ඌනවීසතිවස්ස ශික්‍ෂාපද වර්ණනාව
පඤ්චම ශික්‍ෂාපදයෙහි - “අඞ්ගුලියො දුක්‍ඛා භවිස්සන්ති” අකුරු ලියන්නහුගේ ඇඟිලි පීඩාවට පත් වන්නේයයි සිතූහ. “උරස්සදුක්‍ඛො” ගණිතයෙහි හික්මෙන්නහු විසින් බොහෝ දෙය සිතිය යුතුවේ. එයින් මොහුගේ හෘදය පෙළෙන්නේයයි සිතූහ. “අක්‍ඛිනි දුක්‍ඛා භවිස්සන්ති” රන්කරු සිප්හි හික්මෙන්නහු විසින් කහවණු පෙරළ පෙරළා දැක්ක යුත්තේ වෙයි. එයින් මොහුගේ ඇස් දුකින් පෙළේයයි සිතූහ. ඩංසාදීන් අතුරෙහි “ඩංසා” යනු පිඟුවන් මැස්සෝය. “දුක්‍ඛානං” දුකින් ඉවසිය යුතු වූ. “තිබ්බානං” දැඩිවූ. “ඛරානං” තියුණුවූ. “කටුකානං” පරුෂ වූ. මන නොවඩන බැවින් කුළුරස වැනිවූ. “අසාතානං” නොමිහිරිවූ. “පාණහරානං” දිවි හැරගන්නාවූ
“සීමං සම්මන්නති” අලුත් සීමාවක් බඳියි. කුරුන්‍දියෙහි වනාහි උදකුක්‍ඛෙපය පිරිසිඳීමෙහිද දුක්කටය කියනලදී. “පරිපුණ්ණවීසතිවස්සො” පිළිසිඳ ගැනීම පටන් පිරිපුන් විසිවයස් ඇත්තේ. ගර්‍භවීස තෙමේද පිරිපුන් විසිවයස් ඇත්තේමයි ගිණීමට යන්නේය.
එසමයෙහි වනාහි ගැබෙහි හොත් මාස සමග විසිවයස් ඇත්තාවූ කුමාරකාශ්‍යප තෙමේ උපසපන් වූයේ වේ. එකල්හි ආයුෂ්මත් කුමාරකාශ්‍යපහට ‘භාග්‍යවතුන් වහන්සේ විසින් උනුවිසිවයස් ඇති පුද්ගල තෙමේ උපසපන් නොකටයුතුය’යි පනවන ලද්දේය. මමද පිළිසිඳ ගැනීමෙහි පටන් විසිවයස් ඇතියෙම් උපසපන් වූයෙමි. එහෙයින් උපසමපන් වූයෙම්ද, උපසපන් නොවූයෙම්දැ’යි මෙබඳු සිතෙක් වූයේය. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. ‘මහණෙනි’ මවුකුසෙහි යම් පළමු සිතෙක් උපන්නේද, ප්‍රථම විඥානයෙක් පහළ වූයේද, එතැන් පටන් ඔහුගේ ඕ ම ජාතිය වන්නීය. මහණෙනි’ පිළිසිඳ ගැනීමෙහි පටන් විසිවයස් ඇත්තහු උපසපන් කරන්නට අනුදනිමි’යි වදාළසේක.
එහි යමෙක්, දොළොස් මසක් මවුකුස වැස වප්මස මහා පවුරුනු දිනයෙහි උපන්නේද, හෙතෙමේ එතැන් පටන් එකුන් විසිවන වසෙහි වප්මස පුන්පොහොයෙහි යම්තාක් මහාපවාරණය වේද, ඒ දිනය ඉක්මවා පෑළවිය දිනයෙහි උපසපන් කටයුතුය. මේ උපායයෙන් ගර්‍භමාසය වැඩිවූ කල්හි පිරිහෙළීමද අඩුවූ කල්හි වැඩීමද දතයුතුය.
පුරාතන ස්ථවිරයන් වහන්සේලා දොළොස් මසක් මවුකුස වැස මහාපවුරුණු දිනයෙහි උපන්තැන් පටන් එකුන් විසිවයස් ඇත්තාවූ හෙරණහු නිකිණිමස පෞණිමිය ඉක්මවා පශ්චිමකයන් විසින් වස් එළැඹිය යුතු පෑළවිය දිනයෙහි උපසම්පදා කෙරෙත්. ඒ කුමක් හෙයින, යත්:- එහිලා කියනු ලැබේ. එක් වසෙක චාතුද්දසී පොහොය සසෙක් වේ. මෙසේ විසි වසෙහි සිවුමසෙක් පිරිහේ. රජහු, තෙවන තෙවන වසෙහි වස උඩට අදිත්. (තෙවන වසෙහි එක් මසක් අධිකමාස වසයෙන් හරිමින් වස්සුක්කඩ්ඪනය කරති. යන අර්‍ත්‍ථයි. කුමක් හෙයින යත්: තෙවන වසෙහි දහතුන් මසෙක් වේ. වසකට දොළොස් මස බැවින් අටළොස් වස්හි අධික මාසයක් වෙන්ව ගෙණ සමසක් වැඩේයයි කියනලදී). මෙසේ අටළොස් වස්හි සමසෙක් වැඩේ. ඒ සමසින් උපොසථ වසයෙන් පිරිහුනු සිවුමස බැහැර කොට දෙමසෙක් ඉතිරි වේ. ඒ දෙමස ගෙණ විසි වස පිරුනේ වේයි අධිකමාස සමග පිරිපුන් විසිවස ඇති බැවින් සැක නැතිව නිකිණි මස පෞණිමිය ඉක්මවා පෑළවිය දිනයෙහි උපසම්පදා කෙරෙත්. මෙහි වනාහි යමෙක් පවරා විසිවස් ඇත්තේ වන්නේද, ඔහු සඳහා ‘එකුනවීසති වස්සං’යි කියන ලදී. (යම්හෙයකින් ගර්‍භමාසයෝ ගණනූපග වෙත්ද) එහෙයින් යමෙක් තෙමේ මවුකුසෙහි දොළොස් මසක් විසූයේද, හෙතෙමේ එක්විසිවයස් ඇත්තේ වේ. යමෙක් තෙමේ සත්මසක් විසූයේද, හෙතෙමේ සත්මසක් අධිකකොට ඇති විසිවයස් ඇත්තේ වේ. සමසින් උපන්නේ වනාහි ජීවත් නොවේ.
“අනාපත්ති ඌනවීසති වස්සං පරිපුණ්ණසඤ්ඤී” මෙහි උපසපන් කරන මහණහුට කිසියේත් ඇවැත් නොවේ. පුද්ගල තෙමේ වනාහි අනුපසම්පන්න වේ. ඉදින් අනුපසම්පන්නවූ හෙතෙමේද සවස් ඇවෑමෙන් අනිකකු උපසපන් කෙරේද, උපසපන්ය යන් සන් ඇතිව දසවස් පිරීමෙන් උපාද්ධ්‍යයව උපසම්පදා කරන ඔහු හැර ගණය පිරේ නම්, එහි උපසම්පදාව ලත් තැනැත්තේ මැනැවින් උපසපන් වූයේ වේ. අඩු විසිවයස් ඇතිව උපසම්පන්නයි ව්‍යවහාරයට පැමිණ වසන හෙතෙමේද, යම්තාක් නොදනීද, ඒතාක් ඔහුට ස්වර්‍ගාන්තරායෙක් නොවේමය. මොක්‍ෂාන්තරායෙක්ද නොවේ. දැන නැවත උපසම්පදා වියයුතුය. සෙස්ස ප්‍රකටමය.