සහධම්මික ශික්‍ෂාපද වර්ණනාව
සහධාර්මික වර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - “එතස්මිං සික්‍ඛාපදෙ” මේ ශික්‍ෂාපදයෙහි යමක් කියන ලද්දේ ද, එහි ඒතාක් නොහික්මෙන්නෙමි. “ආපත්ති පාචිත්තියස්ස” මෙහි වනාහි වචනයක් වචනයක් පාසා ඇවැත් දතයුතුය. “සික්‍ඛමානෙන භික්‍ඛවෙ භික්‍ඛුනා” අවවාදය විසින් පිළිගෙන හික්මෙනු කැමැතියකුම වී දැනගත යුත්තේද වේ. විචාරිය යුත්තේද වේ. පරීක්‍ෂා කටයුතුද වේ. මෙහි සෙස්ස දුබ්බච ශික්‍ෂාපදයෙහි කියූ නයින්ම පදාර්‍ත්‍ථ වශයෙන් දතයුතුය. විනිශ්චය වශයෙන් ප්‍රකටමය.
ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනය.
පළමුවන සහධාර්මික ශික්‍ෂාපදයයි.
විලේඛන ශික්‍ෂාපද වර්ණනාව
ද්විතීය ශික්‍ෂාපදයෙහි - “විනයකථං කථෙති” විනයකථා නම් කප්පිය අකප්පිය ආපත්ති අනාපත්ති සංවර පහාණ යන මෙයින් යුක්තකථාය. ඒ විනයකථාව කියයි. “විනයස්ස වණ්ණං භාසති” විනය පිළිබඳ වර්‍ණනා නම් පස්වැදෑරුම්වූද, සත්වැදෑරුම්වූද, ආපත්තිස්කන්‍ධයන්ගේ වසයෙන් මාතෘකා තබා පදභාජනයෙන් වර්‍ණනා කිරීමය. එය කියයි. “විනයපරියත්තියා වණ්ණං භාසති” විනය පුහුණු කරන්නවුන්ගේ විනය පර්‍ය්‍යාප්තිය මුල්කොට සිටි වර්‍ණනාව ගුණය ආනිසංසය කියයි. විනයධර තෙමේ වනාහි විනයපර්‍ය්‍යාප්තිය මුල්කොට අනුසස් පසක් අනුසස් සයක් අනුසස් සතක්, අනුසස් අටක්, අනුසස් නවයක්, අනුසස් දසයක්, අනුසස් එකොළොසක් ලබයි. ඒ සියලු අනුසස් කියාය යන අර්‍ත්‍ථයි. කවර නම් පස් අනුසයක් ලබාද, යත්:- තමාගේ ශීලස්කන්‍ධගොපනාදී වූ පස් අනුසසක් ලබයි.
‘මහණෙනි’ විනයධර පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පසෙක් වේ. තමාගේ ශීලස්කන්‍ධය, කරඩුවක ලූ මැණික යම්සේ නොනැසේද, විපතට නොපැමිණේද, එසේ මොනවට ගොපනය කරන ලද්දේ මොනවට රක්නා ලද්දේ වේ. කැප අකැප නිසා උපන් කුකුසෙන් මඩනා ලද්දවුන්ට පිළිසරණ වේ. සඟමැද විශාරදව කථා කරන්නේය. කරුණු සහිත වචනයෙන් සතුරන් තෙජස් රහිත කොට ඔවුන්ට මනා නිගැන්මෙන් නිගා කරයි. සද්ධර්‍මස්ථිතිය පිණිස පිළිපන්නේ වේ’යි මෙය වදාරන ලද්දේය.
කෙසේ මොහු විසින් තමාගේ ශීලස්කන්‍ධය මනාකොට ගොපනය කරන ලද්දේ මනාකොට රක්නා ලද්දේ වේද, යත්:- මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් තෙමේ ඇවැතට පැමිණෙනුයේ අලජ්ජිතා, අඤ්ඤාණතා, කුක්කුච්චපකතතා, අකප්පියෙ කප්පියසඤ්ඤිතා, කප්පියෙ අකප්පියසඤ්ඤිතා, සතිසම්මොසා යන සයඅයුරෙන් පැමිණේ.
අලජ්ජිතාවෙන් කෙසේ පැමිණේද, යත්:- නොකැපබව දන්නේම ශික්‍ෂාව මැඩ වස්තුව්‍යතික්‍රමය කරයි. මෙය වදාරන ලදී :-
‘දැන සිතා ඇවතට පැමිණේද, පැමිණි ඇවැත සඟවාද, අගතියට යේද, මෙබඳු පුද්ගලයා තෙමේ අලජ්ජියි කියනු ලැබේ’යි.
අඤ්ඤණතාවෙන් කෙසේ පැමිණේද යත්? අඥාන පුද්ගල තෙමේ අඥානභාවයෙන් මන්‍දවූයේ අවිසදභාවයෙන් මූඪ වූයේ කටයුතු නොකටයුතු නොදන්නේ නොකටයුතු කරයි. කටයුතු වරදයි. වළකයි. මෙසේ අඥානභාවයෙන් ඇවැතට පැමිණේ.
කුකුසෙන් මැඩුනු බැවින් කෙසේ ඇවැතට පැමිණේද, [missing trans]
අකැපයෙහි කැපයි සන් ඇති බැවින් කෙසේ ඇවැතට පැමිණේද, යත්:- වලස්මස්, හූරුමස්යි අනුභව කරයි. දිවිමස්, මුවමස්යි, අනුභව කරයි. අකැප බොජුන්, කැපබොජුන්යි බුදියි. නොකාලයෙහි කාලයි හැඟීමෙන් බුදියි. අකැප පැන්, කැප පැන්යි බොයි. මෙසේ අකැපයෙහි කැපයි සන් ඇති බැවින් ඇවැතට පැමිණේ.
කැපයෙහි අකැපයි සන් ඇති බැවින් මෙසේ පැවැතට පැමිණේද, යත්:- හූරුමස්, වලස්මස්යි කයි. මුවමස්, දිවිමස්යි කයි. කැපබොජුන් අකැප බොජුන්යි බුදියි. කාලයෙහි නොකාලයි බුදියි. කැප පැන්, අකැප පැන්යි බොයි. මෙසේ කැපයෙහි අකැපයි සන් ඇති බැවින් ඇවතට පැමිණේ.
සිහිමුළාවෙන් කෙසේ ඇවැතට පැමිණේද, යත්:- සහසෙය්‍ය චීවරවිප්පවාස භෙසජ්ජ චීවරකාලයන් ඉක්මවීම් හේතුවෙන් සිහිමුළාවෙන් ඇවතට පැමිණේ. මෙසේ මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් තෙමේ මේ සයයුරෙන් ඇවැතට පැමිණේ.
විනයධරතෙමේ වනාහි මේ සයයුරෙන් ඇවැතට නොපැමිණේ. අලජ්ජීභාවයෙන් කෙසේ ඇවතට නොපැමිණේද, යත්:- ඒ විනයධර තෙමේ වනාහි ‘පින්වත්නි’ බලනු මැනැවැ, මෙතෙමේ කැප අකැප බව දන්නේම ශික්‍ෂාපදව්‍යතික්‍රමය කෙරේය’යි මේ පරොපවාද රක්නේද, ඇවැතට නොපැමිණේ. මෙසේ අලජ්ජිභාවයෙන් ඇවැතට නොපැමිණේ. ඉක්මන්කම නිසා පැමිණියාවූද, දෙසීමෙන් පිරිසිදුබවට පැමිණෙන්නාවූද, ඇවැත දෙසා වුට්ඨානගාමිනී වූ ඇවැතින් නැගිට පිරිසිදුබවෙහි පිහිටා ගනියි. එහෙයින් -