සක්කච්ච වර්ගය
“සක්කච්චං” යන මෙහි නොසකස්ව පිළිගැණීමෙහිම ඇවැත් වේ. පිළිගන්නා ලද්දේ වනාහි මැනැවින් පිළිගන්නා ලද්දේම වේ. “සක්කච්චං”යිද, පත්තසඤ්ඤීයිද යන ශික්ෂාපද දෙක කියූ නයමය.
“සපදානං” ඒ ඒ තන්හි පිරිසිදීම නොදක්වා අනුපිළිවෙළින් ‘සමසූපකං පිණ්ඩපාතං භුඤ්ජිස්සාමි’ යන ශික්ෂාපදයෙහි සමසූපය පිළිබඳ කියයුත්ත කියන ලද්දේමය.
“ථූපතො” මුදුන පටන් මැදින් යන අර්ත්ථයි.
“පටිච්ඡාදෙත්වා” ප්රාණඝාත නොකළ යුතුයයි. රජුන් විසින් නියමකළ කාලයන්හි ව්යඤ්ජනය වසාදෙත්. සූපොදන විඤ්ඤප්ති ශික්ෂාපදයෙහි කියයුත්තෙක් නැත්තේය.
උජ්ඣානසඤ්ඤී ශික්ෂාපදයෙහි ගිලන් තෙමේ නොමිදේ.
“නාති මහන්තො කබලො” මොනරබිජුවට ඉතාමහත්ය. කිකිළි බිජුවට ඉතා කුඩාය. ඒ බිජුවටයන්ගේ මද්ධ්යම ප්රමාණ පිණ්ඩය පමණ වේ. ‘ඛජ්ජකෙ’ යන මෙහි කෑයුතු මුල් ආදි සියල්ල ගතයුතුය.
චතුර්ථ වර්ගයයි.
කබළ වර්ගය
‘අනාහටෙ’ නොගෙණනලද කල්හි. මුවදොරට නොපැමිණවූ කල්හිය යන අර්ත්ථයි.
“සබ්බං භත්ථං” සියලු අත.
“සකබළෙන” යන මෙහි දහම් කියනුයේ අරළුකඩක් හෝ වැල්මීකඩක් හෝ මුවෙහි බහා කියාද, යම්පමණකින් වචන අපරිපූර්ණ නොවේද, එපමණක් මුවෙහි ඇති කල්හි කීම වටියි.
“පිණ්ඩුක්ඛෙපකං” පිඩ උඩ දමදමා.
“කබළාවච්ඡෙදකං” ආලොපය සිඳ සිඳ.
“අවගණ්ඩකාරකං” වඳුරකු මෙන් කොපුලෙහි කොට කොට.
“හත්ථනිද්ධූනකං” අත සලසලා.
“සිත්ථාවකාරකං” බත්උලු වගුර වගුරා
‘ජීව්හානිච්ඡාරකං’ දිව පිටතට නෙරනෙරා.
‘චපුචපුකාරකං’ චපුචපුයි මෙසේ ශබ්ද නගනගා.
පඤ්චම වර්ගයයි
සුරුසුරු වර්ගය
“සුරුසුරුකාරකං” ‘සුරුසුරුයි’ මෙසේ ශබ්ද නගනගා ‘දවො’ නින්දාවචනයි. ඒ නින්දා වචනය. යම්කිසි වෛර වචනයකින් ‘කිනම් බුද්ධද, සීලක බුද්ධද, ප්රතිබුද්ධද, කිනම් ධර්මයෙක්ද, ගොධර්මයෙක්ද, අජධර්මයෙක්ද, කිනම් සඞ්ඝද, මෘගසමූහයෙක්ද, සිවුවාසමූහයෙක්ද, යනාදි නයින් තෙරුවන් ඇරැබැ නොකටයුතුය. යන අර්ත්ථයි.
“හත්ථනිල්ලෙහකං” අත ලෙවලෙව, අනුභව කරන්නහු විසින් ඇඟිල්ල පමණ නමුදු ලෙවින්නට නොවටියි. උකුකැඳ පැණි කිරිබත් ආදිය ඇඟිලිවලින් ගෙණ ඇඟිලි මුවෙහි බහ බහා අනුභව කිරීම නොසුදුසු නොවේ. පාත්රය ලෙවීම් තොල්ලෙවීම් ආදියෙහිද මෙම නයවේ. එහෙයින් එක් ඇඟිල්ලකින් නමුදු පත්රය නොලෙවිය යුතුය. එක් තොලක් නමුදු දිවෙන් නොලෙවිය යුතුය. තොල්මසින්ම ගෙණ මුව තුළට ඇතුල්කිරීමෙහි වරදෙක් නැත්තේය.
“කොකනදෙ” මෙනම් ඇති. පද්මය කොකනදයි කියනු ලැබේ. ඒ පහය පියුම් සටහන් ඇත්තේය. එහෙයින් මේ පහයට කොකනදැයිම නම් කළහ. “න සාමිසෙන හත්ථෙන පානීයථලකං” ආමිස සහිත අතින් පැන්තළුව නොගතයුතුය යන මෙය පිළිකුල් වසයෙන් ප්රතික්ෂෙප කරන ලදී. එහෙයින් සඟසතුවූද, පුද්ගලයන් සතු වූද, ගිහින් සතු වූද, තමන් සතුවූද, සකක්ද, දියගන්නා බඳුනක්ද, තලියක්ද, ඉඳුල්සහිත අතින් නොපිළිගත යුත්තේමය. ගන්නා මහණහුට දුක්කටය වේ. යම් ලෙසකින් අතෙහි එක් පෙදෙසෙක් ඉඳුල් මැකුනේ නොවේද, ඒ පෙදෙසින් ගැණීම වරද නොවේ.
“උද්ධරිත්වා” බත්උලු දියෙන් නගා එක්තැනක රැස්කොට දිය බැහැරකරයි. “භින්දිත්වා” බත්උලු, දියහා මැඩ උදකගතික කොට බැහැර කරයි. “පටිග්ගහෙ වා” ඉඳුල් අත් දෝනා බඳුනකින් පිළිගන්නේ එය ඉඳුල්දිය වක්කරන බඳුනෙක වක්කෙරේද, “නීහරිත්වා” ගෙයින් පිටතට ගෙණලාද මෙසේ ලන මහණහුට ඇවැත් නොවේ.
“සෙතච්ඡත්තං” සුදුවතින් වසා කළ ශ්වෙතච්ඡත්රය. “කිලඤ්ජච්ඡත්තං” හුණබට පතුරෙන් කළ ඡත්රය. “පණ්ණච්ඡත්තං” තල්පත් ආදීවූ යම් කිසිවකින් කරන ලද්දය. “මණ්ඩලබද්ධංසලාක බද්ධා” මේ වනාහි ත්රිවිධවූම ඡත්රයන්ගේ නතමැදිරිය දක්වනු පිණිස කියන ලද්දේය. ඒ වනාහි මණ්ඩලාකාරයෙන් බඳින ලද්දාහුද, කූරුවලින් බඳින ලද්දහුද වෙත්, යම් ඡත්රයක් වනාහි දණ්ඩ සහිතව සිඳගත් තල්පත් ආදියෙන් කළ එක පර්ණච්ඡත්රයක් වේද, එද ඡත්රයම වේ. මේ ඡත්ර අතුරෙහි යම්කිසි ඡත්රයෙක් මොහුගේ අත්ලෙහි වේනම් ඡත්තපාණි නම්වේ. හෙතෙමේ ඒ ඡත්රය දරණුයේ හෝ අංශයෙහිකොට හෝ කලවයෙහි තබා හෝ යම්තාක් අතින් නොමුදාද, ඒතාක් මොහුට දහම් දෙසීම සුදුසු නොවේ. දෙසන්නහුට කියූනයින් දුක්කටය වේ. ඉදින් මොහුට අනෙකෙක් ඡත්රයක් දරාද යම්තැනක ඡත්රයෙහි දඬු කොණ සිටුවා ඡත්රය කෙලින්කොට තබා එහි යට හිඳිත්ද, සිටිත්ද, එබඳු ඡත්රාධාරයෙක්හි තුබූ ඡත්රයෙක්වේද, එය අතින් පහවූ ඇසිල්ලෙහි ඡත්තපාණි නම් නොවේ. ඔහුට දහම් දෙසීමෙහි වරදෙක් නැත්තේය. මෙහි ධර්මපරිච්ඡෙදය වනාහි පදසොධම්ම ශික්ෂාපදයෙහි කියූනයින්ම දතයුතුය.
“දණ්ඩපාණිස්ස” මෙහි දණ්ඩ නම් මද්ධ්යම පුරුෂයක්හුගේ සිවුරියනක් පමණ දිග්වූ දණ්ඩයයි. මොහුගේ දණ්ඩපාණිභාවය ඡත්තපාණි පුද්ගලයා කෙරෙහි කියූ නයින්ම දතයුතුය.
සත්ථපාණි පුද්ගලයා කෙරෙහිද, මෙම නයවේ. කඩුව බැඳගෙන සිටියේද සත්ථපාණිසඞ්ඛ්යාවට නොයයි.
“ආයුධපාණිස්ස” යන මෙහි ආයුධය නම් මැදින් වක්වූ දණ්ඩක් සමානවූ දුනු විකෘතිය. වටවූ දඬු ඇති දුනු විකෘතියයි කියන ලද්දේ ද එතකුදු වුවත් ශරවිකෘතිය සමග සියලුම දුනුවිකෘති ආයුධැයි දතයුතුය. එහෙයින් ඊය සමග හෝ දුන්න ගෙණ. ඊය නැති දුන්න හෝ දුන්න නැති ඊය හෝ දුනුදිය සහිත දුන්න හෝ දුනුදිය රහිත දුන්න හෝ ගෙණ සිටියහුට හෝ හුන්නහුට හෝ දහම් දෙසීම නොවටියි. ඉදින් වනාහි දුන්න මොහුගේ බොටුවෙහි එල්වන ලද්දේ වේද, යම්තාක් අතින් නොගණීද, ඒතාක් දහම් දෙසීමෙහි වරදෙක් නැත්තේය.