඒ ධන ලාභයටද යශස් ලාභයටද නින්‍දා වේවා. කුමක් හෙයින, යත්: යම්හෙයකින් මා විසින් මේ ලැබූ ලාභය මත්තෙහි අපායයන්හි විනිපතනයට හෙතු වශයෙන් පවත්නේද, දැනුදු අධර්‍ම චරණයෙන් වෘත්තිනම් වේද, එහෙයිනි. මෙබඳු වූ යම් වෘත්තියක් මත්තෙහි විනිපතනයට හෙතු බැවින් මෙහි අර්‍ධම චරණය හෙතුකොටගෙණ හෝ නිපදී ද, ඒ වෘත්තියෙන් කවරප්‍රයොජනයෙක්ද,
ධිරත්‍ථු තං ධනලාභං - යසලාභඤ්ච බ්‍රාහ්මණ
යා වුත්ති විනිපාතෙන - අධම්මචරණෙන වා”
යන මේ ගාථාව ඒ සැඬෙලහු විසින් කියනලදී.
“පරිබ්බජ මහාබ්‍රහ්මෙ” මහබමුණ මෙදෙසින් වහා පලායව. “පචන්තඤ්ඤෙපි පාණිනො” අන්‍ය සත්ත්‍වයෝද පිසීමද කෙරෙත්. අනුභවයද කෙරෙත්. හුදෙක් තෝ ද රජුද යන දෙදෙන පිස අනුභව නොකෙරෙත්මය. “මා ත්‍වං අධම්මො ආචරිතො අස්මා කුම්හමිවාදා” ඉදින් තෝ මෙතැනින් නොපහව, මේ අධර්‍මයෙහි හැසිරෙන්නෙහිද, එයින් තෝ, ඒ අධර්‍මයතෙමේ හැසිරෙන ලද්දේ පාෂණය තෙමේ පැන්කළය යම්සේ බිඳින්නේද, එසේ නොබිඳුව, එයින් අපි තට
“පරිබ්බජ මහාබ්‍රහ්මෙ - පචන්තඤ්ඤෙපි පාණිනො
මා ත්‍වං අධම්මො ආචරිතො - අස්මා කුම්හමිවාභිදා’ යි කියමු.
“උච්චෙ ආසනෙ” යටත්පිරිසෙයින් උස්තැන්හිවූ බිම් පෙදෙසෙක හුන්නහුට මිටි අසුනෙහි හුන්නහු විසින් දහම් දෙසීම නොවටියි.
“න ඨිතෙන නිසින්නස්ස” තෙරුන්ගේ උවැටනට ගොස් සිටි තරුණ මහණකුගෙන් අසුනෙහි හුන් මහාස්ථවිර තෙමේ ප්‍රශ්නයක් විචාරාද, නොකිය යුතුය. තෙරුන්ට ගෞරවයෙන් නැගිට විචාළ මැනැවැ’යි කියන්නට නොහැක්කේද, පසෙක සිටි මහණක්හට කියමි’යි කීම වටියි.
“න පච්ඡනො ගච්ඡන්තෙන” ඉදින් මෙහි ඉදිරියෙහි යමින් පස්සෙන් යන්නකු අතින් ප්‍රශ්නයක් විචාරාද නොකිය යුතුය. පැසුළු මහණහුට කියන්නෙමියි කියයුතුය. එක්ව උගත් ධර්‍මය හැදෑරීම කළ හැකිය. සමව පෙළට යන්නක්හට කීම වටියි.