උපස්සුති ශික්‍ෂාපද වර්ණනාව
අෂ්ටම ශික්‍ෂාපදයෙහි - “අධිකරණජාතානං” මේ භණ්ඩනාදිය කරණකොට උපන් විවාදාධිකරණය ඇත්තවුන්ගේ “උපස්සුතිං” බස් ඇසෙන තරම් සමීපයෙහි. යම් තැනක සිට ඔවුන්ගේ බස් අසන්නට හැකිවේද, එහිය යන අර්‍ත්‍ථයි. “ගච්ඡති ආපත්ති දුක්කටස්ස” මෙහි විවාදයට පැමිණි භික්‍ෂූහු කුමක් කියත්දැයි අසනු පිණිස යන මහණහුට පියවරක් පියවරක් පාසා දුක්කට වේ. “මෙන්තෙන්තං” අනිකකු සමග අනිකකු මන්ත්‍රණය කරන කල්හි “මන්තෙන්තෙ”යි හෝ පාඨයෙක් වේ. මේ අර්‍ත්‍ථමැයි
“වූපසමෙස්සාමි” සංසිඳීමට යන්නෙමි. කලහ නොකරන්නෙමි. “අත්තානං පරිමොචෙස්සාමි” තමන්ගේ අකාරකභාවය කියා තමන් මුදන්නෙමි. මෙහි සෙස්ස ප්‍රකටමය.
ථෙය්‍යසත්‍ථසමුත්‍ථානිකය. කායචිත්තයෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගනියි. සිටිතැනට අවුත් මන්ත්‍රණය කරන්නවුන්ට නොදැන්වීම් වසයෙන් කිසිකලෙක අක්‍රියසමුත්‍ථානය රුපියශික්‍ෂාපදය, අඤ්ඤවාදක ශික්‍ෂාපදය, උපස්සුති ශික්‍ෂාපදය යන මේ ශික්‍ෂාපද තුන කිසි කලෙක ක්‍රියාවෙන්ද, කිසිකලෙක අක්‍රියාවෙන්ද සමුත්‍ථානය වන බැවින් එක් පිරිසිඳීමක් ඇත්තේය. සංඥාවිමොක්‍ෂය සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
අටවන උපස්සුති ශික්‍ෂාපදයයි
කම්මපටිබාහන ශික්‍ෂාපද වර්ණනාව
නවම ශික්‍ෂාපදයෙහි - “සචෙ ච මයං ජානෙය්‍යාම” ඉදින් අපි දන්නමෝ නම්. චකාරය නිපාත මාත්‍රයෙක්මය. “ධම්මිකානං” ධර්‍මයෙන් විනයෙන් ශාස්තෲ ශාසනයෙන් කළ බැවින් ධර්‍මයෝ මොවුන් කෙරෙහි ඇත්තාහයි, ධම්මිකනම්. ධාර්මික වූ සිවුවැදෑරුම් වූ ඒ සඞ්ඝකර්‍මයන්ගේ “ඛීයති ආපත්තිපාචිත්තියස්ස” මෙහි වචනයක් වචනයක් පාසා පාචිත්තිය වේ. සෙස්ස ප්‍රකටමය. ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
නවවනකම්මපටිබාහන ශික්‍ෂාපදයයි
ඡන්‍දංඅදත්‍වාගමන ශික්‍ෂාපද වර්ණනාව
දශම ශික්‍ෂාපදයෙහි - “වත්‍ථුං වා ආරොචිතං” චොදකයා විසින්ද චුදිතකයා විසින්ද තම තමන්ගේ කථා තොමෝ කියන ලදද, අනුවිජ්ජක තෙමේ සම්මත කරන ලදද, මෙපමණකින් වස්තුවම සැලකරන ලද්දේ වේ. මෙහි සෙස්ස ප්‍රකටමය.
ධුරනික්‍ෂෙප සමුත්‍ථානිකය. කායවාචාචිත්තයෙන් හටගනියි. ක්‍රියාක්‍රියසමුත්‍ථානයි. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
දසවන ඡන්‍දං අදත්‍වා ගමන ශික්‍ෂාපදයයි
දබ්බ ශික්‍ෂාපද වර්ණනාව
එකාදශම ශික්‍ෂාපදයෙහි - “යථාමිත්තතා” යහලුකම් ලෙසින් ‘යමෙක් මා සමග මිත්‍රවේනම්, ඔහුට, ඔහුට දෙව’යි කියන ලද්දේ වේ. සියලු පදයන්හි මේ නයවේ. සෙස්ස උජ්ඣාපනකාදි ශික්‍ෂාපදයන්හි කියූ නය ඇති බැවින් ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.
ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
එකොළොස්වන දබ්බශික්‍ෂාපදයයි
පරිණාමන ශික්‍ෂාපද වර්ණනාව
ද්වාදශම ශික්‍ෂාපදයෙහි - යමක් කිය යුතුවන්නේද, ඒ සියල්ල තිංසක කාණ්ඩයෙහි පරිණාමන ශික්‍ෂාපදයෙහි කියූ නයමවේ. මේම වනාහි වෙනස වේ. ඒ පරිණාමන ශික්‍ෂාපදයෙහි තමාට පිරිනැමූ බැවින් නිස්සග්ගිය පාචිත්තිය වේ. මේ ශික්‍ෂාපදයෙහිලා පුද්ගලයාහට පිරිනැමූ බැවින් සුද්ධිකපාචිත්තිය වේ.