මෝහන ශික්ෂාපද වර්ණනාව
තෘතීය ශික්ෂාපදයෙහි - “අන්වද්ධමාසං” අනුපිළිවෙළින් අඩමසක් අඩමසක් පාසා. යම්හෙයකින් ඒ ප්රාතිමොක්ෂය තෙමේ උපොසථ දිනයෙහි උදෙසනු ලැබේද, එහෙයින් “අනුපොසථික”යි පදභාජනයෙහි වදාරනලදී. “උද්දිස්සමානෙ” උදෙසනු ලබන කල්හි, යම් හෙයකින් වනාහි ඒ ප්රාතිමොක්ෂය තෙමේ පාමොක් උදෙසන්නහු විසින් උදෙසනු ලබන කල්හි උදෙසනු ලබන්නේ නම් වේද එහෙයින් “උද්දිසන්තෙ”යි පදභාජනයෙහි වදාරන ලදී. “යං ච තත්ථ ආපත්තිං ආපන්නො” ඒ පුරුදු වූ අනාචාරයෙහිදී යම් ඇවැතකට පැමිණියේ ද, ඒ ය. “යථා ධම්මො කාරෙතබ්බො” නොදැනීමෙන් පැමිණි බැවින් ඒ ඇවැතින් මිදීමෙක් නැත්තේය. යම්සේ වනාහි ධර්මවිනය සිටියේද, එසේ කරවිය යුත්තේය. දෙසීමෙන් පිරිසිදු වන ඇවතකට පැමිණියේ නම් දෙසවිය යුත්තේය. අබ්හානකර්මයෙන් පිරිසිදුබවට පැමිණෙන ඇවැතකට පැමිණියේ නම් එයින් නංවාලිය යුත්තේය යන අර්ත්ථයි. “සාධුකං” මනාකොට “අට්ඨිකත්වා” අර්ත්ථකොට ප්රයොජන ඇත්තෙක්යැයි කියන ලද්දේ වේ.
“ධම්මකම්මෙ” යනාදිතන්හි මොහාරොපණ කර්මය අදහස් කරන ලදී. මෙහි සෙස්ස ප්රකටමය. ත්රිසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
තෙවන මොහන ශික්ෂාපදයයි.
පහාර ශික්ෂාපද වර්ණනාව
චතුර්ත්ථ ශික්ෂාපදයෙහි - “පහාරං දෙන්ති” ඇවැත්නි’ පුටුවක් පනවවු, පා දෝනා පැන් ආදිය ගෙණෙවු, යනාදිය කියා සප්තදශවර්ගික භික්ෂූන්ට සප්තදශවර්ගික භික්ෂූහු පහර දෙත්.
“පහාරං දෙති ආපත්ති පාචිත්තියස්ස” මෙහි පහර දෙනු කැමැති බැවින් පහර දුන් කල්හි මැරේද, පාචිත්තියටම පැමිණේමය. දෙනලද පහර කරණකොට අත හෝ පය හෝ බිඳේද, හිස හෝ සිදුරු වේද, පාචිත්තියටම පැමිණේ. ‘යම්සේ මෙතෙමේ සඟමැද නොබලාද, ඔහුට එසේ කරන්නෙමි’යි මෙසේ විරූප කරන අදහසින් කණ හෝ නාසය හෝ සිඳීද, දුක්කටය වේ.
“අනුපසම්පන්නස්ස” ගිහියකුට හෝ පැවිද්දකුට හෝ ස්ත්රියක පහරදේද, සඞ්ඝාදිසෙසය වේ. [missing trans]
“කෙනචි විහෙඨියමානො” මිනිසකු විසින් හෝ තිරිසන්ගියකු විසින් හෝ වෙහෙසනු ලබන්නේ. “මොක්ඛාධිප්පායො” එයින් තමන්ගේ මිදීම පතමින්. “පහාරං දෙති” කාය ප්රතිබද්ධ - නිස්සග්ගිය යන මොවුන්ගෙන් එක්තරා එකෙකින් පහර දේද, ඇවැත් නොවේ. ඉදින් අතරමගදී වෙසෙනු කැමැති වූ සොරකු හෝ පසමිතුරකු ‘උපාසක’ මෙහිම සිටුව, නොඑව’යි කියා, ඒ වචනය නොගෙණ නොසලකා එන්නහුට ‘කොල යව’යි මුගුරකින් හෝ අතින් හෝ පහර දී යේද, හෙතෙමේ ඒ පහරින් මැරේද, ඇවැත් නොවේ. ව්යාල මෘගයන් කෙරෙහිද, මේ නයම වේ. මෙහි සෙස්ස ප්රකටය. මේ ශික්ෂාපදයාගේ සමුත්ථානාදීහු ප්රථම පාරාජික ශික්ෂාපදය සමාන වෙත්. මේ ශික්ෂාපදය වනාහි දුඃඛවෙදනයි.
සිවුවන පහාර ශික්ෂාපදයයි.
තලසත්තික ශික්ෂාපද වර්ණනාව
පඤ්චම ශික්ෂාපදයෙහි - “තලසත්තිතං උග්ගිරන්ති” පහරදෙන අයුරු දක්වා කයද කයපිළිබඳයක්ද නගත්. “තෙ පහාරසමුචිතා රොදන්ති” පහර කා පුරුදු වූ ඒ සප්තදශවර්ගික භික්ෂූහු පෙරද ලද පහර ඇති බැවින් දැනුදු පහර දෙන්නාහුය’යි සිතමින් හඬත්, යන අර්ත්ථයි. “පහාරස්ස මුච්ඡිතා”යිද හදාරති. එහි පහරින් බිය ඇත්තාහ යන අර්ත්ථයි.
“උග්ගිරති ආපත්ති පාචිත්තියස්ස” මෙහි නගා වැරදී පහර දේද, ඒකාන්තයෙන් දරන්නට නොහැක්කහුගේ පහර වහා වදීද, පහර නොදෙනු කැමැති බැවින් දුන් බැවින් දුක්කටය වේ. පහරින් අත් ආදීන් අතුරෙහි යම් කිසිවක් බිඳේද, දුක්කටයම වේ.
“මොක්ඛාධිප්පායො තලසත්තිකං උග්ගිරති” මෙහි පෙර කියූ වස්තූන් අතුරෙහි පෙර නයින්ම අත්පා නගන්නහුට ඇවැත් නොවේ. ඉදින් වැරදී පහර දේනම් ඇවැත් නොවේමය. සමුත්ථානාදිය සමග සෙස්ස පළමු ප්රහාරශික්ෂාපදය සමානම වේ.
පස්වන තලසත්තික ශික්ෂාපදයය
අමූලක ශික්ෂාපද වර්ණනාව
ෂෂ්ඨ ශික්ෂාපදයෙහි - “අනුද්ධංසෙන්ති” ඒ ෂඩ්වර්ගික භික්ෂූහු තුමූ ආකීර්ණ දොෂ ඇති බැවින් ‘මෙසේ ඇති කල්හි භික්ෂූහු අපට චොදනා කරන්නාහුය, ඇවැත සිහි නොකරවන්නාහුය, ආත්මාරක්ෂාව කරමින් පළමුකොටම භික්ෂූන්ට අමූලික සඞ්ඝාදිසෙසයෙන් චොදනා කරත්. මෙහි සෙස්ස තෙරසකසඞ්ඝාදිසෙසකාණ්ඩයෙහි අමූලකශික්ෂාපදයෙහි කියූ නය ඇති බැවින් ප්රකටමය.
ත්රිසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මය. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
සවන අමූලක ශික්ෂාපදයයි
සඤ්විච්ච ශික්ෂාපද වර්ණනාව
සප්තම ශික්ෂාපදයෙහි “උපදහන්ති” උපදවත්. “කුක්කුච්චං උපදහති ආපත්ති පාචිත්තියස්ස” වචනයක් වචනයක් පාසා පාචිත්තියාපත්තියි. “අනුපසම්පන්නස්ස” හෙරණක්හට ‘තා, මාගමක සමග රහසිව හිඳින ලද්දේය. නිදන ලද්දේය. කන ලද්දේය. බොන ලද්දේය. සඟමැද මේ මේ කරන ලදැයි මේ ආදිනයින් කුකුස් උපදවාද වචනයක් වචනයක් පාසා දුක්කට වේ. මෙහි සෙස්ස ප්රකටමය. සමුත්ථානාදීහුද අමූලකශික්ෂාපදය හා සමානම වූවාහුය.
සත්වන සඤ්චිච්ච ශික්ෂාපදයයි
උපස්සුති ශික්ෂාපද වර්ණනාව
අෂ්ටම ශික්ෂාපදයෙහි - “අධිකරණජාතානං” මේ භණ්ඩනාදිය කරණකොට උපන් විවාදාධිකරණය ඇත්තවුන්ගේ “උපස්සුතිං” බස් ඇසෙන තරම් සමීපයෙහි. යම් තැනක සිට ඔවුන්ගේ බස් අසන්නට හැකිවේද, එහිය යන අර්ත්ථයි. “ගච්ඡති ආපත්ති දුක්කටස්ස” මෙහි විවාදයට පැමිණි භික්ෂූහු කුමක් කියත්දැයි අසනු පිණිස යන මහණහුට පියවරක් පියවරක් පාසා දුක්කට වේ. “මෙන්තෙන්තං” අනිකකු සමග අනිකකු මන්ත්රණය කරන කල්හි “මන්තෙන්තෙ”යි හෝ පාඨයෙක් වේ. මේ අර්ත්ථමැයි