සතරවැනි පාටිදේසනීය ශික්‍ෂාපද වර්ණනාව
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදයෙහි - “අවරුද්ධා හොන්ති” ප්‍රතිවිරුද්ධයෝ වෙත්.
“පඤ්චන්නං පටිසංවිදිතං” පස්සහදැහැමියන් අතුරෙහි යම්කිසිවක් යවා කෑ යුත්තක් හෝ බිඳිය යුත්තක් හෝ ගෙන එන්නෙමු’යි පළමුකොට දැන්වීමෙක් කරන ලදද පළමු නොදන්වන ලද්දේමය, යන අර්‍ත්‍ථයි. “ආරාමං ආරාමූපචාරං ඨපෙත්‍වා” අරණ්‍ය සෙනාසනාරාමයද, ඒ ආරාමයාගේ උපචාරයද තබා අතරමගදී උපචාරයෙන් නික්මුනු මහණකු දැක හෝ ගමට ආවකුහට හෝ පළමුකොට දැන්වීමෙක් කරන ලද්දේ ද, පළමුකොට නොදන්වන ලද්දේම වේයයි දතයුතුය. “සචෙ සාසඞ්කං හොති සාසඞ්කන්ති ආචික්‍ඛිතබ්බං” ඉදින් සැකසහිත වේද, සැකසහිතය’යි කියයුත්තේය. කුමක් හෙයින් කියයුත්තේද යත්: ආරාමයෙහි සොරකු වසන කල්හි අපට නොසැලකරත්ය, යන කීමෙන් මිදීම පිණිසය. ‘මිනිස්සු මෙහි සමීපයෙහි හැසිරෙත්’යි සොරහු කියයුත්තාහ. කුමක් හෙයින් කියයුත්තාහුද, යත්: තමන්ගේ උපස්ථායකයන් ලවා අප ගන්වත්ය යන කීමෙන් මිදීම පිණිසය.
“යාගුයා පටිසංවිදිතෙ තස්සා පරිවාරො ආහරීය්‍යති” කැඳෙන් පළමු දන්වන ලද්දක් කොට ‘කිම, පිරිසිදු කැඳක් දුන් කල්හි, පූව හා බත්ද මේ කැඳට පිරිවරකොට දෙන්නෙමු’යි මෙසේ යම් කිසිවක් ගෙණ එත්ද, සියල්ල පළමුව දන්වන ලද්දේම වේ. “භත්තෙන පටිසංවිදිකෙ” යනාදි තන්හිද මේනයම වේ. අසුවල් නම් කුලය පළමු දන්වන ලද්දක් කොට කෑ යුතුදෙය ආදිය ගෙණ යේයයි අසා ඒ හා සමග තමතමන්ගේ අනිකුදු දියයුතුදෙය ගෙණ එත්ද, වටියි. කැඳෙන් පළමු දැන්වීම කොට හූප හෝ බත් හෝ ගෙණ එත්ද, මෙද වටීය’යි කුරුන්‍දියෙහි කියනලදී.
“ගිලානස්ස” පළමු නොදැන්වීමෙහිද ගිලනාහට ඇවැත් නොවන්නීය. “පටිසංවිදිතෙ වා ගිලානස්ස වාසෙසකං” එකක්හට ප්‍රයොජනය පිණිස දැන්වීම කොට ගෙන එන ලද්දේ, ඔහුගේ ඉතිරි සෙස්ස අනිකක්හටද, වලඳන්නට වටියි. සිවුදෙනකුට හෝ පස්දෙනකුට හෝ දැන්වීම කොට බොහෝ කෑ යුතු බිදිය යුතුදෙය ගෙනෙන ලද්දේ වෙත්ද, අන්‍යයන්ටත් දෙනු කැමැති වෙත්ද, මේ පළමු දන්වන ලද්දෙන් සෙස්සමය. මේ සියල්ලම වටියි. එකල්හි වැඩියක්ම වේනම් සන්නියාය මුදා තබන ලද්ද දෙවන දිනයෙහිද වටියි. ගිලනක් හට ගෙණ ඉතිරි දෙයෙහිද මේ නයම වේ. යමක් වනාහි පළමු නොදන්වන ලද්දක්ම කොට ගෙනෙන ලද්දේ ද, ඒ දෙය ආරාමයෙන් පිටත යවා දන්වන ලද්දක් කරවා ගෙන්විය යුතුය. මහණුන් විසින් හෝ ගොස් අතරමගදී ගතයුතුය. යමක් වෙහෙර මැදින් යන්නෝ හෝ වනචරකාදීහු හෝ වනයෙන් ගෙණවුත් දෙත්ද, පෙරනයින්ම දැන්වීම කරවිය යුතුය. “තත්‍ථ ජාතකං” ආරාමයෙහි හටගන්නාවූම කෑ යුතු මුල් ආදියක් අනිකකු විසින් කැප කොට දෙන ලද්දේ ද, ඒ දෙය අනුභව කරන මහණහුට ඇවැත් නොවේ. ඉදින් ද්‍රව්‍යය ගමට යවා පිස ගෙණ එත්ද, නොවටියි. දැන්වීම කරවිය යුතුය. මෙහි සෙස්ස ප්‍රකටමය.
කඨිනසමුත්‍ථානික වේ. ක්‍රියාක්‍රියසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
සිවුවන පාටිදෙසනීය ශික්‍ෂාපදයයි
විනයවිවෘති නම්වූ සිංහලසමන්තපාසාදිකාවෙහි පාටිදෙසනීය වර්‍ණනාව නිමි
සේඛිය කාණ්ඩය
පරිමණ්ඩල වර්‍ගය
යානි සික්‍ඛිතසික්‍ඛෙන - සෙඛියානීති තාදිනා
භාසිතානි අයංදානි - තෙසම්පි වණ්ණනාක්කමො
චතුර්විධ මාර්‍ගයෙන් ත්‍රිවිධ ශික්‍ෂාවෙහි හික්මුනාවූ මුළුමනින් නිමවූ කටයුතු ඇති අෂ්ටලොකධර්‍මයෙන් කම්පිත නොවන අර්‍ත්‍ථයෙන් තාදීවූ භාග්‍යවතුන් වහන්සේ විසින් හික්මිය යුතු යයි යම් ධර්‍ම කෙනෙක් වදාරන ලද්දාහුද, දැන් ඒ හික්මිය යුතු ධර්‍මයන්ගේද, මේ මතු ප්‍රකාශ වන්නේ වර්‍ණනා ක්‍රමය වේ.
ඒ සෙඛියාධිකාරයෙහි - “පරිමණ්ඩලං” හාත්පසින් වටකොට “නාභිමණ්ඩලං ජාණුමණ්ඩලං” නැබමඩලින් උඩ, දණමඩලින් යට. වසන්නහු විසින් දණමඩලින් යට දඟ ඇටය පටන් අටඟුලක් පමණ අඳනය යටට බස්වා හැන්ද යුතුය. ඉන් පහත බස්වා හඳින මහණහුට දුක්කටයයි මහාර්‍ත්‍ථකථාවෙහි කියනලදී. යම් පරිද්දෙකින් හුන්නහුගේ දණමඩලින් යට සතරඟුලක් පමණ ප්‍රතිච්ඡන්න යයි මහාපච්චරියෙහි කියනලදී. මෙසේ හඳින මහණහුට වනාහි හඳනය පමණ ඇතිව වටියි. එහි මේ පමණය: දිගින් මුෂ්ටිපංචකයෙකි. හෙවත් සිවුරියනක් හා එක් මිටි රියෙනෙකි. පළල දෙරියනක් පමණද දණමඩල වැසීම පිණිස වටියි. නැබමඩල සිවුරෙන්ද වසන්නට හැකිය. එහි එක් පටක් ඇති සිවුර මෙසේ හඳනා ලද්දේ ද හැන්දාසේ නොසිටියි. දෙපට සිවුර වනාහි හැන්දාසේ සිටියි.