තුලෝනද්ධ ශික්‍ෂාපද වර්ණනාව
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - පුලුන් දමා මසන ලද්ද, මේ ඇඳපුටුවලැයි තුලොනද්ධ සම් යටකඩරෙදි අතුරා පුලුන් බහා මතුවෙහි කඩරෙද්දකින් මසන ලද්දේය’යි කියන ලද්දේ වේ. මෙහි සෙස්ස ප්‍රකටමය. ෂඩ් සමුත්‍ථානිකය.
සවන තුලොනද්ධ ශික්‍ෂාපදයයි
නිසීදන ශික්‍ෂාපද වර්ණනාව
සප්තම ශික්‍ෂාපදයෙහි - “නිසීදනං අනුඤ්ඤාතං හොති” කොතැන්හිදී අනුදන්නා ලද්දේද, යත්:- චීවරක්‍ඛන්‍ධකයෙහි පණීතභොජන වස්තුවෙහිදී අනුදන්නා ලදී. ඒ ප්‍රණීත භොජන වස්තුවෙහිදී ‘මහණෙනි’ කායගොපනය පිණිස චීවරගොපනය පිණිස සෙනාසන ගොපනය පිණිස නිසීදනචීවරය අනුදනිමි’යි වදාරන ලදමය. “සෙය්‍යථාපි පුරණාසි කොට්ඨො” පැරණි සම්කරු තෙමේ යම්සේද, එසේය යන අර්‍ත්‍ථයි. යම්සේ වනාහි සම්කරු තෙමේ සම පලල් කරන්නෙමි’යි එහා මෙහා ඵලාද, අදීද, මෙසේ ඒ උදායි ස්ථවිර තෙමේද, ඒ නිසීදනය (එහා මෙහා ඇද්දේය) එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඕහට මෙසේ වදාළ සේක. “නිසීදනං නාම සදසං වුච්චති” ඇතිරිය සමානව අතුරා එක් කෙළවරක සුගත් වියතින් වියතක් පමණ පෙදෙසෙහි දෙතැනෙක්හි පලා දාවලු තුනක් කරනු ලැබේ. ඒ දාවලු කරණකොට සදස නමැයි කියනු ලැබේ. මෙහි සෙස්ස ප්‍රකටමය. ෂඩ්සමුත්‍ථානිකය.
සත්වන නිසීදන ශික්‍ෂාපදයයි
කණ්ඩුපටිච්ඡාදි ශික්‍ෂාපද වර්ණනාව
අෂ්ටම ශික්‍ෂාපදයෙහි - “කණ්ඩුපටිච්ඡාදි අනුඤ්ඤතා හොති” කොතැන්හිදී අනුදන්නා ලද්දේද, යත්:- චීවරක්‍ඛන්‍ධකයෙහි බෙලට්ඨිසීස වස්තුවෙහිදීය. එහි ‘මහණෙනි’ යම් මහණක්හට කැසීමෙක් හෝ පිළිකා හෝ අරිසස් භගන්‍දරා ප්‍රමෙහාදීන්ගේ වසයෙන් ලේ වැගිරීමක් හෝ මහ කුෂ්ට ආබාධයක් හෝ වේද, කුෂ්ට පිළිසන ඒ මහණහුට අනුදනිමි’යි වදාරන ලදමය.
“යස්ස අධොනාභි උබ්හජාණු මණ්ඩලං” යම් මහණක්හුගේ නැබෙන් යට, දණමඬලින් උඩ “කණ්ඩු” කැසීමය. “පිළිකා” ලේවන් තුඩු ඇති සියුම් පිළිකාය. “අස්සාවො” අරිසස් භගන්‍දරා මධුමෙහාදීන්ගේ වසයෙන් හෝ අශුවි වැගිරීමය. “ථුල්ලකච්ඡු වා ආබාධො” මහාපිළිකාබාධය කියනු ලැබේ. මෙහි සෙස්ස ප්‍රකටමය. ෂඩ්සමුත්‍ථානිකය.
අටවන කණ්ඩුපටිච්ඡාදි ශික්‍ෂාපදයයි
වස්සකාටික ශික්‍ෂාපද වර්ණනාව
නවම ශික්‍ෂාපදයෙහි “වස්සිකසාටිකා අනුඤ්ඤතා හොති” කොතැන්හිදී අනුදන්නා ලද්දේද, යත්: චීවරක්‍ඛන්‍ධකයෙහි විශාඛා වස්තුවෙහිදීය. එහි ‘මහණෙනි’ වැසිසළුසිවුර අනුදනිමි’යි වදාරන ලදමය. මෙහි සෙස්ස ප්‍රකටමය. ෂඩ් සමුත්‍ථානිකය.
නවවන වස්සිකසාටික ශික්‍ෂාපදයයි
නන්‍දත්‍ථේර ශික්‍ෂාපද වර්ණනාව
දශම ශික්‍ෂාපදයෙහි - “චතුරඞ්ගුලොපමො” සතරඟුලකින් අඩුපමණ ඇත්තේය. සෙස්ස ප්‍රකටමය. ෂඩ් සමුත්‍ථානිකය.
දසවන නන්‍දත්‍ථෙර ශික්‍ෂාපදයයි
වර්‍ණනා ක්‍රමයෙන් නවවැනිවූ රාජවර්‍ගය නිමි.
“උද්දිට්ඨා ඛො” යනාදිය කියූ නයමවේ.
විනයවිවෘති නම්වූ සිංහලසමන්තපාසාදිකාවෙහි ඛුද්දක වර්‍ණනා නිමි.
පාටිදේසනීය කාණ්ඩය
පළමුවන පාටිදේසනීය ශික්‍ෂාපද වර්ණනාව
පාටිදෙසනියා ධම්මා - ඛුද්දකානං අනන්තරා
ඨපිතා මේ අයන්‍දානි - තෙසං භවති වණ්ණනා
ක්‍ෂුද්‍රක වස්තූන්ට අනතුරුව තබන ලද යම් පාටිදෙසනීය ධර්‍ම කෙනෙක් වෙත්ද, දැන් ඒ පාටදෙසනීයයන්ගේ මේ වර්‍ණනා තොමෝ වන්නීය.
එහි ප්‍රථම පාටිදෙසනීයයෙහි පළමුකොට “පටික්කමනකාලෙ” පිඬු පිණිස හැසිර පෙරළා එන කල්හි. “සබ්බෙව අග්ගහෙසි” සියල්ලම ගත්තේය. “පවෙධෙන්තී” වෙවුලන්නී. “අපෙහි” පහවෙව.
“ගාරය්හං ආවුසො” යනාදිය පිළිදෙසිය යුතු ආකාරය දැක්වීමය. “රථිකා” වීථිය. “බ්‍යුහං” විනිවිද නොගොස් සිටි ගියවුන් විසින් පසු ආයුතු වීථිය “සිඞ්ඝාටකං” සිවුකොණක් හෝ ඇති තුන් කොණක් හෝ ඇති මග එක්වූ තැන. “ඝරං” කුලගෙය මොවුන් අතුරෙහි යම්කිසි තැනක සිට නොනෑමෙහෙණ අතින් යම්කිසි කෑයුත්තක් බිදියයුත්තක් ගන්නා මහණහුට ගැණීම නිමිතිකොට දුක්කටය වේ. අනුභව කිරීම නිමිතිකොට අනුභව කරන පිඬු ගණනින් පාටිදෙසනීයාපත්තිය වේ. ඇත්හල් ආදියෙහිදී ගන්නා මහණහුටද මෙම නයයි. මෙහෙණක් තොමෝ වීථියෙහි සිට දේද, මහණතෙමේ ඇතුළු අරම් ආදියෙහි සිට ගණීද, පාටිදෙසනීයාපත්තිය වන්නීමය. “අන්තරඝරං පවිට්ඨාය”යි කී බැවින් ගමෙහි සිට දෙන මෙහෙණකගේ වසයෙන් මෙහි ආපත්ති තොමෝ දතයුත්තීය. මහණහු සිටිතැන වනාහි පමණ නොවේ. එහෙයින් ඉදින් වීථි ආදියෙහි සිටි මහණ තෙමේ ඇතුළු අරම් ආදියෙහි සිට දෙන මෙහෙණකගේ අතින් ගණීද, ඇවැත් නොවන්නීමය.
යාමකාලිකය, සත්තාහකාලිකය, යාවජීවිකය ආහාර පිණිස පිළිගණීද, දුක්කටයට පැමිණීම වේ. “අජ්ඣොහාරෙ අජ්න්‍ධොහාරෙ ආපත්ති දුක්කටස්ස” යන මෙය ආමිසය සමග මිශ්‍ර නොවූ දෙය සඳහා කියනලදී. ආමිසය සමග මිශ්‍ර වූ එක් රසයෙහි පාටිදෙසනීයම වේ. “එකතො උපසම්පන්නාය” මෙහෙණන් වෙත උපසපනියකගේ. මහණුන් වෙත උපසපනියකගේ අතින් පිළිගන්නා මහණහුට යථාවස්තුකම වේ. හෙවත් පාටිදෙසනීයාපත්තිය වේමය.
“දාපෙති න දෙති” නොනෑමෙහෙණක් තොමෝ අන් කිසිවකු ලවා දෙවයි. එය ගන්නා මහණහුට ඇවැත් නොවේ. “උපනික්‍ඛිපිත්‍වා දෙති” අතින් අතට නොදී බිම තබා ‘ආර්‍ය්‍යය’ මෙය ඔබ වහන්සේට දෙමි’යි දේද, මෙසේ දුන් දෙය, ‘මැනැව නැගනියෙනි’යි කියා පිළිගෙණ එම මෙහෙණ ලවා හෝ අන් කිසිවකු ලවා හෝ පිළිගන්වා ගෙණ වැලඳීම වටියි. “සික්‍ඛමානාය සාමණෙරාය” දෙන්නාවූ මේ සික්‍ඛමානා සාමණෙරී යන මොවුන්ගේ අතින් ගන්නා මහණහුට ඇවැත් නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය.