භිංසාපනක ශික්‍ෂාපද වර්ණනාව
පඤ්චම ශික්‍ෂාපදයෙහි - රූපූපහාරාදීහු මනුෂ්‍යවිග්‍රහයෙහි කියූ නයින්ම දතයුත්තාහ. සෙස්ස ප්‍රකටමය. සමුත්‍ථානාදීහු අනාදරිය ශික්‍ෂාපදය හා සමානයෝමය.
පස්වන භිංසාපන ශික්‍ෂාපදයයි
ජෝති ශික්‍ෂාපද වර්ණනාව
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - “භග්ගා” යනු දනව්වට නමෙකි. “සුංසුමාර ගිරං” යනු නුවරට නමෙකි. “භෙසකලාවනං” ඒ නුවර ඇසුරු කළ වනයට නමෙකි. ඒ වනය වනාහි මෘගයන්ගේ පහසුවිහරණය පිණිස හුන් බැවින් මිගදායයි කියනු ලැබේ. “සමාදහිත්‍වා” ගිනි දල්වා “පරිපාතෙසි” ලුහුබැන්දේය. “සයං සමාදහති” මෙහි නොගිලන්ව එබඳු වැඩක් නැතිව ගිනි දල්වනු කැමැති බැවින් ගිනිගානා දණ්ඩ තැබීම පටන් යම්තාක් ගිනිදැල් නොනගීද, ඒතාක් සියලු ප්‍රයොගයන්හි දුක්කටය වේ.
“පදීපෙ පි” පහන් දැල්වීමෙහි “ජොතිකෙපි” පා පිසීම් ඩහගැන්වීම් කර්‍මාදියෙහි ගිනි දැල්වීමෙහි “තථාරූපප්පච්චයා” පහන් දැල්වීම් ආදි ප්‍රත්‍යයයෙන්
“පටිලාතං උක්‍ඛිපති” දැවෙන පෙනෙහල්ල කබලෙන් පිටත වැටෙන්න ඔසොවා තබයි. නැවත තැබුනු තැන තබාය යන අර්‍ත්‍ථයි. මෙසේ නොදැවුනු ගිනිපෙනෙල්ලක් ඔසොවා ගිනි කබලෙහි බහාලන මහණහුට දුක්කටය වේ. දැවුනු පෙනෙල්ලක් නැවැත දල්වන මහණහුට පාචිත්තියම වේ.
“තථාරූපප්පච්චයා” පහන් ආදිය හැර අන්‍යවූද එබඳු කරුණකින් ගිනි දල්වන මහණහුට ඇවැත් නොවේ. “ආපදාසු” දුෂ්ටව්‍යාලමෘග අමනුෂ්‍යයන් විසින් කරනලද උපද්‍රවයක් වේද, එහි ගිනි දල්වන මහණහුට ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය. ෂට්සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
සවන ජොති ශික්‍ෂාපදයයි
නහාන ශික්‍ෂාපද වර්ණනාව
සප්තම ශික්‍ෂාපදයෙහි - “චුණ්ණෙන වා මත්තිකාය වා” මෙහි අනුදත් කාලය හැර සෙසු කාලයෙහි නෑම පිණිස සුණු හා මැටි රැස්කරන කාලය පටන් සියලු ප්‍රයොගයන්හි දුක්කටය වේ.
“පාරං ගච්ඡන්තො නහායති” මෙහි වියලීගිය ගඟෙහි වැලි නගා ආවාටයන්හිද නෑම වටියි. “ආපදාසු” භ්‍රමරාදීන් විසින් ලුහුබඳින ලද්දහුට දියෙහි ගිලීම වරද නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය. එළකලොම සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
සත්වන නහාන ශික්‍ෂාපදයයි.
දුබ්බණ්ණකරණ ශික්‍ෂාපද වර්ණනාව
අෂ්ටම ශික්‍ෂාපදයෙහි - “නවං පන භික්‍ඛුනා චීවරලාභෙන” මෙහි ලැබූයේයි ලභ නම. ලභම ලාභ නම්වේ. කුමක් ලැබුයේද, යත්: සිවුරෙකි. කෙබඳු සිවුරක්ද, යත්:- අලුත් සිවුරෙකි. මෙසේ ‘නවං චීවරං ලාභෙන’යි කියයුත්තෙහි නිග්ගහීතය ලොප් කොට ‘නවං චීවරලාභෙන’යි කියනලදී. ‘පිළිලද අලුත් සිවුරු ඇත්තහු විසින්’ යන අර්‍ත්‍ථයි. මැද සිටි පද දෙකෙහි ‘පන’ යනු නිපාතයෙකි. “භික්‍ඛුනා” යමකු විසින් ලද්දේ ද, ඔහු දැක්වීමය. පදභාජනයෙහි වනාහි පදව්‍යඤ්ජන නොගෙණ යමක් ලද්දේ ද, ඒ දක්වනු පිණිස “චීවරං නාම ඡන්නං චිවරානං” වදාරන ලදී: ‘චීවරං’ යන මෙහි යමක් හඳින්නට හෝ පොරවන්නට හෝ හැකිවේද, ඒම චීවරැයි දතයුතුය. එහෙයින්ම ‘විකප්පනූපගං පච්ඡිමං’යි නොවදාරන ලදී. ‘කංසනීලං’ සම්කරු නිල. මහාපච්චරියෙහි වනාහි යමල-ලොහොමල මේ කංසනීලැයි කියනලදී. ‘පලාසනීලං’ යම්කිසි නිල්පැහැති පත්යුසයෙකි. “දුබ්බණ්ණකරණං ආදතබ්බං” මෙය කප්බිඳු තැබීම සඳහා කියනලදී. නිල්පැහැ ආදියෙන් සියලු සිවුර දුවර්‍ණ කිරීම නොවේ. කප්බිඳු තබන්නහු විසින් සිවුර රඳන් කොට සිවු කොන්හි හෝ තුන් කොණෙක හෝ දෙකොණෙක හෝ එක් කොණෙක හෝ මොනරකුගේ ඇස්මඩල පමණට හෝ මකුණු පිටක් පමණම හෝ ඒ තැබිය යුතුය. මහාපච්චරියෙහි මැඩිල්ලෙහි හෝ ගණ්ඨියෙහි හෝ කප්බිඳු තැබීම නොසුදුසුයයි කියන ලදී. මහාර්‍ත්‍ථකථාවෙහි වනාහි ඒ වටීමයි කියන ලදී. මුතුවැල වැනි කප්බිඳු පෙළක් හෝ කර්ණිකාකාර වූ කප්බිඳු හෝ දීම් ආදිය සියලු තන්හි වළක්වන ලදී. එහෙයින් එක් වට බිඳුවක් හැර අන් කිසි විකාරයකින් කප්බිඳු නොතැබිය යුතුය.